ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

සුගිය ලිපි වලින් අපි විස්තර කළේ ශ‍්‍රාවක සංඝගුණ ගැන. “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ” එතකොට කවුද මේ ශ්‍රාවක සංඝරත්නයට අයිති වන්නේ? ඒ ශ‍්‍රාවක සංඝයා කවුද? (යදිදං චත්තාරි පුරිස යුගානි) යුගල වශයෙන් හතරයි. ‘පුරිස යුගල’ කියලා කියන්නේ, සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා, සෝවාන් ඵලයට පත්වූ කෙනා එක යුගලයක්. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා, සකදාගාමී ඵලයට පත්වූ කෙනා දෙවෙනි යුගලය. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමී ඵලයට පත්වූ කෙනා තුන් වෙනි යුගලය. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා, අරහත් ඵලයට පත් රහතන් වහන්සේ හතර වෙනි යුගලය. යුගල වශයෙන් හතරයි. පුද්ගල වශයෙන් අටයි. (අට්ඨපුරිස පුග්ගලා) කවුද ඒ…? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත් වූ කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමී ඵලයට පත් වූ කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමී ඵලයට පත් වූ කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. අරහත් ඵලයට පත් වූ කෙනා.

එතකොට පින්වත්නි, අපි මුලින්ම ඉගෙන ගත්ත නේද බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන? මේවා කවුරුවත් දීපු titles නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් වෙන කෙනෙක් ගැන නම් අපිනේ කියන්නේ අසවලා…… අපි ඔය කියන්නේ එක එක සම්මාන දෙන්නේ නේද? අපි ඔය එක එක ඒවා කියනවානේ PhD, MBBS කිය කියා අපි කියනවනේ. එතකොට අපි මොනව හරි කරලා ගන්න titles.

මේවා එහෙම නෙවෙයි මේවා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් හඳුන්වා දීපු ගුණ. දැන් “ඉතිපි සෝ භගවා අරහං….” ආදී ගුණ නවය බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ බුදු මුවින් හඳුන්වා දීපු ගුණ නවය. ධර්මයේ තිබුණු “ස්වාක්ඛාත සන්දිට්ඨික අකාලික…….” ආදී ගුණ බුදු මුවින්ම මෙන්න මේ මේ ගුණ මේ ධර්මයේ තියෙනවා කියලා හඳුන්වා දුන්නා. ශ‍්‍රාවක සංඝයාගේ ගුණ බුදු මුවින් හඳුන්වා දුන්නා. මේක දන්නෙ නැති අය සමහර වචනවල එල්ලිලා ඉන්නවා. ඕකෙ තියෙනවනේ… ‘අට්ඨපුරිස පුග්ගලා.’ පුද්ගලයෝ කොහෙද ඉන්නෙ කියලා අහනවා. ඔතන තියෙන්නෙ නාම රූප දෙකක් විතරනේ. ඔහොම දොඩවන අය ඉන්නවා හරියට මේ කාලේ.

එතකොට, (අට්ඨපුරිස පුග්ගලා) මේ පුරිස පුද්ගලයෝ අටයි කියන වචනය පාවිච්චි කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි හඳුන්වල දුන්නෙ ශ‍්‍රාවකයන්ගේ මෙන්න මේ ගුණ තියෙනවා කියලා.

එතකොට අපි ඒක තේරුම් ගන්න ඕන. ඔය සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න කියන ගුණ දරන්නා වූ සෝවාන්, සකදාගමී, අනාගාමී, අරහත් යන ශ‍්‍රාවකයන් වහන්සේලා, උන්වහන්සේලා තමයි ආහුණෙය්‍ය. ආහුණෙය්‍ය කියන්නේ දාන මාන සකස් කරලා, උන්වහන්සේලා ඉන්න තැන් හොයා ගෙන ගිහිල්ලා, පූජා කරන්න සුදුසුයි. ආහුණෙය්‍ය කියන්නේ ඒක. දුර සිට වුනත් දන් පැන් ගෙනවුත් පූජා කරන්න සුදුසුයි.

බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගුණ හඳුන්වාදීම හරි පිහිටක් වුනා සාමාන්‍ය මිනිසුන්ටත්, ශ‍්‍රාවකයින්ටත්. ඒ කියන්නේ ඒ අර්ථ දන්න නිසා මිනිස්සු ගොඩාක් පිං කරගත්තා.

පාහුණෙය්‍ය කියන්නේ හදිස්සියෙවත් ගෙදරට ආවොත් එයා ආගන්තුකයෙක්නේ. හදිස්සියේවත් ගෙදරට ආවට පස්සේ තියෙන දේවල් වලින් සළකන්න සුදුසුයි කියන එකයි. පාහුණෙය්‍ය කියන්නේ ආගන්තුක සත්කාරයට සුදුසුයි. දැන් ශ‍්‍රාවකයන් වහන්සේ නමක් පිඬු සිඟා ගෙන යද්දි ගෙදරකට හැරෙනවා. එතකොට ඒ ගෙදරට ආපු ආගන්තුකයෙක්. එතකොට දානෙ පූජා කරනවා.

දැන් අපි නම් දන්නවා. බෞද්ධ සමාජයේ අපි ඉගෙනගෙන දන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් අලූතින්ම මේක ‘අ’ යන්නෙ ඉඳලා හැමදේම උන්වහන්සේ කියා දුන්නනේ. උන්වහන්සේට හැමදේම කියාදෙන්න සිද්ධ වුනා. දැන් සමහර බ්‍රාහ්මණ ගම් තියෙනවා ඒ ගම්වලට එන්න දෙන්නේ නෑ.

දැන් බලන්න, මේ පාහුණෙය්‍ය ගුණය මතුවෙච්ච තැනක්. ගමක් තිබුනා ‘ථූන’ කියලා. ථූන කියන ගම තනිකරම බමුණන්ගේ ගමක්. බමුණෝ කියලා කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙවෙයි. මිනිස්සුමයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ high cast කියලා. කොච්චරද high cast ද කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ (බ්‍රාහ්මණස්ස මුඛමාසි) බමුණන්ගේ කටින් ඉපදිච්ච අය. මහා බ්‍රහ්මයාගේ කටින්, මහා බ්‍රහ්මයා වමනේ දාපු අය. එතකොට, මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිලා. ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ තමයි ලෝකේ ඉන්න උසස් අය… අනිත් ඔක්කෝම ඒගොල්ලෝ යටතේ සේවය කරන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මේකට උන්වහන්සේ හොඳ කථාවක් දේශනා කළා. මොකක්ද ඒ? උන්වහන්සේ දේශනා කළා. (න ජච්ඡා වසලෝ හෝති) උපතින් වසලයෙක් වෙන්නෙ නෑ. (න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ) උපතින් බ‍්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ. (කම්මනා වසලෝ හෝති) කි‍්‍රයාවෙන් තමයි වසලයෙක් වෙන්නේ. (කම්මනා හෝති බ්‍රාහ්මණෝ) ක‍්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ (මේවා හොඳට වැදුනා කස පාරවල් වගේ)

ඉතින් බුදුරජාණන් වහන්සේට ඔය ථූන කියන ගම හරහා චාරිකාවක් තිබුනා. ගමේ මිනිස්සු සංවිධානය වුනා, බමුණො ටික සංවිධානය වුනා ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේට, ශ‍්‍රාවකයෙකුට වතුර බිංදුවක්වත් මේ ගමෙන් දෙන්නේ නෑ කියලා. සංවිධානය වෙලා ගමේ ඔක්කෝම කිව්වා වතුර බිංදුවක් දෙන්න එපා මේගොල්ලන්ට. ඉතින් කිව්වා මේගොල්ලෝ වතුර බොයිනේ මේ ළිං වලින් කියලා. ඒ නිසා ළිං වහපල්ලා පිදුරු දාලා කිව්වා.

දැන් ඔන්න ආරංචි වුනා, හෙට වඩිනවා කියලා. ඔක්කොම ළිං ටික පිදුරු දාලා වැහැව්වා. දැන් බලන්න ඒ කාලේ මහා කාරුණිකයන් වහන්සේව හඳුනගන්න බැරි වුනා මේ මිනිසුන්ට. බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩියා. ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළා. “ආනන්දය, පිපාසයි පැන් ටිකක් අරගෙන එන්න” කිව්වා. ආනන්ද හාමුදුරුවෝ පාත්තරේ අරගෙන ගියා ළිඳක් ගාවට. පිදුරු දාලා වහලා. ඊළඟ ළිඳ ගාවට ගියා. පිදුරු දාලා වහලා. බැලූවා හොයා ගන්න කවුරුත් නෑ පේන්න. ආපහු හැරිලා ආවා. ඇවිල්ල කිව්වා “ස්වාමීනී, හරි වැඩක්නේ, පිදුරු දාලා ළිං ඔක්කෝම වහලා කිව්වා.”

“එහෙනම් ඉස්සෙල්ල ගිය ළිඳට ආයෙත් යන්න බලන්න” කිව්වා. ඒ ළිඳ ගාවට යන කොට… පින්වත්නි, පිදුරු ටික ඔක්කෝම වතුරෙන් උඩට ඇවිල්ලා. වතුර උතුරලා යනවා… ඉතින් ආනන්ද හාමුදුරුවෝහරි සතුටින් “අනේ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ බුදු කෙනෙකුගේ ගුණයක්… මේ මහ පොළොවට තේරෙනවා…” කියලා පැන් අරගෙන ගිහිල්ලා පූජා කරනවා.

එක රහතන් වහන්සේ නමක් පැන් ටිකක් හොයාගන්න ගමේ ඇවිදිනවා. කවුරුත් නෑ වතුර දෙන්න කෙනෙක්. මේ රහතන් වහන්සේ එක්තරා මිදුලක් ගාවට ආවා. කලන්තෙ හැදිලා වැටුනා. වැටුනට පස්සේ එක් උපාසිකාවක් හිටියා වචනයෙන් අහලා මේ ශ‍්‍රාවක සංඝයා ගැන පැහැදිච්ච කෙනෙක්. මෙයා බැමිණියක්. මෙයා කල්පනා කළා, රහතන් වහන්සේ නමක් වැටුනා. මොනවා වුනත් කමක් නෑ කියලා ගියා. වතුර ඉල්ලනවා. දැන් වතුරවත් දෙන්න එපා කියලනෙ තියෙන්නේ. ඉතින් එයා මොකද කළේ? කෙළින්ම ගියා ළිඳට. ගිහිල්ලා පිදුරු අස්කරලා, වතුර පොඩ්ඩක් අරගෙන ආවා. පූජා කළා “ස්වාමීනි, මේක පිළිඅරගෙන වළඳන්න” කියලා. උන්වහන්සේත් වළඳලා වැඩම කළා. හොරෙන් මෙයා මේක කළේ. (ඔය වගේ ඒවා හොරෙන් කරන්න බෑනේ.) ආරංචි වුනා. ඉතින් බුදුරජාණන් වහන්සේයි, රහතන් වහන්සේලායි මේ මූසල ගමේ හිටියේ නෑ. වැඩම කළා.

ඊට පස්සේ ගම්මු රැස්වුනා. රැස්වුනේ මොකද මේ? දඬුවම් දෙන්න. කාටද? මේ ගමේ එක්තරා කාන්තාවක් තමන්ගේ නීතියෙන් පිට පැනලා. ඊට පස්සේ බමුණෝ ටික එකතුවෙලා කිව්වා. “මේ කාන්තාව බරපතල වරදක් කරලා තියෙනවා. ගල් ගහලා මරාපන්” කියලා. ගල් ගහලා මැරුවා. එයා ඉපදුනා ගිහිල්ලා එවේලේම දිව්‍ය ලෝකෙ. බලන්න පාහුණෙය්‍ය ගුණය අර රහතන් වහන්සේට තිබිච්ච නිසා, මොකක්ද කළේ? ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. කලන්තෙ දාලා වැටුනා. වතුර ටිකක් පූජා කළා. හිතුවද දිව්‍ය ලෝකේ තමන් යයි කියලා? පාහුණ්‍යෙය ගුණය මතුවෙච්ච තැනක්. හදිසියේවත් නිවසට වැඩම කළොත් උපස්ථාන කිරීමට සුදුසුයි. පාහුණ්‍යෙය.

එතකොට තුන්වැනි එක (දක්ඛිණෙය්‍ය) දක්ෂිණාවන් දෙන්න සුදුසුයි. මේ දක්ෂිණාවන් කියන්නේ දාන. දානයක් පූජා කරන්න සුදුසුයි. දක්ෂිණා කියන එකෙන් අදහස් කරන්නේ, පිං රැස් කරගන්න දෙන්න සුදුසුයි. පිං රැස් කරගැනීම පිණිස, පින් රැස්කරගන්න ඕන කියන අදහසින් ඔය කියාපු මාර්ගඵල ලාභී උත්තමයන් වහන්සේලාට දානෙ හදලා පූජා කරන්න සුදුසුයි. දක්ඛිණ්‍යෙයෝ.

(අංජලිකරණීය) අංජලීකරණීය කියලා කියන්නේ අත් දෙක උස්සලා වන්දනා කරන්න සුදුසුයි. එතකොට ඒකට අයිතිවෙනවා ආසනයෙන් නැගිටීම, ගෞරව දැක්වීම ඒ ඔක්කොම අයිතිවෙනවා.

එතකොට ඒ ශ‍්‍රාවකයන් වහන්සේලා (අනුත්තරං පුඤ්ඤඛෙත්තං ලෝකස්ස) ලෝකයට උතුම් පින්කෙත. ඒ වචන ඔක්කෝම බුදුරජාණන් වහන්සේගේ.

එතකොට පින්වත්නි, මේ විදිහට ඔබ රහතන් වහන්සේ නමකගේ අවබෝධය, රහත්වීම පිණිස භික්ෂූන් වහන්සේ නමක් ඇතිකරගෙන දියුණු කරගෙන ගියපු වැඩපිළිවෙල සහ ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ කියන මේ ටික ඉගෙනගන්නකොට ඔබට ඇතිවුනේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් ගැන පැහැදීමක්ද? කළකිරීමක්ද? පැහැදීමක්නේද ඇති වුනේ? අන්න ඒ පැහැදීම තමයි ශ‍්‍රාවක සංඝයා කෙරෙහි පහදිනවා කියන්නේ.

බලන්න… ඒ ශ‍්‍රාවක සංඝයා කෙරෙහි විශාඛාව තුළ පැහැදීම තිබිච්ච හැටි. විශාඛාව බුදුරජාණන් වහන්සේගෙන් වර කිහිපයක් ඉල්ලූවා. ඒ ඉල්ලපු එකක් තමයි, “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ආගන්තුකව මේ සැවැත් නුවරට වඩින සියලූම ස්වාමීන් වහන්සේලා මගේ මේ පූර්වාරාමයට වැඩම කරලා ආගන්තුක දානය වළඳන්න, ආගන්තුක දානය දීමේ අවසරය මට දෙන්න” කිව්වා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා. “විශාඛා, ඉතින් මේ සැවැත් නුවරට එක එක දිශාවලින් ස්වාමීන් වහන්සේලා වඩිනවානේ. ඉතින් ආගන්තුක දානෙ දෙන්න ඔයාට මොකක්ද මේ ඔච්චර ආශාව?” කියලා ඇහුවා.

ඊට පස්සේ විශාඛා කිව්වා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔය නා නා දිශාවලින් වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලා ආගන්තුක දානය වළඳන ශාලාව තියෙන්නේ මගේ අසපුවේ නම්, උන්වහන්සේලා ආගන්තුක දාන වළඳන්නේ එහෙදියි. ස්වාමීනි, ඊට පස්සේ අපට ආරංචි වෙනවා අසවල් අසවල් ප‍්‍රදේශයේ, අසවල් අසවල් ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පෑවා කියලා. ස්වාමීනී, ආරංචි වෙනකොට මං හොයලා බලනවා උන්වහන්සේලා සැවැත් නුවරට කවදහරි වැඩල තියෙනවාද කියලා.

එතකොට මට ආරංචි වෙනවා සැවැත්නුවරට වැඩල තියෙනවා කියලා. එතකොට මං දන්නවා සැවැත්නුවර වැඩියා නම් අනිවාර්යෙන්ම පූර්වාරාමයට ඇවිල්ලා දානෙ වළඳනවාමයි. මොකද ආගන්තුක දානෙ දෙන්නේ මමනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දානෙ වළඳනවා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ මගෙන් දානෙ වළඳලා තියෙනවා කියලා හිතන කොට, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට ඒකමයි ප‍්‍රීතිය. මට ඒකමයි සතුට. මං ඒ සංතෝෂයෙන් දවසම ඉන්නවා. මට ඒ සඳහායි මේ ආගන්තුක දානෙ දෙන්න අවසර ඉල්ලූවේ” කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ “සාදු! සාදු!!” කියලා අවසර දෙනවා. එතකොට බලන්න මේ ශ‍්‍රාවකයන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගෙන හිටපු කාලේ, අවබෝධයෙන් තිසරණය පිහිටපු අයගේ ලක්ෂණ.

දැන් අපි ගනිමු බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් ‘සුභද්‍රා’ කියලා. කසාද බන්දලා දුන්නා නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවක පවුලකට. ඒ සාකේත නුවරට. සැවැත්නුවර ඉඳලා සාකේත නුවරට හරි දුරයි. හැතැප්ම දෙසිය ගානක් තියෙනවා දැන් කාලේ. ඉතින් සුභද්‍රා අලූත් ගෙදර පදිංචියට ගියා. ඒ ගෙදර කට්ටිය, ඒ නැන්දම්මා ඒ පවුලේ කට්ටිය කිව්වා සුභද්‍රා දේවියට, ‘සුභද්‍රා, හෙට අපේ ගෙදරට රහතන් වහන්සේලා වඩිනවා දානෙට.’ සුභද්‍රා කිව්වා, ‘අනේ අම්මේ, කොච්චර ලොකු දෙයක්ද! මට රහතන් වහන්සේලා දැකගන්න බැරිව හරි කාන්සියෙන් මේ ඉන්නේ’ කියලා.

ඊට පස්සෙ පහුවදා දානෙ වෙලාව ආවා. ඉතින් පණිවිඩයක් ඇරියා, “අන්න රහතන් වහන්සේලා වැඩමකරලා ඉන්නවා” කියලා. ඉතින් සුභද්‍රා බොහෝම සතුටින් දුවගෙන ආවා බලන්න. බැලින්නම් ඉන්නේ කවුද? නිගණ්ඨ නාතපුත්‍රගේ ශ‍්‍රාවකයෝ ටික. උපන් හැටියෙ පිරිසක් ඇවිල්ලා ඉන්නවා දැක්කා. දැකලා “චීඃ මේගොල්ලෝ කොහොමද රහතන් වහන්සේලා වෙන්නේ?” කියලා මෙයාට කියවුනා. එවේලේම ආයේ උඩ තට්ටුවට දිව්වා. අර නිඝණ්ඨ ශ‍්‍රාවකයෝ ටිකට පුදුම විදිහට කේන්ති ගියා.

“ආ…. උඹලා මේ මිත්‍යා දෘෂ්ටික පවුලක කෙල්ලෙක් අරගෙන ඇවිල්ලා අපට නින්දා කළා. අපිට උඹලගේ දානෙත් එපා” කියලා හැරිලා ගියා යන්න. ඊට පස්සේ මේ ගෙදර කට්ටියට විශාල අර්බුදයක්. මේක ලොකු ප්‍රශ්නයක්නේ… ඊට පස්සේ මේගොල්ලො ගිහිල්ලා සුභද්‍රාට, “උඹ අපේ මූණේ දැලි ගෑවා, අපේ නම්බුව ඉවරයි” කිව්වා. එතකොට සුමනා, “නෑ… නෑ… මම රහතන් වහන්සේලා හඳුනනවා. ඔය රහතන් වහන්සේලා නෙමෙයි” කීවා. “හා… කියාපන් බලන්න උඹ දන්න රහතන් වහන්සේලා ගැන.” “මං දන්න රහතන් වහන්සේලා මේ මේ ගුණයන් ගෙන් යුක්තයි” කියලා මේ සුපටිපන්න ආදී ගුණ කියන්න පටන් ගත්තා. කියන්න ගත්තහම කිව්වා. “හා පුළුවන් නම් උඹලගේ රහතන් වහන්සේලා අපට ගෙනත් පෙන්නපන්” කිව්වා.

ඉතින් මේ සුභද්‍රා අසාමාන්‍ය ශ‍්‍රද්ධාව තිබිච්ච කෙනෙක්. සුභද්‍රා නැග්ගා මාළිගාවේ ඉස්සරහ සඳළුතලේට. නැගලා පිච්ච මල් වට්ටියක් අතට අරගෙන සැවැත් නුවර තියෙන පැත්තට හැරිලා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මං මේ මිත්‍යා දෘෂ්ටික පවුලකට හිර වෙලා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ හෙට දානෙට වඩින සේක්වා!” කියලා මේ පිච්ච මල් ටික අහසට දැම්මා. බලන්න මේ මාර්ගඵල ලාභී අය. දැන් එයා විවාහ වෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙච්ච කෙනෙක්. දැන් එතකොට බලන්න මේ හාස්කම පාන්නේ අලූත කසාද බැඳපු නෝනා…

දැන්නෙ අහන්නේ අපෙන්, “සෝවාන් වෙච්ච අයට පුළුවන්ද බඳින්න? ගෙවල්වල ඉන්න පුළුවන්ද? කඩාකප්පල් වේවිද?”කියලා අහනවා. එතකොට මේ හාස්කම් පාන්නේ මෙයා, මේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. මාර්ගඵල ලාභී ශ‍්‍රාවිකාවක්. අර මල් ටික අහසට දැම්මායින් පස්සේ මල් ටික අහසේ යනවා පාවෙලා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩසිටින තැන වියනක් වගේ හිටියා. ඉතින් එදා උපාසක මහත්තයෙක් ඇවිල්ලා සැවැත් නුවර පහුවදා දානෙ ගැන කියන්න. “බලන්න උපාසක මහත්තයා මම දැන් මේ දානයක් භාරගත්තා” කිව්වා. “කවුරුත් ආවේ නෑනෙ ස්වාමීනි?” ”මේ බලන්න මේ උඩ තියෙන මේ පිච්ච මල්. මගේ ශ‍්‍රාවිකා දුවක් ඉන්නවා කොසඹෑ නුවර. හෙට අපි එහේ වඩිනවා දානෙට.” ඉර්ධියෙන් වැඩම කළා.

එතකොට බලන්න, බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා. දැන් අපෙන් අහනවා, ජේසුස් වහන්සේටත් පින් දුන්නට කමක් නැද්ද කියලා. මැද පෙරදිග ගියාට පස්සේ අපෙන් ඇහුවා, අපි අල්ලාට පින් දුන්නට කමක් නැද්ද කියලා. මේ බෞද්ධ අය…

ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ, ශ‍්‍රී සද්ධර්මය, ශ‍්‍රාවක සංඝයා කියන තුන අවබෝධයෙන් දන්නෙ නැතිකම. එතකොට අපි අවබෝධයෙන් දන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ, සෝතාපන්න ශ‍්‍රාවකයා කෙරෙහි හිත පහදිනවා නම්, සකදාගාමී ශ‍්‍රාවකයා කෙරෙහි හිත පහදිනවා නම්, අනාගාමී ශ‍්‍රාවකයා කෙරෙහි හිත පහදිනවා නම්, රහතන් වහන්සේ කෙරෙහි හිත පහදිනවා නම් ඒ පැහැදීම කාටවත්ම වෙනස් කරන්න බැහැ.

සෝතාපන්න ශ‍්‍රාවකයා තුළ ලක්ෂණ හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වන ශ‍්‍රද්ධාව. ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වන ශ‍්‍රද්ධාව. ශ‍්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වන ශ‍්‍රද්ධාව. ආර්යකාන්ත ශීලය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග තුනක් දියුණු වන ආකාරයට ශීලය පැවැත්වීම. මේවා සෝතාපන්න වෙච්ච ශ‍්‍රාවකයා දියුණු කරනවා මිසක්, ඒවායෙහි ස්ථීරව පිහිටලා ඉන්නවා මිසක්, ඒවා නැති කරගන්නේ නෑ. එතැන ඉඳලා තියෙන්නේ ශ‍්‍රාවකයන්ගේ දියුණුවක්මයි.

එතකොට අපි සතුටු වෙන්න ඕන අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් සමන්විතයි. අපි සරණගිය ශ‍්‍රී සද්ධර්මය මේ මේ ගුණයන්ගෙන් සමන්විතයි. අපි සරණ ගිය ශ‍්‍රාවක සංඝරත්නය මේ මේ ගුණයන්ගෙන් සමන්විතයි කියලා.

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලාගේ ඔය ගුණස්කන්ධය බැලුවහම ලෝකයේ අපිට වෙන කිසිම සමාජයකින්, වෙන කිසිම මනුෂ්‍ය වර්ගයකින්, කිසිම ජන කණ්ඩායමකින්, අපිට බෑ එහෙම පිරිසක් හොයාගන්න. ලෝකයේ වෙන එහෙම පිරිසක් නෑ හොයාගන්න. එතකොට මේ විදිහට මේ විශේෂත්වය දකිනවා නම්, ඒ විශේෂත්වය තුළ තමයි පහදින්නේ.

ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට අම්මල එක් කෙනයිනේ ඉන්නේ. තාත්තලත් එක්කෙනයි. නමුත් අපි ලෝකයේ කාන්තාවන් පුරුෂයන් කොපමණ ඇසුරු කරනවාද? අපි වැඩිහිටි අයට සමහරවිට පොදුවේ “අම්මා”, “තාත්තා” කියලා පොදුවේ කතාකරනවා. නමුත් මේ ලෝකේ මේ කෝටි ගාණක් ඉන්න සමාජය තුළ අපි අම්මව විශේෂ වශයෙන් දකින්නෙ නැද්ද? තාත්තව විශේෂ වශයෙන් දකින්නෙ නැද්ද? අපි ලෝකෙම කාන්තාවන්ට අම්ම කිව්වත් අපේ අම්මා වෙන්කරලා දකිනවා. ලෝකෙම අයට තාත්තා කියලා කතාකළත් අපේ තාත්තා වෙන් කරලා දකිනවා. ඒ කියන්නේ කෝටි සංඛ්‍යාත ජනකායක් අතර, අපි මව්කුසේ තබාගෙන, පෝෂණය කරලා, බිහිකරලා, කිරි පොවලා, හදලා තියෙන්නේ එක්කෙනයි. එයා අපි වෙන් වශයෙන් අඳුනනවා.

මේ වගේ මේ කෝටි සංඛ්‍යාත මනුස්ස ප්‍රජාව අතරේ බුදුරජාණන් වහන්සේ කියලා එක්කෙනයි පහළ වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේව අපි හඳුනගන්න ඕන. ඊළඟට මේ ලෝකයේ තියෙන නා නා විෂයන්, පොත්පත්, ඉගැන්වීම් ඒ සියල්ල අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා එකයි තියෙන්නේ. ඒක අපි වෙන් වශයෙන් හඳුනගන්න ඕන. මේ ලෝකෙ ඉන්නවා නොයෙක් ජන කණ්ඩායම්, මනුෂ්‍ය වර්ග. මේ ජන කොටස් අතරේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් කියලා යම් පිරිසක් ඉන්නවාද, ඒ පිරිස විශේෂ වශයෙන් හඳුනගන්න ඕන.

අන්න එහෙම හඳුනාගෙන කාටවත් වෙනස් කරන්න බැරි විදිහට පැහැදුනා නම් ඒකට අපි කියනවා අවෙච්චප්පසාද කියලා. අන්න ඒ පැහැදීම තමයි පුණ්‍ය ගංගාව බවට පත්වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ පුණ්‍ය ගංගාව ඇති කරගනිමු.

සාදු! සාදු!! සාදු!!!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්

<< කලින් ලිපියට