ගම්පහ, මීරිගම භික්ෂූන් වහන්සේ නමක් දෙසතියකට ඉහතදී මීරිගම නගරයේ මාරාන්තික උපවාසයක් පැවැත්වීය. උන්වහන්සේ එසේ කළේ බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බව පවසමින් ධර්මය විකෘති කරන භික්ෂුවක් එම ප්‍රදේශයේ ඉදිකළ නීතිවිරෝධී විහාරස්ථානයක් ඉවත් කරන ලෙස බලකරමිනි. මේ සිද්ධීන් සමග බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවට පැවසෙන කතාව යළි කරළියට පැමිණ තිබේ. ඇත්තටම බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී තිබේද? ඒ ගැන මෙසේ අදහස් දක්වන්නේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන් ය.

ඔබවහන්සේ, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ පුළුල් ගවේෂණයක යෙදුණු යතිවරයෙක්. එම අධ්‍යයනයන් අනුව බලද්දී ඉතිහාසයේ කවර හෝ අවදියකදී මේ ශ්‍රී ලංකාවට ‘ජම්බුද්වීපය’ යැයි හැඳින්වූ බවට සාක්ෂි හමුවෙලා තිබෙනවද?

රත්නදීප, සිංහලදීප, ලංකාදීප, ලංකා, සිලෝන්, සෙරන්ඩිබ්, තැප්‍රොබේන් යනාදී වූ නම්වලින් ශ්‍රී ලංකාව හඳුන්වා තිබෙනවා. එහෙත් ජම්බුද්වීපය නමින් හැඳින්වූ බවට කිසිම සාක්ෂියක් හමුවන්නේ නැහැ. ජම්බුද්වීපය නමින් හඳුන්වා දී තිබෙන්නේ ඉන්දියාවටයි. ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට ප්‍රකාශ කළේ “තවේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා” කියලයි. “ජම්බුදීපා ඉධාගතා” කියන්නේ ලංකාවේ ඉඳලා ආවා කියන එක නෙමෙයිනේ. දඹදිව (ඉන්දියාවේ) ඉඳලා ආවා කියන එකයි.

අපේ රටේ ඉන්න කිහිප දෙනෙක් තර්ක කරනවා ‘ජම්බුද්වීපය’ යනු මහද්වීපයක් හෝ අර්ධද්වීපයක් නොවේය. ජම්බුද්වීපය යනු ‘දිවයිනක්’ ය කියා?

ඔබ ඔය කියන කිහිප දෙනා ගේන තර්ක කිසිම ගැළපීමක් නැහැ. තමන්ගේ මතය පමණක් සනාථ කරන්න පිස්සො කියන පිස්සු කතා. ඕවා පුහු මනෝවිකාර විතරයි. ද්වීප කියන්නේ දෙපැත්තකින් ජලයෙන් වට වූ භූමියයි. දැන් ඔය අප්‍රිකා මහද්වීපය කියන්නේ දූපතක් නෙවෙයිනේ. දෙපැත්තකින් ජලයෙන් වට වූ ප්‍රදේශයක්. ජම්බුද්වීපයත් (ඉන්දියාව) එහෙමයි.

ශ්‍රී ලංකාව, ජම්බුද්වීපය යැයි හැඳින්වූ බවට තර්ක කරන කිහිප දෙනා සඳහන් කරන්නේ අනුරාධපුර යුගයෙන් පස්සේ නිර්මල බුදුදහම විකෘති වූ බවයි. වෛතුල්‍යවාදය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වැනි මහායාන සූත්‍රයන්ගේ බලපෑම උඩ එම විකෘතිය සිදුවූ බවත් කියනවා. ‘ජම්බුද්වීපය’ නමින් කරන ලද හැඳින්වීම මහායාන බලපෑම නිසා වෙනස් වුණාලු?

ඕකත් අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙ වගේම තමයි. ඔය කියන්නේ පල් බොරු. මහායාන මතය ලංකාවට ආවේ පොළොන්නරු යුගයට බොහොම කලින්. අනුරාධපුර යුගයේදී. අපේ මහාවිහාරය කිසි දිනක ඔවැනි මත පිළිගත්තේ නැහැ. ඔය බෝධිසත්ව ප්‍රතිමා වන්දනාව, බෝධිසත්ව රූප ආදිය මහායානයෙන් පැමිණියාට ත්‍රිපිටක ධර්මයට කිසිම හානියක් කරන්න මහායානිකයන්ට හැකිවුණේ නැහැ.

සිද්ධාර්ථ කුමාරයා උපන්නේ ලුම්බිනියේ ය කියා සනාථ කළ හැකි සාධක තිබෙනවද?

ඉන්දියාවේ හිටපු අශ්වඝෝෂ හාමුදුරුවෝ ලියපු ‘බුද්ධ චරිතය’ සංස්කෘත මහා කාව්‍යයේ සඳහන් වෙනවා බෝධිසත්වයන් වහන්සේ ලුම්බිණියේ උපන් බව.

එම සංස්කෘත මහා කාව්‍යය බිහිවෙන්නේ කවර කාලයකදී ද?

අශ්වඝෝෂ හාමුදුරුවෝ ඔය මහා කාව්‍යය ලියන්නේ ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ කනිෂ්ක රජ්ජුරුවන්ගේ කාලයේදී.

ඒ විතරක් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයා ඉපදුණේ ලුම්බිණියේ බව එම ප්‍රදේශයේ කරන ලද කැණීම්වලින් සොයාගත් පුරාවස්තු මගිනුත් සනාථ වී තිබෙනවා. අනිත් එක සිද්ධාර්ථ උත්පත්තිය (බුදුන්ගේ උපත) සිදුවූ ස්ථානය බවට හඳුනාගෙන අශෝක රජතුමා ශිලාස්ථම්භයක් ද පිහිටෙව්වා.

ඉතින් මේ කාරණා බොරු කරන්න කිසිවෙකුට බැහැ. එම කාරණා බොරු කිරීම සඳහා වෙනත් සාධක ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. මොකද එවැනි වෙනත් සාධක නැති නිසා.

ඔය කියන අශෝකස්ථම්භය ඉන්දියාවේ පුරාවිද්‍යාව මගින් සොයාගෙන තිබෙනවද?

ඉන්දීය පුරාවිද්‍යා සාධකවලට අනුව අශෝකස්ථම්භය සහිත ‘ලුම්බින්දේ’ සෙල්ලිපියේ ‘ඉධ බුධ ජාතේ’ යනුවෙන් ‘බුදුන් උපන් තැන’ කියා වාක්‍යයක් ඇතුළත්ව තිබෙනවා.

ඒත් ලංකාවේ ඉන්න කිහිප දෙනෙක් කියනවා බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ ලු?

ඒ විහිළුකාරයෝ කිහිප දෙනා විහිළු සපයනවා. ලුම්බිණිය ඉන්දියාවේ බවට මෙපමණ සාක්ෂි තිබියදී නුවර යුගයේ පමණ බිහි වූ ගල්ලෙන් විහාරයන් ලුම්බිණිය කියලා පෙන්නනවා. ඔය විහාරස්ථානයේ කැලෑ වැදිච්ච ජරාවාස වූ ගල්ලෙන් කිහිපයක් තිබෙනවා. එම ගල්ලෙන් මහා සංඝරත්නයට පූජා කළ බවට ශිලා ලේඛනත් එතන තිබෙනවා.

ඒත් ලුම්බිණියක් ගැන සඳහනක් කොහෙවත් නැහැ. එහෙම වෙන්නත් බැහැනේ. ඉන්දියාවේ එච්චර සාධක තිබියදී මෙහෙ විගඩම් නටනවා.

අනෙක් කාරණය ජය ශ්‍රී මහා බෝධිය. ජය ශ්‍රී මහා බෝධිය වැඩමවූවේ ඉන්දියාවේ සිට සංඝමිත්තා තෙරණිය බවයි ඉතිහාසය කියන්නේ? නමුත් මේ ගැනත් අද මතවාද පළවෙනවා?

මහාවංශය, බෝධිවංශය ආදී ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් වෙනවා මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කරලා ජම්බුද්වීපයේ (ඉන්දියාවේ) සිට ගෙනල්ලා මෙහේ රෝපණය කළ බව.

බෝධිවංශය රචනා වන්නේ කුමන කාලයකදී පමණ ද?

මුල් ම බෝධිවංශය අනුරාධපුර යුගයේදී පමණ රචනා වූ බවට සැලකෙනවා.

සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි බවට සාක්ෂි තිබෙනවද?

‘හත්ථාල්හක මෙහෙණවර’ කියන ආරණ්‍යයේ සඟමිත් තෙරණිය වැඩ සිටි බවට අපේ පුරාණ පොත්පත්වල කියැවිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ භික්ෂුණී සංඝයා ඇතිවන්නේ සඟමිත් තෙරණියගේ පැමිණීම නිසයි. මේවා ඓතිහාසික කාරණා.

මිහිඳු මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් වන පුරාවිද්‍යා සාධක කෙබඳු ද?

මහින්දාගමනය සිදුවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පමණ පසුයි. මහින්දාගමනය පිළිබඳව සඳහන් කෙරෙන මිහින්තලයේ ඇති ශිලා ලේඛනයේ මිහිඳු හිමියන් පැමිණ වසර සියයකට පමණ පසු කරපු එකක්. මිහිඳු හිමියන් සමග වැඩි තෙරුන් වහන්සේලා තුන්නමකගේ නම් එම ශිලා ලේඛනයේ සඳහන් වෙනවා. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන්ගේ නම් එහි සඳහන් වෙනවා.

ඒ සෙල්ලිපිය ලියවිලා තිබෙන්නේ බ්‍රාහ්මීය අක්ෂරවලින් ද?

ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ අක්ෂරවලින් ලියවිලා තිබෙනවා. නමුත් ඔය කියන ශිලා ලේඛනයට පෙර ක්‍රි. පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛනයක් අම්පාරේ රජගලින් හමුවෙනවා.

එම සෙල්ලිපියේ සඳහන් වෙනවා මහින්ද මහරහතන් වහන්සේගේ සහ ඉට්ඨිය රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ නිධන් කර චෛත්‍යයක් හැදුවා ය කියා.

ඉන්පසු පැවැති මහින්ද රජ්ජුරුවන්ගේ කාලයට අයත් වෙස්සගිරි සෙල්ලිපියෙත් මිහිඳු මහරහතන් වහන්සේ ගැන සඳහන් වෙනවා.

මේ සාධක එක්ක ගත් විට මිහිඳු මහරහතන් වහන්සේ ජම්බුද්වීපයේ (ඉන්දියාවේ) සිට ශ්‍රී ලංකාවට වැඩම කළ බවට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා.

ඔබවහන්සේ ඔය පෙන්වා දෙන සාධක මිහිඳු මහරහතන් වහන්සේ ජම්බුද්වීපයෙන් පැමිණි බව ඔප්පු කිරීමේ වුවමනාව මත පසුකාලීනව ගොඩ නගාගත් ඒවා ය කියා ඇතැමෙකු කිව්වොත්?

ඔය සෙල්ලිපි ලියැවෙන කාලේ ‘බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ’ ය කියන කණ්ඩායමක් හිටියේ නැහැනේ. ඒ කාලේ එවැනි මතයක් තිබුණා නම් ඊට අවශ්‍ය ලෙස ඔය සාධක හැදුවා කියන්න තිබුණා. ඔය සෙල්ලිපිවල වාර්තා කරලා තිබෙන්නේ වෙච්ච සිදුවීම පමණයි. මොකද බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ ය කියන පිස්සො ටික බිහිවුණේ මේ ඊයේ පෙරේදා නේ. අනිත් කාරණය බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ඒක වෙනස් කරන්න තරම් අපේ පැරණි මිනිසුන්ට තිබුණු වුවමනාව මොකක්ද? පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියන්න ඔය බොරුකාරයන්ට.

ඔබවහන්සේ පෙන්වාදෙන ආකාරයට මෙතරම් ඓතිහාසික සාධක තිබියදීත් ‘බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ’ ය කියා දුර්මත බිහිවෙන්න හේතුව මොකක්ද?

ඉතිහාසයයි, බුදු දහමයි දඩමීමා කරගෙන එක එක පුද්ගලයෝ කල්ලි හදාගෙන වැජඹෙන්න හදන යුගයක් මේක.

ඇතැමෙක් අලුත් මතයක් ඉදිරිපත් කරලා තමන්ගේ කියා කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායමේ නායකත්වය අරගෙන වැජඹෙන්න උත්සාහ කරනවා. ඔන්න ඔය තත්ත්වය තමයි දැන් උදාවෙලා තියෙන්නේ.

ඔබවහන්සේ ස්වේච්ඡාවෙන් ම අති විශාල පුරාවිද්‍යා ගවේෂණ සංඛ්‍යාවක් කරලා තිබෙනවා. ඒ ගවේෂණවලදී මොනයම් හෝ බුදුවරයෙක් මේ අප මව්බිමේ පහළ වුණු බවට සැක කළ හැකි සුළු හෝ සාධකයක් හමුවී නැද්ද?

ඇතැම් විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් වඩා විශාල සෙල්ලිපි සංඛ්‍යාවක් මම කියවලා ඇති. එහෙත් මේ වන තුරු කිසිම සාධකයක් හමුවෙලා නැහැ බුදුවරයෙක් මේ රටේ පහළ වූ බවට.

ඔවැනි තත්ත්වයක් පවතිද්දි බුදුදහම පිළිබඳ රටේ දුර්මත පැතිරෙන්නේ කාගේ වුවමනාවකට ද?

මේ රටේ බුදුදහම සහ බෞද්ධ ඉතිහාසය විනාශ කිරීමේ සීතල යුද්ධයක් තිබෙනවා. එය අපට නොපෙනෙන, නොහැඟෙන ලෙස ක්‍රියාත්මක වෙනවා. බුදුදහම විනාශ කරන්න බටහිර අන්තවාදීන් ගෙන ගිය උත්සාහයන් ව්‍යර්ථ වුණු නිසා, ඒ බාහිර ක්‍රියාවලියෙන් විනාශ කරන්න බැරි වූ බුදු දහම අභ්‍යන්තර ක්‍රියාවලියකින් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් කරන බව මට පේනවා.

බුදුදහම ඇතුළට රිංගලා ඒකේ ඉඳගෙන අරක බොරු, මේක බොරු කිව්වහම රටේ බෞද්ධයෝ අන්දමන්ද වෙනවා.

බුදුන් උපන්නේ ලංකාවේ ය කියන එකත් බුදුදහම විනාශ කරන තවත් කුමන්ත්‍රණයක් තමයි.

ඒ කියන්නේ සැකය ඇති කරනවා?

ඔව් සැකය ඇතිකරනවා. මිනිස්සු අතර යම් වාදයක් නිර්මාණය කරලා එය විවාදයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ මිනිස්සු තුළින්ම ථේරවාදී බුදුදහම ප්‍රතික්ෂේප කරවීමටයි.

ශාස්ත්‍රීය ලෙස පිළිගත නොහැකි කිසිදු සාධකයක් නැති, හිතෙන හිතෙන දේ ප්‍රකාශ කොට මිනිස්සු අතර විමතිය ඇති කිරීමේ අරමුණ විනාශයක් කිරීමයි.

මෙහෙම ගියොත් අපේ රටේ ඓතිහාසික සිද්ධස්ථානයන් පවා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න බැරි නැහැ?

හබරණ සෙල්ලිපියට අනුව අභිවඞ්ඪමාන වැව කියලා වැවක් තිබෙනවා. ඔන්න ඔය වැව තියෙන ප්‍රදේශයේ ගලාගෙන යන කුණු ඇළකුත් තිබෙනවා. මඩ වතුර ගලාගෙන යන ප්‍රදේශයක්. ඔය බුදුන් උපන්නේ ලංකාවේ ය කියන ටික දෙනා නේරංජරා නදිය කියන්නේ මේ කුණු ඇළට. ඔය මඩවළේ තියෙන බෝගස්වලට දැන් වැටවල් ගහලා. ඔය ස්ථානයේ බෝධිසත්වයෝ බුදු වුණා කියන එක බුදුන් වහන්සේගේ පයේ පෑගුණු දූවිල්ලටත් කරන අපහාසයක්.

ඇත්තටම ගත්තොත් මේ මත ඉදිරිපත් කරන මිනිස්සුන්ටත් වඩා මේ මත පිළිගන්න මෝඩයෝ ඉන්න එක ගැන කණගාටුයි.

ඔබ කිව්ව වගේම මේ පිස්සො කිව්වොත් ශ්‍රී මහා බෝධිය වැඩක් නැහැ. දළදා මාලිගාව වැඩක් නැහැ කියලා. මෝඩ මිනිස්සු පැනලා ඒ තැන් විනාශ කරන්නත් ඉඩ තිබෙනවා.

මේ තත්ත්වය සුළුවෙන් තැකිය හැකි නොවන බවයි ඔබවහන්සේ මේ කියන්නේ?

ඔව් භයානක තත්ත්වයක්. ඔය මෝඩයෝ කිහිප දෙනාගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් දේවදත්ත හිටියේ කොහෙද? බිම්බිසාර, අජාසත්ත හිටියේ මොන ප්‍රදේශයේ ද? කොසොල් රජතුමා හිටියේ ලංකාවේ කොයි හරියෙ ද? සුද්ධෝදන රජතුමා, අමිතෝදන රජතුමා ගැන මොකද කියන්න? මේ කිසිවකට පැහැදිලි පිළිතුරක් දෙන්න ඔය මෝඩ රැලට බැහැ.

මේ ගෙනියන ප්‍රලාපය ඉතාම භයානකයි. එක අතකින් බුදුරජාණන් වහන්සේට කරන අපහාසයක්. අනෙක් අතින් අපේ බෞද්ධ ඉතිහාසයේ අත්තිවාරම කඩා බිඳ දැමීමක්.

ඒ වගේම හාමුදුරුවනේ, ත්‍රිපිටකය සම්බන්ධයෙනුත් අද සැක මතු වෙනවා. ඇතැමුන් කියනවා විකෘති කරන ලද ත්‍රිපිටකයක් තමයි දැන් තියෙන්නේ කියා. අටුවාචාරීන් වහන්සේලා බුදුදහම විකෘති කළා කියනවා?

බුදුන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ අටුවා සහිතව ම ලංකාවට ගෙනාවා.

ඒ බවට තිබෙන සාක්ෂි?

මහාවංශයේ ඒ ගැන සඳහන් වෙනවා. ඒ වගේම මහාවංශයටත් වඩා පැරණි දීපවංශයේ සඳහන් වෙනවා. වලගම්බා රජ සමයේදී ත්‍රිපිටක ධර්මය සංගායනා කරලා පොත්පත්වල ලියා තැබුවා. විභංග අට්ඨකථාවල සඳහන් වෙන ආකාරයට මේ ධර්ම සංගායනාව සඳහා මහරහතන් වහන්සේලා සම්බන්ධ වී තිබෙනවා.

ඇතැම් ආචාර්ය, මහාචාර්යවරුන් වගේම ශාස්ත්‍රීය දැනුමක් සහිත අයත් මේ අන්ධ විශ්වාසවල ඉන්න බව පේනවා?

අද හැමදේට ම ප්‍රධාන වෙලා තියෙන්නේ මුදල. මුදල් ලැබෙනවා නම් ඕන කෙරුමෙක් ඕන බලු වැඩක් කරන මට්ටමට පත්වෙලා. ඒකට ගිහි ද පැවිදි ද කියලා වෙනසක් නැහැ.

බුදුදහම මෙවැනි අනතුරකට ලක් වෙලා තියෙන අවස්ථාවක එය රැකගන්න ඉදිරිපත් වීමේ වගකීමක් මෙන්ම යුතුකමක් මහානායක හිමිවරුන්ට පැවරෙනවා නේද?

බුදු දහම ආරක්ෂා කරගන්න ඕන කණ්ඩායම් 4ක් ඉන්නවා. ඒ භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා පිරිස. අද භික්ෂුණීන් වහන්සේලා නැහැ. අනෙක් පිරිස් ඉන්නවා. මෙහිදී පළමු පිරිස වශයෙන් භික්ෂූන්ට යුතුකමක් තිබෙනවා. ධර්මය විකෘති කරනවාට ප්‍රතිවිරුද්ධව කරුණු දැක්වීමට. රජදරුවන්ට ඒ ගැන දැනුම්දීලා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඒ අයගේ වගකීම.

ඒ කියන්නේ ධර්මය අනතුරෙන් බේරා ගැනීම සඳහා කටයුතු කරන එක අපේ සංඝ රත්නයේ වගකීම. නමුත් ඒ වගකීම ඉටු කරනවාට වඩා අද සිදුවෙන්නේ ඒ වැරදි මත වැපිරීමට අනුබල දෙනවා හා සමාන වැඩයි. සංඝ මූලස්ථානවල තත්ත්වයත් ඕක ම තමයි. මේ සියල්ලට හේතුව මුදලට යටවීම යි.

දැන් බොහෝ ධර්ම දේශනාවල වුණත් ගත යුතු හරයක් නැහැනේ. ඒ හැම එකක් ම සට කූඨ කෛරාටික ව්‍යාපාර බවට පත්වෙලා. ඒ නිසා බුදුදහම රැකගැනීමේ අවංක චේතනාවෙන් පෙරට පැමිණිය යුතු යුගය දැන් එළඹිලා. අපට අංක එකට තිබෙන භික්ෂු කාර්යභාරය තමයි මේ ශාසනය රකින එක. දැන් ඒ අංක එකේ කාරණය පැත්තකින් තියලා භික්ෂුව වෙන වෙන අරමුණු ඔස්සේ යනවා.

නිර්මල බුදුදහම විකෘති වෙන ආකාරයෙන් සකස් කරන ලද පොත්පත් පවා දැන් මුද්‍රණය වෙනවා?

මෙවැනි මතවාද වැළැක්වීමට පිළිගත හැකි කිසිම සංවාදයක් මේ වනතුරු ශාසනික වශයෙන් සිදුවී නැහැ. ලංකාවේ ප්‍රධාන නිකාය 3ක් තිබෙනවා. එම නිකාය තුනේ ම මහානායක හාමුදුරුවරු හෝ අනුනායක හාමුදුරුවරු හෝ ලේඛකාධිකාරී හිමිවරු හෝ වෙනයම් මට්ටමකින් හෝ මෙම විනාශකාරී තත්ත්වයන් වැළැක්වීම සඳහා ගත් පියවරක් නැහැ. අනෙක් කාරණය නම් බෞද්ධ ග්‍රන්ථ නියාමනයට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කරගන්න මෙතෙක් අසමත් වීමයි.

මේ විකාරරූපී වැඩ පිටුදැකීම සඳහා ඔබවහන්සේගේ යෝජනාව කුමක්ද?

මේ ඉදිරිපත් වෙන වෛවාරණ මත ‘කන්ට සූත්‍රය’ හදා ගැනීම සඳහායි. අපේ පිරිසක් ඉන්නවා ඔවුන් කියන්නේ දැන් මේ ආත්මෙදි ම නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම මිනිස්සුන්ට බොරු කියලා ගෙන්වාගෙන පවුල් පිටින් මහණ කරවනවා. කිසිම ශාසනික ප්‍රතිපදාවක් දන්නේ නැති මේ අය භාවනා කරනවලු. අන්තිමේ කරන භාවනාවකුත් නැහැ. කියන බණකුත් නැහැ.

අම්මත් මහණ වෙලා, තාත්තත් මහණ වෙලා, ගෑනු එක පැත්තක භාවනා කරනවා. පිරිමි තව පැත්තක. මේක දැන් අලි කෝලමක්. ඉන්ටනෙට් එකෙන් බණ අහල මේ බහු භූතයො බහුභූත නටනවා.

දැන් බෞද්ධයොත් නන්නත්තාර වෙලා. බුද්ධාගම මොකක්ද, බුදුරජාණන් වහන්සේ කියන්නෙ කවුද කියලා තේරුම් ගන්න බැරි තත්ත්වයට බෞද්ධයෝ අසරණ වෙලා.

ඒ නිසා මේ විකෘතියට විරුද්ධව මහා සංඝරත්නය නැගී සිටිය යුතුයි. ඒත් තවමත් සංඝ මූලස්ථාන නිහඬයි. මහනායක හිමිවරු මේවාට විරුද්ධව නැගී නොසිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයක්….

  1. තුෂාර උඩවත්ත
  2. උපුටා ගැනීම – අරුණ පුවත්පත

              මුල් පිටුවට