කුරුංග නම් මුවාගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ,බුදුවදනට අනුව සසර ගමන තරම් භයානක වෙනත් දෙයක් නෑ. චතුරාර්ය සත්‍යය අවබෝධය ලබනා තුරු කැමති වුනත් අකමැති වුනත් හැමෝටම ඉපිද ඉපිද මැරි මැරී යන්ට වෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියේ පෙරුම් පිරුවේ පවා එබඳු බිහිසුණු සසරකයි. අප මහ බෝසතාණන් වහන්සේගේ පසුපසින් වෛර බැඳගෙන ආ දේවදත්ත නිසා බොහෝ දුක් විඳින්ට සිදුවුනා. බොහෝ අතුරු ආන්තරා වලට බඳුන් වුනා. ඒ විතරක් නොවෙයි. තමන් ළඟම පැවිදි වූ දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට කළහැකි සෑම හතුරුකමක්මත් කළා. දේවදත්තගේ මේ අසාමාන්‍ය පළිගැනීම බොහෝ භික්ෂූන්ගේ කතාබහට ලක්වුනා. මෙහි කියවෙන්නේ එබඳු සිද්ධියක්.
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනයේ. එදා දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා දේවදත්ත ගැන කථා කරමින් සිටියා. “ඇවැත්නි, හරීම පුදුමයි නේද… මේ දේවදත්තගේ පළිගැනීම. සෑහීමකට පත්වෙන දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට හානි කරනකල් දේවදත්තට නින්දක් නෑ වගේ. බලන්ට… අජාසත් රජ්ජුරුවන්නේ සහය අරගෙන දුනුවායන් යැව්වා. ඒක අසාර්ථක වුනා. ඊටපස්සේ නාලාගිරි ඇත්රජාට රා පොවලා හෙණ්ඩුවෙන් ඇනලා හොඳටෝම කුලප්පු කරවලා භාග්‍යවතුන් වහන්සේ වඩින මග මූණට මුලිච්චි වෙන්ට පිටත් කෙරෙව්වා. ඒකත් වැරදුනා…. ඊටපස්සේ ඇවැත්නි, තමන්නේ අතින්ම භාග්‍යවතුන් වහන්සේට හදි කටින්ට සිතුවා නොවැ. හොරාටම ගිජුකුළු පව්වට නැගලා හිට භාග්‍යවතුන් වහන්සේ පහළ සක්මන් කරද්දි උඩ ඉඳන් පහළට මහා ගලක් පෙරලුවා නොවැ. අපෙ අප්පෝ…. මේ දේවදත්තයා මෙවැනි දේ කරන්ට හිතන්නේ කොහොමෙයි?”
භික්ෂූන් වහන්සේලා ඔය විදිහට දේවදත්තගේ පළිගැනීම ගැන කථා කරමින් සිටියා. ඒ අවස්ථාවේ අප භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළා. පණවන ලද බුද්ධාසනයේ වැඩ සිටියා. ‘මහණෙනි, ඔබ මේ රැස්වෙලා කථා කරමින් සිටියේ කුමක් ගැනද?’ ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි කථා කරමින් සිටියේ දේවදත්ත ගැනයි. භාග්‍යවතුන් වහන්සේගේ ඤාති සහෝදරයා වෙලා උතුම් පැවිද්දත් ලබාගෙන කිසි වගක් නැතුව දිගින් දිගටම පළිගන්නවා නොවැ. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට හානි කරනාතුරු දේවදත්තට නින්දක් නැති ගානයි…’ “පින්වත් මහණෙනි, ඔය දේවදත්ත මට හමුවුනේ මේ ආත්මේ විතරක් නෙමෙයි. බොහෝ ආත්මවල බොහෝ වාර ගණන් මුණගැසී තියෙනවා. ඒ හැම වාරෙම උත්සාහ කළේ මාව වනසන්ට තමයි. එක්තරා ආත්මෙක ඔහු මාව වනසන්ට උත්සාහ කළා. නමුත් සාර්ථක වුනේ නෑ”
“අනේ ස්වාමීනී…. අපි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ බෝසත් අවධියේ දෙව්දත් මුණගැසුන අතීත විස්තරේ දැනගන්ට කැමතියි. අපට ඒ කථාව වදාරන සේක්වා!”
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහ බෝධිසත්වයෝ කුරුංග නමැති මුවෙක්ව ඉපදිලා වනයේ වාසය කළා. ඒ වනාන්තරයේ ඇත්දෙමට ගස් ගොඩාක් තියෙනවා. ඒ ඇත්දෙමට ගස්වල ගෙඩි හැදෙන කාලෙට කුරුංග මුවා එතනට එනවා. ඇත්දෙමට ගෙඩි කමින් වාසය කරනවා.
ඔය කාලේ ඒ ගමේ එක්තරා වැද්දෙක් හිටියා. ඔහු මුවන්ගේ පා සටහන් ඔස්සේ ගිහින් ගෙඩි තියෙන ගස්වල අට්ටාල හදනවා. ඊටපස්සේ අට්ටාලෙට ගොඩ වෙලා හැංගිලා ඉන්නවා. ගෙඩි කන්ට මුවන් ගස් යටට එද්දි සැතින් විද මරනවා. ඒ මස් විකුණලයි ඔහු ජීවත් වෙන්නේ.
දවසක් මේ වැද්දා ඇත්දෙමට ගස ළඟින් යද්දි බෝසත් මුවාගේ පා සටහන් දැක්කා. දැකලා ඇත්දෙමට ගහේ අට්ටාලයක් බැන්දා. උදෙන්ම කෑම කාලා ආයුධත් අරගෙන ගිහින් ඇත්දෙමට ගහට ගොඩවුනා. හැංගිලා හිටියා.
බෝධිසත්වයොත් ඇත්දෙමට ගෙඩි කන්ට ඕනෑ කියලා උදෑසනින් ම එතැනට ගියා. නමුත් එක්වරටම ගහට ළං වුනේ නෑ. අට්ටාල වැද්දන් මේ ගහෙත් අට්ටාල බැඳගෙන ඉන්ට බැරි නෑ කියලා කෝකටත් කල්පනාවෙන් වටපිට බැලුවා. මුවා ඈත සිටන් ගහ දිහා බලන් ඉන්නවා විතරයි. ළඟට පැමිණීමක් නෑ. වැද්දත් බලාගෙන සිටියා. මුවා එන පාටක් නෑ. එතකොට වැද්දා මුවාව ළඟට ගෙන්නා ගන්ට හිතලා සැඟවී සිටියදීම ඇත්දෙමට ගෙඩි කඩ කඩා මුවාගේ පැත්තට වීසි කළා. බෝසත් මුවා මෙහෙම හිතුවා. ‘හෑ…. හරි වැඩක් නොවැ… මෙතෙක් කලක් මා ඉදිරියට මෙහෙම ගෙඩි වැටුනේ නෑ. අද මොකෝ මේ මහ ආදරයකින් වගේ ගෙඩි ළඟටම එන්නේ…’ හිතලා හොඳ හැටියට විපරම් කළා. එතකොට ඇත්දෙමට ගහේ අට්ටාලේ සැඟවිලා තමන් දෙසට කුරුමානම් අල්ලන වැද්දාව දැක්කා. දැකලා නොදැක්කා වගේ මෙහෙම කිව්වා. “හනේ…. හනේ…. එම්බල වෘක්ෂය…. මීට කලින් මෙහෙම දෙයක් වුනේ නෑ නොවැ. තොපගේ වෘක්ෂයේ එල්ලී තියෙන ගෙඩි වැටුනොත් කෙලින් අතටම බිමට වැටුනා. අද මොකෝ මේ පැත්තට ඇලවෙලා මේ පැත්තට ගෙඩි වීසිවෙන්නේ? තෝ පැරණි වෘක්ෂ ධර්මයට විරුද්ධව ගියාද? තෝත් එහෙනම් තමන්ගේ වෘක්ෂ ධර්මයට විරුද්ධව ගියා නම් මාත් ඔය ගස යටට එන්නේ නෑ. වෙන ගසක් හොයාන යනවා” කියලා මේ ගාථාව පැවසුවා.
“ඇත්දෙමට රුක නුඹ
ඇයි මේ ගෙඩි ඇදේට වට්ටන්නේ
කුරුංග මුව වන මා එය දැනගත්තා
තොප රුකේ ගෙඩි අරුචිය මා හට
යන්නෙමි මං – වෙන ඇත්දෙමට රුක වෙත
එතකොට එය අහගෙන හිටපු වැද්දාට හොඳටම කේන්ති ගියා. “පල… මුවෝ යන්න. මාත් තොට විරුද්ධයි” කියලා වාඩි වී ඉන්න ගමන්ම ආයුධයෙන් මුවාට ගැහුවා. බෝධිසත්වයෝ විදුලිය වගේ සැණෙකින් අහකට පැනලා නැවතුනා. මෙහෙම කිව්වා. “එම්බල මිනිහෝ…. දැන් මට කවුරුහරි විරුද්ධ වුනොත් ඔහුට අටමහ නරකාදියත් උස්සද නිරය දහසයත් පස්වැදෑරුම් වධබන්ධනත් විරුද්ධ නෑ. ඒවා ඔහුත් එක්ක යාළුයි” කියලා බෝසත් මුවා වනයේ පඳුරු අස්සෙන් නොපෙනී ගියා.
ඉතින් පින්වත් මහණෙනි, ඉස්සරත් දේවදත්ත ඔහොම තමයි. මාව මරන්ටමයි උත්සාහ කළේ. නමුත් ඒ වතාවේ බැරිවුනා. ඒ කාලේ අට්ටාල වැද්දා වෙලා හිටියේ දේවදත්ත. කුරුංග මුවා වෙලා හිටියේ මමයි” කියලා මෙම කුරුංගමිග ජාතකය වදාළා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ