ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

සුගිය ලිපියෙන් අපි ඉගෙනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණය ගැනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා උජුපටිපන්නයි. උජුපටිපන්න කියන්නේ ඍජු ප්‍රතිපදාවෙහි බැසගත් සේක. මොකක්ද ඍජු ප්‍රතිපදාව? (උජුකෝනාමසෝ මග්ගෝ) බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඍජු මාර්ගයක්. ඒකේ වංගු නෑ. කෙළින් මාර්ගයක්. මොකක්ද ඒ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය.

එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය, රහතන් වහන්සේලා, අනාගාමී උත්තමයන් වහන්සේලා, සකදාගාමී උත්තමයන් වහන්සේලා, සෝතාපන්න උත්තමයන් වහන්සේලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් සේක. ඔන්න පහදින්න තියෙන්නේ ඔය විදිහට කල්පනා කරලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය දියුණු කළා. සීලය සම්පූර්ණ කළා. සමාධිය සම්පූර්ණ කළා. ප්‍රඥාව සම්පූර්ණ කළා. ඒ රහතන් වහන්සේලාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම හරි උදාරයි.

ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ බව, බලන්න කොයිතරම් ශ්‍රේෂ්ඨද? කියලා, එක ස්වාමීන් වහන්සේ නමක්, (මම හිතන්නේ මාර්ගඵලලාභී කෙනෙක්.) ඒ වෙන කොට රහතන් වහන්සේ නමක් වෙලා නෑ. හැබැයි ඉතින් අර ශ‍්‍රාවක සංඝරත්නයේ ඍජු මාර්ගයේ ගමන් කරපු කෙනෙක්. දැන් චාරිකාවේ වඩිනවා. වැඩම කරන කොට හොඳ දොලක් ගලනවා. වතුර ටිකක් නාන්න කල්පනා කළා. කල්පනා කරලා සිවුර පැත්තකින් තියලා පාත්තරේ පැත්තකින් තියලා, අඳනෙ ඇඳගෙන වතුරට බැස්සා. දැන් ඔන්න වතුරේ ගිලිලා නානවා.

හොරෙක් ආභරණ වගයක් හොරකම් කරලා. දැන් මේ හොරා අහුවුනා. රාජභටයෝ හොරාව අල්ලන්න පන්නගෙන එනවා. හොරා දුවනවා. දුවලා යනකොට දැක්කා පාත්තරයක් තියෙනවා. ආභරණ ටික පාත්තරයට දැම්මා. දාලා දිව්වා. දැන් රාජ්‍ය සේවකයෝ දුවගෙන ආවා. කවුරුත් පේන්න නෑ. බැලූවා. බලනකොට පාත්තරේ ඇතුලේ තියෙනවා රන් ආභරණ. දැන් අර උත්තමයන් වහන්සේ… උතුම් ස්වාමීන් වහන්සේ වතුරෙන් ඔළුව උඩට ඉස්සුවා. “ආ…. වරෙන් උඩට” මේ ස්වාමීන් වහන්සේ මුකුත්ම දන්නෙ නෑ. උඩට ආවා. එනකොටම දෙකක් ගැහැව්වා කලන්තෙ දාලා වැටෙන්න. දැන් ගගහා අරගෙන යනවා. (දැන් කවුද හොරකම් කළේ? කවුද අහුවුනේ?) ගෙනිහිල්ලා මොකද කළේ? නඩු ඇහුවා. නඩුවෙදි කිව්වා, “අපි දැක්කා මෙයාගේ භාජනේ ඇතුලේ මේවා තිබුනේ” උල ඉඳවන්න කියලා නියම කළා. දැන් උලේ වාඩි කෙරෙව්වා. උල තියද්දී, උල එනවනේ ටික ටික උඩට ඉස්සි ඉස්සී. දැන් මෙයා කල්පනා කරනවා මට ධර්මය ඇර වෙන පිහිටක් නෑ.

බුදුරජාණන් වහන්සේ දැක්කා ශ‍්‍රාවකයෙක් උල උඩ වාඩිවෙලා ධර්මය සිහිකරනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ඉර්ධියෙන් වැඩම කරලා කියනවා, “භික්ෂුව ඕක තමයි සංසාරේ හැටි. ඉපදීම නිසා වෙන දේ. සදහටම අත්හරින්න” කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු ශ‍්‍රාවකයා උල උඩ රහතන් වහන්සේ නමක් බවට පත්වෙලා පිරිනිවන් පෑවා. ඒ මාර්ගය කොයිතරම් ඍජු වෙන්න ඕනද එහෙම දෙයක් කරන්න. ඒ වගේ විඳීමක් අවබෝධ කරන්න කොච්චර සම්මා සතියක් තියෙන්න ඕනද? ඒ සම්මා සතිය කොච්චර හොඳ සම්මා සතියක්ද? ඒ සම්මා දිට්ඨිය… ඒ සම්මා සංකල්පය කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටනේ ඒක කරන්න පුළුවන් වුනේ. වෙන දේකටද? ඒ ඍජු මාවතේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා බැසගෙන හිටියා. මේ කෙරෙහි හිත පහදින්න ඕන. ඍජු මාවතේ බැසගෙන සිටීම ගැන.

ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා ඍජු මාවතේ බැසගත්තු ආකාරය බලද්දී හරිම උදාරයි. වස් කාලයක් ආවා. වස් කාලෙක වේරඤ්ජ කියල බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේටයි, භික්ෂූන් වහන්සේලාටයි ආරාධනා කළා වේරඤ්ජ කියන ගමේ වස් වසන්න කියලා. පිළිගත්තා. දැන් ඔන්න වැස්ස කාලේ. අර වේරඤ්ජ බ්‍රාහ්මණයාට මතක නැති වුනා, දානේ හරි ගස්සලා දෙන්න ඕන නේද කියලා.

අශ්වයෝ වෙළඳාම්කරන පිරිසක් ඒ වස්කාලේම ඒ ශාලාවේ නැවතිලා ඉන්නවා මේ වැස්ස කාලේ. දැන් ස්වාමීන් වහන්සේලා දවසක් බලන් හිටියා දානෙ නෑ. මේ රහතන් වහන්සේලා දවස් දෙකක් බලන් හිටියා. නෑ. ඊට පස්සේ කල්පනා කළා “අපි කොහොම හරි මොනව හරි ටිකක් හොයා ගන්න ඕන” කියලා. අර අශ්ව වෙළඳාම් කරන කණ්ඩායම් ලඟට ගියහම ඒ අශ්වයන්ට දෙන්න ගෙනාපු යව හාල් තියෙනවා ඒ ගොල්ලෝ ගාව. යව හාල් මිටක් පාත්තරේට දානවා. උන්වහන්සේලා ආපහු වැඩම කරලා මේක පෙඟෙන්න දාලා, ඔය එහෙන් මෙහෙන් වංගෙඩියක් හොයාගන්න ඇති. කොටලා පොඩ්ඩක් ගුලි කරලා වළඳනවා.

බුදුරජාණන්වහන්සේ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්, “ආනන්දය, මේ මෝල් ගස් සද්දයක් ඇහෙන්නෙ මොකක්ද?” කියනවා. ”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතෙ යනවා අසවල් තැනට. එතැනින් යව හාල් මිටක් හම්බ වෙනවා. ඒක පෙඟෙන්න දාලා ගුලි කරලා වළඳනවා” කිව්වා. කාටවත් දොස් කිව්වේ නෑ. කාගෙවත් දොස් හෙව්වේ නෑ. මෙන්න මේ කිව්ව ප්‍රතිපත්තියේ (අපි ‍ඡබ්බසෝධන සූත්‍රයේ ඉගෙන ගත්තතේ) යෙදී වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා “සාදු! සාදු!! ආනන්ද, මේ විදිහට නම්, මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ආහාරයට ගිජු නොවී තමන්ගේ ජීවත්වීම පිණිස නොඇල්මෙන් ආහාරය වළඳලා තියෙන්නේ, රහතන් වහන්සේලා ජීවත් වෙච්ච හැටි අනාගත මිනිස්සු දන්නවා නම්, අනාගත මිනිස්සු කන රස මසවුළුවලට විහිළු කරයි” කිව්වා. ඔන්න බලන්න ඍජු මාර්ගයේ ගමන් කරපු උත්තමයන් වහන්සේලා ගැන. උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ…

ඊළඟට ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා ඒ ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන්නේ අවබෝධයක් පිණිසමයි. ඤායපටිපන්න කියලා කියන්නේ, ආර්ය සත්‍ය අවබෝධය පිණිස පිළිපන් සේක. එතකොට ඒ සද්ධානුසාරී, ධම්මානුසාරී කියන සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ‍්‍රාවකයාගේ බලාපොරොත්තුව චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම. සෝවාන් ඵලයට පත්වෙච්ච භික්ෂුවගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද? ඒ චතුරාර්ය සත්‍ය තවත් ගැඹුරින් අවබෝධ කිරීම. සකදාගාමී වෙච්ච භික්ෂුවගේ බලාපොරොත්තුව ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තවත් ගැඹුරින් අවබෝධ කිරීමයි. අනාගාමී වෙච්ච භික්ෂුවගේ බලාපොරොත්තුව ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කිරීම. ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ… එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය අවබෝධයට නැඹුරු වූ ප්‍රතිපදාවකට පිළිපන් සේක.

ඊළඟ එක සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝ රත්නය සාමීචිපටිපන්නයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන දේ කථා බස් කිරීමෙන් යුතුවන සේක. ඒ තමයි දස කථා. බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා, ධර්මාවබෝධයට උපකාර වෙන්නේ නැති කථා කීයක්ද? තිස් දෙකක්. ඒවට මොනවා කියලද කියන්නේ? දෙතිස් කථා. සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන්නේ මොන කථාද? ලෝකයේ තියෙන්නේ දෙතිස් කථා.

බුද්ධ ශාසනයක විතරයි දස කථා අහන්න ලැබෙන්නේ. ඒ දස කථා තමයි අප්පිච්ඡ කථා. අප්පිච්ඡ කථා කියන්නේ ආශාවන් අඩු, ආශාවන් නැතිව ජීවත්වීම ගැන කතා කරනවා. මේ ධර්ම මාර්ගයට ආපු එක් කෙනා එහෙම කතා කරන්නෙ නැත්නම් ටික ටික ඒක වැඩිවෙනවා. එතකොට රහතන් වහන්සේලා අතර, රහතන් වහන්සේලාගේ පරිසරය තුළ ගොඩක් මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ ඒකයි. මේ දස කථාව නිසා. සාමීචිපටිපන්න නිසා.

අප්පිච්ඡ කථා… ඉච්ඡ කියන්නේ ආශාව. අප්ප කියන්නේ අඩු. ආශාවන් අඩුව ජීවත් වීම ගැන, අප්පිච්ඡ කථා. ආශාවන් අඩුවෙන කොට ඒ කෙනා ප්‍රධානත්වය හොයන්නෙ නෑ. ඊළඟට ආසාවන් අඩු වෙන කොට නායකත්වය හොයන්නෙ නෑ. ආසාවන් අඩුවෙන කොට දායකයෝ ගොඩ ගහගන්න ඕන කියලා හොයන්නෙ නෑ. එතකොට සාමීචිපටිපන්න ශ‍්‍රාවකයන් ඒ වගේ, ඒවා ඇහුවට පස්සේ අල්පේච්ඡව ජීවත් වෙනවා.

අනුරාධපුර යුගයේ සිද්ධ වෙච්ච එක සිද්ධියක් තියෙනවා. හොඳට ප්‍රතිපත්තියේ ගමන් කරන භික්ෂූන් වහන්සේ නමක් හිටියා, රහතන් වහන්සේලාගේ කාලේ. අනුරාධපුරේ තමයි ගෙවල්. එතකොට උන්නාන්සේ භාවනාව ගැනයි, ධර්මය ඉගෙන ගන්නයි වැඩියේ සිතුල්පව්වට. (සිතුල්පව්ව තියෙන්නේ කොහේද? දකුණේ. තිස්සමහාරාමේ, කතරගම. සිතුල්පව්ව ඒ පැත්තෙනේ….) එතකොට දැන් පොඩි කාලේ සිතුල්පව්වට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු ගණනාවකින් අනුරාධපුරේ වැඩල නෑ. ඉතින් අම්මා තාත්තා ලොකු හාමුදුරුවන්ට කතා කරල කියනවා “අනේ ස්වාමීනි, අපේ පොඩි හාමුදුරුවෝ දැකල නෑ අපි කාලෙකින්, අනේ මේ පාර වස් කාලෙට වත් එවන්න හාමුදුරුවනේ අපට බලන්න” කියලා. දැන් වස් කාලේ ඇවිල්ලා කුටියක් භාරගෙන ඒ දෙමව්පියෝ කිව්වා “ස්වාමීනි, මේ අපේ කුටියටත් වස් වසන්න ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා දෙන්න. හැබැයි අපෙන් තමයි ඒ වස් කාලෙම දානේ ලැබෙන්නේ” කියලා.

හා… කියලා දැන් ඉතින් ලොකු හාමුදුරුවෝ වස් වසන්න පිටත් වුනා සිතුල්පව්වට. සිතුල්පව්වේ ඉඳලා පොඩි ස්වාමීන් වහන්සේත් දෙමව්පියෝ බලන්න ඕන කියන අදහසින් අනුරාධපුරේ වඩිනවා. අතරමගදි මුණ ගැහුනා. මුණ ගැහුනහම ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි නමට, “පොඩි නම අන්න දෙමව්පියෝ කුටියක් හදල තියෙනවා. ඔබවහන්සේ ගිහිල්ලා එහේ වස් වසන්න. දානෙ ගන්න ඕන දෙමව්පියන්ගේ ගෙදරින්. ඒ ගොල්ලන්ට බණ ටිකක් කියලා වස් කාලේ ගත කරන්න.” “හොඳයි, ස්වාමීනි” කියලා පිටත් වුනා.

දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේ ඒ ගමට වැඩියා. උස මහතයි දැන්. පොඩි කාලෙනේ පිටත් වුනේ. අඳුරන්නේ නෑ ගෙදර කවුරුවත්. ඊට පස්සේ මේ දෙමව්පියෝ ඒ අසපුවට ගිහිල්ලා ඇහුවා “ස්වාමීනි, අපේ කුටියේ වස් වසන්න හාමුදුරු කෙනෙක් මේ පාර ඉන්නවද?” කියලා. “මෙන්න මේ ස්වාමීන් වහන්සේ ඔය උපාසිකාවලාගේ කුටියේ තමයි වස් වසන්න ඉන්නේ.” ඉතින් “ස්වාමීනි, ඔබ වහන්සේද කුටියේ වස් වසන්නේ?” කියලා ඇහුවා. (දැන් මේ අම්මා. අඳුරන්නෙ නෑ පුතා කියලා.) “ඔව්” කිව්වා. “ස්වාමීනි, එහෙම නම් මේ වස් කාලය පුරාම අපෙන් දානේ.” “හොඳයි” කිව්වා.

ඊට පස්සේ දැන් වස් වසලා ඉවරවෙලා සිවුරක් පූජා කළා. සිවුරත් අරගෙන පිටත් වුනා. ආයෙමත් ගුරු හාමුදුරුවොත් වස් වසල ඉවරවෙලා වඩිනවා අනුරාධපුරේට. මගදි හම්බවුනා. හම්බවුනාට පස්සෙ ගුරු ස්වාමීන් වහන්සේ අහනවා ගෝල ස්වාමීන් වහන්සේගෙන්, “පොඩි නම දෙමව්පියෝ දැක්කද?”

“දැක්කා, ස්වාමීනි”

“හොඳින් ඉන්නවද?”

“එහෙමයි ස්වාමීනි, හොඳින් ඉන්නවා ඒගොල්ලන්”

“බණ ටිකක් කිව්වේ නැද්ද?”

“ධර්මය කිව්වා ස්වාමීනි. ස්වාමීනි, අම්මා මට සිවුරක් පූජා කළා. මං මේ සිවුර ඔබවහන්සේට පූජා කරනවා” කියලා ගුරු හාමුදුරුවන්ට සිවුර පූජා කළා. කරලා පිටත් වුනා සිතුල්පව්වට.

ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ මේ සිවුරත් අරගෙන, ඔන්න වැඩියා අනුරාධපුරේට. අර දෙමව්පියෝ අඬාගෙන ආවා. “අනේ ස්වාමීනි, අපේ පොඩි හාමුදුරුවන්ව ඇයි එක්කන් ආවේ නැත්තේ?” කියලා ඇහුවා. “ඇයි උපාසිකාව මේ තුන් මාසයක් වස් වැසුවේ මේ පවුලේ පොඩි ස්වාමින් වහන්සේ නොවැ…”

“අනේ ස්වාමීනි, එහෙම කියන්න එපා” කිව්වා.

“මේ තුන් මාසෙම අපට ධර්මය කථා කළා මිසක් ඇයි හොඳයි මුකුත් ඇහැව්වේ නෑනේ.” “එහෙම තමයි ශ‍්‍රාවකයෝ… බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රාවකයෝ”

“ඒ වුනාට ස්වාමීනි, මට විශ්වාස නෑ”

“උපාසිකාව, මේ බලන්න මේ සිවුර… මට මගදි පොඩි හාමුදුරුවෝනේ පූජා කළේ” කිව්වා.

ඊට පස්සේ ඒ අම්මා ඒ පැත්ත හැරිලා කියනවා.“අනේ ස්වාමීනි, මේ තරම් අල්පේච්ඡද මගේ පුතණුවන් වහන්සේ? අන්න අල්පේච්ඡ කථාව අහලා පැහැදුනා. සාමීචිපටිපන්නයි.

ඉතින් මේවා අපි දැනගෙන ඉන්න ඕන. හිත පහදින්න සංඝරත්නය ගැන. එතකොට අප්පිච්ඡ කථා කියන්නේ සාමීචිපටිපන්න, (අප්පිච්ඡ, ආශාවන් අඩු බව.) අප්පිච්ඡ කථා ඒ පළවෙනි එක දස කථාවේ.

දෙවැනි එක (සන්තුට්ඨි කථා) ලැබිච්ච දේකින් සතුටුවීම. ඒ ගැන කතා කරනවා. ඊළඟ එක (පවිවේක කථා) හුදෙකලා ජීවිතය ගැන කතා කරනවා. (අසංසග්ග කථා) නොඇලී සිටීම ගැන කතා කරනවා. (විරියාරම්භ කථා) අකුසල් දුරුකිරීමට, කුසල් වැඞීමට, වීරිය පවත්වන්න ඕන ආකාරය කතා කරනවා. (සීල කථා) සීලය ගැන කතා කරනවා. (සමාධි කථා) සමාධිය ගැන කතා කරනවා. (පඤ්ඤා කථා) ප්‍රඥාව ගැන කතා කරනවා. (විමුක්ති කථා) දුකින් නිදහස්වීම ගැන කතා කරනවා. (විමුක්ති ඤාණදස්සන කථා) දුකින් නිදහස් වීම ගැන ඇති අවබෝධය ගැන කතා කරනවා.

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝ රත්නය මෙන්න මේ දස කථාවෙන් යුක්ත නිසා සාමීචිපටිපන්න වන සේක. (සතුටු සාමීචි කියලා අපි කියන්නේ… කතා බහට කියන වචනයක් තමයි ‘සාමීචි’ කියලා කියන්නේ.) බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා දස කථාවෙන් යුක්තවීම නිසා තමයි ශ‍්‍රාවක සංඝයාගෙන් පිරිසිදු බුදු දහම පැතිරිලා යන්නේ.

ඉතින් පින්වත්නි අපි ඒ ශ්‍රාවක සංඝරත්නය මෙන්න මේ වගේ ගුණයන්ගෙන් යුක්තයි කියලා සිත පහදවා ගන්න ඕන. නිතර නිතර මේ ගුණ සිහිකරමින් ඒ ශ්‍රාවක සංඝරත්නය ගුණ වශයෙන් හඳුනාගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ආකාරයේ පැහැදීමක් ඇතිකර ගන්න වාසනාව උදාවේවා!

සාදු! සාදු!! සාදු!!!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්

<< කලින් ලිපියට

මීළඟ ලිපියට >>