පින්වතුනේ, පින්වත් දරුවනේ,

සමහර කාලවලදී සිදුවෙන විපත්ති නිසා මනුෂ්‍යයින් හට බොහෝ හානි සිදුවෙනවා. එවැනි විපත්ති කාලයක් රජගහ නුවරට ඇතිවුණා. අහිවාතක නම් වූ භයානක රෝගයක් පැතිර ගියා. බේරෙන්නට පුළුවන් වුණේ ටික දෙනාටයි. බොහෝ දෙනෙක් ඒ රෝගයෙන් මිය ගියා. එක්තරා සිටු මැදුරකටත් ඒ රෝගය පැතිරුණා. සිටුතුමාත් බිරිඳත් තමන්ගේ පුතා කැඳෙව්වා.

“පුතේ, අපටත් අහිවාතක රෝගය හැදුණා. දැන් ඉතින් අපේ ජීවිතය විශ්වාස නෑ. මේ රෝගය හැදුණු කෙනෙක් බේරුණේ නෑ. මගේ පුතේ, අසවල් අසවල් තැන්වල ධනය සඟවලා තියෙනවා. කෝටි හතළිහක පමණ වස්තුව එහි තියෙනවා. පුතේ, හොඳින් මතක තියා ගන්න. අමතක වෙන්න දෙන්න එපා….. දැන් ඉතින් වහාම මේ පළාතම අත්හැරලා පැනල යන්න. රෝගය බෝවෙන්න කලින් පැනගනින් පුතේ… මේ පව්කාර රෝගය සංසිඳුණු කාලයක ඒ සියලු වස්තුව පුතාට ගන්න පුළුවන්.

මව් පිය බස පිළිගත්තු පුතා රජගහ නුවර අත්හැර පැනගියා. දුක සේ ජීවත් වුණා. නැවත රජගහ නුවරට පැමිණුනේ වසර දොළහකට පස්සෙයි.

එතකොට තමන්ව හඳුනන කවුරුවත් රජගහ නුවර නෑ. අහිවාතක රෝගයෙන් බොහෝ දෙනෙක් මැරිලා තිබුනා. තමන්ගේ සිටු මැදුර තිබුන තැන සොයාගෙන ගියා. හැම දෙයක්ම ගරා වැටිලා තිබුණා. නමුත් මව්පියන් පෙන්නපු ධනය තියෙන තැන් හොඳින් ආරක්ෂා වෙලා තිබුනා. පුතා කල්පනා කළා.

‘මං අඳුරන කවුරුවත් මෙහෙ නෑ. මව්පියන්ගේ ධනය තවම ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් මේක මම ගන්න ගියොත් කවුරුවත් මා ගැන නොදන්නා නිසා මං අමාරුවේ වැටෙනවා.’

kumbhaghoshaka

පුතා ධන ආසාව අත්හැරියා. කුලී වැඩ කරන්න පටන් ගත්තා. අන්තිමේදී නුවර ප්‍රධාන වීදියේ කම්කරුවන්ව පාන්දරින් අවදි කරවන රස්සාව ලැබුණා. මෙම පුතා මහ හඬින් කතා කරලා කම්කරුවන්ව අවදි කරවනවා. මොහුගේ හඬ ගාම්භීරයි. ගිගුම් දෙනවා. මේ නිසා මොහුට ඝෝෂක කියන නම වැටුණා. දිනක් මොහුගේ දෝංකාර දෙන ගැඹුරු හඬ බිම්බිසාර රජුටත් අසන්නට ලැබුණා. රජු කල්පනා කළා.

‘මේ හඬ සාමාන්‍ය හඬක් නොවෙයි. මේ හඬට අනුව නම් මොහු මහා ධනවතෙක් විය යුතුයි.’

බිම්බිසාර රජු කුම්භඝෝෂක ව කැඳෙව්වා. විස්තර විමසුවා. සිටු පවුලට අයිති කෝටි හතළිහක ධනය ගොඩට ගත්තා. කුම්භඝෝෂක ට ඒ සියල්ල පැවරුවා. රජගහ නුවර සිටු තනතුර දුන්නා. මෙවැනි මහා ධනයකට හිමිකරුවෙක්ව ඉඳගෙනත්, සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන්නට තරම් මොහුගේ ගුණවත්කමත්, නුවණත්, වීරියත් ගැන කවුරුත් පැහැදුණා. රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට කුම්භඝෝෂක සිටාණන්ව කැඳවාගෙන ගියා.

එවේලෙහි දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

නැගී සිටිනා වීරියෙන් යුතු – ඉතා හොඳ සිහි නුවණකින් යුතු
පිරිසිදුව කරනා දෙයින් යුතු – සොයා බලනා නුවණකින් යුතු
මනා සංවර සීලයෙන් යුතු – ධාර්මික ජීවිතයකින් යුතු
පමාවෙන් තොර දිවි ගෙවන්නා – වේ ය ලොව කිතු ගොස ලබන්නා


පින්වතුනේ, පින්වත් දරුවනේ, දියුණුවේ රහස බලන්න. කෙනෙක් දියුණු වීමට වුවමනා කරන මූලික කරුණු සියල්ලම මෙතන තියෙනවා. පළමුවෙනි කාරණාව උට්ඨාන වීරියයි. එනම් නැගීසිටීමේ වීරියයි. මේ කෙනා හැමතිස්සේම ප්‍රබෝධමත් සිතින් ඉන්නවා. ජීවිතය ගැන නිරවුල්ව සැලසුම් කරනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරනවා. නැගීසිටිනා වීරිය එයයි.

ඒ වගේම හොඳ සිහි නුවණක් අවශ්‍යයි. සිහි නුවණක් නැත්නම්, උත්සාහයෙන් නියම ප්‍රයෝජනය ගන්නට බැහැ. ඒ නිසා තමන් කරන සෑම දෙයක් ගැනම හොඳ සිහියක් තියෙන්නට ඕන. ‘මා මෙපමණ ගණනක් උපයනවා. මා වියදම් කළ යුත්තේ මෙපමණයි’ ආදී වශයෙන් සිහි නුවණින් යුතුව හැම දෙයක්ම කරනවා.

සුචිකම්ම කියන්නේ පිරිසිදු දේවල් කියන එකයි. පිරිසිදු වැඩ කටයුතු යනුවෙන් අදහස් කරන්නේ හොරයක්, බොරුවක්, වංචාවක්, රැවටීමක් නැතිව අවංකව කටයුතු කිරීමයි. අවංකව කටයුතු කරන කෙනා ඒ අවංකකම නිසාම සමාජයේ පිළිගැනීමකට ලක්වෙනවා. එබඳු කෙනෙක් සමඟ ගනුදෙනු කරන්න කවුරුත් කැමතියි.

ඒ වගේම නුවණින් විමසා සොයා බලා කටයුතු කිරීම බුද්ධිමත් කෙනෙකුගේ ලක්ෂණයයි. ‘නිසම්මකාරී’ කියන්නේ ඒ තැනැත්තාටයි. ඉතින් තමන් කරන කියන කටයුතු නුවණින් විමසා බලා කරනවා නම්, ඔහුට වරදින්න තියෙන අවස්ථා අඩුයි. ඔහුට දියුණු වෙන්න තියෙන අවස්ථා වැඩියි.

පුද්ගලයෙකුගේ ජීවිතයක් සාර්ථක වීමට යම්කිසි සංවරකමක් අවශ්‍යයි. ඒ සංවරකම ලැබෙන්නේ තමන්ගේ ධාර්මික ජීවිතයත් සමඟයි. සංවරකම තුළින් තමන්ගේ චරිතය සංවර්ධනය වෙනවා. ධාර්මික ජීවිතය තුළින් තමන්ට ලොකු සතුටක් ලැබෙනවා. අනුන්ට යහපත සිදුවෙනවා. මේ ලක්ෂණ ඇති ජීවිතය ලෞකික වශයෙන් අප්‍රමාදී ජීවිතයක්. මේ කෙනා තුළ සතුන් මැරීම නෑ. සොරකම් කිරීම නෑ. අනාචාරයේ හැසිරීම නෑ. බොරුව, වංචාව නෑ. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චිය නෑ. මෙබඳු කෙනෙක් ලෞකික වශයෙන් ප්‍රමාද නෑ. ඒ නිසාම මෙබඳු කෙනෙකුගේ යශෝරාවය හැම තැනම පැතිරෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලක්ෂණ ඔබත් ඇති කරගන්න. ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක වීමට මෙම ගාථාවේ සඳහන් උතුම් කරුණ සම්පූර්ණයෙන්ම බලපානවා. පත පත හිටියා කියලා කිසි කෙනෙක් දියුණු වෙන්නෙ නෑ. දියුණු වෙන්නේ එයට වුවමනා කරන හේතු කාරක ධර්ම ඇති කරගත් දවසටයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ