පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලදුව දිවයින පුවත්පතේ සහ මහාමේඝ පුවත් සඟරාවේ “බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?” යන නමින් පළකරන ලද පර්යේෂණ ලිපි පෙළ එකතු කොට සැකැසුණු ග්‍රන්ථය දැන් මහාමේඝ ප්‍රකාශනයක් ලෙසින් ඔබ අතට…..

විමසීම් –
(+94) 37 205 3300
(+94) 76 8255 703

මෑත භාගයේ පැවිදි වූ එක්තරා මිසදිටු පිරිසක් විසින් ‘තුමූ පටිසම්භිදාලාභී මහ රහත්හු’ යැයි පවසමින්, එවන් වදනකට ස්වභාවයෙන් ම පැහැදෙන මහජනයා මුළා කොට සිය වසඟයට ගන්නා ලදී.

ලොවෙහි ජීවමානව පවතින පරම පිරිසිදු නිර්මල බුද්ධ වචනයෙන් යුක්ත පාළි ත්‍රිපිටක ධර්මය බලවත් දෝෂයන්ගෙන් යුක්ත බවත්, එහි නිරතුරුව ඉස්මතු වෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සම්පූර්ණයෙන් ම වැරදි බවත්, තුමූ රහත් වූ නිසාවෙන් යළිත් නිවැරදි ධර්මය මතු වූ බවත් පවසමින් අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ළාමක තර්ක කුතර්ක ගොඩ නගමින් අතිශයින් ම විකෘති වූත් බිහිසුණු වූත් සද්ධර්ම ප්‍රතිරූපකයන් නිපදවන්නට වූහ.

ඒ සඳහා ඔවුන්ට පැවති ප්‍රධාන ම බාධකය වූයේ පාළි ත්‍රිපිටකය කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවාදර භක්තිය යි. එකී ශ්‍රද්ධාව නැසීම පිණිස ඔවුන් යොදාගත්තේ අහස පොළොව නුහුලන තවත් සාපරාධී මිසදිටුවකි. එනම්, අපගේ ශාස්තෘන් වහන්සේ ලංකාවේ උපන් බවට ව්‍යාජ මතයක් සමාජගත කිරීමයි.

මෙකී බිහිසුණු මිසදිටුව ඉතා සියුම් ලෙස පොදු ජනයාගේ සිත් සතන් ග්‍රහණය කරගනිමින් කුසල් මාර්ගයෙන් බැහැර වෙමින් ආර්යෝපවාද මාර්ගයකට බැස ගනිමින් සිටියදී අප රටේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේලා ද මෙකී ව්‍යසනය ගණනකට නොගෙන කරබාගෙන සිටියහ.

සියලු සම්මා සම්බුදුවරුන්, පසේබුදුවරුන්, මහා ශ්‍රාවක මහරහතුන්, සක්විති රජවරුන් පහළ වන්නේ වර්තමානයේ ඉන්දියාව නම් වූ දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි මිස දඹදිවට දකුණින් පිහිටි කුඩා ප්‍රත්‍යන්ත ද්වීපයක් වන ලංකාවේ නම් නොවේ.

එහෙත් මේ ව්‍යාජ රහතුන් සිය බිහිසුණු අධර්මය තහවුරු කරනු වස් හෙළදිව, හෙළය, නිර්මල හෙළ බස, සැබෑ දඹදිව, සිව්හෙළය ආදී වදන් යොදා ගනිමින් ඉතා සියුම් ලෙස සිය මතය සමාජගත කළහ. මෙවන් වටපිටාවක් තුළ අපගේ ශාස්තෘන් වහන්සේගේ සැබෑ ජාතභූමියට ගර්හා කරමින් ගොඩනගන ලද විකෘතිය සිඳබිඳ ලන්නට ශාසනමාමක සැදැහැවත් භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත්ව සිටීම ජාතියේ වාසනාවකි.

ඉංගිරියේ, මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති, අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී මංගලාභිධාන, ශ්‍යාමෝපාලි මහා නිකායේ වනවාසී (වතුරුවිල) සංඝ සභාවේ අනුනායක මාහිමියන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ලබා, මහමෙව්නාව භාවනා අසපුව ඇසුරෙන් ධර්ම විනය හදාළ පූජ්‍යපාද යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ විසින් සකසන ලද ‘බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?’ යන මාහැඟි පර්යේෂණ ග්‍රන්ථය ලක්වැසි ගිහි පැවිදි කවුරුත් අනිවාර්යයෙන් කියවිය යුතු අමූල්‍ය ග්‍රන්ථ රත්නයෙකි.

මනා අවධානයකින් යුතුව මෙම ග්‍රන්ථය කියවන ඕනෑම අයෙකුට අපගේ ශාස්තෘන් වහන්සේගේ සැබෑ ජාතභූමිය පිළිබඳව මහත් ගෞරවයක් භක්ති ප්‍රේමයක් උපදින බව නිසැක ය. මේ මගින් ‘බුදුරදහු ලංකාවේ උපන්හ’ යන බිහිසුණු මිසදිටුව දුරු වේවා! යි පතන අතර මෙම ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේට මේ පින උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස වේවා! යි ඉත සිතින් පතමි.

මෙයට,
ගෞතම බුදු සසුන තුළ,
මෙත් සිතින්,
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ දුරුතු මස 05 දා