BlogTemplate

පසසමු මිතුරු සම්පත අපි සැබැවින්ම
උසස් හෝ සම අය – සොයා ගත යුතු සුමිතුරන් ලෙස
නොලැබෙන විටදි ඒ අය – දැහැමින් බොජුන් ලැබගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ විසින් ලෝකය පිළිබඳව අවබෝධ කරන ලද ධර්මය සැබැවින්ම පුදුම සහගතය. අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලා ගැන පමණක් නොව පසේ බුදුවරයන් වහන්සේලා ගැන ද ඉස්මතු කොට පෙන්වන අයුරු ඉතා මනහරය.

මේ සසරේ ස්වභාවය නම් ඇරඹුණු තැනක් දැක්ක නොහැකි වීමයි. ආරම්භක මුල් ස්වභාවයක් නොපෙනීමයි. අසවල් දවසේ සිට සසර ගමන ඇරඹුනේය කියා කිසිදු සත්වයෙකුගේ සසර ගමන පිළිබඳව පැවැසිය නොහැකි බවයි බුදුරජුන් වදාළේ. එනිසාය භව ගමනක පැටලූණු සත්වයාගේ මූලාරම්භය සෙවීම වෙනුවට භව ගමනින් නිදහස් වීමට මඟක් සොයන්න යැයි අවධාරණ කරන ලද්දේ. ඇත්තෙන්ම අතීත බුදුවරුන් ගැන හෝ පසේබුදුවරුන් ගැන හෝ බුදුරජාණන් වහන්සේ විසින් නොවදාරණ ලද්දාහු නම් අද අපි ඒ කිසිවක් නොදනිමු. උන්වහන්සේ විසින් කෙළවරක් දැක්ක නොහැකි අතීතයෙහි යම් යම් අවස්ථාවන්හීදී පහළ වූ මේ සුවිශේෂී උතුමන් පිළිබඳව වදාළේ ලොවෙහි පවතින එක්තරා විශේෂ ස්වභාවයක් පෙන්වා දීමටය. එනම් විමුක්තියක් උදෙසා කෙනෙකුන් විසින් අවංකව ගන්නා ලද වෑයම මල් ඵල ගන්නා අයුරු පෙන්වා දීමටයි.

එක්තරා අවස්ථාවක එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ‘ගෙවී ගිය අතීතය කොතරම් වර්ෂ වලින් කිව හැකිද?’ කියාය. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ගෙවී ගිය අතීතය කිසිසේත්ම වර්ෂ වලින් කිව නොහැකි බවයි. කල්ප වලින් ද කිව නොහැකි බවයි. උපමාවකින් වදාළේ මහා සාගර ජලයට වඩා වැඩි ප‍්‍රමාණයක කඳුලූ එක් පුද්ගලයෙකු විසින් ගෙවන ලද සසරේ වගුරුවා ඇති බවයි. මෙවැනි උපමා ඔස්සේ බුදුරජුන් දහම් දෙසා වදාළේ සසරෙහි සැරිසරන සත්වයාට එහි ඇති අන්තාරායදායක ස්වභාවය ප‍්‍රකට කර දෙනු පිණිසය.

බුදුරජුන් විසින් වදාරණ ලද දේශනා විමසන විට පැහැදිලිවම කරුණු දෙකක් හඳුනාගත හැකිය. එනම් භව ගමනක පැටැලී සිටින සත්වයා එයින් මුදවා නිර්වාණාවබෝධයට යොමු කරවීම මූලික කරුණයි. දෙවන කරුණ සුගතියෙහි උපතක් කරා සත්වයාව යොමු කරවීමයි. මෙවැනි අදහසක තරව පිහිටා උන්වහන්සේ විසින් දහම් දෙසන ලද්දේ සසරෙහි පැටැලී ගිය සත්වයා සතර අපායට අභිමුඛව ගමන් ගන්නා බව පසක් කරගත් නිසාවෙනි. එසේ යන සත්වයන් අතුරින් බුදු බව ලැබිය හැකි වන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකුට ය. එනිසා උන්වහන්සේ කිසිදු දේශනාවක බුදු බව ලබනු පිණිස සත්වයන්ව උනන්දු කරවා නැත. හැමවිටම උන්වහන්සේ උනන්දු කරවන ලද්දේ ශ‍්‍රාවකත්වය ලබාගෙන සසරෙන් එතෙර වීමටයි. කොටින්ම පසේබුදු බව ලබාගැනීම පිණිසවත් තම ශ‍්‍රාවකයන්ව උනන්දු කළ අවස්ථාවක් ධර්මයෙහි සඳහන්ව නැත.

නමුත් යම් පින්වත් කෙනෙකු විසින් ආර්ය සත්‍යාවබෝධය පිණිස අවංකව වෙහෙසෙන්නේ නම් ඇතැම් විට කලාතුරකින් කෙනෙකුගේ ගමන පසේබුදු බව දක්වා වැඞීයන බව අටුවා කථා කියැවීමෙන් අපට තේරුම්ගත හැකිය. ඒ පසේබුදුවරුන්ගේ අවබෝධයට උපකාරී වී තිබෙන්නේ ධර්ම ශ‍්‍රවණය වැනි දෙයක් නොවේ. සාමාන්‍යයෙන් කෙනෙකුට ප‍්‍රඥාව ලබාගැනීම පිණිස කල්‍යාණමිත‍්‍ර සේවනය හා ධර්ම ශ‍්‍රවණය අනිවාර්යයෙන්ම උපකාරී විය යුතුය. යෝනිසෝ මනසිකාරයෙන් යුතු තැනැත්තා ප‍්‍රඥාව උපදවා ගන්නේ එම හේතුව නිසාය. නමුත් පසේබුදුවරුන්ගේ ජීවිතාවබෝධය සිදුවන්නේ බොහෝ විට අහඹු ලෙසය.

සුත්ත නිපාතයේ ඛග්ග විසාණ සූත‍්‍රයෙහි සඳහන් දොළොස්වෙනි ගාථාවට අයිති කථා වස්තුව මෙයයි.

මිනිස් ආයුෂ වසර විසි දහසක්ව තිබියදී කාශ්‍යප බුදු සසුන පහළ වුණා. මේ බුදු සසුනෙහි මහා පින්වන්තයින් තම තමන්ගේ නිවන් මඟ මුහුකුරාගන්නට නිසි පින් පුරා ගනු පිණිස පැවිදි වුණා. ඒ පැවිදි වූ පිරිසෙන් බොහෝ දෙනෙක් ඒ බුදු සසුනෙහිදීම පිරිනිවන් පෑවා. තවත් පිරිසක් මඟ ඵල නොලබා දෙව්ලොව උපන්නා. ගෞතම බුදුරජුන් පහළ වීමට පෙර එක්තරා යුගයක් එළැඹුණා. ඒ පසේබුදුවරුන්ගේ යුගයයි. එම යුගයෙහිදී දෙව්ලොව ඉපිද සිටි අර පුණ්‍යවන්තයින් වරින් වර මිනිස් ලොවට පැමිණ පසේබුදුවරුන් බවට පත්ව සසරෙන් එතෙර වුණා.

කාශ්‍යප බුදුසසුනෙහි ‘ගතපච්චාගත’ වත පිරූ යහළු ශ‍්‍රමණයන් වහන්සේලා කිහිප නමක් දෙව්ලොව ඉපිද සිටියා. පසේබුදුවරුන්ගේ යුගයේදී ඔවුන් දඹදිව උපන්නා. වැඩිමහළු කෙනා බරණැස් රජු බවට පත් වී සිටියා. අනිත් පිරිස අවට ජනපදයන්හි රජ පවුල්වලත් උපන්නා. සසරෙහි පුරන ලද පුණ්‍යානුභාවයෙන් යහළුවන් බවට පත් වූ ඔවුන් පැවිදි වුණා. තම තමන්ට ආවේණික විමසීම් නුවණ හුරු කරගනිමින් පසේබුදුවරයන් වහන්සේලා බවට පත් වුණා.

දිනක් මේ පසේබුදුවරු නන්දමූලක පර්වත ගුහාවට වැඩම කොට තම තමන් මේ අත්විඳින්නේ කවර පුණ්‍ය විපාකයක් දැයි සොයා බැලූවා. එවිට බොහෝ වාර ගණනක් පැවිදිව ධර්මාවබෝධය පිණිස කැපවීමේ ප‍්‍රතිඵලය තමන් අත්විඳින බවත්, තමන් සමඟ එකට සිටි වැඩිමහල් තැනැත්තා දැනට බරණැස් නුවර රජ බවට පත් වී සිටින බවත් දැනගත්තා. ඔහු ද පසේබුදු බවට පත්වෙන කෙනෙක් බව නියත වශයෙන්ම දැනගත් මෙම පසේබුදුවරයන් වහන්සේලා දිනක් බරණැස් රජ මාළිගා මිදුලට අහසින් සැපත් වුණා. ආසනවල වාඩිනොවී අහසේම පළඟක් බැඳ වැඩසිටියා. සියලූ සේනාවම මේ ආශ්චර්යය දැක ඒ දෙසම බලා සිටියා.

සසරෙහි පුරුදු සෙනෙහසින් යුතුව රජතුමා ද ශ‍්‍රමණයන් වහන්සේලාට වන්දනා කොට මෙසේ විමසුවා.

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔබවහන්සේලා කවුද?”

“මහරජතුමනි, අපි වනාහී නිවැරදි අයුරින් ලැබෙන බොජුන් වළදින ‘අනවජ්ජ භෝජී’ නම් අය වෙමු.”

“අනේ…. ශ‍්‍රමණයන් වහන්ස, මට එහි අරුත වැටහෙන්නේ නැහැ.”

“පින්වත් රජතුමනි, ලෝකයෙහි බොහෝ දෙනෙක් රස ආහාරයට ලොල් වෙනවා. කටුක ආහාරයට ගැටෙනවා. රස ආහාරය ලැබෙන තැන ඇලී වාසය කරනවා. කටුක ආහාරය ලැබුණ විට ගැටී බැහැරට යනවා. නමුත් රජතුමනි, අපට ලැබෙන ආහාරය කටුක වේවා, ප‍්‍රණීත වේවා එය අපට ප‍්‍රශ්නයක් නොවෙයි. එම ආහාරයට අප සිත තුළ ඇලීම් ගැටීම් කිසිවක් ඇති කිරීමට හැකියාවක් නැහැ.”

රජතුමා පුදුමයට පත් වුණා. හිතන්න පටන් ගත්තා.

“හරිම පුදුමයි! අපට ආහාරයේ රස නැතුව ගියොත් කේන්ති යනවා. ආහාරය රස වත් වුණත් පෙනුමට සකස් කොට නැත්නම් ඒත් කේන්ති යනවා. පළතුරු හැඩයකට කපා නැත්නම් ඒත් කේන්ති යනවා. ආහාරයේ සුවඳක් නැත්නම් ඒත් කේන්ති යනවා. නමුත් මේ ශ‍්‍රමණයන් වහන්සේලාට ආහාරය පිළිබඳ කිසි ගැටළුවක් නැහැ. සැබැවින්ම මෙය විය හැකි දෙයක්ද? මා මෙය පිරික්සා බැලිය යුතුයි.”

“අනේ ස්වාමීනී, ‘අනවජ්ජ භෝජී’ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලාව මං මේ දැක්කාමයි. මා කොතෙකුත් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින්ට ආහාර පුදා තියෙනවා. මිහිරි ආහාරය ඔවුන් සතුටින් වළඳනවා. අමිහිරි ආහාරය ඔවුන් පිළිකුල් කරනවා. නමුත් ඔබවහන්සේලා එය ඉක්මවා ගිහින් ඉන්නේ. එසේ නම් හෙට දවසේ මාළිගයේ දානය පිණිස වඩින සේක්වා!”

ඉතින් අර පසේබුදුවරයන් වහන්සේලා දානයට වැඩියා. රජතුමා සූදානම් කොට තිබුණේ කුඩු සහලින් සැකසූ බතක් සහ කාඩි හොද්දක් පමණයි. රජතුමාට වුවමනා වී තිබුණේ මේ ශ‍්‍රමණයන් වහන්සේලා ආහාරයේ රස යට ඇලෙන ගැටෙන අයුරු විමසා බැලීමටයි. උන්වහන්සේලා නිසි කලට වැඩම කළා. ආහාරපාන පිළිගැන්නුවා. ඒ පිළිගත් දානය උන්වහන්සේලා ඉතාමත්ම සතුටින් වැළඳුවා. හැම ඉරියව්වක්ම ප‍්‍රසන්නයි. කිසිදු වෙනසක් නැහැ. ඉතාමත්ම කරුණාවෙන් රජතුමාට සෙත් පැතුවා. රජතුමා නැවතත් ආරාධනා කළා.

“අනේ ස්වාමීනී, හෙට දවසේත් දානයට වඩින සේක්වා!”

අර පසේබුදුවරයන් වහන්සේ ඒ ඇරයුම පිළිගත්තා. පසුවදාත් කාඩි හොදියි, කුඩු සහලින් කළ බතකුයි පිළියෙල කොට තිබුණා. එදාත් ඒ පසේබුදුවරුන් වැඩි වේලෙහි රජතුමා එය පිළිගැන්නුවා. හරි පුදුමයි! කිසි වෙනසක් නැහැ. උන්වහන්සේලාගේ ශාන්ත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. රස ගැන ඇලූණු බවක් හෝ, ගැටුණු බවක් හෝ රජතුමාට පෙනෙන්න තිබුණෙ නැහැ. රජතුමාට වෙනදා මෙන් කරුණාවෙන් සෙත් පැතුවා. රජතුමා පසුවදා දානයටත් ආරාධනා කළා. ඒ පසේබුදුවරුන් එම ඇරයුමත් පිළිගත්තා.

අරක්කැමියා ඇමතූ රජතුමා මෙහෙම කිව්වා.

“එම්බා සගය, හෙට ශ‍්‍රමණයන් වහන්සේලාට දානය පිණිස ඉතාම ප‍්‍රණීත අයුරින් රාජ භෝජන පිළියෙල කළ යුතුයි. එහි මිහිරි සුගන්ධය සිව් දිශාවේ පැතිර යන පරිද්දෙන් පිළියෙල කළ යුතුයි.”

දැන් රජතුමා කල්පනා කළේ කටුක ආහාරයට නොගැටුණත්, ප‍්‍රණීත ආහාරයට ඇලිය හැකි බවයි. සුදුසු වේලාවෙහි පසේ බුදුවරයන් වහන්සේලා වැඩම කළා. රජතුමා දානය පූජා කරන විට ප‍්‍රණීත රාජ භෝජනයක මිහිරි සුවඳ මාළිඟය පුරා පැතිර ගියා.

නමුත් මේ පසේබුදුවරයන් වහන්සේලාට එහි කිසි අමුත්තක් දැනුනේ නැහැ. පෙර පරිද්දෙන්ම සතුටින් වැළඳුවා. පෙර පරිද්දෙන්ම රජතුමාට සෙත් පැතුවා. නික්ම ගියා.

රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.

“ඇත්ත! ආහාරයට නොඇලී ඉන්නත් පුළුවන්. නොගැටී ඉන්නත් පුළුවන්. දැන් මේ ශ‍්‍රමණයන් වහන්සේලා ඉන්නෙ. ඉතින් ඒ විදිහට මටත් පුළුවන් වෙන්න ඕන.”

රජතුමා රජකම අත්හැරියා. පැවිදි වුණා. හුදෙකලා වුණා. නිදහසේ භාවනා කළා. රජතුමාගේ සිතත් ඉක්මනින්ම සමාධිමත් වුණා. විදර්ශනාවට යොමු වුණා. ආර්ය සත්‍යය අවබෝධයට පත්වුණා. ආහාරයට නොඇලෙන, නොගැටෙන කෙනෙක් බවට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධි බලයෙන් නන්දමූලක පර්වත ගුහාවට වැඩම කළා.

එහිදී මංජූසක රුක් සෙවණෙහි වැඩසිටි පසේ බුදුවරුන් මැද මේ නවක පසේබුදුවරයන් වහන්සේ මෙම උදානය වදාළා.

අද්ධා පසංසාම සහාය සම්පදං
සෙට්ඨා සමාසේවිතබ්බා සහායා
ඒතේ අලද්ධා අනවජ්ජ භෝජී
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“ඇත්තෙන්ම යහපත් මිතුරන්ගේ ඇසුරමයි අපි ප‍්‍රශංසා කරන්නේ. යහළුවන් ඇසුරු කිරීමේදී එක්කො තමන්ට වඩා ශ්‍රේෂ්ඨ උදවිය විය යුතුයි. එක්කො තමා හා සමාන උදවිය විය යුතුයි. එවැනි යහළුවන් ඇසුරට නොලැබෙන විට වළඳන ආහාරයේ පවා නොඇලෙමින්, නොගැටෙමින් වැළඳිය යුතුයි. එතකොට ඔහු හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

 

ඊළඟ කථාවට පිවිසෙන්න >>>