“අසිරිමත්ය රහතුන්ගේ ගතිගුණ…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ධම්ම පදයේ අරහන්ත වර්ගයට අයත් කථාවන් තමයි අපි දැන් ඉගෙන ගන්නේ. මේ කොටසේ ඇතුළත්ව තියෙන්නේ රහතන් වහන්සේලා ගැනයි. ඔයාලට තවදුරටත් රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න ලැබෙනවා. මෙවැනි යුගයක රහතුන් ගැන මේ අයුරින්වත් දැනගන්න ලැබීම මොනතරම් ලාභයක්ද!

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් හිටියා. උන්වහන්සේගේ නම අනුරුද්ධ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස් ලාභීන් අතර අග්‍ර වුණා. දෙවියන්ටත් උන්වහන්සේව හරි ප්‍රියයි.

දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහෙම කල්පනා කළා.

“දැන් මං පොරවන සිවුර හරිම පරණයි. දිරල ගිහින් තියෙන්නේ. අමු සොහොනට ගිහින් රෙදි කෑලි ටිකක් එකතු කරගන්න ඕන. එතකොට සිවුරක් කරගන්න පුළුවන් වේවි.”

ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ පාංශුකූල රෙදි සෙවීම පිණිස අමු සොහොනට වැඩියා.

ආත්මභාව තුනකට පෙර අනුරුද්ධ තෙරුන්ගේ බිරිඳක් වී සිටි තැනැත්තියක් තව්තිසාවේ ඉපදිලා හිටියා. ඇයගේ නම ජාලිනී. මේ ජාලිනී දෙව්දුව අනුරුද්ධ තෙරුන් සිවුරක් පිණිස රෙදි කැබලි සොයමින් යන අයුරු දැක්කා.

“හනේ…. අපගේ මේ ආර්ය පුත්‍රයන් වහන්සේ මොන තරම් පින්වත් කෙනෙක්ද? ගිහි ජීවිතය ගෙවන කාලෙ ‘නැහැ’ කියන වචනයවත් අහන්න ලැබුණෙ නෑ. හැම සැපතක්ම ලැබුණා. දැන් වුණත් උන්වහන්සේ හිතන පමණින් ඕනෑම දෙයක් ලැබෙනවා. නමුත් කිසිවකට ඇලෙන්නෙ නෑ. අල්පේච්ඡ බවෙන් යුක්තයි. ඒ නිසාමනේ ඉවත දැමූ රෙදි කැබලි සොයන්නේ…. මට පිනක් කරගන්න හොඳම වෙලාව. අපේ ආර්ය පුත්‍රයන් වහන්සේ වඩින මග රෙදි කැබලි ටිකක් දමන්න ඕන….”

 

ඉතින් ජාලිනී දෙව්දුව කසල ගොඩක රෙදි කැබලි දැම්මා. හැබැයි ඒ හෑම රෙදි කැබැල්ලක්ම දිව්‍ය වස්ත්‍ර! අනුරුද්ධ මහරහතන් වහන්සේ කසල ගොඬේ වැටී තිබුණු රෙදි කැබලි දැක්කා. ඒවා අහුලාගෙන වෙහෙරට වැඩියා.

එදා බුදුරජාණන් වහන්සේත් වේළුවනාරාමයේ වැඩසිටියා. උන්වහන්සේ දන්නවා මේ රෙදි කැබලි ලැබුණේ කොහොමද කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කොතරම් දිවැස්ලාභී වුණත් තමන්ගේ ඒ හැකියාව මෙවැනි දේකට යෙදෙව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ සිවුරු මැසීම පිණිස ඉඳිකටුවට නූල් දමා දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රෙදි කැබලි මැනලා දුන්නා. සැදැහැවතුන් ප්‍රණීත දන් පැන් අරගෙන ආවා. දෙවිවරුන් දිව්‍ය සුවඳ පැතිරෙව්වා. හැම තැනම මංගල සිරියක් ගත්තා. අලුත පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට මෙය අමුතු විදිහට පෙනුණා.

“හරි වැඩක් නොවැ…. හැම තැනම කෑම බීම ඉතිරිලා ගිහිල්ලා…. මහා විශාල උත්සවයකුත් නෑ. අනුරුද්ධ තෙරුන්ට සිවුර මැහීම විතරයි තියෙන්නේ…. ඒකට මෙතරම් උජාරුවක් ඕනෙද…? අපට හිතෙන්නේ අනුරුද්ධ තෙරුන්ට ඕන කමක් ඇති තමන්ගේ නෑදැයන් ලවා සැලකිලි සම්මාන ලබාගෙන අපට පෙන්නන්න. හනේ…. අපට ඕන නෑ….”

“පින්වත් මහණෙනි, ඔබ ඔය කතා කරන්නේ මොනවා දැනගෙනද? මේ සියලු දේවල් ලැබෙන්නේ අනුරුද්ධයන් දැනගෙන නොවෙයි. කොටින්ම පාංශුකූල වස්ත්‍රය පවා ලැබුණේ දැනගෙන නොවෙයි. රහතුන්ගේ ස්වභාවය හඳුනාගන්න එක ලේසි නෑ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතුන් අරභයා මෙම ගාථාව වදාළා.

යස්සාසවා පරික්ඛීණා – ආහාරේ ච අනිස්සිතෝ
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේ’ව සකුන්තානං – පදං තස්ස දුරන්නයං

යම්කිසි කෙනෙකුගේ – සියලු කෙලෙසුන් ගෙවී ඇත්නම්
වළඳින දානෙ පිළිබඳ – කිසි ඇල්මකුත් නැත්නම්
මම, මගේ යැයි සලකන – දෙයින් හිස් වී ඇති මෙම
ජීවිතය පිළිබඳව – අවබෝධය ද ඇත්නම්
කෙලෙස් අරමුණු නැති – නිවන අරමුණු වෙත් නම්
ඒ නිවනට ඇලුණු – සිතකින් යුතුව ඇත්නම්
අහසෙහි පියාසළමින් – කුරුල්ලන් ඉගිල යත් නම්
ඔවුන්ගේ පා තැබූ තැන් – අහසෙහි කිසිත් නැත්නම්
දකීවිද ලොව කෙලෙසේ – රහතුන් වැඩිය මග නම්


පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේලා වාසය කරන්නේ නිකෙලෙස් සිතින්මයි. උන්වහන්සේලා දන් වැළඳුවාට ඒ වළඳින දානය ගැන අමුතු ඇල්මක් ඇති කරගන්නේ නෑ. සිවුරු පෙරෙව්වාට ඒ පොරවන සිවුරු ගැන ඇල්මක් ඇති කරගන්නෙ නෑ. කුටියක වාසය කළාට ඒ වසන කුටිය ගැන ඇල්මක් ඇති කරගන්නේ නෑ. අසනීපයකට බෙහෙතක් ගත්තත් ඒ ගන්න බෙහෙත ගැනවත් ඇල්මක් ඇති කරගන්නෙ නෑ. උන්වහන්සේලා දන්නවා ‘මම’ය, ‘මාගේ’ය, ‘මාගේ ආත්මය’ය කියා ලෝ වැස්සන් සළකන දේ හිස් වූ දෙයක් බව. ඒ නිසා උන්වහන්සේලා ලෝකයට ඇලෙන්නෙ නෑ. කෙලෙස් හටගන්නෙ අරමුණු නිසා. උන්වහන්සේලා වාසය කරන්නෙ කෙලෙස් හටගන්නා අරමුණු වලින් තොරවයි. ඒ නිසා උන්වහන්සේලාට අසහනයක් නෑ. උන්වහන්සේලාගේ හිත යොමු වී තිබෙන්නේ නිදහස වෙතයි. ඒ නිදහස ඇතිවන්නේ සිත තුළයි. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ සිතක ඇති විරාගී සතුට රහතුන් මිස වෙන කවුරු දනිත්ද? අපටත් ඒ රහතුන් ගැන සිතා සිත පහදවා ගෙන පහන් වූ සිතින් යුතුව උන්වහන්සේලාට වන්දනා කරන්න ඇත්නම් කොතරම් අගේද! අතීතයේ වැඩසිටි ඒ රහතන් වහන්සේලාට නමස්කාර වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ