ළඟ සම්බුදු ගුණය ‘බුද්ධ.’ බුද්ධ කියන්නේ අවබෝධ කරගත් දේ අන් අයටද අවබෝධ කරවන නිසයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත්තා. පළමු වෙනි දේශනාවේ ඉඳලාම ප්‍රතිඵල ලැබුණා. පළමු වැනි දේශනාවේදී දිව්‍ය ලෝක විසි දෙකක දෙවිවරු අවබෝධ කරගත්තා. මනුෂ්‍ය ලෝකයෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. එතැන ඉඳලාම ප්‍රතිඵල ලැබුණා.

උන්වහන්සේගේ දෙවැනි දේශනාව තමයි ‘අනාත්ම ලක්ඛණ සූත්‍රය.’ ඒ දේශනාව අහලා අර පස් දෙනාම අරහත්වයට පත්වුණා. ඊට පස්සේ මේ ධර්මය ටික ටික පැතිරෙන්න පටන් ගත්තා. විශාල පිරිස්, දහස් ගණනින් එනවා. ධර්මය අහගෙන ඉන්න කොට අවබෝධ වෙනවා. සැවැත් නුවර විතරක් ඒ කාලේ හත් කෝටියක ජනකායක් ඉඳලා තියෙනවා. ඒකෙන් කෝටි පහක් මාර්ගඵල ලාභීන්.

ලංකාවේ සුනාමියක් වුණා. ලක්ෂයක් විතර එකපාර මැරුණනේ. මාර්ගඵල ලාභීන් එක්කෙනෙක් සොයාගන්න පුළුවන්ද? බලන්න තත්ත්වය. ශාසනය පිරිහීම කියන්නේ ඒකයි. බුද්ධ ශාසනය බබලනවා කියන්නේ සෝවාන් වූ අය, සකදාගාමී වූ අය, ඒ වගේ මාර්ග ඵලලාභීන් සිටීමයි. වෙන කිසිම ක්‍රමයකින් බුද්ධ ශාසනය බබලනවා කියලා කියන්න බැහැ.

එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනිත් අයටත් දේශනා කළා. උන්වහන්සේ ධර්මය දේශනා කළේ හරි සරල පැහැදිලි සුන්දර වචනවලින්. උන්වහන්සේට බ්‍රාහ්මණ අය පවා හරියට ප්‍රශංසා කරලා තියෙනවා. දීඝ නිකායේ එවැනි සූත්‍ර බොහොමයක් හම්බවෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට කතා කරන කෙනෙක්.. කවුරුහරි උන්වහන්සේ ළඟට ආවාම උන්වහන්සේ ධර්ම කතා කරලා එයාව සතුටු කරනවා.. කියලා ඒවායේ සඳහන් වෙනවා.

‘මානත්තද්ධ’ කියලා බමුණෙක් හිටියා. මානත්තද්ධ කියන්නේ එයාට ලැබුණු අන්වර්ථ නාමයක් වෙන්න ඇති. ඒ කියන්නේ කිසි කෙනෙකුට ගෞරව කරන්නේ නෑ. අම්මට, තාත්තට, යාළුවන්ට, නෑදෑයින්ට, කාටවත් ගෞරව කරන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කිව්වොත් ‘මානත්තද්ධ’ කියන ඒකේ තේරුම ‘මානතදයා’. ‘තද්ධ’ කියන්නේ තද.

මෙයාට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට වැඩියා කියලා ආරංචි වුණා. මෙයා කල්පනා කළා ‘හරි, බුදු කෙනෙක් නම් මා එක්ක කතා කරන්නේ නැතැයි. මමත් යනවා බලන්න.’ ඉතින් මෙයත් ගියා. මෙයා ගිහිල්ලා ඉණට අත්දෙක තියාගෙන බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා.

දැන් බුදුරජාණන් වහන්සේ මෙයාව නොදැක්කා වගේ හිටියා. බලන්න ඒ දක්ෂකම… මිනිස්සු ඇවිල්ලා කතා කරනවා, ධර්මය අහනවා.. දැන් මෙයත් අහගෙන ඉන්නවා. මිනිස්සු ඔක්කෝම ගියා. මෙයා හිතුවා ”මෙයා විශේෂ කෙනෙක් නෙවෙයි. වෙන්න බැහැ” කියලා. මෙයා යන්න හැරුණා. වැන්ඳේ මුකුත් නෑ. බුදුරජාණන් වහන්සේ මෙයා හැරිලා පියවර දෙකක් විතර යනකම් හිටියා.

බුදුරජාණන් වහන්සේ අහනවා ”ඔහොමද තමන් ආපු කාරණය ඉෂ්ට කරගෙන යන්නේ?” බලන්න ඒකෙ ලස්සන? අහපු ගමන් මෙයාට ‘බුදුරජාණන් වහන්සේ මාව දැක්කා…’ කියලා තේරුණා. එතැනම ඇදගෙන වැටුණා. බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා උන්වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන බිම දිගාවෙලා ”ස්වාමීනී, මට තමයි මානතදයා කියන්නේ… මට තමයි මානතදයා කියන්නේ” කියලා වඳින්න පටන් ගත්තා. අනිත් කට්ටිය ඔක්කොම ත් මොකක්ද මේ සිද්ධිය කියලා බලන්න ළඟට පිරුණා. බැලූවහම පුදුමයි. කාගෙවත් කීමක් අහපු නැති, කාටවත් දමනය වුණේ නැති මේ පුද්ගලයා දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කුඩා දරුවෙක් වගේ පෙරලිලා ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ ”හා… හා… දැන් ඉතින් නැගිටින්න” කියලා ධර්මය කිව්වා. ‘බුද්ධ‘ කියන්නේ ඒකයි. අවබෝධ කරගත් දේ අනිත් අයට අවබෝධ කරවනවා. මොකක් හරි අවාසනාවකට අපට ඒ යුගය මගහැරිලා ගියා. මේ අවස්ථාවේදීවත් අපි මගහැර ගන්නේ නැතුව ධර්මය චුට්ටක් හරි අල්ලා ගනිමු.

ඊළඟ බුදුගුණය තමයි ‘භගවා.’ බුදුරජාණන් වහන්සේට ශ‍්‍රාවකයන් ආදරෙන් කතා කරපු වචනයක් තමයි, ‘භාග්‍යවතුන් වහන්සේ’ කියලා කියන්නේ. ‘භගවා’ කියන එක ඉන්දියාවේ සමාජයට කොච්චර වැදුණද කියන්නේ, ඉන්දියානුවෝ අදටත් හැම දෙවිවරුන්ටම කියන්නේ ‘භගවාන්’ කියලයි. (භගවාන් කි‍්‍රෂ්ණ.. භගවාන් ගනේෂ්.. භගවාන් විෂ්ණු..) නමුත් ‘භගවාන්’ කියන්නේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු නමක්. භගවා කියන්නේ මේ සියලූ ගුණ දරන්නට තරම් ‘භාග්‍යවන්ත’ වූ නිසයි. රාගාදී සියලූ කෙලෙස් නැත්තට නැති කරපු නිසයි. මේ තුන් ලොව එළිය කරන ප්‍රඥාවෙන් යුක්ත නිසයි. මහා කරුණාවෙන් යුතුව මේ ලෝකයට යහපත සැලසූ නිසයි.

ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණ නවය දන්නේ නැතුව, “බුද්ධං සරණං ගච්ඡමි” කියලා දවස පුරාම ජප කළත් “මම මේ සරණ යන්නේ අසවල් අසවල් ගුණ තියෙන කෙනා” කියලා අපේ හිතට යන්නේ නෑනේ. ඉතින් එහෙනම් අපි මේවා දන්නේ නැත්නම් ශ‍්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද?

මම තේරුම් ගත්ත දෙයක් තමයි, කෙනෙකුට ශ‍්‍රද්ධාව පිහිටියොත් එයාට ශ‍්‍රද්ධාව ගැන සිහිය තියෙනවා. ඒ කියන්නේ මොනම ප්‍රශ්නයක් සිදුවුණ වෙලාවකවත්, මොනම කරදරයක් සිදුවුණ වෙලාවකවත්, මොනම කලබලයක් සිදුවුණ වෙලාවකවත් එයාගේ කටින් ඒ ශ‍්‍රද්ධාවට හානි වෙන වචනයක් පිටවෙන්නේ නෑ. මොකද, එයාට ඒ ශ‍්‍රද්ධාව පිළිබඳ සිහිය තියෙනවා. ඒක තමයි ශ‍්‍රද්ධාවට පැමිණීමේ තියෙන විශේෂත්වය. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ දෙයක් හැටියට හුවා දක්වන්න යන්නේ නෑ. එයා මේ ධර්මය “බුදුරජාණන් වහන්සේගේ දෙයක්මයි” කියලා මතුකරලා දෙනවා. ඒක ශ‍්‍රද්ධාවන්තයා කරන එකක්මයි.

ශ‍්‍රද්ධාව නැතිකෙනා ධර්මය ඉගෙන ගෙන ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් තම තමන්ගේ මත කියාගෙන යනවා. එහෙම අය ඉන්නවා. ඒ ශ‍්‍රද්ධාව නැතිකම. ශ‍්‍රද්ධාව තියෙන කෙනා එහෙම කරන්නේ නෑ.

දවසක් උත්තර කියන රහතන් වහන්සේ ශක්‍ර දෙවියොත් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. ශක්‍ර දේවේන්ද්‍රයා මේ සාකච්ඡාවට හරියට පහදිනවා. පැහැදිලා ”මේ ස්වාමීන් වහන්සේ කියපු ධර්මය හරි අගෙයි. මේ ධර්මය ඔබවහන්සේටම අවබෝධ වුණ එකක්ද? නැත්නම් වෙන කෙනකුගේ එකක්ද?” කියලා අසා සිටියා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා ”දේවේන්ද්‍රය, මේ ලෝකයේ යම්කිසි සුභාෂිත (යම් සුන්දර අදහස්, වචන) ඇද්ද, ඒ සියල්ල භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ වචනයි. අපි කතා කරන්නේ ඒවා උපුටා අරගෙනයි.”

උත්තර රහතන් වහන්සේ ඒ සඳහා උපමාවක් කිව්වා. “ඔන්න තැනක ධාන්‍ය කන්දක් තියෙනවා. මනුෂ්‍යයෙක් භාජනයක් අරගෙන ගිහිල්ලා මේ ධාන්‍ය කන්දෙන් පුරවාගෙන අරගෙන එනවා. තව කෙනෙක් ‘කොහෙන්ද ඔයාට මේවා?’ කියලා අහනවා. එතකොට අර කෙනා නිහතමානීව ‘අන්න අසවල් තැන ධාන්‍ය කන්දක් තියෙනවා. මං එකෙන් තමයි මේ අරගෙන එන්නේ’ කියලා කියනවා. ඒ වගේ තමයි, බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියන මේ ධර්මය. අපි කතා කරනවා නම්, ඒ කතා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපුටා අරගෙනයි.” ශ‍්‍රද්ධාවන්ත කෙනෙකුට මේ ලක්ෂණය තියෙන්න ඕන.

පිරිස තරහා වෙන නිසා අපි ‘ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි’ කියලා කියනවා තමයි. නමුත් නියම ශ‍්‍රද්ධාව එන්නේ මේවා තේරුම් ගැනීමෙන් විතරයි. එහෙම නැතුව නියම ශ‍්‍රද්ධාව ඇතිවෙන්නේ නෑ. නියම ශ‍්‍රද්ධාව ඇතිවෙන කෙනාට කොහෙන් හරි බුදුරජාණන් වහන්සේගේ නියම පිරිසිදු බුද්ධ වචනයක් ඇහෙනවාද, ”අනේ! වාසනාවක්…” කියලා අනුමෝදන් වෙනවා.

අද අපි කතා කළේ ‘අභිසන්ද’ සූත්‍රයේ එක කොටසක්. අභිසන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කරපු සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී දේශනා කළා “පින්වත් මහණෙනි, සැපයට ආහාර වන, සැපය පෝෂණය වන කරුණු හතරක් තියෙනවා, එය (පුඤ්ඤාභිසන්ද, කුසලාභිසන්ද, සුඛස්සාහාරා) සැපය ඇතිකර දෙන පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක්.” අද අපි ඉගෙන ගත්තේ එයින් පළමුවන කාරණය ගැනයි.

ඒ තමයි “(ඉධ භික්ඛවේ අරියසාවකෝ, බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති. ඉතිපි සෝ භගවා අරහං…) මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදයෙන් යුක්තයි.” නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙන්නේ කොහොමද කියලා දැන් ඔබට තේරෙනවද?

අපි පිරිසිදු ධර්මය දන්නවා කියන්නේ ඒකටයි. බුද්ධානුස්සතිය වඩන කොට අපි මේ අර්ථ ටිකනේ කතා කළේ. අපි මේ අර්ථ ඔක්කෝම හිතට ගන්න ඕන. ඊට පස්සේ ”මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක… සම්මා සම්බුද්ධ වන සේක… විජ්ජාචරණ සම්පන්න වන සේක… සුගත වන සේක.. ලෝකවිදූ වන සේක… අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක… සත්ථා දේවමනුස්සානං වන සේක.. බුද්ධ වන සේක… භගවා වන සේක…” ආදී වශයෙන් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව මේ ගුණ සිහිකරන්න ඕන. මේ විදිහට ගුණ සිහිකිරීම තමයි ‘බුද්ධානුස්සති’ වෙන්නේ.

අපි අර්ථ ගැන මෙනෙහි කරන්නේ නැතුව බොහෝ වාරයක් “ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ” කියලා කියනවා කියමුකෝ. ඒක ජපයක්. ඒ තුළින් වුණත් යම් යහපතක් වෙන්න පුළුවන්. එය සමහර විට අපේ සිත තැන්පත් වෙන්න උපකාර වෙන්න පුළුවන්. නමුත් හිත පහදින්න නම් එකක් එකක් ගානේ මෙනෙහි කරන්න ඕන. ඒකටයි ‘බුද්ධානුස්සතිය’ කියන්නේ. අනුස්සති කියන්නේ සිහිකිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සිහිකිරීමටයි බුද්ධානුස්සති කියන්නේ.

ඒ විදිහට “මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි..” කියලා භගවා ගුණයට යනකම් සිහිකළ යුතුයි. ආයෙමත් මුලට අරගෙන ඉවර වෙනකම් හිතනවා. ආයෙමත් මුලට ගන්නවා. ආයෙමත් ඉවර වෙනකම් හිතනවා. අන්න ඒකට තමයි ‘බුද්ධානුස්සති භාවනාව’ කියලා කියන්නේ. යම් කෙනෙක් ඒ විදිහට බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් ඒ වෙලාවේ එයාට පවත්වන්නේ පිරිසිදු සිතක්. මේ හිත, හිතන දේට අනුව තමයි සකස් වෙන්නේ.

අපි මෙහෙම කියමු. ඔබට තරහාකාරයෙක් ඉන්නවා. ඔබ ”මට අරයා මේක කළා.. අරක කළා…” කියලා හිතනවා. මෙහෙම හිතන කොට ඔබට නූපන් තරහා උපදිනවානේ. උපන් තරහත් වැඩිවෙනවා. එහෙම නම් අපට පේනවා තරහා ඇතිවෙන අරමුණක් සිතුවොත් සිත කිලිටිවීම සිද්ධ වෙනවා. ඒ වගේම සංසිඳෙන අරමුණක් සිතුවොත් සිත සන්සිඳෙනවා.

සිතන දේවල් අතරින් අග‍්‍රම දේ බුදුරජාණන් වහන්සේ ගැන සිතීමයි. අපි ක්‍රීඩකයෙක් ගැන, නළුවෙක් ගැන, නිළියක් ගැන, චිත්‍රපටියක් ගැන, සරාගී දෙයක් ගැන හිතුවොත් අපේ හිත ඒකට ඇලෙන්න පුළුවන්. ඒකම මතක් වෙන්න පුළුවන්. මතක් වුණා කියලා ඒ හේතුවෙන් අපේ සිතේ කිලිටිවීමක් මිසක් පිරිසිදු වීමක් ඇතිවෙන්නේ නෑ.

නමුත් අපි බුද්ධානුස්සති භාවනාව ගැන කල්පනා කරගෙන ඒ බුදු ගුණ ගැන හිතන්න හිතන්න අපට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙනවා. සංසිඳීමක් ඇතිවෙනවා. සැනසීමක් ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ඒක පිනක් කියලා. ඒක නිකම් පිනක් නෙවෙයි, (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාවක්. (කුසලාභිසන්ද) කුසල ගංගාවක්. එහෙනම් අද අපි ඉගෙන ගත්තේ පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක් තමන්ගේ සන්තානයේ උපදවා ගන්නා ආකාරයයි. අපි මේ විදිහට පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක් අපේ සන්තානයේ උපදවා ගත්තොත්, ඒක අපිත් එක්ක යන එකක්.

දැන් අපි ගත්තොත්, අපි මේ ලෝකයේ සම්බන්ධකම් පවත්වන්නේ මේ ශරීරයත් එක්කනේ. මේ ශරීරය අහිමි වුණ ගමන් අපට මේ ඔක්කෝම අහිමි වෙනවා. නෑදෑයෝ, යහළුවෝ, හිත මිත‍්‍රයෝ, රැකී රක්ෂා, තනතුරු, සම්මාන, පිළිගැනීම් මේ ඔක්කෝම තියෙන්නේ මේ කයත් එක්කනේ. අපි මරණයට පත්වෙන කොට මේ කය අහිමි වෙනවා. නමුත් අපගේ හදවතේ ඇති කරගන්න දේවල් අපට හිමිවෙනවා. ඒ අතර අග්‍රම දෙයක් තමයි, බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන තේරුම් අරගෙන අනුස්සති භාවනාවක් හැටියට සිහි කරන්න පුරුදු කිරීම.

ඒ නිසා අපටද බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ආකාරයේ පැහැදීමක් ඇතිකර ගන්න වාසනාව උදාවේවා!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්