BlogTemplate

දිවිමග ගෙවන්නට සැනසුම ලැබෙන ලෙසින්
ගුණ නැණ පිරුණ මිතුරෙකු නොලැබේ ද ඉතින්
දිනූ රට හැර යන – රජ කෙනෙකුගේ විලසින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලොව කිසිවෙකුට දැක ගත නොහැකි අතීත සිදුවීම් විස්තර කරන අයුරු ඉතා මනහර ය. කොටින්ම කලින් කලට ලොව බුදුවරයන් වහන්සේලා පහළ වන බව දේශනා කොට වදාළේ අප බුදුරජුන් ය. දීඝ නිකායෙහි සඳහන් මහා පදාන සූත‍්‍රයේදී කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සම්බුදුවරයන් වහන්සේලා ගැන දේශනා නොකරන්නට අපට එය දැනගත හැකි ක‍්‍රමයක් නැත. කල්ප සියයක් ඇතුළත විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප යන බුදුවරුන්ගේ පහළ වීමත්, එකල ඒ ඒ අවස්ථාවන්හීදී මිනිසුන්ගේ ආයු ප‍්‍රමාණයත්, අගසව්වන් පිළිබඳවත්, තව නොයෙක් තොරතුරුත් එම සූත‍්‍රයෙහි ඇතුළත් වේ.චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙහිදී බුදුරජුන් වදාළේ මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක්ව පවතින කාලයේදී අනාගත මෛත‍්‍රී බුදුරජුන් පහළ වන බවයි. එය ද අප දැනගත්තේ අපගේ ශාස්තෘන් වහන්සේගෙනි. මේ අයුරින් අතීතයෙහි වැඩසිටි බුදුවරුන් ගැනත්, අනාගතයෙහි පහළ වන බුදුවරුන් ගැනත් අපට දැනගැනීමට වාසනාව උදාවිය.පසේබුදු නමින් පහළ වන විශේෂ බුදුවරයන් වහන්සේලා පිළිබඳව ද සඳහන්ව ඇත්තේ බුද්ධ දේශනාවල ය. ඒ පසේබුදුවරුන් පහළ වී සිටි අවදියේ උන්වහන්සේලාගේ ස්වභාවය හඳුනාගත නොහැකිව උන්වහන්සේලාට හිරිහැර කොට අපාගත වූ පිරිස් ගැන ද අප බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.පසේබුදුරජාණන් වහන්සේලා කියන්නේ හොඳට සිහිය දියුණු කරපු උත්තමයන් වහන්සේලා පිරිසක්.

එක්තරා අවස්ථාවක ගිජුකුළු පව්වෙන් පහළට වඩින මුගලන් මහතෙරුන් වහන්සේට ඇටසැකිළි පේ‍්‍රතයෙකුව දකින්නට ලැබුණා. ඒ ඇටසැකිළි පේ‍්‍රතයාගේ හිස මතට කුළුගෙඩි දහස් ගණනකින් පහර වදිද්දී ඔහු බැගෑ හඬින් වැළපෙමින් දුක් විඳිමින් සිටි අයුරු බුදුරජාණන් වහන්සේට පවසා සිටියා. එවේලෙහි බුදුරජුන් වදාළේ උන්වහන්සේටත් බෝධිමූලයේ සිටියදී එම ඇටසැකිළි පේ‍්‍රතයාව දකින්නට ලැබුණු බවත්, ඔහු ඒ කර්ම විපාකය විඳින්නේ එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමකට හිංසා කොට, අපවත් කිරීමේ පාපයේ ඉතිරි කොටසක් හැටියට බවත් ය.

බුද්ධ දේශනාවල පසේබුදුවරයන් ගැන තොරතුරු මතුවෙන මෙවැනි අවස්ථාවන් වරින් වර දැනගන්නට ලැබේ. පසේ බුදුවරුන්ගේ ස්වභාවය නම් අන් අයට දහම් දෙසීමට නොහැකි බවයි. තමන් විසින් හුදෙකලාවේම අවබෝධ කරගන්නා ධර්මය තුළින් තමාට පමණක් පිළිසරණ ලබාගෙන උන්වහන්සේලා පිරිනිවී යති. නමුත් ඒ පසේ බුදුවරයන් වහන්සේලා ගැන පවා සිත පහදවා ගෙන වන්දනා කිරීම සුදුසු බව ඉසිගිලි සූත‍්‍රයෙහි අවසාන ගාථාව තුළින් අපට පෙන්වා වදාළේ බුදුරජුන් ම ය.

මෙම කථාවෙහි ද පසේ බුදුවරයන් වහන්සේලා දෙනමක් ගැන සඳහන් වේ. උන්වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් ප‍්‍රකාශ කරන ලද ගාථා දෙකක් මෙහි ඇතුළත් ය. සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි එකොළොස් වෙනි හා දොළොස් වෙනි ගාථා දෙක හැටියට සඳහන් වන මෙහි පසුබිම් කථාව මෙයයි.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තරුණ කුමාරවරු දෙදෙනෙක් පැවිදි වුණා. ඔවුන් ඉතාමත් ශ‍්‍රද්ධාවෙන්, සතුටින් මහණදම් පිරුවා. නිතරම උත්සාහ කළේ භාවනා අරමුණෙහි සිත රඳවා ගන්නටයි. ඒ වෙනුවෙන් මේ පැවිදි උතුම් දෙනම පුරුදු කරන ලද්දේ ‘ගතපච්චාගත’ වතයි. ‘ගතපච්චාගත’ යනු පිඬු සිඟා වඩිද්දී කුටියෙන් එළියට පියවර තබන විට සිතට ගන්නා භාවනා කමටහන නැවත ආපසු කුටියට පිවිසෙන තෙක්ම සිතෙහි රඳවාගෙන සිටීමයි. ඇත්තෙන්ම එය ලෙහෙසි කටයුත්තක් නොවේ. කෙනෙක් කුටියෙන් එළියට වඩිද්දී භාවනා අරමුණ සිතට ගත්තත් ටික දුරක් යනවිට අමතක වෙන්න ඉඩ තියෙනවා. ඇතැම් විට ඇසට පෙනෙන, කණට ඇසෙන බාහිර අරමුණු නිසාත් අමතක වෙන්න ඉඩ තියෙනවා. දායකයින් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න යාමෙනුත් කමටහන අමතක වෙන්න ඉඩ තියෙනවා. එබඳු කිසිම කරුණකදී ඒ කමටහන අත්නොහැර දිගටම පවත්වාගැනීමට පුරුදු වූ විට ගතපච්චාගත වත පුරන්නට පුළුවනි.

ඉතින්, විසිදහසක් අවුරුදු කසුප් බුදු සසුනෙහි ගතපච්චාගත වත පිරූ ඒ තරුණ ශ‍්‍රමණයන් වහන්සේලා දෙනම විසින් අපේක්ෂා කරන ලද්දේ ඒ බුදු සසුනේ නිවන් අවබෝධ කිරීමටයි. නිවන් අවබෝධ වීම පිණිස අවංකව පිළිවෙත් පිරූ විට එය කිසිදා අපතේ නොයයි. අලාභයක් නොව, ලාභයක්ම උපදවයි. යහපතක්ම උපදවයි. අර භික්ෂූන් දෙනමට ඒ කාශ්‍යප බුදු සසුනෙහි නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වුවත් ගෞතම බුදු සසුනට පෙරාතුව පසේබුදුවරුන් වහන්සේලා හැටියට නිවන් අවබෝධ කරගැනීමට වාසනාව උදා වුණා.

කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි පිළිවෙත් පිරූ ඒ දෙනම අපවත් වීමෙන් පසු දිව්‍ය ලෝකයෙහි ඉපදුණා. පසේබුදුවරුන්ගේ යුගය පහළ වන තුරුම දිව්‍ය ලෝකයෙහි රැඳී සිටියා. පසේබුදුවරුන්ගේ යුගයෙහිදී දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඉන් වැඩිමහළු තැනැත්තා බරණැස් රජමාළිගයෙහි උපන්නා. බාල තැනැත්තා පුරෝහිත බ‍්‍රාහ්මණයාගේ පවුලෙහි උපන්නා. මේ දෙදෙනා එකම දිනයෙහි උපත ලැබුවා. කුඩා කල පටන් එකට ඇති දැඩි වුණා.

දිනක් පුරෝහිත පුත‍්‍රයා අර රජකුමරාට මෙහෙම කිව්වා.

“ප‍්‍රිය මිත‍්‍රය, පිය රජුගේ ඇවෑමෙන් රජකම හිමි වන්නේ ඔබටයි. අනාගතයේ පුරෝහිත තනතුර ලැබෙන්නේ මටයි. අපි දෙදෙනා ඉතා හොඳින් ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙන ගත්තොත් අපට ධාර්මික ලෙස, යහපත් ලෙස රාජ්‍ය විචාරීම කළ හැකියි. එනිසා ඒ වෙනුවෙන් අපි සෑම ශිල්පයක්ම ඉගෙන ගනිමු.”

ඉතින් මේ කුමාරවරු දෙදෙනා ශිල්ප හැදෑරීම පිණිස ඈත පළාතකට පිටත් වුණා. ඒ පළාතේ එක්තරා විශේෂත්වයක් දැනගන්නට ලැබුණා. එනම් ඒ ගමට විශේෂ අමුත්තන් කිහිප දෙනෙක් පැමිණෙන බවත්, ඔවුන්ව පිළිගැනීමට මුළු ගම ම සූදානම්ව සිටින බවත්ය. කුමාරවරු දෙදෙනාත් මේ අමුත්තන් බැහැදැකීමට උනන්දු වුණා. ඔවුන් වෙන කවුරුවත් නොවේ. පසේබුදුවරයන් වහන්සේලාය.

“ප‍්‍රිය මිත‍්‍රය, දැන් බලන්න. මේ ශ‍්‍රමණයන් වහන්සේලාට මිනිස්සු හොඳින් සළකනවා. ආසන පණවනවා. ප‍්‍රණීත ආහාරපාන පිළිගන්වනවා. ගරු බුහුමන් දක්වනවා. මෙයට යම්කිසි විශේෂ හේතුවක් තිබිය යුතුයි. මුන්වහන්සේලා කිසියම් විශේෂ ශිල්පයක් දන්නා උදවිය හැඩයි. අපිත් මුන්වහන්සේලා ඇසුරේ සිට ඒ ශිල්පය ඉගෙන ගත්තොත් එය අනාගතය පිණිස අපට උපකාරී වේවි.”

මේ කුමාරවරු දෙදෙනා ද පසේබුදුවරයන් වහන්සේලාට උපස්ථාන කරන්න පෙළඹුණා. මුන්වහන්සේලාගේ හැසිරීම් රටාවේ කිසියම් විශේෂත්වයක් තිබෙන බව මොවුන් සොයාගත්තා. බාහිර ලෝකයට නොඇලූණු, හුදෙකලාවට ඇලූණු ස්වභාවය දුටු මෙම දෙදෙනා ඒ පසේබුදුවරුන්ගෙන් ශිල්ප ඉල්ලා සිටියා.

“පින්වත් කුමාරවරුනි, අපේ ජීවිතයත් එක්තරා ශිල්පයක ඵලයක් තමයි. හැබැයි, ගිහියන් වශයෙන් මේ ශිල්පයෙහි ප‍්‍රතිඵල ලැබිය හැකි බවක් අප දකින්නේ නැහැ. අප මෙන් ශ‍්‍රමණයන් බවට පත්වුවහොත් ඔබටත් මේ ශිල්පය කුමක්දැයි වැටහෙන්නට ඉඩ තිබේ.”

“අනේ පින්වත් ස්වාමීනී, එසේ නම් අපිත් කැමතියි ඒ ශිල්පය ඉගෙන ගන්නට. අනාගතයට අපට එය බොහෝ ප‍්‍රයෝජනවත් වේවි. එනිසා අප කෙරෙහි අනුකම්පා කොට අපව පැවිදි කළ මැනැව.”

“පින්වත් දරුවෙනි, එසේ නම් ඔබ කෙස් රැවුල් බා, ගිහි වත් ඉවත් කොට, මේ සිවුරු ගෙන අප මෙන් පොරවා ගන්න. මේ අයුරින් පාත‍්‍ර පරිහරණය කරන්න. මේ අයුරින් වත් පිළිවෙත් කරන්න.”

ඉතින් මේ කුමාරවරු දෙදෙනා ද ශ‍්‍රමණයන් වහන්සේලා බවට පත්වුණා. සිවුරු පොරවන්නටත්, පාත‍්‍ර පරිහරණයටත් පුරුදු වුණා. සක්මන් මළු ඇමදීම, කුටි ඇමදීම, පැන් පෙරා තැබීම ආදී කුදු මහත් වත්පිළිවෙත් ඉගෙන ගත්තා. ටික දිනක් ගෙවුණා. මේ දෙනම අර පසේබුදුවරයන් වහන්සේලා ළඟට ගොස් ශිල්ප ඉල්ලා සිටියා.

“පින්වත් ශ‍්‍රමණවරුනි, ශිල්පය නම් මෙයයි. එනම් හුදෙකලාව සිටීමයි.”

“පින්වත් ස්වාමීනී, හුදෙකලාවේ සිටීම යනු කුමක්ද?”

“හුදෙකලාවේ සිටින කෙනා සක්මන් කළ යුත්තේ ද හුදෙකලාවේමයි. භාවනා කළ යුත්තේ ද හුදෙකලාවේමයි. සැතැපිය යුත්තේ ද හුදෙකලාවේමයි. හුදෙකලාව යනු ඔහුය. ඔහු යනු හුදෙකලාවය.”

මේ අවවාද ලැබූ නවක ශ‍්‍රමණයන් වහන්සේලා දෙනම දෙපැත්තට වෙන් වුණා. හුදෙකලා වුණා. පුරෝහිත පුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ හුදෙකලාවේ ගොස් කුටියෙහි භාවනා කොට නොබෝ වේලාවකින් සිත සමාධිමත් කරගන්නට පුළුවන් වුණා. නමුත් රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේට එය නොහැකි වුණා. උන්වහන්සේගේ සිතෙහි අරතිය හටගත්තා. මොහොතකින් භාවනාවෙහි නොඇලී ගියා. සිත විසිරුණා. කලබල වුණා. ඔහුට තම මිත‍්‍ර ශ‍්‍රමණයන් වහන්සේව මතක් වුණා. උන්වහන්සේව සොයාගෙන පැමිණුනා.

“අනේ හිමියනි, මට අමාරුයි. හිත විසිරෙනවා. අරතිය ඇතිවෙනවා. මං මොකද කරන්නේ?”

“එහෙනම් ඔබත් පසෙකින් වාඩිවෙන්න.”

වාඩි වී ස්වල්ප වේලාවක් ගත වූ විට ඔහුගේ සිත සංසිඳුණා.

“පින්වත් හිමියනි, මේ ශිල්පයෙහි අවසානය කුමක්දැයි කියා ඔබ දන්නවාද?”

“නැත, හිමියනි. නමුත් අප මේ ශිල්පයේ අවසානය දකිනා තුරුම හුදෙකලාවේ සිටිය යුතුයි.”

එතකොට රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ ආයෙමත් තම කුටියට පිටත් වුණා. හුදෙකලා වුණා. සුළු කලෙකින් සිත විසිරෙන්නට පටන් ගත්තා. අරතිය ඇති වුණා. භාවනාවේ නොඇලී ගියා. හුදෙකලා බව එපා වුණා. කළකිරුණා. නැවතත් යහළු ශ‍්‍රමණයන් වහන්සේව සොයාගෙන ආවා.

පුරෝහිතපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ යළිත් මොහුව උනන්දු කෙරෙව්වා. හුදෙකලා බවට පිටත් කළා. තුන්වන වතාවෙත් මොහු අරතියෙන් පීඩා විඳින්නට පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා. භාවනාව එපා වුණා. නැවතත් දුවගෙන ආවා. පුරෝහිතපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ මොහුව යළි යළිත් උනන්දු කෙරෙව්වා. හුදෙකලාවටම ආශා කෙරෙව්වා. අන්තිමේදී උන්වහන්සේ මෙහෙම කල්පනා කළා.

‘රාජපුත‍්‍රව සිටි මේ ශ‍්‍රමණයන් වහන්සේ ශිල්ප හැදැරීමට කොතරම් ආසා වුණත් හුදෙකලාවේ සිටීමේ ශිල්පය නම් හදාරණ පාටක් නෑ. තමන්ගේ හුදෙකලාවත් වනසා ගන්නවා. මගේ හුදෙකලාවටත් හානි කරනවා. ඒ නිසා මම ඈතට යන්න ඕන.’

උන්වහන්සේ ඈත වනයට පිටත් වුණා. එදාත් රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේට අරතිය ඇතිවුණා. කළකිරුණා. පැවිද්දට සිත නොඇලී ගියා. වත් පිළිවෙත්වලට නොඇලී ගියා. එතකොට තම යහළු ශ‍්‍රමණයන් වහන්සේව මතක් වුණා. උන්වහන්සේව සොයාගෙන ආවා. ආරාමය ඉදිරිපිටට පැමිණ උගුර පෑදුවා. කවුරුවත් පේන්න නැති හැඩයි. හිමිහිට දොර හැර බැලූවා. කවුරුවත් නෑ. වතුර කළය බැලූවා. එය හිස්. ඒ ආරාමය අවට පාළුවෙලා. මොහු කල්පනා කරන්න පටන් ගත්තා.

‘ඉස්සර මං රාජකුමාරයෙක්ව සිටිද්දී මිනිසුන් තෑගි බෝග අරගෙන මාව දකින්නට එනවා. ඒත් මාව දකින්නට ලැබෙන්නේ නෑ. හිස් අතින් හැරිලා යනවා. නමුත් මොහුව හොයන්නට මා එද්දී මට මොහුව දකින්නට ඉඩ නොදී පිටත්ව ගිහින්.

එම්බා සිත! නුඹට ලැජ්ජා නැද්ද? භාවනාවට රැඳවිය යුතු සිත එහි නොඅලවා, අරතියට යටකොට මාව පෙළන්නේ නුඹ නොවේද?
එම්බා සිත! දැන් මා සිව් වතාවක්ම මෙතනට කැරකී ආවා. මේ ඇවිදිල්ලට මාව යොමු කළේ නුඹයි.

එම්බා සිත! ආයෙ කවදාවත් නුඹ කියන දේ කරන්න මම ලෑස්ති නෑ. නුඹ දැන් සිටින්නට ඕන මට ඕන හැටියටයි. නුඹ කැමති වුණත්, අකමැති වුණත් මා කැමති හුදෙකලාවටයි. එනිසා අද පටන් නුඹ සිටිය යුත්තේ හුදෙකලාවට අවනතවයි.’

ඉතින්, ඒරාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේත් හුදෙකලා වුණා. අරතිය පහව ගියා. සිත සමාධිමත් වුණා. දැහැන්ගත වුණා. ක‍්‍රමක‍්‍රමයෙන් චතුරාර්ය සත්‍යය වෙත සිත යොමු වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධිබලයෙන් හිමාලවනයෙහි නන්දමූලක පර්වතයෙහි ගිරිගුහාවට වැඩම කළා.

පුරෝහිතපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේත් චිත්ත සමාධිය දියුණු කළා. විදර්ශනා ප‍්‍රඥාව දියුණු කළා. හුදෙකලාවේ ම ආර්ය සත්‍යය අවබෝධ කළා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධියෙන් නන්දමූලක පර්වතයෙහි ගුහාවට වැඩම කළා.

දිනක් මේ පසේබුදුවරයන් වහන්සේලා දෙනම රත්හිරියල් ගල් තලාවෙහි වැඩහිඳ තමන්ගේ ජීවිතාවබෝධයට උපකාරී වූ අත්දැකීම් ගැන කතාබස් කරමින් සිටි වේලෙහි මේ උදාන පහළ කළා. යට දැක්වෙන ගාථාව වදාරණ ලද්දේ රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ විසිනුයි.

සචේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්ය සබ්බානි පරිස්සයානි
චරෙය්ය තේනත්තමනෝ සතීමා

“ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් හෙබි යහළුවෙක් මුණ ගැහෙනවා නම්, නුවණැති කෙනා ඔහු සමඟ වාසය කරන්න ඕන. හැබැයි හැම කරදරයක්ම මැඬ ගෙන වීරියෙන් යුක්තව, සතුටින් යුක්තව, සිහියෙන් යුක්තවයි ඔහු හැසිරිය යුත්තේ.”

එතකොට අනිත් පසේබුදුවරයන් වහන්සේ මේ ගාථාව වදාළා.

නෝචේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහාය
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් යුක්ත, වීරියවන්ත යහළුවෙක් තමන්ගේ ආශ‍්‍රයට සුදුසු ආකාරයට ලැබෙන්නේ නැත්නම්, ඔහු කළ යුත්තේ මෙයයි. දිනපු රට අත්හැර යන රජෙක් වගේ හැසිරිය යුත්තේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

 

ඊළඟ කථාවට පිවිසෙන්න >>>