BlogTemplate

පිරිසත් සමඟ ඇලෙමින් නිති කල් ගෙවන
කෙනෙකුට නොමැති සැනසුම දහමක රැඳුන
මුනිවරුන් පැවසූ මෙය – අසාගෙන සිත සතුටින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා විසින් වදාරණ ලද ගාථාවන් මතු කොට පෙන්වීම නිසා අපට මේ විස්මිත මුනිවරුන් ගැන ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබුණා. සසරෙහි කරන ලද පුණ්‍යානුභාවයෙන් යුතුව උපදින මේ මහා පුරුෂයින් හට නිසි කල පැමිණෙන විට පසේබුදුවරුන්ගෙන්ම උපකාර ලැබේ. එය බොහෝ පසේබුදුවරුන් කෙරෙහි දක්නට ලැබෙන දෙයකි.

අප ද අපට උපකාර කරන, කරදරයේදී පිහිට වෙන, යහපත් අරමුණු උදෙසා මඟපෙන්වන උතුමන්ව හඳුන්වා දෙන්නේ ඉෂ්ට දේවතාවුන් නමිනි. පසේබුදු බවට පින් ඇති මේ උදාර මනුෂ්‍යයින්ට ද පසේබුදුවරයන් පිහිටවන්නේ ඉෂ්ට දේවතාවුන් පරිද්දෙනි. මෙහි සඳහන් වන්නේ එවැනි කථාවකි.

මහා පින් ඇති කෙනෙක් බරණැස් රජුගේ පුතෙකුව උපන්නේය. මේ කුමරා කුඩා අවදියෙහිම කෙලි සෙල්ලම් අත්හැරියා. දඩයම් අත්හැරියා. විනෝදය අත්හැරියා. අමුතුම ජීවිතයක් ගෙව්වා. මෙය හැමෝටම ප්‍රශ්නයක් වුණා. සියලු සැප සම්පත් තියෙද්දී මේ දරුවා කල්පනා කරන්නේ ජීවිතාවබෝධයක් ගැනයි. රජ බිසව මහත් සේ කම්පා වුණා.

“අනේ මගේ පුංචි පුතේ…. ඔයා උද්‍යාන ක්‍රීඩාවට ගියත් සෙල්ලම් කරන්නේ නෑ. කල්පනා කරනවා. රසවත් කෑම හදලා දෙන්නේ අපි කොයිතරම් ආශාවෙන්ද? ඒවා කන්නෙත් නෑ. දැන් බලන්න…. ඊයේ රාත්‍රියේ නාටිකාංගනාවන් මොනතරම් ලස්සනට ගී ගැයුවද? මොනතරම් ලස්සනට නැටුවද? ඇයි ඔයා සතුටු නොවෙන්නේ? ඔයාට අසනීපයක් වත්ද? අනේ පුතේ, සඟවා නොගෙන කියන්න. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං සූදානම්.”

“නෑ… පින්වත් මෑණියනි, මං රාජාභරණවලට ආශා නෑ. මං මේ උද්‍යාන ක්‍රීඩාවට ආසා නෑ. දඩයමේ යන්න ආසත් නෑ. මේ නාටිකාංගනාවන් මට පෙනෙන්නේ සෙවණැලි වගෙයි. මෑණියනි, මට හිතෙන්නේ මෙහෙම දෙයක්. මං අහලා තියෙනවා ශ්‍රමණවරු ගැන. ශ්‍රමණවරු ඉන්නේ මඩෙන් ගොඩට නැගී පිපුණු නෙළුම් වගේලු. නෙළුම් පතක නොරඳින දිය බිඳු වගේලු. දැලකට හසු නොවෙන සුළඟක් වගේලු. එක්තැන නොරැඳි ගලා යන ගඟුලක් වගේලු. හිමාල මුදුනෙහි තිබෙන ගැඹුරු විලක් වගේලු. අනේ මෑණියනි, මටත් එහෙම කෙනෙක් වෙන්න ඕන.”
“පින්වත් පුතේ, ඔයා මොනවද මේ කියන්නේ? කවුද ඔයාට මේවා කිව්වේ? ජීවිතය කියන්නේ හරි ආනුභාව ඇති දෙයක්. ඔයාට උපස්ථාන කරන්න ඔයාගේ පිය රජතුමා විසිදාහක් නාටිකාංගනාවන් පිළියෙල කළා. ඔයා නැතුව අපි ජීවත් වෙන්නෙ කොහොමද?”

“නෑ… පින්වත් මෑණියනි, මං ශ්‍රමණ කෙනෙක් වෙනවාමයි. මගේ ගමන වළක්වන්න එපා! මේ හැම දෙයක්ම මං කැමති නෑ.”

ඉතින් බිසවුන් වහන්සේ මොනතරම් කරුණු කිව්වත් පුත් කුමරයාගේ සිත වෙනස් කරන්න බැරිවුණා. රජතුමා නොයෙක් අයුරින් කුමරාට කරුණු කිව්වා. කාගෙවත් කීම අහන්නෙ නෑ. අන්තිමේදී කුමරාගේ අදහසට එකඟ වෙන්න සිදුවුණා. එතකොට බිසව රජතුමාට මෙහෙම කිව්වා.

“දේවයන් වහන්ස, අපගේ පුත් කුමරාගෙන් වෙන් වී අපි ඉන්නෙ කොහොමද? නමුත් මේ පුත් කුමරා පැවිදි වුණොතින් අපට කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ. මොනතරම් කරුණු කිව්වත් මේ දරුවාගේ සිත වෙනස් වෙන්නෙ නැහැ නෙව. ක්‍රීඩාවලට, දඩයමට, සංගීතයට, නැටුමට සිත අලවන්න මං මොනතරම් මහන්සි ගත්තාද? සුරූපී නළඟනන් තාලයට නටද්දී අපගේ පුතුට පෙණුනේ සෙවණැලි වගේලු.

ප්‍රිය දේවයන් වහන්ස, අපි මෙහෙම දෙයක් කරමු. දැන් මෙයා පැවිදි වෙන්න ඕනම කියනවානේ… හරි… අපේ උද්‍යානයේ කුටියක් කරවමු. පැවිදි වූ පසු ඒ කුටියේ පමණක් සිටිනවා නම් එයට අවසර දෙමු. ටිකෙන් ටික හිත වෙනස් වේවි.”

අන්තිමේදී පුත් කුමරාට අවසර ලැබුණේ රජුගේ උයනෙහි වාසය කිරීම පිණිස එකඟ වෙන්නට සිදුවුණාට පසුවයි. බිසව මැදිහත් වී කුමරුට කසාවත් පෙරෙව්වා. උද්‍යානයට එක්කගෙන ගියා. විසිදහසක් සුරූපී නළඟනන්ට මේ ශ්‍රමණයන් වහන්සේව භාරදුන්නා.

“ප්‍රිය වනිතාවෙනි, නුඹලාට මාගේ මේ ශ්‍රමණ පුතුන් භාරයි. නුඹලා විසින් මේ පුතුට ප්‍රණීත රසමසවුළු වලින් දන් පැන් පූජා කළ යුතුයි. ඇප උපස්ථාන කළ යුතුයි. පියකරු වචනයෙන් කතා කළ යුතුයි. මේ පුතුගේ ඇති දොම්නස දුරු කළ යුතුයි. මා හෝ රජතුමා පැමිණ අපගේ ශ්‍රමණ පුතුන්ට දානය වළඳවනු ඇති.”

දිවා රාත්‍රී මේ කුමර පැවිද්දාට රැකවල් දැම්මේය. දිනක් බිසව පැමිණ පුතුගෙන් කරුණු විමසා සිටියා.

“මගේ පුංචි ශ්‍රමණයන් වහන්ස, දැන් ඔයා ඉන්නේ සතුටින් නේද? ඔයාට පැවිදි වෙන්න ඕන කිව්වා…. ඔන්න අපි පැවිදි කළා…. අපේ උයනෙ විතරක් ඉන්නවා කිව්වා. ඒවත් පිළියෙල කළා. මාළිගාවේ ඉන්න බැහැ කිව්වා. ඔන්න අපි කුටියකුත් හදලා දුන්නා…. දැන් ඔයාට සතුටුයි නේද?”

මේ පුංචි ශ්‍රමණයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. නාටිකාංගනාවන් පැමිණ පවන් සලන්න පටන් ගත්තා. ශ්‍රමණයන් වහන්සේගේ සිත සතුටු කිරීමට ගීත ගයන්නට පටන් ගත්තා. මේ සියල්ල මැද අසරණ වූ මේ ළදරු පැවිද්දා කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට පත්වුණා.
මෙකල ආදිච්චබන්ධු නම් පසේබුදුවරයන් වහන්සේ නමක් හිමාලයෙහි නන්දමූලක ගිරි ගුහාවෙහි වාසය කරනවා. අලුතෙන් පසේබුදුවරයෙක් බිහිවෙන්න ළඟයි. මංජූසක වෘක්ෂයෙහි රන්මලක් පීදීගෙන එනවා. ඒ පසේබුදුවරයන් පහළ වෙන්නේ කොහෙන්දැයි දිවැසින් විමසා බැලුවා.

“අහෝ! පසේබුදුබව පිණිස පුරන ලද පින් ඇති කෙනා උයනක සිර වී සිටිනවා. ජීවිතාවබෝධය පිණිස උදව් විය හැකි කිසි අරමුණක් නැහැ. ඔය විදිහට ගියොත් බොහෝ කාලයක් ගත වේවි.”

මෙසේ සිතූ ඒ ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ රජුගේ උයනට වැඩම කළා. සේවකයන් මේ පැවිද්දා දැක රජතුමාට දැනුම් දුන්නා.
“භවත් මහරජාණෙනි, පුත් කුමරා දකින්නට ආශා ඇති ආකාරයේ ශාන්ත ඉරියව් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් උයනෙහි වැඩඉන්නවා. උන්වහන්සේ හඳුන්වන්නේ ‘පච්චේකබුද්ධ‘ යන නමිනුයි.”

මෙය ඇසූ රජතුමා මහත් සතුටට පත්වුණා. වහා ගොස් ඒ පසේබුදුන්ව බැහැදැක්කා. උයනෙහි වැඩසිටින්නට ඇරයුම් කළා. බිසවට කතා කොට මෙහෙම කිව්වා.

“ප්‍රිය භවතී, අපගේ පුත් කුමරාගේ වාසනාවට ශාන්ත ඉරියව් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් උයනෙහි වැඩඉන්නවා. දැන් ඉතින් උන්වහන්සේගේ ඇසුරේ අපගේ පුතු කළකිරීමක් නැතුව සිටීවි. එතකොට වත් අපගේ පුතුව සතුටින් සිටීමට අප කරන වෑයම සාර්ථක වේවි.”

ඉතින් රජතුමා පසේබුදුරජුන්ට කුටියක් තනා දුන්නා. සක්මන් මළු කෙරෙව්වා. පසේබුදුරජුන්ට එහි වඩින්නට ඇරයුම් කළා. නාටිකාංගනාවන් පිරිවරාගත් මේ ළදරු ශ්‍රමණයා පසේබුදුරජුන් ළඟට පැමිණ වන්දනා කළා.

“ආ… කවුද මේ? ලස්සනට හිස පීරලා, සුවඳ තෙල් ගාලා, හිසේ මල් පළඳලා, පඬු පැහැ ගත් සිවුරක් පොරවලා, රන් මිරිවැඩි පයලා, රන් සැරයටියක් ගෙන සිටින මේ කුඩා තැනැත්තා කවුද?”

“ශ්‍රමණයන් වහන්ස, මමත් ශ්‍රමණයෙක්…”

“නෑ… නෑ… ශ්‍රමණවරු කවරදාකවත් ඔය විදිහට කෙස් වවලා පීරන්නෙ නෑ. හිසේ මල් පළඳින්නේ නෑ. රන් මිරිවැඩි දමන්නේ නෑ. රන් සැරයටි නෑ. ඔය පඬු පැහැ ගත් සිවුර පවා කසී සළුවක් නේද? ඔයා ශ්‍රමණයෙක් නෙවෙයි.”

ඒ කීමත් සමඟම මේ ළදරු ශ්‍රමණයා මහත් කම්පාවට පත්වුණා. වටපිට බැලුවා. තමන් දෙස ඇස් කොණින් බලා මඳ සිනහවෙන් සිටින නාටිකාංගනාවන් දෙස රවා බැලුවා. ඔවුන් හොඳටම භය වුණා. ටිකෙන් ටික පස්සට ගියා. ළදරු ශ්‍රමණයා තනි වුණා. අලුත් ශ්‍රමණයන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.

“අනේ ස්වාමීනී, මට මේ කිසිවක් තේරෙන්නේ නෑ. මට ඕන හැබෑම ශ්‍රමණයෙක් වෙන්නයි. මං ඒකයි මාළිගාව අත්හැරියේ. මට මේ නාටිකාංගනාවන්ගෙන් කිසි වැඩක් නෑ. මං මෙතන හිරවෙලා ඉන්නේ. මං හරි ආසයි නෙළුම් කොළයේ නොරැඳෙන දිය බිඳක් වගේ වෙන්න. අනේ මං මොකක්ද කරන්න ඕන?”

“පින්වත් දරුව, උදෑසන කාලයම නළඟනන්ටත්, මෑණියන්ටත් වෙන් වුණා නේද? සවස් කාලයම ඇමැත්තන් පිරිවරාගත් පියාණන්ට වෙන් වුණා නේද? රාත්‍රියේ කාලයේම ඔබට හුදෙකලා බවක් නොතබා දොඩමින් සිටින මිනිසෙකුට වෙන්වුණා නේද? නෑ… ඔන්න දැන් දෑස පියාගන්න. සිත එකඟ කරන්න. දැන් බලන්න…. ඔබට හිමාලය පෙනේවි.”

“ස්වාමීනී, ෂා….! හිම කඳු ඇති ලස්සන කඳු වලල්ලක් පේනවා.”

“ඔව්! දැන් බලන්න… දැන් ඔබට පෙනේවි සුවිශාල වෘක්ෂයන් තියෙන මහා වනයක්. ඒ මහා වනයේ දකුණු පස ඇති පර්වතය දෙස බලන්න. ඒ පර්වත බෑවුමේ ගල් ලෙන් රාශියක් තියෙනවා. දැන් බලන්න දරුව, ඔබට පෙනෙනවාද එහි කවුද ඉන්නෙ කියලා…?”

“අනේ ස්වාමීනී,… ඇත්තමයි! ඔබවහන්සේ වගේම ලොකු පිරිසක් එහි ඉන්නවා. හැමෝම කෙස් බාලා ඉන්නේ. හැමෝම කඩ කැපූ සිවුරු පොරවලයි ඉන්නේ. සමහරු ශාන්තව සක්මන් කරනවා. සමහරු භාවනා කරනවා. කවුරුවත් සෙරප්පු පාවිච්චි කරන්නේ නෑ. ඒ අය ගාව තියෙන්නේ ලී හැරමිටි.”

මේ ළදරු ශ්‍රමණයා ඇස් ඇරියා. පුදුමයට පත්වුණා. තමා සමීපයේ සිටින ඉර්ධිබල සම්පන්න ශ්‍රමණයන් වහන්ස්ගේ ආනුභාවයට වසඟ වුණා. උයනෙහි සිටීමේ ආශාව නැතිවුණා. හිමාල වනයේ ගල් ලෙන්වල වාසය කරන ශාන්ත ශ්‍රමණවරුන් සමඟ ඉන්න ආසාව ඇතිවුණා.

“අනේ ස්වාමීනී, මට මෙතනින් නිදහස් වෙන්න ඕන. මට මේ කිසිම දෙයක් එපා.”

“පින්වත් දරුව, පැවිද්දා හංසයෙක් වගේ. හංසයා පොකුණෙහි වාසය කරන්නේ එය අයිති කරගන්නට නොවෙයි. ඉන්න වෙලාවට පමණයි. හංසයාට රිසි රිසි වෙලාවට ඒ පොකුණ අත්හැර නිදහසේ පියාඹා යනවා. ඔබත් හංසයෙක් වෙන්න. ඔබ සොයන නිදහස කරා යන්න ඔබට පුළුවන්. ඇත්තෙන්ම ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන්න ඔබට පුළුවන්.”

මෙසේ පැවසූ ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ කුමරු බලාසිටිද්දී අහසට පැන නැංගා. මේ දහම් පද දෙක පැවසුවා.

“පිරිසත් සමඟ ඇලෙමින් නිති කල් ගෙවන
කෙනෙකුට නොමැත සැනසුම දහමක රැඳුන“

මෙය පැවසූ ඒ පසේ බුදුවරයන් වහන්සේ නොපෙනී ගියා. කුමාරයා අලුතෙන් ඉපදුණා වගේ ඔහු කිසිදා නොසිතූ නොපැතූ අලුත්ම ලෝකයක් තමා ඉදිරියේ දිස්වී ගියා. ඒ පසේ බුදුන් පැවසූ දහම් කරුණ කුමරුගේ සිතෙහි රැව් දුන්නා. කුමරු කුටියට පිවිසුණා. මල් ගලවා වීසි කළා. රන් මිරිවැඩි පසෙකට දැම්මා. රන් සැරයටිය පසෙකට දැම්මා. නිදාගත්තා.

කුමරුන්ව මුර කරන රැකවල්කරුවාට මේ වෙනස හොඳින් පෙනුණා. ‘දැන් ඉතින් කුමරා කොහේ යන්නද? අද කිසි කතාබහකටවත් උනන්දුවක් නෑ. මාත් නිදා ගන්නවා’ කියලා ඔහු නින්දට ගියා. කුමාරයා රාත්‍රී අවදිවුණා.

රැකවල්කරුවා හොඳටම නිදි. සෙමෙන් සෙමෙන් පා සිවුරු ගෙන උයනින් පැන ගියා. මහා වනයට ඇතුළු වුණා. පසේබුදුවරයන් වහන්සේලා වැඩසිටින සෙනසුනක් හමුවුණා. එහි නැවතුණු කුමරා හුදෙකලාවේ බවුන් වඩන්නට පටන් ගත්තා. සිත සමාධිමත් වුණා. ප්‍රඥාව වැඩී ගියා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා.

ඉන්පසු මේ නවක පසේ බුදුවරයන් වහන්සේ එදා ඉර්ධිබලයෙන් තමන්ට පෙන්නූ ගන්ධමූලක පර්වතය සොයාගෙන ඉර්ධියෙන් වැඩියා. තමන්ගේ ජීවිතයට පහළ වූ ඒ ඉෂ්ටදේවතාවුන් වහන්සේ වන ‘ආදිච්චබන්ධු‘ පසේබුදුවරයන් වහන්සේ මංජූසක රුක් සෙවනේ වැඩසිටියා. තමන්ගේ ජීවිතාවබෝධයට හේතු වූ කරුණ විමසුවා. එවිට මේ යොවුන් පසේබුදුවරයන් වහන්සේ එදා ආදිච්චබන්ධු පසේබුදුන් වහන්සේ වදාළ දහම් පද එක්කොට ලස්සන ගාථාවකින් පිළිතුරු දුන්නා.

අට්ඨානතං සංගණිකාරතස්ස
යං ඵස්සයේ සාමයිකං විමුත්තිං
ඒතං ආදිච්චබන්ධුස්ස වචෝ නිසම්ම
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“එදා ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ වචනයක් වදාළා. පිරිසත් සමඟ නිතර ඇලෙන, ඔවුන් හා එක්වී කල්ගෙවන කෙනාට කවරදාකවත් නිකෙලෙස් බවින් ලබන විමුක්තිය ස්පර්ශ කරන්න බැහැ කියලා. ඒ නිසාමයි මං මේ ගමන ආවේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴