හැර දමා ගිහි වෙස – සැරසිලි බැහැර කරමින
ගිලිහුන පතින් යුතු – කොබෝලීල රුක ලෙස
වීරියෙන් යුතු කෙනා – සිඳ දමා ගිහි බන්ධන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….
අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කරන විග්‍රහය අතිශයින් සුන්දරය. කෙනෙකුගේ ජීවිතයක් තුළ නුවණින් විමසීමේ හැකියාව පිහිටා ඇත්නම්, ඇතැම් විට එය ක්‍රියාත්මක වන්නේ ඔහුටත් නොදැනීමයි. එහෙත් සමහර කෙනෙක් කොතරම් දුක් දොම්නස් වින්දත් එය ජීවිතය අවබෝධ කරගැනීම පිණිස උපකාරී වන්නේ නෑ. එයට හේතුව විය හැක්කේ ඔහු තුළ නුවණින් විමසීමේ හැකියාව නොවැඞී තිබීමයි. ජීවිතාවබෝධය පිණිස කෙනෙක් දුක් විඳිය යුතු බවට ධර්මයේ සඳහන් වන්නේ නැහැ. සැබැවින්ම ඔහු කළ යුත්තේ ප්‍රඥාව දියුණු කිරීමමය. ප්‍රඥාව දියුණු කිරීම යනු දුක් විඳීමක් නොව යථාර්ථය විනිවිද දැකීමය.
පසේබුදුවරයන් වහන්සේලා බොහෝ විට ඉපදී සිටින්නේ රජකුලවලය. එමෙන්ම විමුක්තිය උදෙසා යෑම පිණිස ඔවුන් කළකිරුණු කරුණු දෙස බලද්දී ඒවා සාමාන්‍ය ජනතාව කිසිසේත් ගණන් නොගන්නා කරුණුය. එයට වඩා අතිශයින්ම බලවත් වූ, හෘදය දෘඪතර ලෙස කම්පා වන කරුණුවලදී පවා බොහෝ දෙනෙක් හඬා වැටෙමින් සිට පසුව එය අමතක කොට කෙළි දෙලෙන් කල් යවන අයුරු නිතර දකින්නට පුළුවනි. නමුත් පසේබුදුවරයන් වීම පිණිස පින සකස් වූ පුණ්‍යවන්තයන්ගේ ජීවිත එයට හාත්පසින්ම වෙනස්ය. ඔවුහු කම්පා වෙති. සංවේදී මනෝභාවයන් ගෙන් යුතු වෙති. එමෙන්ම නුවණින් මෙහෙයවා එම කරුණු යළි හට නොගැනීම පිණිස ප්‍රඥාව දියුණු කොට එයින් එතෙර වෙති.
මෙම පසේබුදුවරයන් වහන්සේගේ තොරතුර සඳහන් වන්නේ ඛග්ගවිසාණ සූත්‍රයෙහි දසවන ගාථාව ලෙසය. බරණැස් නුවර චතුමාසික නමින් රජෙක් විය. ඇතැම්විට ඔහුට මේ නම වැටෙන්නට ඇත්තේ ඒ ඒ ඍතුවට අයත් මාස හතරේ ඔහු උයන් කෙළියට යන නිසා වෙන්න ඇති.
ඉතින් මේ රජතුමා ගිම්හාන ඍතුවේ ප්‍රථම මාසයෙහි උයන් කෙළියට ගියා. ඒ උද්‍යානයෙහි ඝන නීල පත්රයන්ගෙන් සුසැදි කොබෝලීල රුකක් දැක්කා.රජතුමා මේ වෘක්ෂය දුටු වේලෙහි මහත් සතුටට පත්වුණා.
“එම්බා අමාත්‍යවරුනි, අර කොබෝලීල රුක දෙස බලන්න. හරි අපූරු වෘක්ෂයක්. තද නිල් පාට පත්‍රවලින් යුක්තයි. සුදුපාට කඳින් යුක්තයි. හැබෑම ලස්සනයි. ඔව්. මං කැමතියි හවස් වරුවේ මේ කොබෝලීල වෘක්ෂය සෙවණේ විවේක සුවයෙන් ඉන්න. එනිසා මට යහන පැණවිය යුත්තේ අන්න අතනයි.”
රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. ඉතා සතුටින් කල් ගෙව්වා. හවස් වරුවේ කොබෝලීල වෘක්ෂය සෙවණේ පණවන ලද අසුනෙහි සැතපුණා. හරි සතුටින් එම වෘක්ෂය දිහා බලාගෙන හිටියා.
ගිම්හාන ඍතුවෙහි මධ්‍යම මාසය පැමිණුනා. දැන් තරමක් රස්නෙයි. රජතුමා උයන් කෙළියට ආවා. කොබෝලීල වෘක්ෂය මලින් පිරී තියෙනවා. අලංකාර පුෂ්පයන්ගෙන් ගැවසී ගත් එම වෘක්ෂය දකිද්දී රජතුමා මහත් සතුටට පත්වුණා.
“ෂා! හරිම අපූරුයි. හැබෑම ලස්සනයි…. ඔව්. අද සවස් යාමයෙහි විවේක ගැනීම පිණිස මගේ යහන පැණවිය යුත්තේ අන්න අර සුපිපුණු මලින් යුතු කොබෝලීල වෘක්ෂය සෙවණේ.”
රජතුමා ක්‍රීඩා කළා. පොකුණට බැස පීනුවා. මල් පැළැඳ ගත්තා. මධුවිත පානය කළා. සුරූපී ලඳුන් පිරිවරා කොබෝලීල රුක් සෙවණට ආවා. මල් පිපීගිය වෘක්ෂය දෙස බලමින් මහත් සතුටට පත්වුණා.
ගිම්හානයේ දුෂ්කරම කාලය පැමිණුනා. ඉතාමත්ම රස්නෙයි. රජතුමා ඒ අධික රස්නෙ දවසක උද්‍යාන ක්‍රීඩාවට ගියා. එදා රජතුමා රස්නෙ වැඩි නිසා කෙළින්ම පොකුණට ගියා. යන අතරේ ඇමතිවරුන්ට පවසා සිටියේ අර කලින් කොබෝලීල රුක් සෙවණේම යහන පණවන්න කියලයි. ඇමතිවරු එතෙන්ට ගියා. කොබෝලීල වෘක්ෂය දුටු වේලෙහි පුදුමයට පත්වුණා.
“හරි වැඬේ! මේ ගසේ එක කොළයක් වත් නෑ. එක මලක්වත් නෑ. නිකම් දඬු ටිකක් විතරයි තියෙන්නේ. රජතුමාට යහන පණවන්න තියෙන්නේ මෙතනමයි. අපට රාජ අණ ඉක්මවා යන්නත් බෑ. මෙතන යහන පණවන්නත් බෑ. කමක් නෑ. වෙන කරන්න දෙයක් නෑ. රජ අණට කීකරු වෙමු” කියලා ඇමතිවරු යහන පැණෙව්වා.
රජතුමා ඇති පදම් වතුර නෑවා. මල් පැළැන්ඳා. රස්නෙ අඩුවක් නැහැ. හවස් වෙද්දී රස්නෙ ගතිය අඩුවුණා. කොබෝලීල ගස ළඟට ආවා. දුටු පමණින් රජතුමාගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. රජතුමා යහනේ වැතිරී වෘක්ෂය දෙස බලා සිටියා.
“හරිම පුදුමයි… ගසකට ගිය කලෙක්! එක් කාලයක් ආවා. මේ ගස හිතන්න බැරි තරම් ලස්සනයි. සෑම පත්‍රයක්ම මැණික්වලින් කළා වගේ අමුතු දිස්නයක් දුන්නා. අමුතු අලංකාරයක් දුන්නා. ඇත්තෙන්ම කොළ දළුවලින් විසිතුරු වූ කොබෝලීල ගස නම් මට සිහිනෙනුත් පේනවා.
තව කාලයක් ආවා. මල් පිපිලා… අමුතු සිරියාවක් තිබුණා. හැබෑම ලස්සනක් තිබුණා. පබුලූ කැට වගේ දිළිසුණා. මේ වැලි අතුල පොළොවේ මල් පෙති වැටිලා තිබුණේ රත් කම්බිලියක් ඇතිරෙව්වා වගෙයි. අහෝ! ඒ කොබෝලීල ගස කෝ…? ඒ නීල වර්ණ පත්‍ර කෝ…? ඒ සොඳුරු පුෂ්පයන් කෝ….? අහෝ! ඒ සියල්ල ගිලිහී ගොස් කොබෝලීල වෘක්ෂය කාලයේ පහර කෑමට ලක්වුණා. ජරාවට පත්වුණා. මේක තමයි ලෝක ස්වභාවය! හටගන්නවාද යමක් එය වැනසී යාම එහි ස්වභාවයයි.”
ඇඳේ වැතිර සිටි රජතුමා දඬු පමණක් ඉතිරි වූ කොබෝලීල ගස දෙස බලමින් සිතන්නට පටන් ගත්තා. රජතුමාගේ ප්‍රඥාව අවධි වෙන්නට එම වෘක්ෂය හොඳ අරමුණක් වුණා. ජීවිතය ගැන විමසා බලන්නට කැඩපතක් වුණා. කොබෝලීල රුක දෙස බලා සිටිද්දී ඉපිද මැරී යන ජීවිතයේ ඇත්තේ ද මෙවැනි ස්වභාවයක්ය යන කරුණ පැහැදිලි වුණා. රජතුමාගේ සිත මැනැවින් එකඟ වුණා. සමාධිය වැඞී ගියා. එසේ සැතැපී සිටිද්දීම ප්‍රඥාව ද වැඞී ගියා. ආදීනව ඤාණය ඇතිවුණා. කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. ඒ රජුගේ සිත සියලූ කෙලෙසුන් ගෙන් නිදහස් වුණා. ඒ නිදා සිටි ඉරියව්වෙන්ම දකුණු පසට හැරෙද්දී පසේබුදුවරයෙක් බවට පත්වුණා.
ඇමතිවරුන් පැමිණ කාලය දැනුම් දුන්නා.
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, දැන් රෑ බෝ වීගෙන එනවා. අපට පිටත් වෙන්නට කාලයයි.”
එතුමා නැගිට්ටා. යහනේ පළඟක් බැඳ වාඩි වුණා. ඇමතිවරු ඇමතුවා.
“පින්වත්නි, මං දැන් රජකෙනෙක් නෙවෙයි. මට යථාර්ථය පෙන්වා දෙන්න පහළ වූ වෘක්ෂය ළඟයි මං දැන් ඉන්නේ. ජීවිතාවබෝධය කරන කැඩපත ලෙසින් මා ඉදිරියේ දිස්වූයේ මේ කොබෝලීල වෘක්ෂයයි. ජීවිතය කියන්නෙත් වෙනස් වන දෙයක් බව මට පසක් කරදුන්නේ මේ කොබෝලීල වෘක්ෂයයි. මාළිගාව යනු මට කැප දෙයක් නොවෙයි. මට කැප දෙය හැටියට තියෙන්නේ හුදෙකලාවේ වාසය කිරීමයි.”
ඇමතිවරු පුදුමයට පත්වුණා. ඔවුන්ට මෙය අදහා ගන්නට බැහැ. සුළු වේලාවකට කලින් පොකුණෙහි දිය නාමින්, මල් පැළැඳගනිමින්, කෙළිදෙලෙන් සිටි රජතුමා ද මේ? රාජ සැපයට ලොල්ව සුරූපී ළඳුන් පිරිවරා කාමරතියෙන් කල් ගෙවූ රජතුමා ද මේ? රස මසවුළු කෙරෙහි ලොල්ව, මධුවිත තොලගාමින් අභිරමණයෙහි යෙදුණු රජතුමා ද මේ? ඇමතිවරුන්ට මෙය සිහිනයක් වැනි දෙයක් වුණා.
“රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ මේ වෙනස අපට තේරෙන්නෙ නෑ. ඔබවහන්සේට කුමක්ද වුණේ? අද ටිකක් රස්නෙ තමා. රස්නෙ පිට පැන්පහසු වීමෙන් පිත කිපුණා වත්ද?”
“පින්වත්නි, මා ලද අවබෝධය කුමක්ද කියා විග්රහ කිරීමට මට පුළුවන්කමක් නැහැ. එක දෙයක් පැහැදිලි කරදෙන්න පුළුවනි. මං දැන් නිදහස් කෙනෙක්. මා නිදහස් වී සිටින්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බව මට වැටහෙනවා. කලින් නොතේරුණු දෙයක් තමයි මා දැන් පවසන්නේ. කලින් මා සතුටු වුණේ නිදහස් වීමෙන් නොව බැඳීයාමෙනුයි. දැන් මා සතුටු වන්නේ නිදහස් වීමෙනුයි. මේ නිදහස පිණිස මා කල්පනා කළ ආකාරය උදව් වුණා. නමුත් තව කෙනෙකුට තෝරා දෙන්න මට පුළුවන්කමක් නැහැ. මට හිතෙන්නේ මේ අලෞකික විරාගී සැපය ශ්‍රමණයන්ගේ අත්දැකීමක් බවයි.”
“රජ්ජුරුවන් වහන්ස, විරාගී සැපයට පත් වූ පච්චේකබුද්ධ නම් ශ්‍රමණ කොටසක් ගැන අප අසා තිබෙනවා. හැබැයි උන්වහන්සේලාගේ අදහසට ඔබවහන්සේගේ අදහස ගැලපෙනවා. නමුත් එක ගැටළුවක් තියෙනවා. ඒ සියලූ දෙනාම ශ්රමණයන් වහන්සේලා මිසක් ගිහි උදවිය නොවෙයි. කෙස් රැවුල් බහා, කසා වත් දරා සිටින උන්වහන්සේලා පිඬුසිඟා යෑමෙනුයි ජීවත් වෙන්නේ. ඉතින් ඔබවහන්සේ එහෙම කෙනෙක් නොවෙයිනේ.”
එතකොට එතුමා හිස අතගෑවා. තම සිරුර දෙස බැලූවා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. කසාවතක් ගත දැවටී ගියා. පාත්‍රයක් අත රැඳුණා. විස්මයට පත් ඇමතිවරු පසේබුදුරජාණන්වහන්සේට වන්දනා කළා. උන්වහන්සේ මෙම ගාථාව ප්‍රකාශ කොට වැඩම කළා.
ඕරෝපයිත්වා ගිහිව්යංජනානි
සංසීනපත්තෝ යථා කෝවිලාරෝ
ඡෙත්වාන වීරෝ ගිහිබන්ධනානි
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ“ගිහි ජීවිතයක ඇති ආටෝප සාටෝප සාඩම්බර සාලංකාරී ගති ඉවත් වූ විට මේ කොළ හැලිච්ච කොබෝලීල ගස වගේමයි. වීරියවන්ත පුද්ගලයා ගිහි බන්ධන සිඳ බිඳ දමා විමුක්තිය කරා යනවා. ඊට පස්සේ ඔහු නිදහස්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
සාදු! සාදු!! සාදු!!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴