Flower

පි කලින් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ ගුණ හය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ගුණ පටන් ගන්නේ “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ” කියලයි. ‘භගවතා’ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින්..’ ‘ධම්මෝ’ කිව්වේ ‘වදාරණ ලද ධර්මය..’ ‘ස්වාක්ඛාතෝ’ කියන වචනය හැදිලා තියෙන්නේ ‘සු’+‘අක්ඛාත’ කියන වචන දෙකෙන්. ‘අක්ඛාත’ කියන්නේ ‘පවසන ලද්දේය..’. ‘සු’ කියන්නේ ‘මනාකොට..’ ‘මනාකොට පවසන ලද්දේය..’ ඒ වගේ ‘සු’ යන්න දාලා විශේෂයෙන් අපි කියන දේවල් තියෙනවනේ. ගොඩාක් විශේෂ නම් ‘සුවිශේෂ’ කියනවා. ගොඩාක් සිල්වත් නම් ‘සුසිල්වත්’ කියනවා. හොඳ චරිතවත් නම්, ‘සුචරිතවත්’ කියනවා. ‘ස්වාක්ඛාත’ කියන්නෙත් ඒ වගේ වචනයක් තමයි.

ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පළමුවෙනි ගුණය. ‘ස්වාක්ඛාත’ කියන එක විස්තර වෙන්නේ “ආදි කළ්‍යාණං, මජ්ඣේ කළ්‍යාණං, පරියෝසාන කළ්‍යාණං, සාත්ථං, සබ්‍යංජනං, කේවලපරිපුණ්ණං, පරිසුද්ධං බ්‍රහ්මචරියං” කියලයි, ඒකට තමයි මනාකොට දේශනා කළා කියන්නේ. ‘ආදි’ කියන්නේ ‘පටන් ගැනීම.’ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්ම දේශනාවන් පටන් ගැනීමත් සුන්දරයි (ආදි කළ්‍යාණං). සාමාන්‍යයෙන් සමහරුන් ලස්සනට පටන් ගන්නවා. නමුත් මැද අවුල්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම නෑ. පටන් ගැනීමත් සුන්දරයි, මැදත් සුන්දරයි. සමහරුන්ගේ කතාවල්වල පටන් ගැනීමත් හොඳයි, මැදත් හොඳයි. ඉතුරු ටික අහගෙන ඉන්න බැහැ, එපා වෙනවා. එක්කො අවුල්, තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටන් ගැනීමත් සුන්දරයි, මැදත් සුන්දරයි, අවසන් වීමත් සුන්දරයි.

බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකම ඔය ලක්ෂණ තියෙනවා. ඒ කිව්වේ කළ්‍යාණ වූ සුන්දර ආරම්භයක් තියෙනවා. සුන්දර වූ මැදක් තියෙනවා. හොඳ අවසන් වීමක් තියෙනවා. සුන්දර නිමාවක් තියෙනවා. ධර්මයේ ඒ ලක්ෂණය තියෙන නිසා තමයි, ධර්මය අහගෙන ඉන්න කෙනා ඒ ධර්මය අවබෝධ කරන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහේවත් අද එක කොටසක් දේශනා කරලා ‘ඉතිරි කොටස පස්සේ කියන්නම්’ කියලා නෑ. සම්පූර්ණ දේශනාව තියෙනවා. දේශනාව ඉවරවෙන කොට ඒ දේශනාව අහගෙන ඉන්න කෙනාට අවබෝධ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තිබෙන විශේෂත්වයක්. මනාකොට දේශනා කරපු දේක තියෙන විශේෂත්වයක්.

ඊළඟට “සාත්ථං.” සාත්ථං කියන්නේ ‘ස’+‘අත්ථං’ අර්ථ සහිතයි. ඒ කියන්නේ අර්ථ නැති වචන නෑ. ලෝකයේ අනෙක් සෑම භාෂාවකම නරක වචන තියෙනවා. කුණුහරුප තියෙනවා. නමුත් පාළි භාෂාවේ නෑ. බලන්න විශේෂත්වය. අනෙක් සෑම භාෂාවකම මිනිස්සුන්ට අපහාස කරන කෑලි, නින්දා කරන කෑලි, නරක වචන තියෙනවා. පාළි භාෂාවේ නෑ. බුද්ධ දේශනා එකකවත් එවැනි වචන නෑ. අර්ථ සහිතයි. ඒ හැම වචනයක්ම තියෙන්නේ සරු අර්ථ. ‘මේ වචනය මෙතැනට වැඩක් නෑ’ කියලා අයින් කරන්න කිසිම වචනයක් නෑ. ඒ නිසා අර්ථ සහිතයි.

ඊළඟට ‘සබ්‍යංජනං’ කියලා කියන්නේ පැහැදිලි ප්‍රකාශ කිරීම්වලින් යුක්ත නිසයි. ‘කේවල පරිපුණ්ණං’ කියන්නේ මුළුමණින්ම පරිපූර්ණ. ‘පරිසුද්ධං’ කිව්වේ පිරිසිදු. ‘බ්‍රහ්මචරියං’ කිව්වේ නිවන් මග. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ‘ස්වාක්ඛාත’ කියලා කියන්නේ. ස්වාක්ඛාත කියන්නේ ඇයි කියලා දැන් ඔබ තේරුම් ගත්තද? අපි හැමදාම “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ” කිය කියා කොච්චර වැන්දත් ‘මොකක්ද මේ ස්වාක්ඛාත කියන්නේ..? කියලා තේරුම දන්නේ නැත්නම් අපේ හිත පහදිනවද? හිත නොපහදින ධර්මයක් ‘සරණං ගච්ඡාමි’ කිව්වට සරණ යන්න පුළුවන්ද? සරණ යන්න නම් අපි ඒ ධර්මය මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. නොදන්නා දෙයක් සරණ යන්නේ කොහොමද?

එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඔය ලක්ෂණ ටික තියෙනවා. “ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථ සහිත, පැහැදිලි ප්‍රකාශ කිරීම්වලින් යුතු, මුළුමණින්ම පරිපූර්ණ, පිරිසිදු නිවන් මග.” එතකොට ඒ විදිහට ‘මේකයි බුදුරජාණන් වහන්සේ වදාළේ’ කියන අදහස අපේ හිතට ඇවිල්ලා නැත්නම් අපට ධර්මය සරණ යන්න බැහැ.

නැත්නම් සරණ යනවා කියලා ගිරව් වගේ කියන්නන් වාලේ කියයි. ගිරව් “බත් කෑවද?” කියලා පුරුදු කළාම ඒකම කියනවනේ. ඉතින් අපිටත් පුළුවන් එහෙම. අපි ”පින්වත්නි, එහෙනම් අපි දැන් පන්සිල් ගමු” කියලා ”බුද්ධං සරණං ගච්ඡාමි” කියන කොට ඔබත් කියනවා. “ධම්මං සරණං ගච්ඡාමි” කියන කොට ඔබත් කියනවා. නමුත් අපි ඇහැව්වොත් ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබ සරණ ගියේ මොකක්ද කියලා කියන්න බෑනේ. විය යුත්තේ එහෙම නෙවෙයි. ‘අපි මේ සරණ ගියේ මෙන්න මේ මේ ලක්ෂණවලින් යුතු ධර්මයයි’ කියලා අපට කියන්න පුළුවන් වෙන්න ඕන.

මුල මැද අග පිරිසිදු, අර්ථ සහිත, පැහැදිලි ප‍්‍රකාශ කිරීම්වලින් යුතු, මුළුමණින්ම පිරිපුන්, පිරිසිදු නිවන් මග කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයට. බුදුරජාණන් වහන්සේ අපට චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වන, චතුරාර්ය සත්‍යය අවබෝධයට නැඹුරු වෙලා පවතින දහම් කොටස් තිස් හතක් විග‍්‍රහ කර දුන්නා. ඒවාට කියන්නේ ‘සත්තිස් බෝධි පාක්ෂික ධර්ම.’

ඒවා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක්පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්‍ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. (එතැන එකක් එකක් ගානේ ඔක්කොම තිස් හතක් තියෙනවා). අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ, මුල මැද අග සුන්දර, අර්ථ සහිත, පැහැදිලි ප්‍රකාශ කිරීම් වලින් යුතු ධර්මය තමයි ඒ. ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සම්පූර්ණයෙන්ම ඉලක්ක වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයටයි. එතකොට බුදුකෙනෙක් පහළ වෙලා ලෝකයට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයයි. මේකට තමයි ‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ’ කියලා කියන්නේ.

ඊළඟ ගුණය “සන්දිට්ඨිකෝ.” සන්දිට්ඨිකෝ කියන්නේ මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි දෙයක් යන්නයි. මේ ජීවිතයේදීම මේ ධර්මය අවබෝධ කළාම, මේ ජීවිතයේදීම සද්ධානුසාරී වෙනවා. ඊළඟට ධම්මානුසාරී වෙනවා. ඊළඟට සෝවාන් වෙනවා. ඊළඟට සකදාගාමී වෙනවා. ඊළඟට අනාගාමී වෙනවා. ඊළඟට අරහත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙන්න මේ කියන්නා වූ පියවරවල් මේ ජීවිතයේදීම ඇති කරලා දෙන නිසා ඒ ධර්මයට සන්දිට්ඨිකයි කියලා කියනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සන්දිට්ඨික නැත්නම් මනුෂ්‍ය ලෝකයේ කවුරුවත් සෝවාන් වෙන්නේ නෑ. එහෙනම් කවුරුවත් සකදාගාමී වෙන්නෙත් නෑ. කවුරුවත් අනාගාමී වෙන්නෙත් නෑ, කවුරුවත් රහත් වෙන්නෙත් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි දේශනාවෙන්ම මිනිස් ලෝකයේ එක් කෙනෙක් සෝවාන් වුණා. උන්වහන්සේගේ දෙවැනි දේශනාවෙන් මිනිස් ලෝකයේ සය දෙනෙක් රහත් වුණා. එහෙම වෙන්නේ මේ ධර්මය ස්වාක්ඛාත නිසයි. සන්දිට්ඨික නිසයි. (මේ ජීවිතයේදීම අවබෝධය ඇති කරලා දෙන නිසයි)

අපි හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් එකක් හැටියට නෙවෙයිනේ. අපට කාලයක් තිස්සේ අහන්න ලැබිලා තියෙන්නේ ‘බුදුකෙනෙකුගේ ධර්මයක් අවබෝධ කරගන්න අපට පින් නෑ, පින් මදි… ඒ නිසා පාරමී පුරාගෙන යමු’ කියලනේ. අඩු ගණනේ පාරමී පුරනවා නම් කමක් නෑ. කවුරුවත් එහෙම පාරමිතා පුරන වග මට නම් පෙනිලා නෑ. වාද කරන්න කට කතාවට විතරක් කියාගෙන යනවා. ඒක වාදයට විතරයි, හැබෑවට නම් නෙවෙයි.

වත්මන් බෞද්ධ සමාජය තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් කියන අදහසට වඩා සන්දිට්ඨික නෙවෙයි කියන අදහසයි. බොහෝ අය හිතාගෙන ඉන්නේ මේ ධර්මය සන්දිට්ඨික නෑ කියලා නේද? ඉතින් අපේ හිත පහදින්නේ කොහොමද? අපි ශ‍්‍රද්ධාවට එන්නේ කොහොමද? අපි ශ‍්‍රද්ධාවට එන්න නම් මේ ධර්මය සන්දිට්ඨිකයි කියලා අපේ හිත පහදින්න ඕන. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරන එකක්, සන්දිට්ඨිකයි.

ඊළඟ ගුණය “අකාලිකෝ.” ‘අකාලිකෝ’ කියන්නේ කාලයකට අයිති නෑ. ඒ කිව්වේ දැන් අපි ගත්තොත් අපි රස්සාවක් කරනවා කියමු. රස්සාවක් කරන කොට ඒ රස්සාවෙන් පඩිගන්න, එක්කෝ මාසයක් බලන් ඉන්න ඕනනේ. ඒ විතරක් නෙවෙයි, ගහකින් ගෙඩියක් ගන්න, කූඹුරක අස්වැන්න ගන්නත් බලාගෙන ඉන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙවෙයි. ධර්මය හරියටම ප්‍රගුණ වෙලා ආවොත් ඒ ආපු වෙලාවේම ප්‍රතිඵල තියෙනවා. ධර්මය අවබෝධ කරන අයගේ කාල වේලාවක් නෑ. සමහරු උදේ එනවා, හවස රහත් වෙනවා.

එක සිද්ධියක් තියෙනවා. ඒ පොඩි ළමයාගේ වයස අවුරුදු හතයි. අවුරුදු හතක පොඩි දරුවෙක්. හොඳට සැපට හැදුණු පින්වන්ත ළමයෙක්. එයාගේ නම භද්‍ර. භද්‍ර කියන නමේ තේරුම ‘සුන්දර’ කියන එකයි. ඉතින් මේ දරුවගේ දෙමව්පියෝ ‘අපේ මේ ළමයට සැපසේ ජීවත් වෙන්න නම් මොකක්ද කරන්න ඕන?’ කියලා කල්පනා කළා. අම්මයි තාත්තයි කතා වුණා “අපි මේ ළමයව බුදුරජාණන් වහන්සේට බාර දෙමු. ළමයට කවදාවත් වරදක් වෙන්නේ නෑ.” ඉතින් මේ දෙමව්පියෝ ළමයත් වඩාගෙන ගිහිල්ලා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපි බොහෝම ආදරෙන් පතල පතල මේ දරුවා ලබාගත්තේ. අපි මේ දරුවව ඔබවහන්සේට පූජා කරනවා” කියලා දරුවව බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ පිළිගත්තා. පිළිඅරගෙන, ආනන්ද ස්වාමීන් වහන්සේට “ආනන්ද, මේ සිඟිති දරුවාව ඉක්මනට පැවිදි කරන්න. මෙයා මහා පුරුෂයෙක් වෙනවා” කියලා ප‍්‍රකාශ කළා. උදේ මහණ කළා, හවස රහත් වුණා. හවස් වෙන කොට රහතන් වහන්සේ නමක්. වයස අවුරුදු හතයි.

බලන්න එතකොට එයාගේ තියෙන කුසලතාවය උපරිමයට ගන්න පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි. මේ ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපමා ගැන බැලුවෝතින් මේවා හොඳ ලස්සනට තේරෙනවා.

භූමිජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. මනුෂ්‍යයෙකුට එළදෙනකුගෙන් කිරි ගන්න ඕන නම්, එයා භාජනයක් තියලා එළදෙනගේ තන බුරුල්ලෙන් අදින්න එපැයි. නමුත් කෙනෙක් එළදෙනගේ හොම්බ ඉස්සරහින් බාල්දියක් තියනවා. ඔලූව ඒකට ඔබනවා. ඔබලා අං දෙකෙන් අදිනවා, ‘අනේ පින්වත් එළදෙන, කිරි ලැබේවා! කිරි ලැබේවා!’ කියලා. එහෙම උදේ ඉඳන් හවස් වෙනකම් පැතුවත්.. මුළු ජීවිත කාලයම පැතුවත්.. කිරි එරෙයිද? බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. අපේ පැතිල්ලත් ඒ වගේ තමයි. මොකද, පැතුවාට එතැන කිරි එරෙන ප්‍රතිපදාවක් නෑ. කිරි එරෙන්න නම් තන බුරුල්ලෙන් අදින්න ඕන. එතකොට තමයි කිරි වැක්කෙරෙන්නේ.

එතැනම තව උපමාවක් තියෙනවා. තලතෙල් ඕන කෙනෙක් සෙක්කුවකට තල දාලා කරකවන්න ඕන. එතකොටනේ තල තෙල් එන්නේ. එයා එහෙම නැතුව සෙක්කුවකට වැලි දාලා ‘තල තෙල් එන්න’ කියලා කරකැව්වොත් තලතෙල් එන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ ඒ උපමාවලින් පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ධර්මය ප්‍රාර්ථනාවලින් ලබන දෙයක් නෙවෙයි, ප්‍රායෝගිකව ධර්මානුධර්ම ප්‍රතිපදාවකින් ලබන දෙයක් කියලයි. මේ ධර්මය අකාලික වන්නේ ඒකයි. මේ ධර්මය ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන්. ‘දැන් ඒ යුගය ඉවරයි…. දැන් අපට ධර්මය අවබෝධ කරන්න බැහැ’ කියලා කිසිවෙකුටත් කියන්න බැහැ. මොකද, පින් තියෙන අය ඕනතරම් ඉන්න පුළුවන්. පින් තියෙන අය ඕනතරම් ධර්මය මුණනොගැසීම නිසා අවබෝධ වෙන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඒ අයට පිරිසිදු ධර්මය අහන්න ලැබුණොත් මේ කාලයෙත් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්