ශ්රද්ධාවන්ත පින්වතුනි,
ඊළඟ සිල්පදය තමයි, “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං.” ඒ කාලේ වර්තමානයේ තරම්ම මත්ද්‍රව්‍ය තිබුණේ නෑනේ. ඒ කාලේ තිබුණේ ඔය එක එක දේවල් අරගෙන පෙරලා ගන්න රා, කසිප්පු වගේ දේවල්නේ. දැන්නේ එක එක නම් වලින්, එක එක ජාති තියෙන්නේ. මේ නිසාත් බය වෛර හටගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. බය, වෛර හටගන්න නිසා ශ්රාවකයා මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චියෙන් වැළකී වාසය කරන්න ඕන. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන්නේ ප්‍රකෘති සිහි කල්පනාව නැතිවීමයි.එහෙම නම් මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ප්‍රකෘති සිහිය කල්පනාව නැති වෙනවාට කැමති අයයි. ඒ තුළ එයා ඉන්නේ අකුසල් වැඩෙන ප්රතිපදාවක, කුසල් නැතිවෙන ප්රතිපදාවක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා මරණින් මත්තේ දුගතියේ උපදිනවා කියලා. ඒ වගේම දුගතියේ ඉපදිලා ඒ කර්ම විපාකය අවසන්වෙලා මනුෂ්‍ය ලෝකයට ආවට පස්සේ එයාට මානසික ආවේග දරාගන්න බැරිවෙනවා.
අපි හැම කෙනෙකුටම ජීවිතේ එක එක ප්‍රශ්න ඇති වෙනවනේ. ප්‍රශ්න ඇති වෙනකොට අපි ඒවාට මුහුණ දෙනවනේ. සසරේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ කෙනාට ඒක කරන්න බැහැ. එයාට පිස්සු හැදෙනවා. එක්කෝ උපතින්ම මන්ද බුද්ධික වෙනවා. කල්පනාව දුර්වල වෙනවා. වටහා ගැනීමේ ශක්තිය නැතුව යනවා. තේරුම් ගැනීමේ ශක්තිය නැතුව යනවා. සිහිය පිහිටන්නේ නැතුව යනවා. මේ ඔක්කෝම මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ විපාක.
තථාගත ශ්රාවකයා මෙලොව පරලොව අයහපත පිණිස පවතින, බය වෛර හටගන්නා වූ මේ කරුණු අවබෝධ කරගෙන ඒවායින් බැහැර වෙනවා. ශ්රාවකයා බය වෛර හටගන්නා වූ කරුණු වලින් අවබෝධයෙන්ම බැහැර වෙලා පංච සීලයෙහි වාසය කරනවා. එයා පංච සීලය ආරක්ෂා කරන්නේ නිවන් මගේ මාර්ග අංගයක් හැටියට.
අපි ආර්යකාන්ත සීලය කියලා වචනයක් පාවිච්චි කළානේ. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට හේතුවන්නා වූ, ආර්යයන් වහන්සේලාගේ පි‍්‍රය මනාප බව ඇතිකරන්නා වූ සීලය. ඒ තුළ ශික්ෂාපද කඩාගන්නේ නෑ. ඒ ශික්ෂාපද අඛණ්ඩව පවත්වා ගන්නවා. ශික්ෂාපදවල දුර්වලතා තියාගන්නේ නෑ. සිදුරු ඇති කරගන්නේ නෑ. සමහරු එකක් අයින් කරලා එකක් විතරක් පුරුදු කරනවා. නමුත් මෙයා එහෙම කරන්නේ නෑ.
ඔන්න කෙනෙක් ‘මං බොන්නේ නෑ’ කියලා කල්පනා කරනවා. නමුත් එයා ශික්ෂා පදයක් හැටියට ශක්තිමත්ව පිහිටලා නෑ. ඔන්න එයා පාටියකට යනවා. ඒ ගියහම බොන්න තියෙනවා. දැන් මෙයා “මං බොන්නේ නෑ…” කියලා කියනවා. යාළුවෝ ටික, “අද විතරක් බීපන්…” කියලා බල කරනවා. එහෙම වෙලාවට මෙයාගේ හිතේ සම්මා වායාම, සම්මා සති නැත්නම් එයට යටවෙනවා. මෙයා ‘ඔව්.. එහෙනම් මං අද විතරක් බොනවා’ කියලා බොන්න පටන් ගන්නවා. දැන් එයාගේ වීරිය නැතුව ගිහින්. ඊට පස්සේ එයා ආයෙත් පරණ තත්ත්වයට වැටෙනවා. ඊට පස්සේ එයා තව තව බොනවා. බීලා වෙරි හිඳුණහමයි එයාට සීලය මතක් වෙන්නේ. “අනේ මට මේ සිල්පදය රැකගන්න බැරිවුණා” කියලා ඔන්න ආයෙමත් සමාදන් වෙනවා. “මං ආයෙ නම් බොන්නෙ නෑ” කියනවා. ඒ ආර්යකාන්ත සීලය නෙවෙයි.
ආර්යකාන්ත සීලය කියලා කියන්නේ, ඒ සිල්පදයේ පිහිටලා ඉන්නවා. ඒ සිල්පදයේ ස්ථාවරව ඉන්නවා. එයාට සිල්පදයකට අනතුරක් වෙනවා කියලා තේරුණොත් එතැන මගහැරලා යනවා. එයා ඒ සිල්පදය තුළ ස්ථාවරව ඉන්නවා. එතකොට අපි ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම කියන සිල්පද ඉගෙන ගත්තා.
බුදුරජාණන් වහන්සේගේ කාලේ සීහ කියලා සෙන්පතියෙක් (හමුදා නායකයෙක්) හිටියා. හැබැයි, එයා නිගණ්ඨ නාතපුත්රගේ ශ්‍රාවකයෙක්. මෙයා දවසක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න ගිහින් කතාබස් කළා. බුදුරජාණන් වහන්සේ එයාගේ කලින් තිබුණ අදහස් නිවැරදි වෙන විදිහට ධර්මය දේශනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, මෙයා සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා.
නිගණ්ඨ නාතපුත්රගේ බණේ තියෙන්නේ ‘පරම අවිහිංසාවාදී’ කියලනේ. ඒ අය පරම අවිහිංසාව කියලා මොණර පිල් කළඹක් තමයි අරගෙන යන්නේ. යන යන තැන්වල මොණර පිල් කළඹින් බිම පිහිදලා තමයි වාඩිවෙන්නේ. ඒ විදිහට මොණර පිල් කළඹින් පිහිදන්නේ කූඹියෙකුටවත් රිදෙයි කියලයි. ඒ අය කටේ යම්කිසි සත්තු ඉන්නවා නම් උන්ට ජීවත් වෙන්න කියලා දත් මදින්නේ නෑ. සීහ කියන්නේ මේ වගේ කල්පනා කරපු ආගමික නායකයෙකුගේ ප්‍රධාන ශ්‍රාවකයෙක්.
එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වුණේ නිකන් නෙවෙයි, එයා සෝතාපන්න වුණා. සෝතාපන්න වුණාට පස්සේ එයාට සෝතාපත්ති අංග හතර පිහිටියා. තෙරුවන් කෙරෙහි අවෙච්ච ප්‍රසාදයත්, ආර්යකාන්ත සීලයත් පිහිටියා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේටයි, භික්ෂු සංඝයාටයි පහුවදා දානයට ආරාධනා කළා. ආරාධනා කරලා මෙයා කරපු වැඩේ බලන්න. මෙයා නිර්භීත මනුෂ්‍යයෙක්. සේවකයකුට කතා කරලා “කඩේ විකුණන්න තියෙන මස් අරන් එන්න” කියලා දානයට හැදුවා.
දැන් ඔන්න සීහ සේනාපති බෞද්ධයෙක් වුණා කියලා නිගණ්ඨ නාතපුත්තටයි පිරිසටයි ආරංචි වුණා. මෙයා අසවල් කඩෙන් මස් ගෙනාවා කියලත් ආරංචි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේයි, රහතන් වහන්සේලායි දානයට වැඩම කළා. දැන් මේ මාර්ගඵල ලාභී ශ්රාවකයා දන් බෙදනවා. පෙළපාලියක් යනවා ඇහෙනවා. නිගණ්ඨ නාතපුත්රගේ ශ්‍රාවකයෝ ටික කෑ ගගහා යනවා, “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා ලොකු සතෙක් මරවලා. ආන්න වළඳනවෝ…” කියලා කෑ ගහගෙන ගියා. දැන් පාරේ පෙළපාලියක්. (බලන්න බුදුරජාණන් වහන්සේ මුහුණ දීපු දේවල්) මේකට මේ සීහ සේනාපතිතුමාගේ මාළිගාවේ සේවකයෝ බයවුණා. බයවෙලා ඇවිල්ලා කණට කරලා කිව්වා,
“හරි වැඩේනේ සේනාපතිතුමනි, අන්න නිගණ්ඨ පිරිස පෙළපාලි යනවා.”
“ආ…. උන්දැලගේ හැටි ඔහොම තමයි. උන්දැලා ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේටම බැන්නා මිසක් වෙන දෙයක් කළාද? දැනුත් ඒකනේ කරන්නේ. අපි එහෙම නෑ. අපි පංච සීල ප්‍රතිපත්තියේ පිහිටලයි ඉන්නේ. අපි සතුන් මරණ අය නෙවෙයිනේ.”
අන්න බලන්න වෙනස. ඒ සිද්ධිය මුල් කරගෙන තමයි, බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළේ, “මහණෙනි… (අදිට්ඨ, අසුත, අපරිසංඛිත) තමා උදෙසා මරණ බවට තමන් දැක්කේ නැත්නම් (අදිට්ඨ), තමා උදෙසා මැරුවා කියලා ඇහුවේ නැත්නම් (අසුත), තමා උදෙසා මරණ ලද දෙයක්ද කියලා සැකයක් නැත්නම් (අපරිසංඛිත), කෙලවර තුනකින් පිරිසිදු (ත්‍රිකෝටි පාරිශුද්ධි) මාංශය වැළඳීම අනුදනිමි” කියලා.
එහෙම නම් කවුරුහරි කෙනෙක් ‘තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාගේ දානය පිණිස අර සතාව අල්ලාපන්’ කියූ පමණින් පව් රැස්වෙනවා. ‘ඒ සතාව මෙහෙට අරගෙන වරෙන්’ කියූ පමණින් පව් රැස්වෙනවා. ‘ඒ සතා මරපන්’ කියූ පමණින් පව් රැස්වෙනවා. ඊළඟට ධාර්මිකව දන් වළඳන්නා වූ තථාගතයන් වහන්සේට හෝ ශ්‍රාවකයන් වහන්සේලාට ‘තමන් උදෙසා මරපු සත්තුන්ගේ මස් දැන දැන වළඳනවා’ කියලා කිව්වොත් ඒකත් ඒ විදිහේම පාපයක් කිව්වා.
මේ සිල්පද ගැන අපි අවබෝධයකින් ඉන්න ඕන කියන්නේ ඒකයි. මේ සිල් පදවල තව වචනයක් තියෙනවා, “භුජිස්ස” කියලා. ඒ කියන්නේ එයා ආර්යකාන්ත සීලයේ පිහිටියාට පස්සේ, ඒ සීලය ආරක්ෂා කරන්නේ, ‘මගේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ මම දෙවි කෙනෙක් වෙම්වා!’ කියලා හිතාගෙන නෙවෙයි. ‘මගේ මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ මට වෙන වෙන දේවල් ලැබේවා!’ කියලා හිතාගෙනත් නෙවෙයි. එයා පංචසීලයේ වාසය කරන්නේ සසර දුකින් මිදීමට හේතුවන්නා වූ අංගයක් හැටියටයි.
ඊළඟ එක එයා, (අපරාමට්ඨං) තමන් සීලයට බැඳිලා, ඒ සීලය මුල් කරගෙන තමන්ව හුවා දක්ව දක්වා අනෙක් අයව හෙළා දකින්නේ නෑ. එතකොට සීලය තියෙන්නේ තමන්ව හුවා දක්වා ගන්නත් නෙවෙයි. අනිත් අයව හෙළා දකින්නත් නෙවෙයි.
(සමාධිසංවත්තනිකං) එතකොට ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කිරීම තුළ, සොරකමින් වැළකී වාසය කිරීම තුළ, වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කිරීම තුළ, බොරු කීමෙන් වැළකී වාසය කිරීම තුළ, මත්පැන් හා මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී වාසය කිරීම තුළ මෙයාට මහත් සංතෝෂයක් හටගන්නවා. සතුටක් හටගන්නවා. ප්‍රීතියක් හටගන්නවා. අන්න ඒ ප්‍රීතිය හටගන්න කොට, යම් වේලාවක එයා බුද්ධානුස්සතිය වඩනවාද, යම් වේලාවක ධම්මානුස්සතිය වඩනවාද, යම් වේලාවක සීලානුස්සතිය වඩනවාද, යම් වේලාවක චාගානුස්සතිය වඩනවාද ඒ හැම අවස්ථාවකදීම එයාගේ සිතේ පසුතැවිල්ලක් ඇතිවෙන්නේ නෑ. “අනේ මේ.. මේ… ශික්ෂාපදය මගෙන් කැඩෙනවා නේද? මට මෙයින් හානියක් වෙලා තියෙනවා නේද?” කියලා පසුතැවිල්ලක් ඇතිවෙන්නේ නෑ.
‘සංඛධම සූත්‍රය’ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. එකේ නිගණ්ඨ නාතපුත්රගේ ප්‍රකාශයක් ගැන තියෙනවා. නිගණ්ඨ නාතපුත්‍ර කියලා තියෙනවා, “යමෙක් ප්‍රාණඝාත කරනවාද, සොරකම් කරනවාද, වැරදි කාමසේවනයේ යෙදෙනවාද, බොරු කියනවාද, මත්පැන් පානය කරනවාද, යමෙක් යමක් බහුල වශයෙන් කරනවාද ඒ හේතුවෙන් අනිවාර්යෙන්ම අපාගත වෙනවා” කියලා.
දවසක් නිගණ්ඨ නාතපුත්තගේ ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ, “නිගණ්ඨ නාතපුත්‍ර කොයි විදිහටද ශ්‍රාවකයන්ට කියන්නේ?” කියලා ඇහුවා. “ස්වාමීනී, මෙන්න මේ විදිහටයි කියන්නේ, ‘යමෙක් ප්‍රාණඝාතය කරනවාද, සොරකම් කරනවාද, වැරදි කාම සේවනයේ යෙදෙනවාද, බොරු කියනවාද, මත්පැන් බොනවාද, යමෙක් යමක් බහුල බහුල වශයෙන් කරනවාද, ඒ නිසා ඒ හේතුවෙන් එයා ඒකාන්තයෙන්ම නිරයේ උපදිනවා’ කියලා.”
එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා,
“පින්වත, නිගණ්ඨ නාතපුත්‍ර කියන්නේ එහෙම නම් එක්කෙනෙක් වත් නිරයේ යන්නේ නෑ.”
මොකද, මේකේ තියෙන්නේ යමෙක් ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, බොරු කීම, වැරදි කාමසේවනයේ යෙදීම, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන අකුසල් බහුල වශයෙන් කරනවාද ඒ අය දුගතිගාමී වෙනවා කියලනේ. බුදුරජාණන් වහන්සේ අහනවා,
“ප්‍රාණඝාතය කරන කෙනා දවසේ වැඩිපුර කාලයක් කරන්නේ ප්‍රාණඝාතය කර කර ඉන්න එකද, ප්‍රාණඝාතය නොකරන එකද?”
“ප්‍රාණඝාතය නොකරන එක.”
“හොරකම් කරන කෙනක් දවසේ වැඩිපුර ඉන්නේ හොරකම් කරන අවස්ථාවේද, හොරකම් නොකරන අවස්ථාවේද?”
“හොරකම් නොකරන අවස්ථාවේ.”
“වැරදි කාමසේවනයේ යෙදෙන කෙනා පැය විසිහතරෙම වැරදි කාමසේවනයේ යෙදෙනවද, නැත්නම් වැරදි කාමසේවනයේ නොයෙදෙන අවස්ථාද වැඩි?”
“නොයෙදෙන අවස්ථායි වැඩියි.”
“බොරු කියන කෙනා බොරු කියන වෙලාවද වැඩි බොරු නොකියන අවස්ථාද?”
“බොරු නොකියන අවස්ථා වැඩියි.”
“මත්පැන් බොන කෙනා මත්පැන් බොන කාලයද වැඩි, මත්පැන් නොබොන කාලයද?”
“මත්පැන් නොබොන කාලය”
“එහෙම නම් ඒ විදිහට යමෙක් යමක් බහුල වශයෙන් කරනවා නම් ඒකෙන් නිරයේ යනවා කියලා කිව්වොත් කවුරුවත් නිරයේ යන්නේ නෑනේ.”
බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “හැබැයි එයා ඒ හේතුවෙන් නෙවෙයි නිරයේ යන්නේ. කෙනෙක් නිගණ්ඨ නාතපුත්‍ර කෙරෙහි පහදිනවා. පැහැදිලා ඔය දේවල් අහලා මේ විදිහට හිතනවා, ‘මේ මාගේ ශාස්තෘන්වහන්සේයි. අහෝ..! මා අතින් ප්‍රාණඝාතය කෙරුණා. සොරකම් කෙරුණා. මම වැරදි කාම සේවනයෙහි යෙදුණා. යමෙක් මේ දේවල් කරනවා නම් ඒ ඔක්කෝම අපායේ යනවා. එහෙනම් මං අපායේ යාවි’ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, එයා අපායේ යන්නේ එයාගේ කෙරිල්ල නිසා නෙවෙයි, අර මතයට ආපු නිසයි” කියලා.
මේ වගේ සමහරුන්ව මට මුණගැහිලා තියෙනවා. කරවල මාළු අනුභව කරලා, “අනේ මට ප්‍රාණඝාතය වුණා” කියලා පසු තැවි තැවී ඉන්න අය ඉන්නවා. එයා ඒ මතයේ සිටීම අපායේ යන්න හේතුවක්. එයා ඒ මතයේ සිටීමෙන් අපායේ යනවා. එහෙම වෙන්නේ අධර්මයක් කෙරෙහි සිත පිහිටුවා ගෙන සිටීම නිසයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා,
“තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙවෙයි. තථාගතයන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහනවා. ප්‍රාණඝාතය එපා කියනවා. සොරකමට ගරහනවා. සොරකම එපා කියනවා. වැරදි කාම සේවනයට ගරහනවා. වැරදි කාම සේවනය එපා කියනවා. බොරුකීමට ගරහනවා. බොරුකීමට එපා කියනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චියට ගරහනවා. එපා කියනවා. එයින් මිදිලා වාසය කරලා, කුසල් වඩන්න” කියලා කියනවා.
එතකොට ශ්‍රාවකයෙක් ධර්මය අහන්න එනවා. එයා ප්‍රාණඝාතය කරපු කෙනෙක්. එයා ධර්මය ශ්‍රවණය කළාට පස්සේ ප්‍රාණඝාතය සිහි නොකොට, ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙනවා. සමාදන් වුණාට පස්සේ එයා “මම ප්‍රාණඝාතය කළා” කියලා සිහි කර කර, පසු තැවි තැවී ඉන්නේ නෑ. එයා හිතනවා, ‘මම ප්‍රාණඝාතය කෙරුවා තමයි. ඒක මගේ අතින් සිදුවුණු වැරැද්දක්. මං දැන් ඒකෙන් අත්මිදුණු කෙනෙක්. මම ඒකෙන් ගොඩ පැමිණි කෙනෙක්. මං අකුසලය බැහැර කරලා, කුසලයට පැමිණි කෙනෙක් වුණා.” ඒ විදිහට එයා අකුසලයෙන් මිදීම ගැන සන්තෝෂයක් ලබනවා. එතකොට එයාගේ හිතේ බලපවත්වන්නේ අකුසලය නෙවෙයි, කුසලය.
ඔන්න කෙනෙක් සොරකම් කර කර හිටියා. මෙයාට බුදුරජාණන් වහන්සේ “සොරකමින් වළකින්න” කියලා කළ අවවාදය අහන්න ලැබුණා. දැන් එයා සොරකමින් වැළකීමේ සිල්පදය ආරක්ෂා කරනවා. දැන් එයාට කලින් කළ සොරකම මතක් වෙනවා. එතකොට මෙයා හිතනවා, ‘සොරකම අකුසලයක්, මගේ අතින් ඒ අකුසලය වුණා. මම දැන් ඒ අකුසලයෙන් අත්මිදිලා සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ කුසලයට පැමිණුණා. මම දැන් ඒ කුසලය තුළ වාසය කරනවා’ කියලා. ඒ විදිහට එයා සොරකම ගැන සිහි නොකොට කුසලය සිහිකරනවා.
ඊළඟට කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙමින් හිටියා. එයාට ධර්මය අහන්න ලැබුණා. එයා කල්පනා කරනවා, ‘වැරදි කාම සේවනය අකුසලයක්. මගේ අතින් මේ අකුසලය කෙරුණා. නමුත් මම දැන් මේ අකුසලය බව හඳුනාගෙන, අකුසලයෙන් බැහැරවෙලා කුසලයේ පිහිටියා. එයින් වැළකුණා. කුසලයේ පිහිටියා.’ එයා ඒ විදිහට කුසලය සිහිකරනවා. අකුසලය අතාරිනවා.
ඊළඟට බොරු කියමින් සිටින කෙනෙක් හිටියා. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. පත්වෙලා කල්පනා කරනවා, ‘මම ඉස්සර බොරු කියමින් සිටි කෙනෙක්. දැන් මම බොරුවෙන් වැළකුණා. සත්‍ය කතා කරන, සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන, ඇත්ත කතා කරන යහපත් කෙනෙක් වුණා. මං අකුසලය ප්රහාණය කළා. කුසලයට පැමිණුනා.’
ඒ වගේම කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය බිබී හිටියා. මෙයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබිලා ඒක අකුසල් කියලා අවබෝධ කරගෙන ඒකෙන් වළකිනවා. පස්සේ එයාට මතක් වෙනවා, ‘මං මෙච්චර කාලයක් බිව්වා නේද?’ නමුත් එයා ඒක සිහිකරමින් ඒ මත්තේම පසු තැවි තැවී ඉන්නේ නෑ. එයා හිතනවා, ‘මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කීරීම අකුසලයක්. මගේ අතින් මේ අකුසලය සිදුවුණා. නමුත් දැන් මං ඒ අකුසලය ප්රහාණය කළා. කුසලයට පැමිණුනා. මම දැන් කුසල් වඩන කෙනෙක්.’
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ඊළඟට එයා මෙත් සිත වඩනවා. වඩන්නේ මේ විදිහට කියනවා. මනුෂ්‍යයෙක් හක් ගෙඩියක් අරගෙන උතුරු දිශාව බලාගෙන හක්ගෙඩිය පිඹින කොට ඒ ශබ්දය යන්නේ උතුරු දිශාව පැත්තට. දකුණු පැත්තට හැරිලා හක්ගෙඩිය පිඹින කොට ශබ්දය යන්නේ දකුණු දිශාව පැත්තට. නැගෙනහිර පැත්තට හැරිලා හක් ගෙඩිය පිඹින කොට ශබ්දය යන්නේ නැගෙනහිර පැත්තට. බටහිර පැත්තට හැරිලා හක් ගෙඩිය පිම්ඹහම ශබ්දය යන්නේ බටහිර පැත්තට.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා “ශ්රාවකයා මේ වගේ උතුරු දිශාවට, දකුණු දිශාවට, නැගෙනහිර දිශාවට, බටහිර දිශාවට, අනු දිශාවලට, උඩට, යටට මෛත්‍රියෙන් වාසය කරනවා” කියලා. ශ්රාවකයා අන්න ඒ විදිහට අකුසල් ප්රහාණය කරලා, කුසලයට පැමිණෙනවා. එතකොට අපට තියෙන්න ඕන, “මගේ අතින් අකුසල් වුණා. ඒක අකුසලයක්. නමුත් මම ඒ අකුසලය ප්රහාණය කළා, කුසලයට පැමිණියා” කියන අවබෝධය.
දවසක් අවුරුදු ගාණක් අට සිල් ගන්න අම්මා කෙනෙක් දුරකතනයෙන් මට කතා කරලා කියනවා, “අනේ ස්වාමීනී, මට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා.” මං ඇහුවා “මොකක්ද?” කියලා. “මගේ අතින් ප්‍රාණඝාතයක් වුණා.” “කොයි කාලෙද?” “ගොඩාක් කල්….” කාලයකට කලින් මීයෝ මරලා. දැන් ඒක හිත හිත ඉන්නවා.
දැන් එතකොට බලන්න අවුරුදු ගානක් සිල් සමාදන් වෙලා, සීලය රැකලා. නමුත් තමන් සමාදන් වුණේ මොකක්ද කියලා දන්නේ නෑ. ‘සිල් සමාදන් වීමෙන් තමන් පැමිණුනේ මොකේටද? ප්රහාණය වුණේ මොනවද?’ ඒ මොකුත් දන්නේ නෑ. ඒකෙන් තේරෙන්නේ අර ශික්ෂාපද ටික කියන්නන් වාලේ කිව්වා. සිල් රෙද්ද පොරොව ගන්නන් වාලේ පොරොව ගත්තා. කාලය ගත කරන්නන් වාලේ ගතකළා. නමුත් අකුසල් මතුවෙන කොට ඒක අකුසලයක් හැටියට හඳුනාගෙන, තමන් දැන් ඒ අකුසල් ප්රහාණය කරලා තිබෙන බවත්, කුසලයට පැමිණි බවත් සිහිකරන්න දන්නේ නෑ. ඔන්න වෙනස…
අපට සීලය ගැන මේ අවබෝධය තිබ්බොත් තමයි, සෝතාපත්ති අංගයක් හැටියට සීලය පුරුදු කරන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට සීලය පුරුදු කරනකොට ඔබේ ජීවිතය ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. සීලයෙන් වැඩෙනවා. එහෙම නම් දැන් ඔබට තේරෙනවාද ධර්ම ඤාණය නැතුව ශ්රද්ධාවට එන්නත් බෑ, සීලයට එන්නත් බෑ. ඒ ධර්ම ඤාණයට පාළියෙන් කියන්නේ ‘ශ්‍රැතය.’ ශ්‍රැතය කියන්නේ ශ්‍රවණයෙන් ලත් දැනුම.
දැන් බලන්න, බුදුරජාණන් වහන්සේගේ දේශණා ඇසුරෙන් අපි මේවා විග්රහ කරගත්තේ නැත්නම්, අපට මේක අවබෝධයකින් කරන්න හම්බවෙන්නේ නෑනේ. එහෙම වුණොත් අපි සිල් පදත් සමාදන් වෙයි. නමුත් අපට කුසල් අකුසල් වෙන් කරගන්න බැරුව යනවා.
දැන් අපි කුසලයේ පිහිටියා. අකුසලය ප්රහාණය වුණා. එතකොට ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. සීලයෙන් වැඩෙනවා. ශ්‍රැතයෙන් වැඩෙනවා. අනිවාර්යෙන්ම එහෙම කෙනෙක් දානාදී පින්කම් කරනවා. ත්‍යාගයෙන් වැඩෙනවා.
ඊළඟට එයා ප්‍රඥාවෙන් වැඩෙන්නත් ඕන. ප්‍රඥාවෙන් වැඩීම පිණිස ජීවිතය ගැන අනිත්‍ය වශයෙන් බලන්න ඕන. දැන් අපි ගත්තොත් ශ්‍රාවකයෙක් ඉස්සෙල්ලාම (බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති) බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. (ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති) ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. (සංඝේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති) ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඊළඟට බය වෛර ඇතිවන කරුණු පහ සංසිඳවූ කෙනෙක් වෙනවා. බය වෛර ඇතිවෙන කරුණු පහ කිව්වේ පංච දුෂ්චරිතයට. එයා පංච දුෂ්චරිතයෙන් අත්මිදුණු කෙනෙක් වෙනවා. එතකොට එයා පංච සීලයට පැමිණි කෙනෙක්. එතකොට එතැන කරුණු හතරක් තියෙනවා.
ප්‍රඥාවට සම්බන්ධ එක තමයි, එයා (අරියෝ ඤායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්ධෝ) ආර්ය න්‍යාය අවබෝධ කරන්න ඕන. ආර්ය න්‍යාය අවබෝධ කරනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ කිරීමයි.
ඔබ මේ දවස්වල ඉගෙන ගත්තේ සෝතාපත්ති අංග ගැනයි. මේ අංග මොන විදිහටද පවත්වන්න ඕන කියලා දැන් ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි.
බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉසිදත්ත කියලා කෙනෙක් හිටියා. එයා ගිහි ශ්‍රාවකයෙක්. මෙයා සෝතාපන්න කෙනෙක්. එයා රස්සාව හැටියට කළේ කොසොල් රජතුමාගේ අන්තඃපුර කුමාරිකාවන්ව ඇතා පිටේ නග්ගන එකත්, ඇතා පිටින් බස්සවන එකත්. බලන්න, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ අභිමානය. දවසක් මෙයා බුදුරජාණන් වහන්සේට කියනවා, “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම මේ ධර්මයට ආපු දවසේ ඉඳලා දුෂ්කර දෙයක් කළා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අන්තඃපුර කුමාරිකාවන් ඇතාගේ පිටේ නගින්නට එනකොට, එවෙලේම පියන ඇරපු සඳුන් කරඬුවක සුවඳයි එන්නේ. මං මගේ හිත ඒකට සම්බන්ධ කළේ නෑ. ඒ වගේම ස්වාමීනී, මම ඒ කුමාරිකාවන්ව අතින් අල්ලලා ඇතාගේ පිටේ නග්ගවන කොට මගේ අත් දෙකට දැනෙන්නේ, සියක් වාරයක් පොළාපු සිනිඳු පුළුන්වල පහස. නමුත් මම කවදාවත් ඒ නැගණිවරුන් කෙරෙහි රාග චිත්තයක් ඉපැද්දුවේ නෑ. (බලන්න මේ මේ කියන්නේ බුදු සසුනේ ගිහි ශ්රාවකයින් ගැන) ස්වාමීනී, මං ඔය විදිහටයි මගේ සිත ආරක්ෂා කළේ.”
බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන එවැනි විස්මිත කරුණු බුද්ධ දේශනා තුළ තියෙනවා. ඔබ මේවා ඇහැව්වේ නැත්නම්, බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි අය කොහොමද ජීවත් වුණේ කියලා දන්නේ නෑනේ. මොකද, අපි හැමදාම අහලා තියෙන්නේ විශාඛා ගැනයි, අනාථපිණ්ඩික සිටුතුමා ගැනයි විතරනේ. (ඒවත් හරියට නෙවෙයි)
නමුත් මේවා තමයි අපි අහගෙන, අවබෝධ කරගෙන, තේරුම් ගන්න ඕන දේවල්. බුදුරජාණන් වහන්සේ කාටවත් විශාඛා වගේ වෙන්න කියලා කියලා නෑ. කාටවත් අනාථපිණ්ඩික සිටුතුමා වගේ වෙන්න කියලා කියලා නෑ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ, යම්කිසි ගිහි ශ්‍රාවිකාවක් ඉන්නවා නම්, තමන්ගේ දියණියකට මෙහෙම උපදෙස් දෙන්න කියලයි. ඒ සෝවාන් වූ ශ්‍රාවිකාව තමන්ගේ දුවට කිව යුත්තේ “දුවේ, ඔයා ඛුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙන්න, නැත්නම් වේළුකණ්ටකී නන්දමාතා වගේ කෙනෙක් වෙන්න” කියලයි. කාටවත් විශාඛා වගේ වෙන්න කියලා නෑ. ඛුජ්ජුත්තරා වගේ වෙන්න කියලා නම් තියෙනවා.
ඛුජ්ජුත්තරා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ කාලේ චණ්ඩ පජ්ජෝත උදේනි නුවර ‘උදේනි’ රජ්ජුරුවන්ගේ මාළිගාවේ හිටපු බිසවුන් වහන්සේලාට මල් ගෙනියපු දාසිය. ඒ සඳහා මෙයාට දවසකට කහවණු හතරක් හම්බවෙනවා. මෙයා ඒකෙන් කහවණු දෙකක් ඉණේ ගහගන්නවා. ඉතිරි කහවණු දෙකට තමයි මල් ගෙනියන්නේ. එහෙනම් මෙයා කලින් සොරකම් කර කර හිටපු කාන්තාවක්.
දවසක් මෙයාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. අහලා සෝතාපන්න ශ්‍රාවිකාවක් වුණා. ඔන්න සෝතාපත්ති අංග හතර පිහිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදය, ධර්මය කෙරෙහි අවෙච්ච ප්‍රසාදය, ආර්ය සංඝයා කෙරෙහි අවෙච්ච ප්‍රසාදය, ආර්යකාන්ත සීලය පිහිටියා.
එදා එයා කෙලින්ම මල් කඩේට ගියා. කහවණු හතරේම මල් ගත්තා. අරගෙන ගිහිල්ලා ‘සාමාවතී’ ප්‍රධාන බිසවුන් වහන්සේලාට දුන්නා. සාමාවතිය ඒ මල් දැකලා, ඛුජ්ජුත්තරාගෙන් අහනවා,
“ඛුජ්ජුත්තරා, මොකද මේ අද වෙනද දෙන මල් වගේ දෙගුණයක්?”
“බිසවුන් වහන්ස, මම මීට කලින් හැමදාම කහවණු දෙකක් හොරකම් කළා. මම දැන් ඒ ජීවිතයෙන් අත්මිදුණා. මගේ අතින් ආයේ කිසි දවසක එහෙම වෙන්නේ නෑ.”
මෙයා මේ විදිහට විවෘතව, අවංකව කතා කරපු එකට සාමාවතී පැහැදුණා.
“ඛුජ්ජුත්තරා, උඹ කොහොමද එක පාරට මේ තත්ත්වයට පත් වුණේ? උඹේ මේ වෙනස මොකක්ද?”
“දේවීන් වහන්ස, මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. මං ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන ශ්‍රාවිකාවක් බවට පත්වුණා. මගේ අතින් ආයේ ඕක වෙන්නේ නෑ.”
“අනේ ඛුජ්ජුත්තරා, මීට පස්සේ මං නුඹට කහවණු අටක් දෙන්නම්. මල් ගේන්න හතරයි, නුඹට හතරයි. නුඹ ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අපට ඇවිල්ලා කියාදෙන්න.”
ඊට පස්සේ ඛුජ්ජුත්තරා මල් ගේන්න යන ගමන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. අහලා මාළිගාවට එනවා. සාමාවතී ප්‍රධාන බිසවුන් වහන්සේලා මේ විස්තර දන්නේ නෑනේ. ඒගොල්ලෝ ඉතින් ලොකු පුටුවල වාඩිවෙලා ඛුජ්ජුත්තරාට “ධර්මය කියන්න” කිව්වා. ඛුජ්ජුත්තරා කියනවා,
“ධර්මය එහෙම කියන්න බෑ. ධර්මය කියනවා නම්, ධර්මය කියන කෙනා උස ආසනයක ඉන්න ඕන. ධර්මය අහන ඔබලා මිටි ආසනවල ඉන්න ඕන.” (බලන්න මේ මල් ගෙනාපු දාසිය) “හොඳයි” කිව්වා. දැන් දාසිය උස ආසනයක ඉඳගෙන, අරගොල්ලෝ බිම වාඩිවෙලා. දැන් ඛුජ්ජුත්තරා තමයි ධර්ම දේශනා කරන්නේ. මේ අර කලින් හොරකම් කර කර හිටපු ගෑණු කෙනා. දැන් එයා තමයි පන්සීයක් අන්තඃපුර කුමාරිකාවන්ට ධර්ම දේශනා කරන්නේ. ඛුජ්ජුත්තරාගෙන් බණ අහලා ඒ ඔක්කෝම අය ශ්රද්ධාවට පැමිණුනා. සීලයට පැමිණුනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුනා.
ඔබ දන්නවා ඇතිනේ, මාගන්දියා කියලා බොහෝම රූපේ ලස්සන කාන්තාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන, උදේනි රජ්ජුරුවන්ගේ අගබිසව බවට පත්වෙලා සාමාවතී ප්‍රධාන පන්සීයක් අන්තඃපුර ස්ත්‍රීන්ව සම්පූර්ණයෙන්ම තෙල් වක්කරලා ගිනි තියලා පණ පිටින් මැරුවනේ. මාගන්දියා එයාගේ පවුලේ කට්ටිය සම්බන්ධ කරගෙන, මාළිගාවේ ඔක්කෝම කණුවල තෙල් පාංකඩ ඔතලා මේගොල්ලන්ව ඇතුළට දාලා, දොරවල් වහලා, ගිනි තියලා මැරුවා. බලන්න රූපය ලස්සන වුණාට හිත ලස්සන නැති වුණාම වෙන දේ. ඒ වෙනකොට ඛුජ්ජුත්තරාගෙන් ධර්මය අහලා එතැන පෘතග්ජන කවුරුවත් හිටියේ නෑ. ඒගොල්ලෝ ඔක්කොම කතා වුණා, “දැන් අපිට මැරෙන්නයි සිද්ධ වෙන්නේ. අපි කුසල් සිත පිහිටුවා ගෙන මැරෙමු.” ඒ සියලූ දෙනාම මාර්ගඵල ලාභීන් හැටියට මැරුණා. ඒගොල්ලන්ගේ ජීවිතවලට සංසාරයේ ඒ ප්රශ්නය නැවත ආවේ නෑ.
එතකොට ඛුජ්ජුත්තරා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දරාගෙන, ඒ ධර්මය පැතිර වූ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ඇය බුදු සසුනේ අනාගාමී ශ්‍රාවිකාවක්. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ඛුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙන්න කියලා ගිහි ශ්‍රාවිකාවන්ට උපදෙස් දුන්නේ. අද අපට එහෙම අය දකින්නවත් ඉන්නවාද? හීනෙන්වත් පේන්නේ නෑනේ. බලන්න කොයිතරම් වෙනස්ද?
ඊළඟට ‘වේළුකණ්ටකී නන්ද මාතා’ වගේ වෙන්න කීවා. වේළුකණ්ටකී නන්ද මාතාව කියන්නෙත් අනාගාමී ඵලය දක්වා හිත දියුණු කරපු කෙනෙක්.
ඊළඟට බුදුරජාණන් වහන්සේ ගිහි උපාසක මහත්වරුන්ට චිත්ත ගෘහපති වගේ වෙන්න කිව්වා. අනාථපිණ්ඩික සිටුතුමා වගේ වෙන්න කීවේ නෑ. මොකද, චිත්ත ගෘහපති කියලා කියන්නේ ගිහි ශ්‍රාවකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහගෙන, බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවාගෙන අනාගාමී ඵලයට පත්වෙලා ප්‍රඥාවෙන් අගතැන්පත්ව වාසය කරපු උපාසක මහත්මයෙක්.
ඊළඟට හත්ථාලවක උග්ග සිටුවරයා වගේ වෙන්න කිව්වා. එයත් අනාගාමී තත්වයට පත්වූ කෙනෙක්. එතකොට අපිට පේනවා, බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ බඹලොව ඉපදීමක්. ඒ වගේ ලොකු ඉලක්කයක් දෙන්නේ, එතකොට එයා උත්සාහ කරන නිසයි.
පැවිදි අයට දේශනා කළේ, “සැරියුත් – මුගලන් වහන්සේලා වගේ වෙන්න” කියලයි. භික්ෂුණීන්ට දේශනා කළේ ඛේමා – උප්පලවණ්ණා වගේ වෙන්න කියලයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ තේරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “මේක තමයි තුලාව. මේක තමයි මිම්ම. දැන් අපි ඒකට සිංහලෙන් කියන්නේ ‘පරමාදර්ශය’ කියලා. පරමාදර්ශය කියලා කියන්නේ අපි අසවල් කෙනා වගේ වෙනවා කියලා තෝරා ගැනීමට. එතකොට ධර්මයට ආපු ශ්රාවකයාට, ‘මම චිත්ත ගෘහපති වගේ වෙනවා. මම හත්ථාලවක උග්ග වගේ වෙනවා’ කියලා හිතන්න කිව්වා. එහෙම හිතන්න නම් ඒගොල්ලෝ ගැන දැනගන්න එපැයි. ගිහි ශ්‍රාවිකාවන්ට ‘මම ඛුජ්ජුත්තරා වගේ, වේළුකණ්ටකී නන්දමාතා වගේ වෙනවා’ කියලා හිතන්න කියලා කිව්වා.
එතකොට මේකෙන් අපට පේනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළට පැමිණි අයගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණ දේ.
දැන් මේ යුගයේ මේ වෙනකොට බුද්ධ ශාසනය කියන්නේ නිවීගෙන යන පහනක් වගේ දෙයක්. නිවීගෙන යන පහන එළිය දෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ එළිය දෙන ටික කාලෙදී ලෝකය බැලූවොත් විතරයි. ඊට පස්සේ නෑ. ඒ නිසා අනාගතයේ තියෙන්නේ ගෞතම බුදු සසුන බබලන ලෝකයක් නෙවෙයි. අද පොඩ්ඩක් හරි මේ මට්ටමෙන් ධර්මය කතා කරනවා. නමුත් මීට අවුරුදු ගණනාවකට කලින් අපි ගත්තොත් එහෙම, මීට අවුරුදු සීයකට කලින් අපි මනුස්ස ලෝකයේ හිටියා නම් අපි කොයි වගේ ජීවිතයක් ගෙවාවිද? මීට අවුරුදු සීයකට කලින් අපි ලංකාවේ හිටියා නම් (ඒ කිව්වේ 1900 වගේ) අපිට මොකුත් නෑ. මීට අවුරුදු දෙසීයකට කලින් හිටියා නම්, ඒත් මුකුත් නෑ. මීට අවුරුදු තුන්සීයකට කලින් හිටියා නම්, ඒත් මුකුත් නෑ. මීට අවුරුදු පන්සීයකට කලින් හිටියා නම්, ඒත් එච්චරයි. ඒ ඔක්කෝම කාල, ලංකාව යුද්ධවලට මුහුණ දීපු කාල පරිච්ඡේද. මීට අවුරුදු දාහකට කලින්, ඒත් පොළොන්නරු යුගයේ යුද්ධ කාලේ.
එහෙම නම් අපිට ඒ වගේ කාලයක ඉපදිලා, මාර්ගය ගැන කතා කරන්න කවුරුවත් ඉඳලා නෑ. එතකොට මේ ඒ ඔක්කෝගෙන්ම අත්මිදිලා ආපු කාලයක්. අපේ ඉතිහාසේ අරගෙන හොඳට බැලූවොත් එහෙම මේ කරදර අඩුවෙන් තියෙන කාලයක්.
එතකොට මේ කාලේ තුළ තමයි ලෝකයේ මිනිස්සු වැඩිපුරම දැනුමෙන් වැඩි කාලය. වාසනාවට මේ කාලේ තමයි ධර්මය පොඩ්ඩක් හරි මතුවුණ කාලෙත්. මොකද, අපි ගත්තොත් පොළොන්නරු යුගය කියන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න ඕන කියන අදහස අත්හැරපු යුගයක්. ඒ කාලේ ජනප්‍රිය වුණේ බුදුබව පැතීම. මොකද, ඒ වෙනකොට ඉන්දියාවෙන් ඇති වූ මහායාන බලපෑම ආවා.
ඊට පස්සේ කාලයක් යනකොට කුරුණෑගල යුගයේ ජනප්‍රිය වුණේ මෛත්‍රී වර්ණනාව. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් කියන අදහස. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ආපු අදහස ඉවර වුණා. ‘ධර්මය අවබෝධ කරන යුගය ඉවරයි. ඉවර වුණේ මලියදේව මහරහතන් වහන්සේගෙන්. මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම ශ්රාවකයා. එතැනින් පස්සේ ඉවරයි. ඒනිසා අපට එතැනින් පස්සේ කතා කරන්න බෑ’ කියලා පැතිරුණා.
ඔහොම තමයි අපි අහගෙන හිටියේ. නමුත් ඊට පස්සේ 2500 බුද්ධ ජයන්තියත් එක්ක ලෝකයේ යම්කිසි ප්රබෝධයක් ඇති වුනාණේ. ඊට පස්සේ තමයි බුද්ධ දේශනා පරිවර්තනය වුණේ. ඊට පස්සේ මේ පොත්පත් හැමතැනම පැතිරෙන්න පටන් ගත්තා. මේ පොත්පත් පරිවර්තනය වී නොතිබුණා නම් අපි දන්නෙත් නෑනේ. අපට කියවන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑනේ. දැන් තමයි අපට තේරෙන්නේ. එහෙම නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය, මේ යුගයේ බොහෝම සුළු පිරිසකටයි නිවැරදිව අහන්න ලැබුණේ.
ඉතින් ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, අපට දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දුර්ලභ ධර්මයක් ඉගෙන ගන්න, ධර්මය ප්‍රගුණ කරන්න, සෝතාපත්ති අංග ඇති කරගන්න දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ‘මේ දුර්ලභ අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත්වෙලා, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත්වෙලා, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත්වෙලා, ආර්යකාන්ත සීලය ප්‍රගුණ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නවා’ කියලා අධිෂ්ඨාන කරගන්න.
සාදු! සාදු!! සාදු!!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්