පුණ්‍යානුමෝදනාවයි!

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු අග්‍රශ්‍රාවක යුගල වූ
සාරිපුත්ත මහරහතන් වහන්සේගේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේත්
උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

අප භාග්‍යවතුන් වහන්සේගේ ගෞතම බුදුසසුන ඒකාලෝක කොට වදාළ දඹදිව් තලයේ වැඩවුසූ
අසූ මහාශ්‍රාවක රහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

අප ආදිගුරුදේවෝත්තම දීපප්පසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත්,
සිරිලක් ධරණී තලය සෝභමාන කොට වදාළ ලාංකීය මහරහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පරිශ්‍රයේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී
දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට,
පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදා
ජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව සළසා දෙමින්
“උත්තම ශ්‍රී ධාතු වන්දනා
මහා පුණ්‍ය මහෝත්සවය”
අප්‍රේල් මස 01 වෙනි සිකුරාදා සිට 10 වෙනි ඉරු දින දක්වා පැවැත්විණි.

ඉතා දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටින මේ අවස්ථාවේ
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් උතුම් ධාතූන් වහන්සේලා වන්දනා කොට
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයත් සසර පුරා බොහෝ කල් සැප සදා දෙන,
ධාතු වන්දනාවෙන් ලබන දුර්ලභ පුණ්‍ය සම්පත්තියත් රැස්කරගත්හ.

උතුම් ධාතූන් වහන්සේලාට උපස්ථාන කිරීමෙන්ද,
පැමිණි සැදැහැවතුන් උදෙසා
මල් දන්සැල්, ආහාර දන්සැල්, අයිස්ක්‍රීම් දන්සැල් පැවැත්වීමෙන්ද,
සැදැහැවතුනට සුවසේ උතුම් ධාතූන් වහන්සේලා වන්දනා කරගැනීමට පහසුකම් සැපයීමෙන්ද
අප රැස්කළ පින සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මෙම පින්කම සඳහා ආධාර උපකාර කළ සැදැහැවතුන්ටත්, ශ්‍රී ලංකා පොලීසියටත්, ආරක්ෂක අංශයේ පින්වතුන්ටත්,
මහමෙව්නාව සුවසේවා ප්‍රථමාධාර සංවිධානයේ පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වතුන්ටත්,
මහමෙව්නාව අසපු ශාඛාවන් හී සැදැහැවතුන්ටත්, නන් අයුරින් උපකාර කළ සැමටත්
මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා!
මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්‍ය උදාවෙත්වා!

උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
අග්‍රශ්‍රාවක, අසූ මහාශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
මිහිඳු මහරහත් ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් ද
සියලු ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
ඔබටත් අප මාතෘභූමියටත් මුළු මහත් ලෝකයටත්
සියලු යහපත, සෙත ශාන්තිය සහ ආරක්ෂාව සැලසේවා!