“තමා හට පිහිට සළසා ගත යුත්තේ තමන්මයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සසර ගමන හරිම භයානකයි. අනේක වූ දුක්ඛිත අත්දැකීම්වලට නිතර මුහුණදෙන්ට සිද්ධ වෙනවා. ඊටත් වඩා සංවේගය ඇතිවෙන්නේ බොහෝ ආත්මවල සමාන අත්දැකීම් ලැබීම ගැනයි. අපට වුණත් සිදුවන කරදර කම්කටොළු ආදිය මීට ඉහත ආත්මවලට ඒ විදිහටම වෙලා ඇති. එහෙම හිතෙන්නේ මේ කථාව කියවන විටයි.

රජගහ නුවර ලස්සන සිටු දුවක් හිටියා. ඇය ඉතා ශ්‍රද්ධාවන්තයි. මව්පියන්ගෙන් නිතර නිතර ඉල්ලා හිටියේ පැවිදි වෙන්න අවසර දෙන්න කියලයි. එයට මව්පියන් කිසිසේත් කැමති වුණේ නෑ. මේ දියණිය අකමැත්තෙන්ම විවාහ කරලා දුන්නා.

තමන්ගේ සැමියා හරි කරුණාවන්තයි. නිතර දහම් කථාවේ යෙදෙන තම බිරිඳ ගැන මේ සැමියාට දුක හිතුණා. ‘අනේ මේ පැවිදි වෙන්න ආසා කෙනෙක්නේ ගිහි බන්ධනයකට හිරවුණේ’ කියලා සැමියා දුක්වුණා. ඒ නිසා ඔහු තම බිරිඳට පැවිදි වෙන්න අවසර දුන්නා. හැබැයි ඒ වෙද්දි එම බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන හිටියා. ඈ මේ බව දන්නෙ නෑ. සැමියා දන්නෙත් නෑ. ඉතින් මේ සැමියා මහත් ගෞරවාදරයෙන් යුක්තව තම බිරිඳව භික්ෂුණී ආරාමයකට කැඳවාගෙන ගොස් භාරදුන්නා. මේ භික්ෂුණී පිරිස අයිති දේවදත්තටයි. දේවදත්තගේ අවවාද අනුවයි ඒ භික්ෂුණීන් කටයුතු කළේ. මේ අහිංසක මාතාව මේ කිසිවක් නොදැන එතන පැවිදි වුණා.

ටික දවසක් යද්දී දරුගැබ මෝරන ලකුණු පැමිණියා. අලුත පැවිදි වූ අහිංසක භික්ෂුණිය හොඳටම භය වුණා. අනිත් භික්ෂුණීන් ඇයට තර්ජනය කළා.

“ඇත්ත කියනවා….! මොකද වුණේ…?”

“අනේ ආර්යාවෙනි, මං ඉතාම පාරිශුද්ධ සීලයක් රකින කෙනෙක්. මං පැවිදි වූ දා සිට පිරිසිදු බඹසර රකිනවා. කොහොමද මේ දරුගැබ පිහිටියේ කියලා මට තේරුම් ගන්න බැහැ. මං හිතන්නේ පැවිදි වෙන්න කලින් තමයි දරුගැබ පිහිටන්න ඇත්තේ….”

අනිත් භික්ෂුණීන් ඇය කැඳවාගෙන දේවදත්ත ළඟට ගියා.

“මැය ඉතා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. අපි දැනුයි දන්නේ දරු ගැබක් පිහිටා ඇති බව. කාලයක් හොයා ගන්න බැහැ. දැන් මොකද කරන්නේ…?”

එතකොට දේවදත්ත මෙහෙම කිව්වා.

“මගේ අවවාදයන්ට අනුව වැඩකරන භික්ෂුණීන්ට මේක මහා නින්දාවක් වෙනවා. ඒ නිසා වහාම සිවුරු අරවන්න.”

අර අහිංසක භික්ෂුණිය හඬා වැළපෙන්න පටන් ගත්තා.

“අනේ ආර්යාවෙනි… මාව සිවුරු හරවන්න එපා. මං දේවදත්ත වෙනුවෙන් පැවිදි වුණු කෙනෙක් නෙවෙයි. අනේ මාව ශාස්තෘන් වහන්සේ ගාවට එක්කගෙන යන්න.”

ඉතින් ඒ භික්ෂුණියව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජු, අනාථපිණ්ඩික සිටුතුමා, විශාඛා මහෝපාසිකාව ආදී වගකිව යුතු ශ්‍රාවක ශ්‍රාවිකාවන් කැඳවා උපාලි තෙරුන්ට මෙය විසඳන්ට පැවරුවා. උපාලි තෙරුන් රජු ඉදිරියේ විශාඛාවට ඇගේ දරුගැබ විමසන්නට භාර කළා. විශාඛා මහෝපාසිකාව මහත් කරුණාවෙන් යුතුව ඇයව ආවරණ ස්ථානයකට රැගෙන ගොස් හොඳින් පිරික්සා බැලුවා.

“ස්වාමීනී, මේ පින්වත් භික්ෂුණිය ගිහි ජීවිතය තුළ තමයි දරු සම්පත පිහිටුවාගෙන තිබෙන්නේ.”

උපාලි තෙරුන් වහන්සේ සියලු දෙනා ඉදිරියේ මේ භික්ෂුණිය සිල්වත් තැනැත්තියක් බව ප්‍රකාශ කළා. ඊට පස්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂුණී සංඝයාට මෙම භික්ෂුණිය භාර වුණා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පින් රැස්කරමින් පැමිණි මහා බලසම්පන්න කුමාරයෙක් තමයි පිළිසිඳගෙන තිබුණේ. මේ දරුවා සුවසේ බිහිවුණා.

දිනක් රජතුමා භික්ෂුණී ආරාමය අසලින් යද්දී කුඩා දරුවෙකුගේ හැඬීමක් ඇසුණා.

“කවුද ඒ හඬන පොඩි දරුවා…?”

“දේවයන් වහන්ස, ළඟදී විශාඛා මහෝපාසිකාව පිරික්සා පිරිසිදු බව පැවසූ එක්තරා භික්ෂුණියක් තමයි දරුවා බිහි කළේ. ඒ සිඟිත්තා තමයි ඔය හඬන්නේ….”

රජතුමා මේ සිඟිත්තාව මාළිගයට කැඳවාගත්තා. මේ දරුවාට ‘කස්සප’ යන නම ලැබුණා. සිඟිති කුමාරයෙකුව සිට මාළිගාවේ වැඩුණ හෙයින් කුමාර කස්සප යන නම ලැබුණා. කුමාර කස්සප සිඟිත්තා දරුවන් සමඟ සෙල්ලම් කරද්දී ‘මව්පියන් නැති ළමයා’ කියමින් අනිත් ළමයි වෙනස්කම් කරනවා. එතකොට මේ සිඟිත්තා රජ්ජුරුවන් ළඟට හඬාගෙන යනවා.

“දේවයන් වහන්ස, කියන්න මට. හැමෝම කියන්නේ මගේ අම්මා තාත්තා නැහැලු! ඇත්තට කවුද මගේ අම්මා?”

“මයෙ පුතේ… ඔය ඉන්න ඔක්කොම ඔයාගෙ අම්මලා තමයි.”

“එහෙම වෙන්න බැහැනේ… එක අම්මනෙ ඉන්න ඕන….”

“සිඟිති පුතේ, එහෙනම් මං ඇත්ත කියන්නද? ඔයාගේ අම්මා භික්ෂුණියක්… භික්ෂුණී ආරාමයෙන් තමයි මං ඔයාව එක්කගෙන ආවේ…”

එය ඇසූ කුමාර කස්සපයන්ට හැමදෙයක්ම එපා වුණා. මහා කළකිරීමක් හටගත්තා.

“දේවයන් වහන්ස, අනේ මාවත් එහෙනම් මහණ කරන්න.”

රජතුමා උත්සවාකාරයෙන් පොඩි දරුවා රැගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට භාර දුන්නා. සිඟිත්තා පැවිදි වුණා. ධර්මය අවබෝධ කරගන්ට හරීයට වීරිය ගත්තා. අන්ධවනයේ තමයි වාසය කළේ.

දවසක් කාශ්‍යප බුද්ධකාලෙ තමා සමඟ පැවිදි වෙලා හිටිය කෙනෙක් බ්‍රහ්මලෝකයේ ඉපදී ඉඳලා ඉෂ්ට දේවතාවෙකුගේ වේශයෙන් පැමිණියා. තුඹසක් ගැන ප්‍රශ්න ගොඩක් ඇහුවා. භාග්‍යවතුන් වහන්සේගෙන් උත්තර අහගන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු විස්තර කරද්දී කුමාර කස්සපයන් වහන්සේ අරහත්වයට පත්වුණා. ඒ වෙද්දි උන්වහන්සේගේ වයස අවුරුදු දොළහයි.

මව් භික්ෂුණිය තමන්ගේ පුතණුවන් රජතුමා ගෙනිච්ච දවසේ ඉඳලා හැඬූ කඳුලින්මයි හිටියේ. පිණ්ඩපාතයේ වඩිනවා. භාවනා කරනවා. නමුත් තමන්ගේ දරු සිඟිත්තාගේ මුවමඬල හැමතිස්සේම පේනවා. සිත එකඟ කරගන්න බැරිවුණා. ‘මගේ රත්තරන් පුතා’ කිය කියා සිතෙන් හඬ හඬා දරුවාට ආදරය කරමින් සිටියා.

දවසක් වීදියේ පිඬුසිඟා වඩිද්දී කුමාරකස්සප මාතාව තම පුතණුවන්ව දැක්කා. හරි පුදුමයි. මව්ගුණ හරිම පුදුමයි. දෙළොස් වසරක් තිස්සේ දරු සෙනෙහසින් හඬමින් සිට එදා පුතු දුටු වේලෙහි මව්කිරි ගලා ආවා.

“මයෙ රත්තරන් පුතේ…” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.

“මොකක්ද මේ හැසිරෙන විදිහ…? තාමත් බැරිවුණාද ඔය විකාර දරුසෙනෙහෙ නැතිකරගන්න….?”

කුමාර කස්සප මාතාවගේ අත නිකම්ම ගිලිහුණා. හිටිවනම දෑස් ලොකු කරන් පුතා දිහා බලාගෙන හිටියා. කඳුළු වැගිරුණු දෑසින් ඈ දොඩනවා.

“මයෙ පුතේ… මොකක්ද ඔයා කිව්වේ…?”

“තාමත් බැරිවුණාද ඔය විකාර දරුසෙනෙහෙ නැතිකරගන්න කියලයි මං කිව්වේ.”

අම්මා පුදුම වුණා. ‘මේ වගේ දරුවෙක් වෙනුවෙන්ද මං දොළොස් අවුරුද්දක් කඳුළු හෙලුවේ. පැවිදි වෙලත් හිත ගලක් වගේ. මෙවැනි දරුවන්ගෙන් ඇති ඵලේ මොකක්ද?’

කුමාර කස්සප මාතාවගේ දරු සෙනෙහේ සිඳී ගියා. සිත දැඩි වුණා. පිඬුසිඟා වැඩියා. දානෙ ගත්තා. ‘මට තියෙන්නේ මගේ පිහිට විතරයි’ කියලා සිත දැඩි කරගත්තා. එදාම අරහත්වයට පත්වුණා.

ධර්ම සභාවේ භික්ෂූන් අතර මේ ගැන කතාබහ ඇතිවුණා.

“ඇවැත්නි, හරී පුදුමයි. මහා වාසනා ගුණයෙන් පිරි කුමාර කස්සපයන් වහන්සේවයි, භික්ෂුණීන් වහන්සේවයි දේවදත්තයා කිසි වගක් නැතුව නසන්නට හැදුවනේ. අපගේ ශාස්තෘන් වහන්සේ තමයි පිහිට වුණේ. අහෝ! බුදුවරයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලොවට අනුකම්පාවෙන් යුක්තයි.”

මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැළවුණා.

“පින්වත් මහණෙනි, මේ දෙන්නට මං පිහිට වුණේ දැන් විතරක් නොවෙයි. පෙර ආත්මෙදිත් පිහිට වුණා.

පින්වත් මහණෙනි, එක්තරා ආත්මයක මුව රංචු දෙකක් හිටියා. මං හිටියේ නිග්‍රෝධ මුව රජා වෙලා. දේවදත්ත අනෙත් මුව රංචුවේ නායක වෙලා හිටියේ සාඛමිග නමින්. ඒ කාලේ හිටපු රජතුමා සේනාවත් සමඟ දිනපතා දඩයමේ යනවා. මිනිසුන්ට කිසි වැඩක් කරගන්ට නැහැ. අන්තිමේදී මිනිස්සු කැලේ වටලා අර මුව රංචු දෙකම ගාල් කළා. රජතුමා මුව රංචු දෙක බලන්න ගියා. නිග්‍රෝධ මුව රජුත්, සාඛමිග මුව රජුත් දැකලා පැහැදුණා. ඒ දෙන්නව මරණයෙන් නිදහස් කළා. නමුත් දිනපතා මුවෙක් මරාගෙන යා යුතුයි. රාජපුරුෂයන් කරන්නේ මුවගාලට පැනලා තමන්ට හිතෙන මුවෙක් මරණ එකයි. එතකොට අනිත් මුවන් කලබල වෙලා දුවලා පැනලා දුකට පත්වුණා.

අන්තිමේදී නිග්‍රෝධ මුව රජු සාඛ මුව රජු සමඟ එකතුව කතිකාවතක් කළා. හැමදාම එක්කෙනෙකුට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න කිව්වා. ඒ හේතුව නිසා අනිත් මුවන් තම වාරය එනතුරු සුවසේ වාසය කළා.

ඔය අතරේ සාඛ මුව රජුගේ පිරිසේ මුවදෙනකට වාරය පැමිණුනා. ඇයට දරුගැබක් පිහිටලා තිබුණා. ඒ මුව දෙන සාඛ මුවරජු ළඟට ගොස් කියා හිටියා.

“අනේ මට පැටියා ලැබෙන තුරු ඉන්න ඉඩ දෙන්න. ඊට පස්සේ මං ඉදිරිපත් වෙන්නම්.”

සාඛ මුව රජු ඊට කැමති වුණේ නෑ. මුවදෙන එළවා ගත්තා. ඈ හඬ හඬා නිග්‍රෝධ මුව රජු ළඟට ගියා. එදා නිග්‍රෝධ මුව රජු ඈ වෙනුවෙන් මරණයට ඉදිරිපත් වුණා. දංගෙඩියට හිස තිබ්බා.

මුවා මරන්ට පැමිණි රාජපුරුෂයා මේ ගැන පුදුම වුණා. රජ්ජුරුවන්ට සැළකළා. රජ්ජුරුවෝ වහා පැමිණියා.

“රජතුමනි, මුවදෙන ගැබ්බරයි. වාරය තියෙන්නේ මුවදෙනට විතරයි. මව්කුසේ පැටියාට එය අයිති නෑ. ඒ නිසයි මං ඉදිරිපත් වුණේ.”

“එහෙම නම් මං ඔබටත්, ඒ මුවදෙනටත් අභයදානය දෙනවා.”

“එතකොට අනිත් මුවෝ…?”

“ඔව්! මං අද සිට මේ සියලු මුවන්ට අභයදානය දෙනවා.”

ඉතින් ඒ නිග්‍රෝධ මුව රජු රජතුමාව ප්‍රාණඝාතයෙන් මිදෙව්වා. සතුටින් වනයට ගියා.

ඒ නිසා පින්වත් මහණෙනි, ඒ කාලෙත් මං පිහිට වුණා. හැබැයි නිවන් මග හෝ ස්වර්ග මාර්ගය හෝ වෙන කෙනෙකුට දෙන්න බෑ. තමාමයි පිහිට සළසා ගත යුත්තේ. තමාමයි ධර්මය පුරුදු කළ යුත්තේ කියා මේ ගාථා රත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා.

අත්තාහි අත්තනෝ නාථෝ – කෝහි නාථෝ පරෝ සියා
අත්තනා’ව සුදන්තේන – නාථං ලභති දුල්ලභං

තමා පමණයි තමා හට නිසි – පිහිට රැකවරණය සදන්නේ
ලොවේ උත්තම පිහිට එලෙසින් – වෙන කෙනෙක් කොහොමද කරන්නේ
දැමුණු සිතකින් දහම් මග යන – තමාමයි ඒ දෙය කරන්නේ
ඉතා දුර්ලභ පිහිට නිවන ය – තමාමයි එය ලබාගන්නේ


පින්වතුනේ, පින්වත් දරුවනේ, කුමාර කස්සපයන් වහන්සේ අම්මාට ටිකක් තදින් කතා කළේ නපුරුකමට නොවෙයි. මව් සෙනෙහස නිසාමයි. අම්මාට යහපත් මාර්ගය පෙන්වන්න ඕන නිසාමයි. නිවන් මගට යොමු කරන්න ඕන නිසාමයි. එදා පොඩි බුරුලක් හරි පෙන්නුවා නම් අම්මා තවත් මුලාවෙනවා. දරු සෙනෙහසින්ම සිත අවුල් වෙනවා. කල්‍යාණමිත්‍රයන් වශයෙන් රහතන් වහන්සේලා කටයුතු කරන අයුරු හරී පුදුමයි. තමා විසින්ම තමාගේ පිහිට සළසාගත යුතු බව මෙයින් හොඳට පේනවා නේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ