යෝනිසෝ මනසිකාරය පිළිබඳව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවකි.
අපි මනුෂ්‍ය ලෝකෙට ආපු මේ වර්තමාන ජීවිතය වෙන කොට අපි ජීවිත කීයක් පාස් කරලද? අපි ජීවිත කීයක් ගෙවාගෙන ඇවිත් ඇද්ද? කියන්න බෑ. අපි ගිය ආත්මේ කොහේ ඉන්න ඇද්ද? කියන්න බෑ. ඊට කලින් ආත්මේ? ඒත් කියන්න බෑ. එහෙම නම් අපි මනුෂ්‍ය ලෝකෙත් වරින් වර උපදින්න ඇති. දෙවියන් අතරත් වරින් වර උපදින්න ඇති. තිරිසන් සත්තු වෙලා කෙලවරක් නැතුව ඉන්න ඇති. පෙරේතයෝ වෙලා සෙම් සොටු කාපු වාර කෙළවරක් නැතුව ඇති. නිරයේ විඳපු දුකත් එහෙමයි. එහෙම නම් අතීතය ගැන කතා කරද්දී ගෙවාගෙන ආපි සසරේ යම් ස්වභාවයක් අපිට උරුම වෙලා තිබ්බද, අනාගතයෙත් තියෙන්නේ ඒකමයි.
හැබැයි මේක වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. අපි මනුෂ්‍ය ලෝකයේ ඉපදුනා. මිනිස් ලෝකේ උපන්න අපිට ලැබුණා ඇස් දෙකක්. අපි උපදින කොටම ඇස් දෙකක් ලැබුවා. ඇස් දෙකක් ඇතුව උපන්නා. කන් දෙකක් ඇතුව උපන්නා. නාසයක් ඇතුව උපන්නා. දිවක් ඇතුව උපන්නා. ශරීරයක් ඇතුව උපන්නා. මනසක් ඇතුව අපි උපන්නා. ඉපදුනාට පස්සේ අපි හැමතිස්සේම මේ ඇස් දෙක පාවිච්චි කරනවා රූප බල බලා ආශ්වාදයක් විඳින්න. කන් දෙක පාවිච්චි කරනවා ශබ්ද අස අසා ආශ්වාදයක් විඳින්න. නාසය පාවිච්චි කරන ගඳ සුවඳ ආඝ්‍රාණය කර කර ආශ්වාදයක් විඳින්න. දිව පාවිච්චි කරනවා රසවත් දේවල් කකා ආශ්වාදයක් විඳින්න. ශරීරය පාවිච්චි කරනවා පහස ලබ ලබා ආශ්වාදයක් විඳින්න. මනස පාවිච්චි කරනවා සිත සිතා ආශ්වාදයක් විඳින්න. මේක නේද අපි සංසාරේ පුරා කරගෙන ආපු දේ?
Leave A Comment