පින්වතුනේ, පින්වත් දරුවනේ,

කෙනෙකුගේ පිරිහීම ඇතිවන්නේ පව්වලට ඇති බය නැති වූ විටයි. ඊට පස්සේ එ් කෙනා කෙමෙන් කෙමෙන් පාපී ක්‍රියාවල යෙදෙනවා. පාපී වචන කතා කරනවා. පාපී සිතුවිලි සිතනවා. එ් ප්‍රමාදී පුද්ගලයා බලාගෙන සිටිද්දීම පිරිහී යනවා. නමුත් අප්‍රමාදී පුද්ගලයා එවැනි අනතුරකට පත්වන්නේ නෑ. ඔහු කෙමෙන් කෙමෙන් සිහි නුවණ දියුණු කරනවා. සිල්වත් බව දියුණු කරනවා. නුවණින් විමසීම දියුණු කරනවා. සමාධිය දියුණු කරනවා. ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. එබඳු කෙනා පිරිහෙන්නෙ නෑ. එබඳු කෙනා ළංවෙන්නෙ සසරට නොව අමා මහ නිවනටයි.

මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ නිවනට ළං වූ කෙනෙක්. උන්වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර වුණේ නෑ. නිවන බොහෝ දුර වෙන්නෙ ප්‍රමාදී පුද්ගලයන්ටයි. අකුසල්වල සිත පිහිටුවන පුද්ගලයන්ටයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනා කෙමෙන් කෙමෙන් නිවනට ළංවෙනවා.

සැවැත් නුවරට ආසන්නයේ කුඩා නගරයක් තිබුණා. එ් නගරයේ ධනවත් පවුලක තරුණ පුතෙක් හිටියා. මේ පුතාට බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුනා. බුදුරජාණන් වහන්සේ තුළ පවතින අතිවිශිෂ්ට වූ අවබෝධය ගැන මේ තරුණ පුතා පුදුමට පත්වුණා. එ් ගැන මහත් සේ පැහැදුණා. මේ පුතා මව්පියන්ගෙන් අවසර ගෙන බුදු සසුනට ඇතුලු වුණා. ස්වාමීන් වහන්සේලා යටතේ ධර්ම විනය ඉගෙන ගත්තා. ලද දෙයින් සතුටු වෙන ජීවිතයක් පුරුදු කළා. චාරිකාවේ යෙදෙමින්ම හිටියෙ නෑ. සමහර ස්වාමීන් වහන්සේලා එක එක ප්‍රදේශවල විවිධත්වය නරඹන්නට ආසාවෙන් චාරිකාවේ වඩිනවා. එවැනි ඇවිදගෙන යාමක් තුළින් මේ ස්වාමීන් වහන්සේ සතුටක් ලැබුවෙ නෑ. හැම තිස්සෙම කල්පනා කළේ පාඩුවේ පිළිවෙත් පිරීමටයි. ඉතින් තමන්ගේ ඤාති මිත්‍රාදීන් එකතු වෙලා තමන්ගේ ගමට ආසන්නයේ වන ලැහැබක කුටියක් හදලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ එ් කුටියට වැඩියා. ගමට පිණ්ඩපාතය වඩින්නේ ආගන්තුක භික්ෂුවක් හැටියටයි.

‘අසවල් තැන මගේ දෙමව්පියෝ ඉන්නවා. අසවල් තැන අසවල් අසවල් ඤාතීන් ඉන්නවා. මං එ් එ් ගෙවල්වලට ගියොත් ප්‍රණීත ආහාර පාන වලින් මට දානෙ හදල දේවි’ කියල අදහසක් මේ ස්වාමීන් වහන්සේට කවදාවත් ඇතිවුණේ නෑ. අහසේ මෝදු වෙන අලුත් සඳක් වගේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම ගමට වැඩියේ අලුත් කෙනෙක් හැටියටයි. ඤාතීන් කෙරෙහි සිත් අලවා ගත්තේ නෑ.

ඤාතීන් සිටින ප්‍රදේශය ආසන්නයේ ඇති කුටියක වාසය කරමින් වෙන කොහේවත් නොවඩිනා මේ ස්වාමීන් වහන්සේ ගැන අමුතු කතා පැතිරුණා.

“නිගමතිස්ස තෙරුන් නෑදෑයන්ට ඇලිලයි ඉන්නෙ. නෑයන්ගේ ආහාර පානවලට සිත බැඳිල වගේ තියෙන්නෙ. නෑයන්ගෙ ගෙවල්වල නිතර නිතර යනව ඇති. නෑයන්ගෙ මඟුල් තුලාවලට අවවාද අනුශාසනා කරනවත් ඇති. එහෙම නැත්නම් ඇයි චාරිකාවෙ වඩින්න බැරි? ඇයි වරින් වර සැවැත් නුවර වඩින්න බැරි? මේ භික්ෂුව කුලයන්හි ඇලී වාසය කරන කෙනෙක් වෙන්නම ඕන. මේ භික්ෂුවට මේක මහා අවාසියක්. ඔය විදිහට දිගටම හිටියොත් පැවිදි කාරණය ඉෂ්ට කරගන්න බැරිව යනවා. නැදෑයන්ගෙන්ම සතුටු වෙන්නට ගියොත් අත්හැර ගන්න බැරිව යනවා. එ් නිසා මේ භික්ෂුව ඔය අනතුරින් මුදවා ගන්නට ඕන කියල භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නිගමතිස්ස තෙරුන් ගැන කරුණු ඉදිරිපත් කළා.

බුදුරජාණන් වහන්සේ නිගමතිස්ස තෙරුන් කැඳවා එම කරුණේ ඇති සත්‍ය අසත්‍යතාවය විමසුවා. නිගමතිස්ස ස්වාමීන් වහන්සේ කලබල වුණේ නෑ. තරහ ගත්තේ නෑ. අනිත් උදවිය කේලාම් කිව්වා කියල බොරුවට කිපුණෙ නෑ. ඉතාම කරුණාවෙන් යටහත් පහත්ව පිළිතුරු දුන්නා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එ් චෝදනාවේ පුංචි ඇත්තක් තියෙනවා. එ් තමයි මම නෑයන් විසින් තනවා දීපු කුටියක වාසය කිරීම. නමුත් ස්වාමීනී, මම ඤාතීන් සමඟ කිසිම ආකාරයක ගිහි කල්පනාවක් ඇති කරගෙන නෑ. ඤාතීන්ට ඇලී වාසය කරන්නෙ නෑ. ඤාතීන්ගේ ආහාර පාන වලින් සතුටු වන්නේ නෑ. ස්වාමීනී, එ් කිසිවක් මට වැදගත් නෑ. මං හැම තිස්සේම කල්පනා කරන්නේ නොඇල්ම පුරුදු කරන්නයි. මම හැමතිස්සේම වීරිය කරන්නේ සතර සතිපට්ඨානය වඩන්නයි. මා ගමට පිණ්ඩපාතය යන්නේ ආගන්තුක භික්ෂුවක් කියල හිතාගෙනයි. නැදෑකම් වලින් මට ප්‍රයෝජනයක් නෑ. මට ප්‍රයෝජනය තියෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයට උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීමෙන්. ඉතින් ස්වාමීනී, මං චාරිකාවේ වඩින්න කැමති වුනේ නැත්තෙත් මගේ සිත පිරිහේවි කියන බිය නිසයි. ඇවිදින්න පුරුදු වේවි කියන බිය නිසයි. එවැනි පුරුද්දක් ඇතිවුණොත් අත්හැර ගන්නට බැරිවේවි කියන බිය නිසයි. ඉතින් ස්වාමීනී, මගේ උත්සාහය ටික ටික සාර්ථක වන බවක් මට තේරෙනවා. දැන් මගේ සිත ඉස්සර වගේ විසිරෙන්නෙ නෑ. සතර සතිපට්ඨානයේ පිහිටනවා. නොඇල්ම ඇතිවෙනවා. මං හැමතිස්සේම කල්පනා කරන්නේ සිහියෙන් සිටීම ගැනයි. නිදාගැනීම පිණිස මං එච්චර කාලයක් ගන්නෙ නෑ. ප්‍රමාදී පුද්ගලයෙක් වෙන්න මං බයයි.

බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. උන්වහන්සේ මේ ගාථාව දේශනා කොට නිගමතිස්ස තෙරුන් වහන්සේගේ උත්සාහය මහත් සේ අගය කළා. මේ තුළින් වඩ වඩාත් අප්‍රමාදී වූ මෙම ස්වාමීන් වහන්සේ එ් මොහොතේම අරහත්වයට පත්වුණා.

අප්පමාද රතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
අභබ්බෝ පරිහානාය – නිබ්බාණස්සේව සන්තිකේ

ප්‍රමාදයෙහි බිය දකිමින් – නොපමා බවෙහිම ඇලෙමින්
නිවන් මගම පුරුදු කරන – නුවණැති සමණෙක් වෙයි නම්
නැත කිසි දින පිරිහෙන්නේ – නිවනටමයි යොමු වන්නේ
නොපමා වන එ් සමණා – නිවන ළඟයි නවතින්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට මේ කථා වස්තුව තුළින් අප්‍රමාදී බවෙහි ඇති අනුසස් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. උතුම් රහතන් වහන්සේලා ලෝකෙ බිහිවුනේ ප්‍රමාදයෙහි බිය දුටු අප්‍රමාදයෙහි ඇලුණු ශ්‍රමණයන් වහන්සේලා නිසයි.

වරක් ධර්මාශෝක රජතුමා සඳළුතලයේ සිට ඈත බලා සිටියා. රජ මිදුලේ ඉතාමත්ම කුඩා සත් හැවිරිදි වියේ පසුවන ළදරු ස්වාමීන් වහන්සේ නමක් ශාන්තව වඩින අයුරු දකින්නට ලැබුනා. ඒ දර්ශනයට රජතුමා වසඟ වුණා. මේ ළදරු ශ්‍රමණයන් වහන්සේ සමඟ කතා බස් කරන්න ඕන කියලා රජතුමාට සිතුනා. රජතුමා පණිවිඩ යවලා මේ ස්වාමීන් වහන්සේව වඩම්මවා ගත්තා. කිසි කලබලයක් නැතිව තැති ගැනීමක් නැතිව සිනා මුසු මුහුණින් මේ කිරිකැටි ශ්‍රමණයන් වහන්සේ මාළිගාවට වඩින අයුරු රජතුමා මහත් ආදරයෙන් බලා සිටියා.

“පුංචි ස්වාමීන් වහන්ස, මේ රාජ මන්දිරයේ කැමති ආසනයක වැඩඉන්න කියල රජතුමා කිව්වා.

පුංචි ස්වාමීන් වහන්සේ වන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පුංචි ඇස් වලින් වටපිට බැලුවා. රජතුමාගේ මුහුණ බැලුවා. සිනහ වුනා. ශාන්ත ගමනින් සිංහාසනය ළඟට වැඩියා. මේ පොඩි ස්වාමීන් වහන්සේ වාඩිවෙන්නට හදන්නේ සිංහාසනය මත බව රජතුමාට තේරුණා. පුංචි වුනත් මෙම ස්වාමීන් වහන්සේ තුළ තිබෙන අසාමාන්‍ය නිර්භීතකම ගැන රජතුමා සතුටු වුණා. එ් ස්වාමීන් වහන්සේට සිංහාසනයට නැගගන්නට බැහැ. උස මදි. රජතුමා උදව් කළා. සිංහාසනයට නැගලා භාවනා ඉරියව්වෙන් වාඩි වුණා. රජතුමාගේ සිතෙහි මහත් ආදරයක් පැන නැංගා.

මගේ ආදරණීය පුංචි ස්වාමීන් වහන්ස, ධර්මය දන්නවාද?

පින්වත් මහරජ, එසේය. මා එ් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගත්තා.

පින්වතුන් වහන්ස, එසේ නම් මට එ් උතුම් බණ ටිකක් වදාළ මැනව.

නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් ධම්ම පදයෙහි අප්‍රමාද වර්ගයට අයත් මෙම කොටසේ ගාථා දොළහම පැවසුවා. තේරුම කියලා දුන්නා. රජතුමා පැහැදුණා. ගොඩාක්ම පැහැදුණා. එ් පැහැදීම මුලු ලෝකය පුරා ධර්මය පැතිරීමේ ආරම්භය බවට පත්වුණා.

අප්‍රමාදය තුළ සඳහන් උත්සාහය, වීරිය, නොපසු බැසීම, සිත ශක්තිමත් කරගැනීම, අකුසල් දුරුකිරීම, කුසල් වැඞීම, උතුම් අදහස මුදුන් පත්වන තුරු අඛණ්ඩ උත්සාහයක යෙදීම ධර්මාශෝක රජතුමා හැමවිටම ක්‍රියාත්මක කළා. අප්‍රමාදයේ අනුසස් දන්නා නිසා ධර්මය පතුරුවන්නට මහත් මහන්සියක් ගත්තා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලු දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ – පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න කියාය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ