බෝසත් වටුකුරුළු පැටියා ගැන කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, සත්‍යක්‍රියාව කියන්නේ මහා බලසම්පන්න දෙයක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදියේ කළ සත්‍යක්‍රියාවක් ගැනයි මේ වට්ටක ජාතක කථාවේ සඳහන් වෙන්නේ. එය වුනේ මෙහෙමයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් සමග මගධ රටේ චාරිකාවේ වඩිමින් සිටියා. එදා මගධයේ එක්තරා ගමකදී පිඬුසිඟා වැඩියා. සවස් වරුවේ භික්ෂූන් වහන්සේලා සමග ආයෙමත් චාරිකාවේ පිටත් වුනා. ක්‍රමයෙන් වනාන්තර ප්‍රදේශයට පැමිණියා. ඒ අවස්ථාවේ කැලේ ඈත ලැව්ගින්නක් හටගෙන තියෙන බව පෙනුනා. වැඩිදුරක් වඩින්ට ලැබුනේ නෑ. ඉදිරියේත් ලැව්ගින්න. පිටිපස්සෙනුත් වනාන්තරේ ගිනි ගන්නවා. මුළු ප්‍රදේශය ම දුමෙන් වැහිලා ගියා. දෙපැත්තේ ම ගිනි ජාලාවක් පේන්ට ගත්තා. එතැන සිටිය පෘථග්ජන භික්ෂූන් මරණ භයින් තැතිගත්තා.
“අනේ…. අපි මේ පැත්තේ ගින්නක් අවුලමු. එතකොට ලැව්ගින්නට විරුද්ධව මෙහෙනුත් ගින්නක් යන නිසා ඒක මේ පැත්තට එන එකක් නෑ” කියලා ගිනි ගාණා දඬු අරගෙන ගිනි උපදවන්ට මහන්සි ගත්තා.
එතැන සිටිය ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. “අනේ… ඇවැත්නි… මේ මොනාද කරන්නේ? ගගන තලය මැද පිහිටි සඳ මඬල පේනවා. පෙරදිගින් නැගුනු දහසක් රැස් වළල්ලෙන් සුසැදි හිරු මඬල ක්ෂිතිජයේ පේනවා. මහාසමුදුරය සිනේරු පරුවතේ ඇසුරින් සිටියත් ඒ සිනේරු පර්වතේ පේන්නේ නෑ වගේ දෙවියන් සහිත ලෝකයේ අග්‍ර පුද්ගලයන් වහන්සේ අපත් සමග වඩිනා බව අමතක වුනාද? ලැව් ගින්නට විරුද්ධ ගින්නක් උපදවන්ට මහන්සි ගන්නේ ඇයි? සම්බුදු බලය දන්නේ නැද්ද…? හා… හා… ඕවා නවත්වා යමු යමු භාග්‍යවතුන් වහන්සේ ළඟට”
එතකොට භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන එක්තරා ප්‍රදේශයකට වැඩම කළා. වටෙන්ම මහා ලැව් ගින්න යටකරගෙන යන්ට වගේ ආවා. ඇවිත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශය හාත්පස සොළොස් කිරියක ප්‍රමාණයක භූමිය වතුරේ ඔබපු ගිනි පෙනෙල්ලක් වගේ සම්පූර්ණයෙන් ම නිවිලා ගියා. ඊට අවටින් කිරිය තිස් දෙකක වගේ භූමි ප්‍රමාණයකට ලැව් ගින්න ළං වුනේ නෑ. එතකොට භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය ගැන කතාබස් කරන්ට පටන් ගත්තා.
“හරිම අද්භූතයි නේද ඇවැත්නි…. ඒකාන්තයෙන් ම බුදුගුණ නම් මහා අද්භූතයි. සිතින් සිතාගන්ට බැරි දෙයක්. මේ සිත් පිත් නැති ලැව් ගින්න මහා වනාන්තරේ ම ගිනි තියාගෙන බුර බුරා නැගෙන ගිනි දැලින් ඇවිත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට දුර තියාම වතුරේ ඔබාපු ගිනි පෙනෙල්ලක් වගේ සැණෙකින් නිවී ගියා නොවැ”
භික්ෂූන් වහන්සේලාගේ මේ කතාව භාග්‍යවතුන් වහන්සේට අසන්ට ලැබුනා. එතකොට උන්වහන්සේ මෙසේ වදාළා.
“නෑ මහණෙනි, මේ සම්බුදු ගුණ මහිමයක් නොවේ. බෝසත් ගුණ මහිමයයි. මම බෝසත් කාලෙක මේ ප්‍රදේශයේදී මහා ලැව් ගින්නට අසුවුනා. එදා මං සත්‍යක්‍රියාවක් කළා. එදා පටන් අපි ඉන්නා මේ ප්‍රදේශය මේ කල්පය තියෙන තුරු ලැව් ගින්නකින් දැවෙන්නේ නෑ. ඒ බෝසත් කාලේ සිදු වූ ප්‍රාතිහාර්යය කල්පයක් බලපවත්වනවා.
එතකොට ආනන්දයන් වහන්සේ සඟල සිවුර සතරට නවා භාග්‍යවතුන් වහන්සේට වැඩ හිඳීම පිණිස බිම ඇතිරුවා. භාග්‍යවතුන් වහන්සේ එහි පළඟක් බැඳ වාඩි වුනා. භික්ෂු සංඝයාත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිරිවරාගෙන වාඩිවුනා.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අද මේ සිදු වූ ප්‍රාතිහාර්යය අපි ඇස් දෙකින්ම දැක්කා. නමුත් ස්වාමීනී, අතීතයේ අප භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් අවදියේ සත්‍යක්‍රියාව කොහොමද වුනේ කියලා අපි දන්නෙ නෑ. අපට ඒ අතීත කතාව වදරණ සේක්වා” කියලා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මෙම වට්ටක ජාතකය වදාළා.වට්ටක කියන්නේ වටුකුරුල්ලට කියන නමක්.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලේ මගධ රටේ මේ ප්‍රදේශයේ ම මහා බෝධිසත්වයෝ වටුකුරුළු යෝනියේ උපන්නා. කුරුළු බිත්තරය බිඳගෙන එද්දි ලොකු පන්දුවක ප්‍රමාණයේ වටුකුරුළු පැටියෙක්ව හිටියා. ඒ කුරුළු පැටියාගේ මව්පියෝ කැදැල්ලේ තියාගෙන මේ පැටියාව පෝෂණය කළා. මුව තුඩින් ගොදුරු ගෙනැවිත් කැව්වා. තාම කුරුළු පැටියා ඉතාම ළපටියි. තටු දිග හැරලා පියාඹන්ට බලයක් නෑ. බිම ඇවිද යන්ට පුළුවන් කමකුත් නෑ. අවුරුදු පතා මේ ප්‍රදේශයේ ලැව් ගිනි හටගන්නවා. ඒ කාලේ මේ ප්‍රදේශයේ බුර බුරා ලැව් ගිනි පැතිරුනා. කුරුල්ලෝ හඬතල දීගෙන පුළුවන් හැටියට ඈතට ඉගිල ගියා. බෝසත් වට්ටක කුරුල්ලාගේ මව්පියනුත් මරණ භයින් තැති ගත්තා. කුරුළු පැටියාව ගෙනියන්ට විදියක් නෑ. පණ බේරාගන්ට ඕනෑ නිසා කුරුළු පැටියාව දාලා හඬ හඬා ඉගිල ගියා.
බෝසත් කුරුළු පැටියා කැදැල්ලේ හාන්සි වෙලා හිටියේ. ඔලුව උස්සලා වටපිට බැලුවා. මහා ගිනි කඳක් ඇවිලි ඇවිලී එනවා. කුරුළු පැටියා මෙහෙම සිතුවා.
“අනේ… මට පියාපත් තිබුනා නම් මාත් ඉගිල යනවා. පයින් ඇවිද යන්ට පුළුවන් නම් වෙනත් තැනකට දුවගන්නවා. මරණ භයින් බියට පත් මගේ මව්පියොත් මාව දාලා පලා ගියා. මට දැන් මා හැර වෙන කිසිම පිළිසරණක් නෑ. මං දැන් මොකද කරන්නේ….?” කියලා කල්පනා කළා. එතකොට බෝසත් කුරුළු පැටියා මෙහෙම සිතන්ට පටන් ගත්තා. “මේ ලෝකේ සිල් ගුණ කියා දෙයක් තියෙනවා. සත්‍යය කියා දෙයක් තියෙනවා. ඉස්සර කාලේ පාරමී පුරා බෝ මුලකදී අභිසම්බෝධියට පත් මෛත්‍රී ගුණයෙන් පිරී ගිය සර්වඥ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලා අවබෝධ කොට වදාළ ධර්මගුණ කියා දෙයක් තියෙනවා. මටත් එකම සත්‍යයක් තියෙනවා. මං හුදෙකලාව තනියම සොබාදහමට මුහුණ දී සිටීම ඒ එකම සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් ලැව් ගිනි නිවේවා!” කියලා මේ ගාථාව කිව්වා.
“පියාපත් ඇතත් මා හට ඉගිලයන්ට බෑ
පා තිබුණත් මා හට දැන් ඇවිද යන්ට බෑ
මව්පියනුත් මාව දමා ඉගිල පලා ගියා
ලැව් ගින්න නැවතියන්… ලැව් ගින්න නැවතියන්…”
මහාබෝධිසත්වයෝ කැදැල්ල ඇතුලේ පියාපත් දිගහැරගන්ට බැරිව පා දිගහැරගන්ට බැරිව සිටියදී, වැතිරී සිටියදී මේ සත්‍ය ක්‍රියාව කළේ. සොළොස් කිරියක පමණ ප්‍රදේශයේ ලැව් ගින්න එක්වරම වතුරේ එබූ ගිනි පෙනෙල්ල වගේ නිවී ගියා. මේ ඒ ප්‍රදේශයයි. ලැව් ගින්නකින් කවරදාකවත් මේ කල්පය පවතින තුරු හානියක් වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, මෙය බෝසත් අවදියේ වටුකුරුළු පැටියා කාලේ මා තුළ තිබූ සත්‍යානුභාවයයි. එදා බිහිසුණු ලැව් ගින්නෙන් මං බේරුනේ සත්‍යක්‍රියාවේ අනුහසින්. මෙදා සසර නමැති ලැව් ගින්නෙන් සදහට ම නිදහස් වීමටයි මං ධර්මය දේශනා කරන්නේ” කියා චතුරාර්ය සත්‍යය විස්තර වශයෙන් වදාළා. ඒ දේශනාව අවසානයේ ඇතැම් භික්ෂූන් සෝවාන් ඵලයට පත්වුනා. ඇතැම් භික්ෂූන් සකදාගාමී වුනා. ඇතැම් භික්ෂූන් අනාගාමී වුනා. සමහර භික්ෂූන් රහත් ඵලයට පත්වුනා. “එදා වටුකුරුළු පැටියාගේ මව්පියන්ව සිටියේ මේ ආත්මේ සිටින මා පියන් ම යි. වටුකුරුල්ලාව සිටියේ මම යි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ වට්ටක ජාතකය දේශනා කළා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ