💮වෙසක් සඳ නැගෙන විට – සල්මල් සුවඳ එන විට
සාධු හඬ ඇසෙන විට – සිතා ගන්නට පුළුවනි
අද වැනි පොහො දිනෙක – බෝසත් උපත වූ වග

💮වෙසක් සඳ නැගෙන විට – සිල් සුවඳ පැතිරෙන විට
දන්සැල් දකින විට – සිතා ගන්නට පුළුවනි
ගෞතම අප මුනිඳු – සම්බුදු බවට පත් වග

💮වෙසක් සඳ නැගෙන විට – තොරණ් දිලිසී යන විට
දැල්වෙන නිවෙන විට – සිතා ගන්නට පුළුවනි
අඳුරු ලොව එළිය කොට – මුනිඳු පිරිනිවි ගිය වග

💮ගමින් බදු නිදහස් කොට – මහා ගල් ටැඹක් සවිකොට
ලියා තිබු හැටි දුටු විට – සිතා ගන්නට පුළුවනි
දඹදිව ලුම්බිණියෙහි – අප මුනිඳු ඉපදුණු වග

💮රජවරු ද දඹදිව – අපමණ සැදැහැයෙන් සිට
බෝ සමිඳු පිදු බව දැන – සිතා ගන්නට පුළුවනි
මහ බෝ සෙවණෙ සිට – මුනිඳු සම්බුදු වූ වග

💮සුවිශාල නටඹුන් මැද – තිබෙන නෙක් කැටයම් මැද
සිව් සස් ලියා ඇති විට – සිතා ගන්නට පුළුවනි
ඉසිපතන මිගදායෙහි – මුනිඳු දම්සක කරකැවූ වග

💮වනගත බිමක් මැද – සංසුන් ව සැතැපුණු ලෙස
තිබෙන පිළිමය දැක – සිතා ගන්නට පුළුවනි
සල්වෙනෙහි කුසිනාරා – මුනිඳු පිරිනිවි ගිය වග

💮උස් ගල් කුලක් ලඟ – අඹතල වෙහෙර අභියස
තිබෙන නටඹුන් දැක – සිතා ගන්නට පුළුවනි
හිත සුව පිණිස අප – මිහිඳු හිමි උඩින් වැඩි වග

💮සෙල් පවුරකින් වටවුණ – උඩ මළුවෙ වැඩ වසන
මහා බෝ සමිඳු දැක – සිතා ගන්නට පුළුවනි
සඟමිත් තෙරණිය ද – මහ බෝ රැගෙන වැඩි වග

💮නුබ කුස සිඹ නැගුණ – මහා හිමගිරි විලසින
රුවන්මැලි සෑ දැක – සිතා ගන්නට පුළුවනි
ද්‍රෝණයක් දා රඳවා – ගැමුණු රජු මහ සෑය කළ වග

💮සේරු නම් විල් තෙර – කිරි බුබුලකට සරිවන
මංගල සෑය දුටු විට – සිතා ගන්නට පුළුවනි
අප මුනිඳු නළල් දා – මෙහි නිධන් කොට ඇති වග

💮දිව රෑ දෙකෙහි දි ම – හුදෙකලාවේ වැඩහිඳ
රැස් විහිදුවන විට – සිතා ගන්නට පුළුවනි
සෝමාවතිය සෑයෙහි – මුනිඳු දළදා ඇති වග

💮සෙංකඩගල නුවර – මහරජ මැදුරෙ සුපතල
ඇසෙන විට තේවා හඬ – සිතා ගන්නට පුළුවනි
අප මුනිඳු සිරි දළදා – මෙහි පිදුම් ලබනා වග

💮කෙලෙස් සංසිඳුවන – සිතට සහනය ලැබදෙන
සදහම් දැක්ක විට – සිතා ගන්නට පුළුවනි
මුනිඳු අනුකම්පාවෙන් – දෙසූ සදහම් ඇති වග

💮මහත් සැදැහෙන් හැම දෙන – සුදු වතින් සැරසී ගෙන
දන් පහන් පුදන විට – සිතා ගන්නට පුළුවනි
සුගති සැප ලැබ දෙන – පින් ම රැස්කරනා වග

💮පුන් සඳ නැගෙන දවසට – සුදු වතින් සැරසී ගෙන
සිල් පද කියන විට – සිතා ගන්නට පුළුවනි
අප මුනිඳුගේ සව්වන් – තව ම ලොව සිටිනා වග

💮සංසුන් සිත් ඇති ව – ඉඳුරන් ද සංවර කොට
යහපත කියන විට – සිතා ගන්නට පුළුවනි
උතුම් බුදු බණ තුළ – මොවුන් සැනසී ඇති වග

💮බොහෝ කල් හිඳගෙන – නෙත් පියාගෙන නිසල ව
සිටින අය දුටු විට – සිතා ගන්නට පුළුවනි
දහමක් මියුරු ලෙස – මොවුන් හැම වළඳන වග

💮සාධු හඬ දීගෙන – නිමල බුදු බණ ඇසුමට
සිටින මහ සෙනඟ දැක – සිතා ගන්නට පුළුවනි
මුනි බණට සිත යොමන – පිරිස තවමත් ඇති වග

💮කාමයන් බැහැර කොට – නෑ මිතුරන් ද අතහැර
පැවිදි වෙන අය දුටු විට – සිතා ගන්නට පුළුවනි
සසරෙහි බිය දකින – තව අය ත් ලොව ඇති වග

💮සිවුරට ගරු කරන – මනා පිළිවෙත් සරු කොට
සඟරුවන සිටිනු දැක – සිතා ගන්නට පුළුවනි
අප මුනිඳුගේ දරු කැළ – තව ම ලොව සිටිනා වග

💮බුදු ගුණ මෙනෙහි කොට – දිවමන් මුනිඳු සරි කොට
බුදු මහල් තැනෙන විට – සිතා ගන්නට පුළුවනි
සැහැදැති ගිහි පැවිදි – අය තව ම ලොව ඇති වග

💮පෙර රජ දවස ලෙස – සැදැහැවත් වී එකතුව
සෑයන් බඳින විට – සිතා ගන්නට පුළුවනි
ගෞතම බුදු සසුන – තව ම ලොව බබලන වග

💮සිව්සස් දකින්නට – නුවණින් මෙනෙහි කෙරුමට
බුදු බණ ඇසෙන විට – සිතා ගන්නට පුළුවනි
මුනිඳුගෙ කළණ දම් වැට – නැවත මතුවී ඇති වග

💮සීලයට ගරු සරු ඇති – අගයන නිවන් මග නිති
ගිහි පැවිදි උතුමන් දැක – සිතා ගන්නට පුළුවනි
සසුන් මග කැමති වන – කලණ මිතුරන් තවම ඇති වග

💮අනුන්ගේ සේවයට – ඉරිසියාවක් නොකරන
නොගරහන අය දුටු විට – සිතා ගන්නට පුළුවනි
සසුන් දියුණුව පතන – සත්පුරුෂයන් තවම ඇති වග

💮අහරෙහි වස විස ද – ජලයෙහි ද විස ඇති විට
දුක් විඳින දනන් දැක – සිතා ගන්නට පුළුවනි
නොපමාව පින් කෙරුමට – කල් පැමිණිලා ඇති වග

💮පැතිරෙන රෝග බිය – නියඟය ද ගංවතුර ද
යුද බිය ද දකින විට – සිතා ගන්නට පුළුවනි
ලද මිනිස් බව දුලබ – අහිමි වී යා හැකි වග

💮අනතුරු හඳුනගෙන – හොඳ සිහි නුවණ යොමු කොට
පව් හැම බැහැර කොට – සිතා ගන්නට පුළුවනි
දුලබ ව ලද මොහොත – හොඳින් රැක ගත යුතු වග

💮විලෙහි ඉපදුණු මල් – පිපී ගිය විට මනකල්
දැක්ක විට එම කල් – සිතා ගන්නට පුළුවනි
දියෙහි නොම තැවරුණු – මල් ද එ විලෙහි ඇති වග

💮නිසරු ලොව අඳබල් – නොතැවරී සිට හැමකල්
වැඩුණු විට ගුණදම් – සිතාගන්නට පුළුවනිි
බුදු සසුන් පිළිසරණ – ඔවුන් හට නම් ඇති වග

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ