බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද?

අබිදම් දෙසා මනුලොව වැඩි සංකස්සපුරය

දෙව්ලොවදී අභිධර්මය දේශනා කරන හැම බුදුවරයෙකු ම මනුලොවට වැඩමවන්නේ සංකස්ස පුරයට ය. එය ආවේණික සම්බුදු සිරිතකි. මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දිව්‍ය පිරිසට අබිදම් දෙසා බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩමකොට ප්‍රථමයෙන් දක්ඛිණ ශ්‍රී පාදය තැබූ පුණ්‍ය භූමිය හැම බුදුවරයෙකු ම අත් නොහරින බිමක් බැවින් අවිජහිතට්ඨාන නම් වේ. දෙව්ලොවදී අභිධර්මය දේශනා කරන සම්බුදුවරුන් මිනිස් ලොවට වැඩ දහම් දෙසන්නේ සංකස්ස පුරයේදී ය. සංකස්සපුර දේවාවරෝහණයේදී හිනිමංවල අග පිහිටන තැනත්, මහපොළොවට සම්බුදු පාද තබන තැනත් සෑම බුදුවරයන් වහන්සේගේ ම එක හා සමාන ය. ගෞතම බුදුරජාණන් වහන්සේ හත්වන වස්කාලය තව්තිසාවේ ගතකොට සංකස්සපුරයට වැඩම කළේ වප් මස පුන් පොහෝ දිනදී ය.

සංකස්සය වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පරුඛාබාද් දිස්ත්‍රික්කයේ කාලි නදීතෙර පිහිටා තිබුණි. සංකස්ස හෙවත් සංකිස්සාවේ පෞරාණික නාමය සාංකශ්‍ය යන්නයි. වාල්මිකීගේ රාමායනයේ ද, පාණිනීගේ අෂ්ඨධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සාංකශ්‍ය ගැන සඳහන් වේ. භාරතීය බෞද්ධ සිද්ධස්ථාන නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සාංකශ්‍ය නම් පෞරාණික නගරය කනවුජ් හා අත්‍රංජි අතර පිහිටා තිබුණි. හියුංසියෑං තෙරුන් සඳහන් කරන අයුරින් කපීථ දේශයේ අගනුවර සංකස්ස විය යුතුය. අගනුවර සිට ලී දහයක් දුරින් බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් බට ස්ථානය වී යැයි සඳහන් කිරීමෙන් එය පැහැදිලිවේ. සාංකශ්‍ය පූජනීය ස්ථානයක් බවට පත් වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ය. ඊට හේතු වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චරිතය හා බැඳුණු සුවිශේෂී පූජනීය ස්ථාන ගණයට සංකස්සය ද ඇතුළත් වීම ය. එම නිසා සංකස්සපුරය බෞද්ධයන්ගේ පරම පූජනීය පුණ්‍ය භූමියක් වූයේ ය. භාරතීය මූර්ති කලාවේදී සම්බුදු සිරිතේ අනෙකුත් සුවිශේෂී සිදුවීම් සමඟින් බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සයට වැඩමවීම සිත්කළු ලෙස කලාත්මකව මූර්තිමත් කර ඇත.

පාහියන් හා හියුංසියෑං තෙරවරුන් සිය දේශාටන වාර්තාවලින් සංකස්සයේ පූජනීයත්වය හා එහි ඉදිකර තිබූ ප්‍රතිමා විහාර හා ස්ථූප ආදිය පිළිබඳ දක්වා ඇති විස්තරවලින් සංකස්සය හඳුනාගැනීමට පහසු විය. ධම්මපදයේ බුද්ධ වර්ගයේ සඳහන් ආකාරයෙනුත්, පාහියන් සහ හියුංසියෑං තෙරවරුන් වාර්තා කරන අයුරිනුන්, බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මිනිස් පියසට බසින්නට සිතත් ම හිනිමං තුනක් අහසෙහි දිස්විය. මධ්‍යයෙහි වූ සත්රුවන් හිනිමගින් බුදුරජාණන් වහන්සේ පහතට වැඩම කළ සේක. මහා බ්‍රහ්මයා දකුණු පස රිදී මුවා හිනිමගින් භාග්‍යවතුන් වහන්සේට ඡත්‍රයක් දරමින් පහතට බැස්සේය. සක් දෙවිඳු වම්පස රන්මුවා හිනිමගින් භාග්‍යවතුන් වහන්සේට ගෞරව පිණිස සත් රුවන් සේසතක් දරන්නට සලස්වා, සංඛ නාදය පතුරුවමින් පහතට බැස්සේය. අප්‍රමාණ දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේ පිරිවරමින් මිනිස් පියසට බටහ.

පාහියන් තෙරුන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් අයුරින්, පොළොවට බැස නිම වූ පසු මෙම හිනිමං තුන පිය ගැට හතක් පමණක් පෙනෙන්ට තිබිය දී පොළොවෙහි ගිලී ගියේ ය. දේවාවරෝහණයෙන් පසුත් මේ හිනිමං පෙනෙමින් තිබුණු නමුත් පසු කලෙක පොළොවේ ගිලී ගියහ. අවට ප්‍රාදේශීය රජවරු ඒවා නොදැකීමෙන් ශෝකයට පත්ව, ඒවා තිබුණු තැන්වල ගලින් සහ ගඩොලින් ඊට සමාන වන සේ තරප්පු බැඳ නොයෙක් රත්නවලින් සැරසූහ. උසින් අඩි අසූවක් පමණ වූ මේවා මත්තෙහි ගොඩ නැගූ පිළිම ගෙයි ගලින් කළ බුදු පිළිමයක් සහ එය දෙපස ශක්‍ර, බ්‍රහ්ම දෙදෙනාගේ රූප දකින්නට තිබූ බව හියුං සියෑං තෙරුන් සඳහන් කරයි. ධර්මාශෝක අධිරාජයා දේවාවරෝහණයේ තිබූ හිනිමං පොළොව තුළ කොතෙක් දුරට ගැඹුරට ගිලී ඇද්දැයි දැනගැනීම සඳහා මිනිසුන් ලවා පොළොව කැනවීය. ඔවුන් පොළොව පතුලේ ඇති කසාවන් දිය උල්පත් කරා පැමිණෙන තුරුම පොළොව හෑරූ නමුත් හිනිමංවල කෙළවර හමු නොවීය. මෙයින් වඩාත් පැහැදුණු ධර්මාශෝක රජු හිනි පෙළ මතුයෙහි විහාරයක් ගොඩ නැංවීය. එහි මැද වූ හිණමතුයෙහි භාග්‍යවතුන් වහන්සේගේ සොළොස් රියන් ප්‍රතිමාවක් කරවා තැන්පත් කරවීය. විහාරය පසුපස පනස් රියනක් පමණ උස ගල් ටැඹක් කරවීය. එහි මුදුන සිංහරූපයකින් යුක්තය. වෙරළුමිණියෙන් නිර්මිත වූවක් මෙන් විනිවිද පෙනෙන එම ටැඹ මුදුනෙහි සතර දිසාව බලා වැඩ සිටින බුද්ධ ප්‍රතිමා සතරක් නෙලා තිබූ බව පාහියන් සහ හියුංසියෑං තෙරවරුන් සඳහන් කරයි.

සංකස්ස පුරයේ පැවති අසිරිමත් බව සිත් ගන්නා ලෙස පවසන පාහියන් තෙරුන් “මේ රට සශ්‍රීක ය, සෞභාග්‍ය සම්පන්න ය. මේ රටේ මිනිස්සු ද සමෘද්ධිමත් ය. වාසනාවන්ත බැවින් ඉක්මවන ලද උපමා ඇත්තේ ය. ඔවුහු විදේශිකයන්ට හොඳින් සංග්‍රහ කරති” යනුවෙන් සිය දේශාටන වාර්තාවේ දක්වයි. පරමත්ථදීපනී අට්ඨකථාවට අනුව බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ද සංකස්සය සමෘද්ධිමත් රාජ්‍යයක් විය. බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයේ පැන් පහසු වූ තැන පසු කාලයකදී මිනිසුන් විසින් ස්නානාගාරයක් කරවා ඇති අතර පාහියන් තෙරුන් පැමිණෙන විටත් එය තිබී ඇත. තවද උත්පලවණ්ණා තෙරණිය බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ තැන ස්ථූපයක් කරවා තිබුණි. එසේම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි තැන්, සක්මන් කළ තැන්වල ප්‍රතිමාවක් හෝ ස්ථූප ගොඩනගා තිබී ඇත. සක් දෙවිඳු සහ මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ සමග මිනිස් ලොවට බට තැන්හී ද ස්ථූප කරවා තිබුණි. මෙහි වාසය කළ නාගරාජයෙක් පිළිබඳව චීන දේශාටකයින් දෙදෙනා ම සඳහන් කරන්නේ මේ අයුරිනි. “නාරජු මෙම සිද්ධස්ථාන රකින බැවින් පැරණි වීමෙන් මිස මිනිස් බලයකින් මෙම ස්ථාන විනාශ කිරීම දුෂ්කර ය. මෙහි නානා ප්‍රාතිහාර්යයෝ දක්නට ලැබෙත්” යනුවෙනි. තවද හියු සියෑං තෙරුන් පැමිණෙන විට සංකස්සයේ භික්ෂු – භික්ෂුණීන් දහසක් පමණ වාසය කර ඇත. කාලි නදියේ උතුරු වම් ඉවුරේ පිහිටි, දැනට සංකිස නමින් හැඳින්වෙන ගම පැරණි සංකස්ස නගරය වශයෙන් 1842 වසරේදී කරන ලද කැණීම්වලදී ජනරාල් කනිංහැම් මහතා හඳුනාගෙන ඇත. පැරණි නගරය හාත්පස සැතපුම් හයක් පමණ ඇතුළත් ප්‍රදේශය විහාර චෛත්‍යය ආදී ගෘහනිර්මාණ නටඹුන්වලින් වැසී තිබේ.

මෛත්‍රී බෝසතුන් බුදු සසුනෙහි පැවිදි බව ලැබීම හා විවරණ ලැබීම

මෛත්‍රී බෝසතාණෝ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි දෙව්ලොවින් චුතව සංකස්සයෙහි විසූ ගෘහපති මහාසාර කුලයක උපත ලැබීය. බෝසතුන්ගේ පියා වූයේ සිරිවඞ්ඪන නම් ගෘහපතිතුමා ය. දේවාවරෝහණ පුද පෙළහර දැක බලවත් සතුටට පත්ව සිටි බෝසත් කුමරු, සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්බුදු පෙළහරෙහි අසිරිය දැක “මිහිරි තෙපුල් ඇති තුසිත දෙව්ලොවින් සැව අරහත් සංඝයා මැදට පැමිණි ගණාචාරිය වූ ශාස්තෘන් වහන්සේ මෙයට පෙර මෙවන් පෙළහර පෑ බවක් මා විසින් නොදුටු විරූය. නොඇසූ විරූය.” යනුවෙන් ප්‍රකාශ කළ වදන් අසා පැවිදි වූයේය. නොබෝ කලකින් සුපේශල ශික්ෂාකාමී ධර්මධර භික්ෂුවක් වූ බෝසත් හිමි වස් අවසානයේදී, තමන්ට ලැබුණු වස්ත්‍ර යුගලයෙන් එකක් සම්බුද්ධ ධර්මාසනයට වියනක් ලෙස බැඳ අනෙක තීරුකර වට තිරයක් වශයෙන් පිදුයේ ය. මෙම පූජාවේ ආනිශංස වදාරමින් භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව භික්ෂුව අනාගතයේ මෙත්තෙය්‍ය නමින් සම්බුද්ධත්වයට පත්වන බව දක්වා නියත විවරණ දුන් සේක.

භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම වීම

ධම්ම පදයේ 14 වෙනි බුද්ධ වග්ගයේ 3 වෙනි ගාථාවට අදාළ කථාවේ භාග්‍යවතුන් වහන්සේ සංකස්සයට වැඩම කළ ආකාරය මෙසේ සඳහන් වේ.

“භාග්‍යවතුන් වහන්සේ හත්වෙනි වස් කාලය දෙව් පිරිස මැද වැඩහිඳ මාතෘ දිව්‍යපුත්‍රයා අරබයා කුසල් දහම්, අකුසල් දහම්, අව්‍යාකෘත දහම් ආදී වශයෙන් අභිධර්මය වදාළා. මෙසේ තුන් මාසය ම නිරතුරු ම අභිධර්මය වදාළා. දන් වළඳන වේලාව පැමිණි කල්හි මා ආපසු වඩින තෙක් මෙපමණ කොටසක් ධර්මය දෙසත්වා කියා නිර්මිත බුදු කෙනෙකුන් මවා හිමාලයට වඩිනවා. නාගලතා දැහැටිවලින් දත් මැද, අනවතප්ත විලෙන් මුව සෝදා උතුරුකුරු දිවයිනට පිඬු සිඟා වඩිනවා. මහා සල් මළුවේ වැඩහිඳ දන් වළඳනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතැනට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේට වතාවත් කරනවා. දන් වළඳා අවසානයේ, ‘සාරිපුත්ත, මා විසින් අද මෙතෙක් ධර්මය පැවසුවා. ඔබ තමාගේ අන්තේවාසික භික්ෂූන්ට මෙය පුහුණු කරන්න’ කියා තෙරුන් වහන්සේට ඒ ධර්මය වදාළා.

යමක ප්‍රාතිහාර්යය දැක පැහැදුණු පන්සියයක් කුලපුත්‍රයන් සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වී සිටියා. ඒ පිරිස ගැනයි මේ වදාළේ. යළි භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට වැඩමකොට නිර්මිත බුදුරුව විසින් වදාරණ ලද තැන පටන් ධර්මය දේශනා කරනවා. සාරිපුත්තයන් වහන්සේ අර නවක භික්ෂූන් පන්සිය නමට ධර්මය දේශනා කළා. ශාස්තෘන් වහන්සේ දෙව්ලොව වැඩසිටිද්දී ම අර භික්ෂූන් වහන්සේලා පන්සිය නම සප්තප්‍රකරණය ම ඉගෙන ගත්තා.
මේ භික්ෂූන් වහන්සේලාගේ අතීත ප්‍රවෘත්තිය මෙයයි. කාශ්‍යප බුද්ධ කාලයෙහි කිරිවවුලන් වෙලා ඉපිද හිටියා. එක් පර්වත බෑවුමක ඔවුන් එල්ලී හිටියේ. තෙරුන් වහන්සේලා දෙනමක් සක්මන් කරමින් අභිධර්මය සජ්ඣායනා කරන ශබ්දය අසා ඒ හඬට සිත පහදවා ගත්තා. මේවා ස්කන්ධ, මේවා ධාතු වශයෙන් කිසිවක් නොදැන හඬට පමණක් ම සිත පැහැදිලා ඒ වවුල් බවින් චුතව දෙව්ලොව උපන්නා. ගෞතම බුදුරජුන්ගේ කාලය වන තෙක්ම ඔවුන් දෙව්ලොව වාසය කළා. යමා මහ පෙළහර දැක සිත පැහැදුණා. සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වුණා. හැමට පළමු සප්තප්‍රකරණය ම දැනගත් අය වුණා.

ශාස්තෘන් වහන්සේත් මේ ආකාරයෙන් තුන්මසක් පුරා අභිධර්මය වදාළා. දේශනාව අවසානයේ අසූ කෝටි දහසක් දෙවිවරුන්ට ධර්මාවබෝධය ඇතිවුණා. මාතෘ දිව්‍යපුත්‍රයා සෝවාන් ඵලයට පත්වුණා.

මුගලන් තෙරුන් වහන්සේ වෙත පැමිණි පිරිස මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ මිනිස් ලොවට වඩින දවස අපට දැනුම් දෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ නොදැක අපි යන්නෙ නෑ.”

“හොඳයි ඇවැත්නි” කියලා පොළොවෙහි කිමිදුණා. මහාමේරුව පාමුලට පැමිණුනා. මං මහාමේරුවට නගින අයුරු මිනිසුන් දකිත්වා කියා අධිෂ්ඨාන කොට මැණිකක් අමුණන ලද නූලක් මෙන් හැමෝටම පේන්න සිනේරු පර්වතයට නැග්ගා. මිනිස්සුත් උන්වහන්සේව දකින විට ‘අන්න එක යොදුනක් නැග්ගා… යොදුන් දෙකක් නැග්ගා…’ කියමින් බල බලා සතුටු වුණා. මහාමොග්ගල්ලානයන් වහන්සේත් ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් ඔසොවන්නාක් මෙන් නැගිට වන්දනා කොට මෙසේ පැවසුවා.

“ස්වාමීනී, මහාජනයා භාග්‍යවතුන් වහන්සේ දැකලාම යනු කැමැත්තෙනුයි ඉන්නේ. ආයෙමත් මිනිස් ලොවට වඩින්නේ කවද්ද?”

“මොග්ගල්ලානය, ඔබගේ දෙටු සොහොයුරු සාරිපුත්තයන් කොහෙද ඉන්නේ?”

“ස්වාමීනී, මෙවර වස් වැසුවේ සංකස්ස නගරයේයි.”

“මොග්ගල්ලාන, මං අදින් සත්වෙනි දින මහා පවාරණය පිණිස සංකස්ස නගරද්වාරයටයි බහින්නේ. මා දකිනු කැමති අය එහි පැමිණෙත්වා!

සැවැත් නුවර සිට සංකස්ස නගරද්වාරයට තිස් යොදුනක් දුරයි. එතෙක් මාර්ගයෙහි කිසිවෙකුට මාර්ගෝපකරණවල අවශ්‍යතාවයක් නැහැ. උපෝසථ සිල් ගෙන ධර්මශ්‍රවණයට යන ලෙසින් පැමිණෙන්න කියා දැනුම් දෙන්න.”
“එසේය, ස්වාමීනී” කියා පිළිතුරු දුන් මහා මොග්ගල්ලානයන් වහන්සේ මහාජනයාට මෙය සැළකළා.

ශාස්තෘන් වහන්සේ වස් නිමා කොට සක් දෙවිඳු ඇමතුවා.

“දෙව්රජ, මිනිස් පියසට යන්නටයි මා සූදානම් වන්නේ.”

සක්දෙව්රජ රනින් කළ පඩිපෙළකුත්, මැණිකෙන් කළ පඩිපෙළකුත් රිදියෙන් කළ පඩිපෙළකුත් මැව්වා. ඒ පඩිපෙල් තුනේ පහළම පඩිය සංකස්ස නගරද්වාරයෙහි පිහිටියා. උඩම පඩිය සිනේරු පර්වත මුදුනේ පිහිටියා. දකුණුපස තිබූ රනින් නිමවූ පඩිපෙළ දෙවිවරුන්ටයි වෙන් වුණේ. වම්පස තිබූ රිදියෙන් කළ පඩිපෙල මහාබ්‍රහ්ම රාජයාණන්ටයි වෙන් වුණේ. මැද තිබුණු මැණික් පඩිපෙල භාග්‍යවතුන් වහන්සේ උදෙසායි.

භාග්‍යවතුන් වහන්සේ සිනේරු පර්වත මුදුනෙහි වැඩසිට දෙව්ලොවින් මනුලොව වඩිනා වේලෙහිත් යමා මහ පෙළහර දක්වා උඩ බලා වදාළා. සියළු බඹලොව එකම අංගණයක් වුණා. යට බලා වදාළා. අවීචි නිරය දක්වා එකම අංගණයක්ව පෙනුණා. දිසා අනුදිසා බලා වදාළා. නොයෙක් සක්වල ලක්ෂ ගණන් එකම අංගණයක් වගේ පෙනුණා. දෙවිවරු මිනිසුන්ව දැක්කා. මිනිස්සු දෙවිවරුන්ව දැක්කා. එකිනෙකා මුණගැහුණා වගේ දැක්කා.

භාග්‍යවතුන් වහන්සේ ෂඞ් වර්ණ බුද්ධ රශ්මිය විහිදෙව්වා. රන්වන් පඩිපෙළෙන් දෙවිවරු බැස්සා. රිදී පඩිපෙළෙන් බ්‍රහ්මරාජවරු බැස්සා. මැණික් පඩිපෙළින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළා. පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බේලුවපණ්ඩු වීණාව ගෙන දකුණු පසින් සිට ශාස්තෘන් වහන්සේට ගාන්ධර්වයන්ගේ මධුර වූ දිව්‍ය වීණා ශබ්දයන්ගෙන් පූජා පවත්වමින් බැස්සා. මාතලී රථාචාර්ය තෙමේ වම් පසින් සිට දිව්‍ය සුගන්ධ පුෂ්පමාලාවන් ගෙන නමස්කාර කරමින් පූජා කොට බැස්සා. මහා බ්‍රහ්මයා ඡත්‍රය දැරුවා. සුයාම දිව්‍යපුත්‍රයා සුදු චාමර දැරුවා. භාග්‍යවතුන් වහන්සේ මේ පිරිවර මැද්දෙන් බිමට වඩිමින් සංකස්ස නගරද්වාරයෙන් මහා පෘථිවිය ස්පර්ශ කළා.

සාරිපුත්තයන් වහන්සේත්, ශාස්තෘන් වහන්සේට වන්දනා කොට බුදුසිරිය නරඹමින් මෙම ගාථාව වදාළා.

“න මේ දිට්ඨෝ ඉතෝ පුබ්බේ – න සුතෝ උදකස්සචි
ඒවං වග්ගුවදෝ සත්ථා – තුසිතා ගනිමාගදෝ

තුසිත දෙව්ලොව සිට මිනිස් පියසට වැඩම කළ මෙබඳු මිහිරි වදන් තෙපළන ශාස්තෘන් වහන්සේ වැනි කෙනෙක් මින් පෙර නම් මා දැක නැත. මෙබඳු උතුමෙකු ගැන කිසිවෙකුගෙන් අසා ද නැත” යනාදියෙන් සතුට ප්‍රකාශ කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද දෙව් මිනිස් හැමෝම භාග්‍යවතුන් වහන්සේව දැක දැක සතුටු වෙනවා.”

“සාරිපුත්ත, මෙබඳු ගුණයෙන් සමන්විත වූ බුදුවරුන් දෙවිමිනිසුන් හට ඉතා ප්‍රිය තමයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං

දැහැන් සුවයෙහි රැඳී සිටිනා – උතුම් නුවණින් දිලී සිටිනා
උතුම් නිවනෙහි ඇලී සිටිනා – බුදුවරුන් සිහිනුවණ තිබෙනා
දෙවිවරුත් සිහි කරති තුටිනා

මේ ධර්ම දේශනාව අවසානයේ තිස් කෝටියක් පමණ වූ ප්‍රාණීන් මාර්ගඵල අවබෝධ කළා. සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පන්සිය නම අරහත්වයට පත්වුණා.

යමක ප්‍රාතිහාර්ය දක්වා දෙව්ලොව වස් වැස සංකස්ස නගරද්වාරයට වැඩම කිරීම සියලු බුදුවරයන් වහන්සේලා අත්නොහැර කරන දෙයක්. එහි දකුණු පාදය පිහිටි තැන අචල චේතිය ස්ථානය නමින් හඳුන්වනවා. ශාස්තෘන් වහන්සේ එහි වැඩහිඳ පුහුදුන් අයගෙන් ප්‍රශ්න අසති. පුහුදුන් අය තමන්ගේ දැනුම පරිදි පිළිතුරු දෙති. සෝවාන් ඵලයට පත්වූ අයට වැටහෙන ප්‍රශ්න පුහුදුන් අයට විසඳන්නට බැහැ. ඒ වගේ එක් එක් මාර්ගඵලයන්ගේ ඉහළ මට්ටම්වලට අනුව වටහාගැනීම ද වෙනස් වෙනවා. මහා මොග්ගල්ලානයන් වහන්සේට විෂය වන කරුණු අනෙකුත් ශ්‍රාවකයන් වහන්සේලාට විෂය වෙන්නේ නෑ. සාරිපුත්තයන් වහන්සේට විෂය වෙන කරුණු අන් ශ්‍රාවකයන්ට විෂය වෙන්නේ නෑ. බුද්ධ විෂයට අයත් කරුණු අන් ශ්‍රාවකයන්ට විෂය වෙන්නේ නෑ.

තථාගතයන් වහන්සේ නැගෙනහිර ප්‍රදේශ ආදී හැම දිශාවක් ම බලා වදාළා. හැම තැන ම එක ම අංගණයක් මෙන් වුණා. අට දිශාවේ දෙවි මිනිසුන් ද, උඩ දිශාවේ බඹලොව වැසියන් ද, යට දිශාවේ භූමාටු දෙවිවරු ද, යක්ෂ, නාග, ගුරුළු ආදීන් ද වන්දනා කරමින්, “ස්වාමීනී, මේ මේ ප්‍රශ්නවලට විසඳුමක් ගන්නට බැරිවුණා. මේ ගැනත් විමසා බලන සේක්වා” යි පවසන්නට පටන් ගත්තා. එතකොට සාරිපුත්තයන් වහන්සේට මෙහෙම හිතුණා. “ශාස්තෘන් වහන්සේට මෙය වෙහෙසක් නිසා හැමෝටම අවබෝධ වන අයුරෙන් මේ මාර්ගඵල දියුණු කිරීම ගැනත්, රහතන් වහන්සේ ගැනත් විස්තර වෙන ආකාරයේ පැණයක් අහන්නට ඕන” කියලා මේ ගාථාවෙන් විමසුවා.

“යේ ච සංඛාතධම්මාසේ – යේ ච සේඛා පුථූ ඉධ
තේසං මේ නිපකෝ ඉරියං – පුට්ඨෝ පබ්‍රෑහි මාරිස

නිදුකාණන් වහන්ස, අවබෝධ කළ යුතු දේ මුළුමුනින්ම අවබෝධ කළ යම් රහතන් වහන්සේලා සිටිත් ද, ඒ වගේම මෙහි බොහෝ ධර්ම මාර්ගයේ හික්මෙන ශ්‍රාවක පිරිස සිටිත් ද, මෙම අසේඛ – සේඛ උතුමන්ගේ වෙනස්කම් ගැන වදාළ මැනැව.”

එවිට බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රකට කරවනු පිණිස,

“සාරිපුත්තය, මෙය හේතුඵල දහමින් සකස් වූ දෙයක් බව දකින්න” කියා එම කරුණු විග්‍රහ කරන ආකාරය ආරම්භ කළා. එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතා අලංකාර අයුරින් ධර්ම දේශනාවක් පැවැත්තුවා. සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩසිට මේ අයුරින් සිංහනාද කළා.

“ස්වාමීනී, කල්පයක් පුරාවට වැස්ස වහිද්දි මෙපමණ වැහි බිංදු ප්‍රමාණයක් මුහුදට වැටුණා. මෙපමණ වැහිබිඳු ප්‍රමාණයක් බිමට වැටුණා. මෙපමණ වැහිබිඳු ප්‍රමාණයක් කඳු මුදුනට වැටුණා කියලා ගණන් කර දක්වන්නට මට පුළුවනි.”
“සාරිපුත්ත, ඔබට ඒ අයුරින් ගණන් කරන්නට පුළුවන් සමර්ථකමක් ඇති බව මා දන්නවා” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට උපමාවක් නම් නෑ.

“ගංගාය වාලුකා ඛීයේ – උදකං ඛීයේ මහං නවේ
මහියා මත්ථිකා ඛීයේ – න ඛීයේ මම බුද්ධියා

ගඟෙහි වැලි අවසන් වුණත්, සයුරෙහි දිය අවසන් වුණත්, පොළොවෙහි මැටි අවසන් වුණත්, මාගේ බුද්ධියෙහි ක්ෂය වීමක් නැත.”

ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේගේ විස්මිත වූ ප්‍රඥාව ගැන මේ අවස්ථාවේදී ගොඩාක් කතා බහ වුණා. බුදුරජාණන් වහන්සේ හැරුණු කොට ප්‍රඥාවෙන් ලෝකයෙහි ඉතාමත් දියුණු මට්ටමේ හිටියේ සාරිපුත්තයන් වහන්සේ තමයි. ඉතා අසීරු ප්‍රශ්න පවා උන්වහන්සේ විස්තර විභාග කරමින් විසඳන්නට දක්ෂයි.

මෙතෙක් අප ඉගෙන ගත් මේ විස්තර හරී පුදුම සහගතයි. අසිරිමත් සිදුවීම් රාශියක් පෙළගස්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම නිසා සිදුවන ආශ්චර්ය අද්භූත කරුණු ගැන අපට විග්‍රහ කරන්නට අමාරුයි. ඒවා අයිති බුද්ධ විෂයටයි. සාරිපුත්තයන් වහන්සේටවත් බුද්ධ විෂයට අයිති දේ විස්තර කරන්නට බැහැ නෙව. ආශ්චර්ය අද්භූත ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබීම කොයිතරම් වාසනාවක් ද?”

ධම්මපදය ආදී සම්බුද්ධ දේශනා තුළත්, ශාසන ඉතිහාසයේත් මෙසේ ඉතාම පැහැදිලිව කරුණු සඳහන්ව තිබියදී, පුරාවිද්‍යාත්මකව ද එම කරුණු තහවුරු වී තිබියදී “බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා” යන බරපතළ මිත්‍යාව පැතිරවූ භික්ෂුව සංකස්සය ගැන ද බොදු හදවත් සංවේගයට පත් කරවන ආර්යෝපවාද මුසා ඇදබාන ආකාරය අසන්නට ලැබුණි. ඒ මාරාවේශ වූ උමතුවෙන් මෙන් දොඩන භික්ෂුවට අනුව මහාමායා යන නම වැටුණේ සිදුහත් කුමරු ඉපදුණු පසු බෝසත් මව ලිංග විපර්යාසයක් වී පිරිමියෙකු වූ නිසාවෙන් ලු. ඉන්පසු සුද්ධෝදන රජු පිරිමියෙකු වූ බෝසත් මව ගල්ලෙනක රඳවා තැබුවේලු. පසුව බෝසත් තුමා ඉනිමගකින් එම ගල්ලෙනට බැස පිරිමියෙකු වූ මව මුණගැසුණේලු. අහස පොළොව නුහුලන මෙවැනි බරපතළ ආර්යෝපවාද මිථ්‍යාවන්ට සැදැහැති බුද්ධිමත් බෞද්ධයන් නොරැවටෙත්වා! ඕපපාතික උපතවත් නොපිළිගන්නා මිත්‍යාදෘෂ්ඨික මේ ශ්‍රමණවේශධාරීන්ගේ සැබෑ ස්වභාවය, ආධ්‍යාත්මික නිරුවත හඳුනාගෙන එම භයානක අසත්පුරුෂ ආශ්‍රය බැහැර කරත්වා! කල්‍යාණමිත්‍ර සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින්, සැබෑ සම්බුද්ධභූමීන් පහන් සිතින් වැඳ පුදා ගනිත්වා. පින් රැස්කරගෙන, කුසල් වඩා සුගතිගාමීව ධර්මාවබෝධ කරත්වා!

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ