නමෝ බුද්ධාය!

පගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2559 වෙනි වෙසක් පුන් පොහෝ දිනය මැයි මස 03 දින යෙදී තිබුනා. බුදුරජාණන් වහන්සේ ගේ උපත, ශ්‍රී සම්බුද්ධත්වය, පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිහිකරන මේ වෙසක් පුන් පොහෝ දිනයේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ආමිෂ පූජාවන් සහ ප‍්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කෙරුනා.

පොහෝ දින උදෑසන 6 සිට පසුදින උදෑසන 6 දක්වා සීලභාවනා වැඩසටහන පවත්වනු ලැබුවා. වෙසක් සීල භාවනා වැඩසටහන සඳහා දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවන් පිරිසක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවට රැස් වී සිටියා. අපගේ ගුරුදේවෝත්තම පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සවස් වරුවේ ධර්ම දේශනාව සිදු කිරීමෙන් අනතුරුව අලුතින් ඉදිවන සුවිසල් ධර්ම ශාලාව වෙනුවෙන් මුල්ගල් තැබීමේ පින්කම සිදු කරනු ලැබුවා. එමෙන්ම රාත‍්‍රී මහා පරිනිබ්බාන සූත‍්‍රය මූලික කරගෙන සිදුකළ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනුයි. දිවයිනේ ප‍්‍රදේශ කීපයක පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ උතුම් ධර්ම දානමය පින්කමකුත් උදේ වරුවේ සිදුකෙරුනා. තවත් බොහෝ සැදැහැවත් පිරිස් එකතු වී එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙනුවෙන් දන් පැන් වලින් ගිලන්පස වලින් උපස්ථාන කරනු ලැබුවා. ඊට අමතරව පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් ද සිදු කරනු ලැබුවා. එමෙන්ම වෙසක් පුන් පොහෝ දිනයේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමට පැමිණි අතර ඔවුන් වෙනුවෙන් සිසිල් පැන්, සිසිල් බීම, කිරි කෝපි සහ ආහාර දන්සැල් ද පවත්වනු ලැබුවා.

බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිකරනු ලැබූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව මුළුමනින්ම විදුලි බුබුළින් වැසී යන පරිද්දෙන් අලංකාර කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. එමෙන්ම අසපුව පුරා වෙසක් කූඩු එල්ලා අලංකාර තිබූ අතර සම්බුද්ධ රාජ මාලිගාවේ සලපතල මළුවේ දර්ශනීය පහන් කූඩුවක් ද ඉදිකොට තිබුනා. මේ සියලු වෙසක් සැරසිලි වලින් මුළු මහමෙව්නාව භාවනා අසපුව පුරා අමුතුම සිරියාවක් ගෙන දුන්නා. මෙහි ඇති අනෙකුත් විශේෂත්වය නම් මේ සියලු වෙසක් සැරසිලි (සම්බුද්ධ රාජ මාලිගාව විදුලි බුබුළින් සැරසීම, වෙසක් කූඩු සැරසිලි, පහන් කූඩුව) මහමෙව්නාව භාවනා අසපුවේ පිළිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහ පැවිදි අපේක්ෂක දරුවන්ගේ දෑතින් ම සිදුකිරීමයි. මෙසේ මේ වර්ෂයේ වෙසක් මංගල්‍යය ආමිෂ සහ ප‍්‍රතිපත්ති පූජාමය වශයෙන් අති උත්කර්ෂවත් අයුරින් අසිරිමත් අයුරින් පින්බර අයුරින් පවත්වන්නට මහමෙව්නාව භාවනා අසපුවට හැකියාව ලැබුණා.

මේ සියලු අයුරින් අප විසින් රැස් කළාවූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! ඒ සියලු දෙවියෝ මේ ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා! අප නමින් මිය ගිය සියලු ඤාතීන් ද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා! මෙම අසිරිමත් වෙසක් මංගල්‍යය සාර්ථක කරගන්නට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත්, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නාවේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මේ පින් හේතුවාසනා වේවා! සියල්ලෝ ම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2559 වෙනි වෙසක් පුන් පොහෝ දිනය මැයි …

Posted by Mahamevnawa Monastery on Sunday, May 3, 2015

රන්දැලකින් වැසුවාක් මෙන් මුළුමනින්ම විදුලි බුබුළින් අලංකාර කරන ලද සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව

Posted by Mahamevnawa Monastery on Monday, May 4, 2015