BlogTemplate

යහපත නසන දිවි මග කරවන පාළු
දුරු කළ යුතුය නොමගක ගෙන යන යාළු
කාම සැපයෙහි පමා වී ගිය – කිසිවෙකු ඇසුරු නොකරන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ විසින් කිසිවෙකු නොදන්නා අතීතයක පහළ වූ පච්චේක බුද්ධ නම් අපූර්ව මුනිවරයන් පිළිබඳව කථාව නොපවසන්නට එ් පිළිබඳව කිසිවක්ම අපි නොදන්නෙමු. එ් පසේබුදුවරුන්ගේ හුදෙකලාව ඔවුන්ටම ආවේණික වූ විශේෂත්වයකින් යුතු විය. එනම් හිමාලයේ වනගිරි දුදුළු අතරෙහි ගල්ලෙන්හි ඔවුන් වාසය කරන්නේ ද හුදෙකලාවේමය. කඟවේනාට ඇත්තේ එක අඟකි. මුන්වහන්සේලා ජීවත් වන්නේ ද තනි තනිවය. කිසිදා මිතුරු බවකින් හෝ යුගලයක් බවට පත් නොවන හෙයින් තම උදානයන්හි මතුකොට පෙන්වන්නේ ද කඟවේන අඟක් ලෙසිනි.

බොහෝ විට පසේබුද්ධත්වයට පත්වන්නේ රජවරුන් ය. නැතහොත් රජකුමාරවරුන්ය. මෙහි සඳහන් වන කථාවෙහි ද එ් පුණ්‍යවන්ත තැනැත්තා බරණැස් රජෙකුව උපන්නේය. මොහුගේ පින් බලයෙන් බරණැස බතින් බුලතින් සරු වුණා. අටුකොටු පිරී ගියා. රජුගේ ගබඩාව පවා පිරී ගියා. නමුත් රටවැසියන් බදු වශයෙන් ගෙවන අස්වනු කොටස වැඩිවීම නිසා ගබඩාවල තිබුණු ධාන්‍ය ඉවත් කරන්න සිදුවුණා. දිනක් විශාල වශයෙන් ධාන්‍ය ඉවත් කරනු දුටු රජතුමා මෙසේ විමසුවා.

”ප්‍රිය ඇමතිවරුනි, මොකද මේ ගබඩා හිස් කරන්නේ? මොකුත් පර්යේෂණයක්වත්ද?”

”දේවයන් වහන්ස, අලුත් අස්වැන්න ලැබෙනවා. මෙවර වගාව සරුයි. එනිසා පරණ ධාන්‍ය ඉවත් කරන්නයි මේ අදහස.”

”එතකොට ඕවට මොකක්ද කරන්නේ?”

”දේවයන් වහන්ස, අපි මේවා එක්කො පුළුස්සනවා. නැත්නම් ගඟේ පා කොට හරිනවා.”

”මොනවා….? ඇමතිවරුනේ…. ඔබට විශාල වැරදීමක් සිදු වී ඇති හැඩයි. මගේ ජනයා වෙහෙස මහන්සි වී උපයාගෙන රජයට ගෙවන ආදායම් බදු මෙසේ විනාශ කරන්නේ කොහොමද? එතකොට අන්තඃපුර නිවාසවල අඩුපාඩු සපුරලා ද තියෙන්නේ? බලසේනාවල අඩුපාඩු සපුරලා ද තියෙන්නේ? පාඨශාලාවල අඩුපාඩු සපුරලා ද තියෙන්නේ? ප්‍රත්‍යන්ත දේශයන්හි අඩුපාඩු සපුරලා ද තියෙන්නේ?”

”දේවයන් වහන්ස, රට සුඛිත මුදිතයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ජනයාගේ ආදායම් සරුයි. බදු වැඩිකිරීමක් කළත් ඔවුන්ට දැනෙන්නෙ නැහැ.”

”නෑ! බදු අඩු කළ යුතුයි. රජයේ වියදම් පිණිස ජනයා තලා පෙලා බදු ගන්නට මා සූදානම් නැහැ. එ් වගේම ඔය ධාන්‍ය වලින් බිඳක්වත් විනාශ නොකළ යුතුයි. අඩු ගණනේ දන්සැල් පිළියෙල කොට දන් දිය යුතුයි.”

එතකොට එක්තරා ඇමතියෙක් උගුර පාදමින් රජු ළඟට පැමිණියා. රජුට මෙහෙම කියන්න පටන් ගත්තා.

”භවත් දේවයන් වහන්ස, ඔබවහන්සේ මං ගැන දන්නවා නෙව. මං දානය ගැන සෑහෙන පරියේසනයක් කොළා. දන් දීම යනු නුවණැත්තන්ගේ වැඩක් නොවෙයි. අපි හැමෝටම තියෙන්නේ මරණින් මතු සොබාදහමට එක්වීමටයි. අපේ සිත පරිසරයට විසිරෙනවා. සිරුර මහපොළොව සරු කරනවා. ආශ්වාස ප්‍රශ්වාස සුළඟේ හමා යනවා. එතනින් අපේ කථාව සමාප්තයි. එනිසා දේවයිනි, දන් දීම යනු ලොවට ඇවැසි දෙයක් නොවේ.”

රජතුමා මහත් සංවේගයට පත්වුණා. නිශ්ශබ්ද වුණා. තවමත් ගබඩාවල අස්වැන්න ඉවත්කරනවා. රජතුමා වෙන ඇමතියෙකුට කතා කළා.

”ප්‍රිය ඇමතිය, දැන් බලන්න… ගබඩාවල ධාන්‍ය ඉවත්කරනවා. දවස් ගණනක් තිස්සේ මේ කරන වැඬේ නවත්වන්න කියලා එක ඇමතියෙකුට කිව්වා. දන් දෙන්න කියලා කිව්වා. සතර දිශාවට දන් ශාලා හතරක් හදලා දන් දෙන්න කිව්වා. ඔහු කියන්නේ දන් දීම ඵලක් නැහැ කියලා.”

”එ්ක ඇත්ත දේවයන් වහන්ස. ඉස්සර රජවරු මොනතරම් දුන්නද? ඉතින් මොකද වුණේ? දන් දීමේදී එක දෙයක් නම් තිබේ. එනම් දෙන්නා ද පෙනේ. ගන්නා ද පෙනේ. එයින් එහා දෙයක් නැත. එනිසා අපි දන් දෙන්නට පටන් ගත්තොත් ජනයා කම්මැලි වේවි. මා හිතන්නේ ද අපේ අර ඇමතිතුමා ගත් තීරණය හරි බවයි.”

”ඈ බොල… නුඹලා කාවද මේ නොමඟ යවන්නේ…? පුළුස්සනවා, ගඟේ පා කරනවා කියමින් ධාන්‍ය ගබඩා හිස් කොට ඒවා රැගෙන යන්නේ නුඹලාගේ ගබඩාවලට නොවේද? දන් දීමටත්, ජනයා සුවපත් කිරීමටත්, ජනයාට අදරැති රජෙක් ලෙස මා ගන්නා වෑයම කඩාකප්පල් කරන්නේ මගෙන් යැපෙනා නුඹලා විසිනුයි.”

රජතුමා හොඳටම කළකිරුණා. මැති ඇමැතිවරුන්ගේ ගසාකෑම නවත්වන්නට ක්‍රමයක් නැති වුණා. ළඟට පැමිණ ආදර බස් දොඩන මේ ඇමතිවරු පවිටු පිරිසක් බව රජතුමාට අවබෝධ වුණා. රජතුමා බොහෝ කල්පනා කළා. දූෂිත ඇමතිවරුන්ට මැදි වී සිටින දැහැමි ඇමතිවරුන් සොයාගන්නට උපක්‍රමයක් කළා.

”ප්‍රිය ඇමතිවරුනි, මට ටික කලකට විවේකයක් අවශ්‍යයි. එතෙක් මහජනයා සුවපත් කිරීමේ රාජ්‍යාකරණය ඇමති මඬුල්ලකට භාරදෙන්න මං කැමතියි. එතකොට එ් සඳහා මා යම්කිසි ව්‍යවස්ථාවක් සකසනවා. මා නැති නිසා ඔබට පිහිට වන්නේ ඒ ව්‍යවස්ථාවයි. ඉතින් දැන් යන පිළිවෙල ද හොඳ, ව්‍යවස්ථාවට අනුව වැඩකිරීම ද හොඳ?”

දූෂිත ඇමතිවරු කලබල වුණා.

”අහෝ! දේවයන් වහන්ස, ව්‍යවස්ථාවක් පටන්ගත් විට එහි නායකත්වය දෙන්නේ නිලධාරීන්ටයි. ඇමතිවරුන් හැටියට අපට නිදහසේ කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. එනිසා දැන් මේ කරගෙන යන පිළිවෙලට අපි කරගෙන යන්නම්.”

”නැත, ප්‍රිය ඇමතිවරුනි, ව්‍යවස්ථාවකදී නායකත්වය ලැබෙන්නේ ව්‍යවස්ථාවටමයි. ඇමතිවරුත්, නිලධාරීනුත් කළ යුත්තේ එ් ව්‍යවස්ථාව අනුගමනය කිරීමයි.”

දැහැමි ඇමතිවරු රජුට පිළිතුරු දුන්නා. ”පින්වත් දේවයන් වහන්ස, ව්‍යවස්ථාවකට අපි කැමතියි. ඔබවහන්සේගේ උතුම් අදහස් ඉෂ්ට කොට ජනයා සුවපත් කරන්න ව්‍යවස්ථාවට නායකත්වය ලැබෙනවාට අපි කැමතියි.”

මේ තුළින් රජතුමා ව්‍යවස්ථාවට බලය පැවරුවා. දූෂිත ඇමතිවරු අස් කළා. දැහැමි ඇමැතිවරුන්ට මුල් පෙළ දුන්නා. මේ සියලු දේ කළේ කලකිරීමෙනුයි. රජතුමා ආසා කළේ කිසිවෙකුට නොබැඳී ගිය ජීවිතයක්. රජතුමා රජකම අත්හැරියා. ශ්‍රමණ වෙස් ගෙන වනයට පියමං කළා. එ් වනයෙහි පසේබුදුවරු වැඩඉන්නවා. මේ නවක ශ්‍රමණයන් වහන්සේ රුක් සෙවණකට බවුන් වඩන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් සිත සමාධිමත් වුණා. නුවණින් විමසන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් ප්‍රඥාව වැඞී ගියා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේබුදුවරයෙක් බවට පත්වුණා.

පසේබුදුවරුන්ගේ ලෝකය වන හිමාලයෙහි මංජූසක රුක්සෙවණට ඉර්ධියෙන් වැඩම කළ විට අනෙත් පසේබුදුවරු උන්වහන්සේගේ අත්දැකීම විමසුවා. එයට පිළිතුරු වශයෙනුයි මේ ගාථාව වදාළේ.

පාපසහායං පරිවජ්ජයේථ
අනත්ථදස්සිං විසමේ නිවිට්ඨං
සයං න සේවේ පසුතං පමත්තං
එ්කෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“අයහපත් දේම හරි විදිහට දකින, වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරුකරන්නම ඕන. එ් මිත්‍රත්වයෙන් ඵලක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හෙයින් අත්හැර දැමිය යුතුමයි. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴