සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං

සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

ඉවසීම කියන ක්‍ෂාන්තියයි උතුම් තපස කියලා කියන්නෙ. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා නිවන ම උතුම් කියලයි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන්ට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් වෙන්නෙ නෑ.

අනූපවාදෝ අනූපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං

කාටවත් නින්දා අපහාස කරන්ට හොඳ නෑ. කාගෙවත් ජීවිතයක් හානිකරන්ට හොඳ නෑ. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ වළඳලා, දුර ඈත වන සෙනසුන්වල තමයි කල් ගෙවන්ට ඕනෙ. චිත්ත සමාධිය හොඳට පුරුදුවෙන්ට ඕනෙ. බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි. ඕවාද ප්‍රාතිමෝක්ෂය