බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

ගියවර මහාමේඝ කලාපයේ පළ වූ මෙහි පළමු ලිපියෙන් ශ්‍රී මුඛ බුද්ධ වචනවලින් ම අපි පහත කරුණු පැහැදිලිව තේරුම් ගත්තෙමු.

  • ජම්බුදීප යන පාලි වචනයේ නියම අර්ථය දඹදිව බවත්, ජන් + බුද් + දීප යනුවෙන් ඊට ලබා දී ඇති විවරණය ව්‍යාජ වූ විකෘතියක් බව.
  • දඹදිව යනු වර්තමාන ඉන්දියාව හා ඒ ආශ්‍රිත භූමිභාගය බව.
  • දඹදිව මධ්‍යමණ්ඩලයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇති බව.
  • ශාක්‍ය දේශය අයත් කොසොල් ජනපදය ඇතුළු සොළොස් මහා ජනපද පිහිටියේ ඉන්දියාවේ මිසක ලංකාවේ නොවන බව.
  • විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධ්‍රැතරාෂ්ඨ යන සතර වරම් දෙවිවරුන් චාතුම්මහාරාජික දෙව්ලොවට අයත් සක්දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍ය දෙවිවරුන් මිසක ලංකාවේ රජ කළ මිනිස් රජවරුන් නොවන බව.
  • සාතාගිරි හේමවත ආදී 38 ක් වූ සෙන්පති දෙවිවරු ද ලංකාවේ සිටි ගෝත්‍රික නායකයන් නොව දිව්‍ය, යක්ෂ, ගාන්ධර්ව ආදීන් බව.

මෙම කරුණු ඔස්සේ “බුදුරජාණන් වහන්සේ පහළ වූයේ, වැඩ සිටියේ ලංකාවේ ය” යන මතය කෙතරම් හරසුන්, අශාසනික, මිථ්‍යා මතයක්දැයි කියා මැනවින් පැහැදිලි විය.

“අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය යි” යන මුසාවාදය පවසන, පතුරුවා හරින පිරිස තම මිථ්‍යා මතය තහවුරු කිරීම පිණිස සිදුකර ඇති තවත් වංචාවක් වන්නේ ඉතිහාසය විකෘති කරලීම යි. මෙවර ලිපියෙන් අප උත්සාහ කරන්නේ අට්ඨකතා සහ මහාවංශය ආදී වංශකතාවන් ද සෙල්ලිපි ආදිය ද උපයෝගී කර ගනිමින් සත්‍ය වූ ඉතිහාසය සියලු දෙනාටම පැහැදිලි කර දීමට යි.

ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ය යන අසත්‍ය වූ මිථ්‍යා මතය පතුරුවා හරින පිරිස පවසන පරිදි ධර්මාශෝක රජතුමා බුද්ධ පරිනිර්වාණයෙන් වසර 280කට පමණ පසුව ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් පිහිටවූවේලු.

එම බරපතළ මිථ්‍යාව තහවුරු කිරීම පිණිස කිසිදු ග්‍රන්ථයක හෝ සෙල්ලිපියක සඳහන් නොවන, හිතාමතා ගෙතූ අසත්‍ය ප්‍රකාශ රාශියක් කර තිබේ. ඒවායින් කිහිපයක් මෙසේ ය.

  • අශෝක රජතුමා හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් කිහිපවිටක් ම යුද්ධ හමුදා හෙළ දිවයිනට එවූවත් එය අසාර්ථක විය.
  • හෙළදිව යටත් කරගත නො හැක්කේ ඇයි දැයි ශ්‍රාවක සංඝරත්නයෙන් අශෝක රජතුමා විමසූ බවත් එවිට “මහරජ ඒ හෙළ දිවයින යනු ජන්බුද්වීපය යි. බුද්ධ රාජ්‍යය ද ධර්ම රාජ්‍යය ද වූ එය යුද්ධ බලයෙන් යටත් කළ නො හැකියි” කියා ප්‍රකාශ කළ බව.
  • අශෝක රජතුමා ලංකාවේ පිහිටා තිබූ අයුරින් ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ගොඩනංවා ඒවාට ඒ ඒ නාමයන් තැබූ බව.
  • මිහිඳු මාහිමියන් ද සංඝමිත්තා තෙරණිය ද ධර්මය ඉගෙන ගත්තේත්, මග ඵල ලැබුවේත් හෙළදිව දී බව.
  • කිසිම අශෝක සෙල්ලිපියක පවිත්‍ර බුද්ධ ධර්මය ගැන කිසිම සඳහනක් නැති බවත්, ආගම් සංකල්ප, දේව ඇදහිලි පිළිබඳව නිරතුරුව ලියා ඇති බවත්, නිවන පිළිබඳ ව කිසිම දැනුමක් හෝ විශ්වාසයක් අශෝක රජතුමාට නො වූ බව.
  • අශෝක රජතුමාගේ සංකල්පයක් අනුව බිහි වූ නිර්මල බුදු සමය නොවූ බුද්ධාගමක් ඉන්දියාවේ මෙන් ම අසල්වැසි රටවලටත් කෙටි කලකට හෝ ව්‍යාප්ත විය.
  • ජම්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ (ලංකාවේ) එදා ප්‍රධාන ජනපද දහසයක් විය.
  • අද රිටිගල යැයි අප හඳුන්වන්නේ එදා සුදත්ත (අනේපිඬු) සිටුතුමා තම ධනය වැයකර ඉදිකරන ලද දෙව්රම වෙහෙරේ නටඹුන් ය.
  • එදා රජදරුවන් හා මහධන සිටුවරුන් පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදූ ඒවා නො වේ.

මිථ්‍යා මතයක් තහවුරු කරලීම පිණිස සිදුකර ඇති මේ නිර්ලජ්ජිත අසත්‍ය ප්‍රකාශයන් සමූහය දෙස විමසුම් නුවණින් බලන කවරෙකුට වුව ද සත්‍ය කුමක්දැයි වටහා ගත හැකි වුවත් අදාළ මුලාශ්‍ර උපයෝගී කර ගනිමින් සත්‍යය ඉස්මතු කරලීම වඩාත් අර්ථවත් හෙයින් මෙතැන් සිට එකින් එක කරුණු පහදා දෙන්නෙමු.

ධර්මාශෝක නිරිඳුන් හෙළදිවට දුන් දායාදය…..

ශාසනික ඉතිහාසය සඳහන් වන කිසිදු අට්ඨකථාවක හෝ මහාවංශය ආදී වංශකථාවලත් කිසිදු සෙල්ලිපියක හෝ අශෝක රජතුමා ලක්දිව ආක්‍රමණය කරන්නට හමුදා එවූ බවට අංශුමාත්‍ර සඳහනක්වත් නොමැති අතර ඒ සියලු මූලාශ්‍රවල සඳහන් වන්නේ එතුමා ලක්දිව වැසියන් කෙරෙහි හිතෛෂීව ලබා දුන් අමිල වූ දායාදයන් පිළිබඳව යි. අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන ලාංකීය දූත පිරිස දඹදිව (ඉන්දියාවේ පාටලී පුත්‍ර නගරයේ) සිට ආපසු හෙළ දිවට පැමිණෙද්දී, දේවානම්පිය තිස්ස රජුට අභිෂේක භාණ්ඩත් සමඟින් එවූ සදහම් පඬුර මෙසේ ය.

අහං බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝඤ්ච සරණං ගතෝ
උපාසකත්තං දේසේසිං – සක්‍යපුත්තස්ස සාසනේ

“මම ශාක්‍යපුත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියෙමි. උන්වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව වදාළ ධර්මයත් සරණ ගියෙමි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සරණ ගියෙමි. ශාක්‍යපුත්‍ර ගෞතම සම්බුදු සසුනෙහි උපාසක භාවය ප්‍රතිඥා දුන්නෙමි.”

ත්වම්පි’මානි රතනානි – උත්තමානි නරුත්තම
චිත්තං පසාදයිත්වාන – සද්ධාය සරණං වජ

“(දේවානම්පිය තිස්ස) රජතුමනි, ඔබත් මේ උතුම් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුතුව සරණ යනු මැනව” කියන සදහම් පඬුරුත් පිටත් කළා. (මහාවංශය 11වෙනි පරිච්ඡේදය)

බු. ව. 236 දී පමණ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රහතන් වහන්සේලා දහස්නමකගේ සහභාගීත්වයෙන් ධර්මාශෝක නිරිඳුන්ගේ දායකත්වයෙන් තෙවන ධර්ම සංගායනාව දඹදිව (ඉන්දියාවේ) පාටලීපුත්‍ර නගරයේ (වර්තමාන පැට්නා) අශෝකාරාමයේදී පවත්වනු ලැබිණි. ඒ බව මහාවංශයේ 5 වෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.

ථේරෝ අනේකසංඛම්හා – භික්ඛුසංඝා විසාරදේ
ඡළභිඤ්ඤේ තේපිටකේ – පභින්නපටිසම්භිදේ
භික්ඛුසහස්සං උච්චිනි – කාතුං සද්ධම්මංසංගහං
තේහි අසෝකාරාමම්හි – අකා සද්ධම්මසංගහං

“අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, බිය තැතිගැනීම් නැති විසාරද භාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී රහත් භික්ෂූන් වහන්සේලා දහස්නමක් තෝරා ගත් සේක. ඒ තුන්වන ධර්ම සංගායනාව කිරීම පිණිස යි. උන්වහන්සේලා විසින් අශෝකාරාමයේදී තෙවෙනි ධර්ම සංගායනාව සිදුකරනු ලැබුවාහ.” (මහාවංශය – තෙවෙනි ධර්ම සංගායනාව)

තෙවන ධර්ම සංගායනාවෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලවා සම්බුද්ධ සන්දේශය ද සංඝමිත්තා තෙරණිය ලවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සුමන රහත් සාමණේරයන් අත සර්වඥ ධාතූන් වහන්සේලා ද ලක්දිවට වැඩම කරවීමට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ ධර්මාශෝක නිරිඳුන් ය.

සමන්තපාසාදිකා නම් විනය අට්ඨ කතාවේ ද දීපවංශයේ ද වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාවේ ද මෙම සිදුවීම් මේ අයුරින් ම සඳහන්ව ඇත. එමෙන් ම නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේගෙන් ධම්මපදයේ අප්‍රමාද වර්ගයෙන් දහම් අසා ධර්මාශෝක රජතුමා තුනුරුවන් කෙරෙහි පැහැදී සඟරුවනට දන්පැන් පූජා කළ ආකාරය සඳහන් වන්නේ මෙලෙස යි.

තිත්ථියානං සහස්සානි – නික්කඩ්ඩිත්වාන සට්ඨි සෝ
සට්ඨි භික්ඛුසහස්සානි – ඝරේ නිච්චං අභෝජයී

“කලින් අන්‍ය තීර්ථකයන්ට අශෝක රජතුමා දන් දුන්නේය. රජතුමා තෙරුවන් සරණ ගියාට පසු ඒ අන්‍ය තීර්ථකයන් බැහැර කරවා හැටදහසක් භික්ෂූන් වහන්සේලාට රජමැදුරේ නිතිපතා වැළඳෙව්වේය.”

භුසාපෙත්වාන නගරං – ගන්ත්වා සංඝං නිමන්තිය
ඝරං නෙත්වාන භෝජෙත්වා – දත්වා සාමණකං බහුං

“රජතුමා නගරය අලංකාර කරවා සංඝයා බැහැදකින්ට ගොසින් දානයට ආරාධනා කළේය. රජ මාළිගයට වඩම්මාගෙන දන්පැන් පූජා කොට ශ්‍රමණයන්ට කැපසරුප් බොහෝ පිරිකරත් පූජාකරගත්තේය.”
(මහාවංශය- ධර්මාශෝක නිරිඳුන් බුදු දහම වැළඳ ගැනීම ගැන කථාව)

රතනත්තයනිග්‍රෝධ – ගිලානානන්ති සාසනේ
පච්චේකං සතසහස්සං – සෝ දාපේසි දිනේ දිනේ

ධර්මාශෝක රජ්ජුරුවෝ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් යුක්ත උතුම් බුද්ධ ශාසනයෙහි පහන් වූ සිතින් යුතු වූයේය. නිග්‍රෝධයන් වහන්සේටත් ගිලන් භික්ෂූන් වහන්සේලාටත් සිව්පසය පිණිස වෙන් වෙන් වශයෙන් දිනපතා කහවණු ලක්ෂය බැගින් වෙන් කරන ලද්දේය.

මේ ආකාරයෙන් නිරන්තරයෙන් ම සැදැහැ සිතින් සංඝරත්නය උදෙසා සිව්පසයෙන් පිදූ ධර්මාශෝක රජතුමා සංඝයාගෙන් විමසා සිටියේ “හමුදා යවා හෙළදිව යටත් කර ගත නොහැක්කේ කුමක් නිසා ද?” කියා නොව “ශාස්තෘන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය කොපමණ ප්‍රමාණයකින් යුක්තදැ” යි කියා ය. (සත්ථාරා දේසිතෝ ධම්මෝ – කිත්තකෝ’ති අපුච්ඡථ) එවිට මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ වදාළේ “මහ රජ්ජුරුවෙනි, අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසූහාර දහසක් ධර්මස්කන්ධයෙන් යුක්තයි” කියා ය. එවිට අපමණ ශ්‍රද්ධාවෙන් යුතු ධර්මාශෝක රජතුමා මෙසේ පැවසී ය. “ස්වාමීනී, මං ඒ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් එක් එක් ධර්මස්කන්ධයක් වෙනුවෙන් වෙන වෙන ම විහාරයන් තනවා පූජා කරන්න ඕනෑ” කියා ය. ඉන් පසු අසූහය කෝටියක් ලබාදී දඹදිව් තලයේ අසූහාර දහසක් නගරවල අසූහාර දහසක් විහාරයන් තුන් අවුරුද්දක් තුළ සාදවා නිම කළ ධර්මාශෝක නිරිඳුන් පාටලීපුත්‍ර නගරයේ අශෝකාරාමය ප්‍රමුඛ ඒ සියලු වෙහෙර විහාර වෙසක් පුන්පොහෝ දිනකදී මහත් සැදැහැයෙන් ගෞතම බුදු සසුනට පූජා කළේ ය. (මහාවංශය- ධර්මාශෝක නිරිඳුන් බුදු දහම වැළඳ ගැනීම ගැන කතාව)

ඉක්බිති මොග්ගලීපුත්ත තිස්ස තෙරිඳුන්ගේ උතුම් අනුශාසනාවන්ට අනුව ශාසන දායාදය ලබන්නට ධර්මාශෝක නිරිඳුන් සිය නෙත් සඟල වන් මහින්ද කුමරුන් හා සංඝමිත්තා කුමරිය පැවිදි බිමට ඇතුළත් කළේ ය. ඔවුන් පැවිදි උපසම්පදාව ලැබුවේත්, උතුම් අරහත්වය සාක්ෂාත් කළේත් හෙළදිව දී නොව දඹදිව තලයේ දී ම ය. ඒ බව ඉතා පැහැදිලිව මහාවංශය ආදී වංශකතා පොත්වල ද අට්ඨකතාවන්හි ද සඳහන්ව ඇත. පාටලීපුත්‍රයේ අශෝකාරාමයේදී පැවිදි දිවියට පත් මිහිඳු කුමාරයාගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ය. මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා ව පැවිදි කළහ. මජ්ඣන්තික තෙරුන් වහන්සේ උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසූහ. උපසම්පදා මාලකයේදී ම මිහිඳු නමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්භිදාවෙන් යුක්තව අරහත් ඵලයට පත් වුණ සේක.

උපජ්ඣායෝ කුමාරස්ස – අහු මොග්ගලිසව්හයෝ
පබ්බාජේසි මහාදේවත්ථේරෝ මජ්ඣන්තිකෝ පන
කම්මවාචං අකා තස්මිං – සෝ’පසම්පදමණ්ඩලේ
අරහත්තං මහින්දෝ සෝ – පත්තෝ සපටිසම්භිදං

(මහාවංශය- පස්වෙනි පරිච්ඡේදය, තෙවෙනි ධර්ම සංගායනාව)

සංඝමිත්තා කුමරිය පැවිදිවන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණිය වූවා ධම්මපාලා තෙරණියෝ ය. ඇයගේ ආචාර්ය භික්ෂුණිය වූවා ආයුපාලී තෙරණියෝ ය. ඒ සංඝමිත්තාවෝ කිහිප දිනකින් උතුම් අරහත්වයට පත් වුණ සේක.

සංඝමිත්තායුපජ්ඣායා – ධම්මපාලාති විස්සුතා
ආචරියා ආයුපාලී – කාලේ සා’සි අනාසවා

මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතුළත සිය උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුන් පිටකය ම ඉගෙන ගත් සේක.

මිහිඳු කුමාරයාත්, සංඝමිත්තා තෙරණියත් උතුම් පැවිදි බව ලබා ගත්තේ අශෝක රජතුමාගේ 7 වන රාජ වර්ෂයේදී වන අතර සම්බුදු දහම දායාද කරන්නට හෙළදිවට වැඩියේ අශෝක රජතුමාගේ 18 වෙනි රාජ්‍ය වර්ෂයේදී ය. එතෙක් මිහිඳු මාහිමියන් ද සංඝමිත්තා තෙරණිය ද වැඩසිටියේ දඹදිව හෙවත් ඉන්දියාවේ මිසක ලංකාවේ නො වේ.

රහතන් වහන්සේලා විසින් නොයෙක් දේශයන් බුදු සසුන කෙරෙහි පැහැදවීම

එමෙන් ම තෙවන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රටවල් නවයකට ඡළභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේලා ලවා පතුරුවා හරින ලද්දේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය මිස, මිථ්‍යාමතධාරීන් පවසන අයුරින් ධර්මාශෝක රජතුමා නිර්මාණය කළ බුදු දහමක් නො වේ. ධර්ම දූතයන් වහන්සේලා වැඩම කළේ පහත සඳහන් ආකාරයෙනි.

තෙරවරුන් වැඩම කළ දේශය ප්‍රථමයෙන් දෙසූ දහම
1. මජ්ඣන්තික තෙරුන් කාශ්මීර ගන්ධාර දේශය (ඇෆ්ගනිස්ථානය) ආසිවිසෝපම සූත්‍රය
2. මහාදේව තෙරුන් මහිස මණ්ඩලය  දේවදූත සූත්‍රය
3. රක්ඛිත තෙරුන් වනවාස දේශය අනමතග්ග සංයුත්තය
4. ධම්මරක්ඛිත තෙරුන් අපරන්ත දේශය අග්ගික්ඛන්ධෝපම සූත්‍රය
5. මහාධම්මරක්ඛිත තෙරුන් මහාරාෂ්ට ප්‍රදේශය මහානාරද කස්සප ජාතකය
6. මහාරක්ඛිත තෙරුන් යෝනක දේශය හෙවත් ග්‍රීක රට කාලකාරාම සූත්‍රය
7. මජ්ඣිම තෙරුන් හිමාල ප්‍රදේශය දම්සක් පැවතුම් සූත්‍රය
8. සෝණ සහ උත්තර තෙරුන් වහන්සේලා ස්වර්ණ භූමිය බ්‍රහ්මජාල සූත්‍රය
9. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල තෙරවරුන් ලංකාදීපය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

සෙල්ලිපිවලින් හෙළිවන ධර්මාශෝක රජතුමාගේ සැදැහැති බව සහ ධර්ම ඥානය

ධර්මාශෝක රජතුමා සිය ආගම ලෙස බුදු සමය වැළඳ ගත් බවට සමන්තපාසාදිකා අට්ඨකතාව, දීප වංශය, මහාවංශය ආදී සියලු ම මූලාශ්‍රවල එක ලෙස ම සටහන් වී තිබේ. ඔහු තිසරණයෙහි පිහිටි බවට විධිමත් ප්‍රකාශයක් හාබ්‍රෑ-බයිරාටි 3 වන ගිරිලිපියෙහි ද සඳහන් ය. ඒ මෙලෙසිනි.

“මගධ රට ප්‍රියදර්ශී (ධර්මාශෝක) රජු සංඝයා නැමැද සුවදුක් හා සුඛ විහරණය විචාරා මෙසේ කියයි.” (මෙම සෙල්ලිපියෙන් මගධ රට ඇතුළු සොළොස් මහා ජනපද පිහිටියේ ඉන්දියාවේ බව ද මැනවින් සනාථ වේ)

“වහන්ස, බුදුන්, දහම් හා සඟුන් කෙරේ අපගේ ගෞරවය හා ප්‍රසාදය කොතෙක්දැයි ඔබවහන්සේ දන්නාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ යමක් වේ ද ඒ සියල්ල සුභාෂිත ය. වහන්ස, සද්ධර්මය මෙසේ චිරස්ථායී වන්නේ යැයි සිතා මෙය මම කියමි. එය කීමට මම සුදුසු ද වෙමි. වහන්ස, මෙම ධර්මයෝ, එනම්; (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ)

අ) විනය සමුකස (භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය)
ආ) අරියවංසානි (අරියවංස සූත්‍රය)
ඇ) අනාගත භයානි (අනාගතභය සූත්‍රය)
ඈ) මුනි ගාථා (ථේර ථේරී ගාථා/ මුනි සූත්‍රය)
ඉ) මෝනේය සුත (නාලක සූත්‍රය)
ඊ) උපතිසපසින (රථවිනීත සූත්‍රය)
උ) මුසාවාදය අරභයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ රාහුලෝවාදය (අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය)

යන පෙළ දහම් සියලු ම භික්ෂූන් හා භික්ෂූණීන් නිරතුරුව ම අසා ධාරණය කළ යුතු යැයි මම අපේක්ෂා කරමි. උපාසකයන් හා උපාසිකාවන් ද එලෙස ම කළ යුතුයි. (හාබ්‍රෑ- බයිරාටි සෙල්ලිපිය)

සැදැහැති වන්දනා චාරිකා

එමෙන් ම ධර්මාශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස තෙරිඳුන් සමඟ සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණිය, සම්බෝධිය සාක්ෂාත් කළ බුද්ධගයාව, දම්සක් පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය, පිරිනිවන් පා වදාළ කුසිනාරාව ආදී සිද්ධස්ථානවල වන්දනා චාරිකාවල ද යෙදුණේ ය. එහි දී එම උතුම් ස්ථාන හඳුන්වා දී ඒවාට අදාළව සම්බුදු සිරිතේ සංසිද්ධීන් පැහැදිලි කර දුන්නේ ෂඞ්අභිඥාලාභී ත්‍රිපිටකධාරී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනි. අදාළ තොරතුරු සමඟින් ඒ පුණ්‍යභූමීන්හි අශෝක කුලුණු පිහිටුවාලූයේ ඒ අනුව මිසක මිථ්‍යා මතධාරීන් පවසන අයුරින් ධර්මාශෝක රජතුමා විසින් ලංකාවේ තිබූ ආකාරයෙන් ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් බිහි කොට ඒවාට නම් තැබීමක් කළා නො වේ.

අශෝක ගිරිලිපි අංක 1 හි ධර්මාශෝක රජතුමා දින 256ක වන්දනාවක යෙදුණ බව සඳහන් අතර 21 වෙනි රාජ්‍ය වර්ෂයේදී ලුම්බිණියට ගිය වන්දනා ගමන ගැන 1 වෙනි අශෝක ටැම් ලිපියෙහි සඳහන් වේ. තව ද 10 වෙනි රාජ්‍ය වර්ෂයේදී ධර්මාශෝක රජතුමා යෙදුණු සුවිශේෂී වන්දනාවක් ගැන 7 වෙනි ගිරි ලිපියෙහි මෙසේ සඳහන් ය. “දෙවානප්‍රිය ප්‍රියදර්ශී රජතෙමේ අභිෂේකයෙන් දසවන වර්ෂයේදී සම්බෝධිය (ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුපිහිටි බුද්ධගයාව) වෙත යාත්‍රාවක යෙදුණේ ය.”

මේ ඉතිහාසගත නිවැරදි තොරතුරු මූලාශ්‍ර අනුව සත්‍ය කුමක්දැයි මැනැවින් පැහැදිලි වන අතර “බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා” යන මතය කොතරම් අසත්‍යයක්දැයි තවදුරටත් සනාථ වේ. එම නිසා ‘නො දැන නො විමසා අපැහැදිය යුතු තැන පැහැදීම අකුසලයක් ය’ යන සම්බුදු වදනත් ‘දැනගෙන විමසා පැහැදිය යුතු තැන පැහැදීම කුසලයක් ය’ යන සම්බුදු වදනත් හොඳින් වටහාගෙන, ඒ උතුම් දඹදිව පුණ්‍ය භූමීන් වන්දනා කරමින් අපි පින් රැස්කර ගනිමු. අශාසනික වූ අසත්‍ය මතවාදයන්ට නොරැවටෙමු. මේ ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණය ලබමු.

පළමු ලිපියට >>

තෙවන ලිපියට >>

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

මහාමේඝ පුවත් සඟරාවේ පළවූ මෙම ලිපි පෙළ අන්තර්ගත කොට සම්පාදිත ග්‍රන්ථය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703