මහාවංශයේ තිස්හත්වෙනි පරිච්ඡේදයේ 51 වෙනි ගාථාවේ සිට…

1. අනුරාධපුරයේ රජකළ මහසෙන් රජතුමා ඔය අයුරින් අසත්පුරුෂ භික්ෂුවකගේ ඇසුරට වැටීම නිසා දිවි ඇති තෙක් හොඳ හා නරක දෙකම කොට කර්මානුරූපව පරලොව ගියේය.

2. එහෙයින් නුවණැති තැනැත්තා බිහිසුණු විෂඝෝර සර්පයෙකු දුටු විට වහා බැහැර කරන සෙයින් පින් පව් නොහඳුනන අසත්පුරුෂයා හා ඇසුර දුරින් ම දුරුකොට තමාටත් අනුන්ටත් යහපතට හේතුවන දෑ කළයුත්තේය.

3. මහසෙන් රජුගේ අභාවයෙන් පසු එතුමාගේ පුත්කුමරු වන සිරිමේඝවණ්ණ කුමාරයා බු.ව. 845 දී රජබවට පත්විය. ඒ රජු මහාමන්ධාතු රජතුමා සෙයින් ලක්දිවට සියලු සම්පත් ලබාදෙන්නෙක් විය.

4. පවිටු අසත්පුරුෂයන්ගේ වසඟයට ගිය මහසෙන් රජු විසින් විනාශයට පත්කරවන ලද මහාවිහාරයෙහි කලින් වැඩසිටි සියලු භික්ෂූන් වහන්සේලා රැස්කරවා

5. උන්වහන්සේලා වෙත එළඹ වන්දනා කොට අසුන් ගෙන ආදර සහිතව ‘ස්වාමීනී, සංඝමිත්‍ර නමැති පවිටු භික්ෂුවගේ මිත්‍රයෙකුව සිටි මපියාණන් වහන්සේ වනසන ලද්දේ

6. කවර කවර නම් වූ දේ දැ’යි විචාළේය. එවිට භික්ෂූන් වහන්සේලා සිරිමෙවන් රජුට ‘මහරජතුමනි, ඔබතුමාගේ පියරජු අප මිහිඳු මහරහතන් වහන්සේ පිහිටුවා වදාළ මහාවිහාර සීමාව උදුරා දමන්ට මහන්සි ගත් නමුත්

7. මහාවිහාර සීමා භූමියේ ඇතුලත පිහිටි බිම්ගෙයක අපගේ භික්ෂූන් වහන්සේලා සත් නමක් සැඟවී සිටියාහුය. එනිසා ඔබතුමාගේ පියාණන්ට ඒ කටයුත්ත කරගන්ට බැරිවිය.

8. ඔබතුමාගේ පියරජතුමාගේ සිතට මහාවිහාරය පිළිබඳ වැරදි අදහස් කාවද්දා පියරජු ලවා ඔය බිහිසුණු පව් කරවන ලද්දේ සෝණ යන ඇමතියාත් පවිටු සංඝමිත්‍රයනුත් විසිනි.

9. සත්මහල් උසැති උතුම් ලෝවාමහාප්‍රාසාදය බිඳවා දැම්මේය. නානාප්‍රකාර මනරම් ගෙවල් ද බිඳවා ඒ සියල්ල මේ මහාවිහාරයෙන් අභයගිරියට ගෙන යන ලද්දාහ.

10. කකුසඳ, කෝණාගමන. කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා විසින් වැඩහිඳ පරිභෝග කරන ලද රුවන්වැලි මහසෑ මළුවේ ඒ අනුවණයෝ උඳු වැපිරුවාහුය. අහෝ! අසත්පුරුෂ බාලයන් හා ඇසුරෙහි ඇති බිහිසුණු බව බැලුව මැනව.

11. පියරජු විසින් කරන ලද බැරෑරුම් පව්කම් ගැන ඇසූ සිරිමෙවන් රජු අසත්පුරුෂ බාලයන් හා ඇසුර ගැන කළකිරුණේය. සිය පියරජු විසින් අනුරාධපුරයෙහි වනසන ලද මහාවිහාරයට අයත් සියලු වෙහෙර විහාර යළි ප්‍රකෘතිමත් කළේය.

12. රජ තෙමේ පළමුකොට ලෝවාමහාප්‍රාසාදය යළි ගොඩනැංවීය. එය මහාපනාද රජුගේ උතුම් ප්‍රාසාදය සිංහල දේශය තුළ විදහා දැක්වීමක් බඳු විය.

13. එමෙන්ම පියරජු විසින් වනසන ලද සංඝයාගේ සියලු වාසස්ථාන, පිරිවෙන් ආදිය කරවා ඒවා පෙර තිබූ තැන ම පිහිටුවීය. සංඝයාට උවටැන් කළ ආරාමිකයන් පරිභෝග කරන ලද කෙත් වතු ඈ භෝගයන් සුදුසු ආකාරයෙන් පිහිටුවීය.

14. නුවණ නසාගත් මහසෙන් රජු විසින් මහාවිහාරීය සංඝයාගේ දානාදී ප්‍රත්‍ය පහසුකම් නැසූ හෙයින් සංඝයාගෙන් තොරව ගිය ආවාසයන් නුවණින් යුක්ත වූ සිරිමෙවන් රජු යළිත් බොහෝ සංඝයාට වාසස්ථාන බවට පත්කළේය.

15. සිරිමෙවන් රජ තෙමේ පියරජු විසින් කරවන ලද ජෝතිවන විහාරයෙහි අඩාලව පැවති සියලු කර්මාන්තයන් සම්පූර්ණත්වයට පත්කොට නිමා කරවූයේය.

16. මනුජේන්ද්‍ර රජ තෙමේ සියල්ලට පෙර ශ්‍රමණරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා

17. ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා

18. මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්‍රතිමා වහන්සේ නමක් කරවා වප් මස පුර අටවකට කලින් සත්වක දා

19. මිහින්තලේට වැඩම කරවා ස්ථවිර අම්බ නමැති අම්බස්ථලයෙහි අටවක් දා වැඩහිඳීමට සලස්වා ඊට පසුවදා වන නවවක දා

20. සිරිමෙවන් රජු සිය අන්තඃපුර ස්ත්‍රීන් හා ගෙවල් රකින්නන් පමණක් නැතිව අනෙත් සියලු නගරවාසීන් ද දිව්‍ය සේනා බඳු මහාසේනාවන් ද කැටුව,

21. ශ්‍රී ලංකාද්වීපයේ වැඩවාසය කරන සියලු භික්ෂූන් වහන්සේලා ද කැටුව, එමෙන්ම නුවර මහා සිරගෙදර මිනිසුන් ද නිදහස් කරවා,

22. මහා දන්සැල් පිහිටුවා, එමෙන්ම සියලු ප්‍රාණීන්ට බත්වැටුප් දී සියලු උපහාරයන්ගෙන් උපමා රහිත වූ පූජාවන් පවත්වමින්

23. අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් පුත්රුවනක් වූ ශ්‍රී ලංකාද්වීපයට ශාස්තෘන් වහන්සේ වූ අප මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කිරීමට පෙර ගමන් ගියේ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් යන පරිද්දෙනි.

24. අම්බස්ථලයෙහි පටන් අනුරපුර මහා නගරය දක්වා මාර්ගය ඉතා සොඳුරුව සරසවන ලද්දේ විසාලා මහනුවර සිට සැවැත් නුවර දක්වා මාර්ගය සැරසූ කලක් මෙනි.

25. අප මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් වූ ධර්මාශෝක මහාධිරාජයා එදා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ වැඩමවීමේදී කටයුතු කළ අයුරින් සිරිමෙවන් රජු ද මිහිඳු මහරහතුන්ගේ පිළිම වහන්සේ වැඩමවන උත්සවයට භෝගයන් පුදා

26. එහි සිටි දුගී මගී යාචකාදීන් උදෙසා මහදන් පැවැත්වීය. භික්ෂූන් වහන්සේලා උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් සතුටු කරවීය.

27. ‘එම්බා මහජනතාවෙනි, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරනා අයුරු මෙසේ බලව’ යි කියා මහා යසස් ඇති සිරිමෙවන් රජතුමා මහත් වූ සත්කාරයෙන් ඒ ප්‍රතිමා වහන්සේ වැඩමවාගෙන

28. අම්බස්ථලයෙන් පහළට බැස තමන් මුලින් ම ගමන් කරමින් භික්ෂූන් වහන්සේලා ද හාත්පස පිරිවරාගෙන පෙරහැර පැමිණෙන කල්හි

29. පිරිස් පිරිවරාගත් මිහිඳු මහරහතන් වහන්සේගේ රනින් කළ පිළිම වහන්සේ සෝභමානව බැබළී ගියේ කිරි සයුර මැද සන්ධ්‍යාවෙහි රතු පැහැ ගැන්වී ගිය වළාවේ පැහැයෙන් බබළන මහාමේරු පර්වතරාජයා මෙනි.

30. මේ උත්සවය වනාහී ලෝකනායක වූ අප භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රය වදාරන්ට විසාලා මහනුවරට මෙසේ ම වැඩි සේකැයි මහජනයාට විදහා දැක්වීමක් බඳුය.

31. ඒ නරාසභ වූ සිරිමෙවන් රජු උතුම් මිහිඳු ප්‍රතිමා වහන්සේට මේ අයුරින් සත්කාර සම්මාන දක්වමින් අනුරපුර නැගෙනහිර මහාද්වාරය අසළ තමන් විසින් කරවන ලද

32. ස්වස්ථික හැඩය ගත් විහාරයට එදින සවස් වරුවේ එළඹ උතුම් ජිනපුත්‍රයන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ එහි තුන් දිනක් වඩාහිඳුවීය.

33. ඉන් පසු දොළොස්වක දා අප ශාස්තෘන් වහන්සේ පළමුකොට රජගහ නුවර වඩින අවස්ථාවේ සරසන ලද රජගහ නුවර සෙයින් අනුරපුර මහා නගරය ද සොඳුරුව සරසා

34. මහා මිහිඳු ප්‍රතිමා වහන්සේ ස්වස්ථික හැඩය ගත් විහාරයෙන් පිටතට වැඩමවා මහාසාගර රළ ඝෝෂාව සෙයින් නගරයෙහි මහා උත්සව පවත්වන කල්හි

35. මහා විහාරයට වැඩමවාගෙන අවුත් ජය ශ්‍රී මහා බෝමළුවෙහි තුන් මසක් වඩාහිඳුවා ප්‍රවේශ කරවා එසේ පවත්වන ලද විධීන් අනුව නුවරට

36. වැඩමවාගෙන අවුත් අනුරාධපුරයෙන් ගිණිකොණට වෙන්ට රජමාලිගාව අසළින් මහා මිහිඳු ප්‍රතිමා වහන්සේ උදෙසා අලංකාර විහාරයක් කරවීය.

37. විසාරද වූ සිරිමෙවන් රජතුමා අප මිහිඳු මාහිමියන් සමග සිරිලක වැඩි ඉට්ඨිය, උට්ඨිය, සම්භල, භද්දසාල, සුමන හා භණ්ඩුක යන ස්ථවිරයන් වහන්සේලාගේ ද පිළිම වහන්සේලා කරවා මහා මිහිඳු පිළිම වහන්සේ සමගින් එහි වඩාහිඳෙව්වේය.

38. මහනුවණැති ඒ රජු පිළිම වහන්සේ වඩාහිඳුවන ලද විහාරයට ආරක්ෂාව සලස්වා පුදපූජාවන් පිණිස වියහියදම් ද ලබාදී වාර්ෂිකව මේ අයුරින් ම උපහාර පූජෝත්සව පවත්වන්ට රාජ නියෝග කළේය.

39. සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණ මේ ලංකාද්වීපයෙහි රජ බවට පත්වූ සියලු රජවරු රජුගේ රාජාඥාව රකිමින් මහා මිහිඳු ප්‍රතිමා වහන්සේට පැවැත්විය යුතු පූජා විධිවිධාන අද දක්වා නොකඩවා ආරක්ෂා කරත්.

40. ඉන් පසු මහා පවාරන දිනයේදී මහා මිහිඳු ප්‍රතිමා වහන්සේ නගරයෙන් මහා විහාරයට වැඩමවා වාර්ෂිකව වප් මස දහතුන් වෙනිදා පුද පූජාවන් පවත්වන්ට නියෝග කළේය.