“පින් ඇති කෙනා සැණෙකින් ධර්මය දකිනවා.”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ මොහොතයි. ඒ මොහොතේදී ඔහුට බුදු බණ අසන්නට ලැබෙනවා. බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්. පුදුම සහගතයි. මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්. මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්. කෙලෙස් සැඩ පහරේ වේගයෙන් ගසාගෙන යන සත්වයාව එයින් උඩට ඔසවා අමා මහ නිවන නම් වූ දූපත වෙත ගෙන යන්නටත් ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ. එවැනි අසිරිමත් ධර්මයක් කන වැටුණු සැණෙකින් සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.ඒ උතුම් මනුස්ස රත්නය තමයි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ.
ඉස්සර කාලෙ බොහෝ මිනිස්සු වෙළඳාම් පිණිස නැව්වලින් මුහුදු ගමන් යනවා. සමහර අවස්ථාවන්හිදී ඒ නැව් අනතුරුවලට ලක්වෙනවා. කුණාටුවලට හසුවෙනවා. මුහුදෙ මැද ඒ නැව් බිඳෙනවා. මිනිසුන් ජල රකුසාට බිලි වෙනවා.
එක්තරා වෙළඳ පිරිසක් නැවක නැගී වෙළඳාමේ ගියා. ඒ නැව මුහුද මැද අනතුරකට බඳුන් වුණා. ඒ නැවේ එක් පුරුෂයෙක් හිටියා. ඔහුගේ නම බාහිය. ඔහු අමාරුවෙන් ජීවිතය ගලවාගෙන දඹදිව බටහිර වෙරළේ සුප්පාරක කියන නැව් තොටට ගොඩවුණා. ඔහු වතුරෙන් ගොඩ එද්දී ඇඟේ නූල් පොටක් තිබුණේ නෑ. නන්නාඳුනන ප්‍රදේශයක නිසා මොහු තවත් බය වුණා. කයට වස්ත්‍රයක් සොයාගන්න කිසිසේත්ම පිළිවෙලක් නෑ. අන්තිමේදී ඔහු කළේ වියළි දර පතුරු වැල් පොටවල්වලින් පටලවලා වස්ත්‍රයක් විදිහට සකස් කරගෙන පොරොවා ගත්තු එකයි. දැන් ආහාර ටිකක් සොයාගන්න ඕන. මොහු වටපිට බලද්දී මිනිසුන් දෙවියන්ට බලි දීපු බඳුනක් හම්බවුණා. එයත් රැගෙන ගමට පිඬු සිඟා ගියා. මිනිස්සු පුදුම වුණා.
“අම්මේ…. අප්පච්චියේ…. මේ බලන්න… මෙන්න අමුතු කෙනෙක් ඇවිල්ලා…. දරුපතුරුවලින් කරපු අමුතු ඇඳුමක් ඇඳන් ඉන්නවා. දානය ඉල්ලගෙනයි ඇවිල්ලා ඉන්නේ….”
පොඩි දරුවන් මෙහෙම කියද්දී කවුරුත් මොහුට විශේෂ සැලකිල්ලක් දැක්කුවා.
“හැබෑවටම මේ නම් විශේෂ උත්තමයෙක් හැඩයි…! කිසි දේකට ආසාවක් නෑ නෙව. පොරොවාගෙන ඉන්නෙ දරුපතුරු වලින් කළ වස්ත්‍රයක්… පාත්තරයට තියෙන්නෙත් වළං කැබැල්ලක්. මේ නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති! නැත්නම් මෙවැනි නිකෙලෙස් අයුරකින් ඉන්නේ කොහොමද?”
මිනිස්සු ගොඩාක් පැහැදුණා. මොහුට ආදරයෙන් සැළකුවා. සත්කාර සම්මාන කළා. බාහිය දාරුචීරිය නමින් මොහු ප්‍රසිද්ධ වුණා. නමුත් මොහු හුදෙකලාවේම ජීවත් වුණා. ආහාරය පිණිස කිසිවක් සොයාගෙන ගමට යනවා. ඊටපස්සේ ගල්ලෙනකට ගිහින් හුදෙකලාවේ ඉන්නවා. ටික ටික භාවනාත් කරනවා. එතකොට හිත ටිකක් තැන්පත් වුණා. මොහු හිතුවා නිකෙලෙස් වුණා කියලා. එහෙම හිතාගෙන කල්ගෙව්වා.
දවසක් මෙහෙම හිතුවා… ‘මේ ලෝකයේ රහත් මගට පිළිපන් හෝ රහත් වූ හෝ යමෙක් ඇද්ද, මමත් ඔවුන් අතර කෙනෙක්’ කියලා.
මේ ජීවිතයේ මෙහෙම වුණාට මේ තැනැත්තා සසරේ පින් කළ කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මොහු පැවිදි වෙලා හිටියා. ඒ බුදු සසුනේ පැවිදි වූ භික්ෂූන් අශාසනික කටයුතුවල නියැලී සිටිද්දී බුදු සසුන තේරුම් ගත් භික්ෂූන් සංවේගයෙන් වාසය කළා.
දවසක් ඒ භික්ෂූන් වහන්සේලා සත් නමක් මෙහෙම කතා වුණා.
“දැන් කාලෙ මහණ වෙච්ච උදවියට සසර ගැන කිසි භයක් නෑ. මේ උදවිය තමයි බුදු සසුන අතුරුදහන් කරන්නේ… මේ ශාසනය අතුරුදහන් වෙන්න කලින් අපිවත් යම්කිසි පිහිටක් සළසා ගනිමු” කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් ස්වර්ණ චේතිය වන්දනා කොට වනගත වුණා. එක්තරා පර්වතයක් දැකලා මෙහෙම කල්පනා කළා.
“ජීවිතයට ආශාව තියෙන අය වනාන්තරයේ නවතිත්වා! ජීවිතාශාව අත්හැර මහණදම් පුරන්න කැමති අය මේ පර්වතයට නගිත්වා! කවුද මෙයින් දෙවෙනි අදහසට එකඟ?”
එතකොට ඒ සියලු භික්ෂූන් වහන්සේලා ඒ අදහසට එකඟ වුණා. ඔවුන් වැල්පටවල් සොයාගෙන, දර කැබලි බඳිමින් ඉණිමඟක් සකස් කරගෙන එය ඔස්සේ අර පර්වතයට නැග්ගා. ඊට පස්සේ ඉණිමඟ බිමට තල්ලු කළා. දැන් පහළට බහින්න විදිහක් නෑ. ඒ සඟ පිරිස අතර හිටිය සංඝ ස්ථවිරයන් වහන්සේ එක රැයක් ඉක්මයද්දී අරහත්වයට පත්වුණා. උන්වහන්සේ ඉර්ධිබල සම්පන්න රහතන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේ අනෙක් භික්ෂූන්ට මෙහෙම කිව්වා,
“ප්‍රිය ආයුෂ්මතුනි, මං ඔබට දැහැටි දඬු ගේන්නම්. පැන් ගෙන එන්නම්. පිණ්ඩපාතය ගෙන එන්නම්. එය වළඳා බණ භාවනා කරගන්න යන්න.”
“ස්වාමීනී, අපි එහෙම කතිකාවතක් කරගත්තේ නැහැ නෙව. ඒ කියන්නේ ‘අප අතරින් කවුරුන් හෝ පළමුව රහත් වුණොත් උන්වහන්සේ ගෙන එන පිඬු වළඳා මහණදම් පුරන්නෙමු’යි කියලා අපි කතා වුණාද?”
දෙවෙනි දවසේ දෙවෙනි සංඝ ස්ථවිරයන් වහන්සේ අනාගාමී ඵලයට පත්වුණා. උන්වහන්සේටත් ඉර්ධිබල ලැබුණා. හැබැයි අනිත් ස්වාමීන් වහන්සේලා තම අධිෂ්ඨානය වෙනස් කරගත්තේ නෑ. ඉර්ධිබල සම්පන්න භික්ෂූන් දෙනමම සත්කාර කරන්න කැමති වුණත් එයට අකමැති වූ උන්වහන්සේලා කුසගින්නේම බණ භාවනා කරලා අපවත් වුණා. හැබැයි උන්වහන්සේලාට ඒ කාශ්‍යප බුදු සසුන තුළ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණා.
පින කියන්නේ හරි පුදුම දෙයක්! අවංකවම ධර්මයේ හැසිරීමේ විපාකය හරි අසිරිමත්. ඒ පස් නමම අපවත් වී දෙව්ලොවයි ඉපදුණේ. මේ ගෞතම බුදු සසුන පහළ වෙනකම්ම දෙවිවරු වශයෙන් ජීවත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩසිටින සමයේ දෙව්ලොවින් චුත වී මිනිසුන් ලෙස උපත ලබා සිටියා. ඔවුන් අතර එක්කෙනෙක් කුමාර කස්සප මහරහතන් වහන්සේ. අනිත් කෙනා දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ. අනිත් කෙනා සභිය මහරහතන් වහන්සේ. අනිත් කෙනා දහම් ඇසූ සැණින් අනාගාමී වූ පුක්කුසාති රජතුමා. අනිත් කෙනා මේ බාහිය දාරුචීරියයි.
ඉතින් මේ බාහිය රහත්වෙන මග නොදැන, රහතුන් කවුදැයි නොදැන තමන් රහතන් වහන්සේ නමක් යැයි සිතා සිටියා.
අතීතයේ තමා සමඟ මහණදම් පුරා අනාගාමීව බඹලොව උපන් තමන්ගේ මිත්‍ර භික්ෂුව මේ දාරුචීරියව හඳුනාගත්තා. මොහුට බුදුරජාණන් වහන්සේ වෙත යෑම පිණිස මඟ පෙන්වන්නට ඉදිරිපත් වුණා.
දවසක් මොහු හුදෙකලාවේ සිටිද්දී එක්තරා දෙවිකෙනෙක් ඉදිරියේ පෙනී සිටියා.
“පින්වත් බාහිය, ඔබ රහතන් වහන්සේ නමක් නොවෙයි, ඒ වගේම ඔබ රහත් වෙන මාර්ගය දන්නෙ නෑ. ඒ ප්‍රතිපදාව ඔබ තුළ නෑ. ඔය වැඩපිළිවෙල තුළ නම් ඔබට රහතන් වහන්සේ නමක් වෙන්න බෑ.”
තමා ඉදිරියේ අහසේ පෙනී සිට තමාට උපදෙස් දෙන මේ දේවාතාවගේ ප්‍රකාශයෙන් බාහිය කම්පා වුණා.
“අනේ පින්වත් දෙවිය, මං රහතන් වහන්සේ නමක් නෙවෙයි නම්, අනේ මට කියන්න…. ලොව රහතන් වහන්සේලා ඉන්නවාද? රහත් වෙන මඟ පෙන්වා දෙන්න පුළුවන් අය ඉන්නවාද?”
“පින්වත් බාහිය, ලොව රහතන් වහන්සේලා ඉන්නවා. රහත් වෙන මග පෙන්වා දෙන්න පුළුවන් උත්තමයන් පවා ඉන්නවා.”
“අනේ පින්වත් දෙවිය, මට පිහිට වෙන්න… මමත් ඒ රහතන් වහන්සේව දකින්න ආසයි. රහත් වෙන මග දැනගන්න ආසයි.”
“පින්වත් බාහිය, උතුරු ජනපද ප්‍රදේශ අතරේ සැවැත් නුවර කියලා ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ සම්මා සම්බුද්ධත්වයට පත් අසිරිමත් රහතන් වහන්සේ නමක් වැඩඉන්නවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම නිකෙලෙස්. ඒ වගේම නිකෙලෙස් බවට පත්වෙන මාර්ගය දේශනා කිරීමට උන්වහන්සේ අතිශයින්ම දක්ෂයි.”
ඒ දෙවියා නොපෙනී ගියා. බාහියගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා.
“ඔව්…! තවත් බලා ඉන්න හොඳ නෑ… ජීවිතය කියන්නේ සිඳීගෙන යන දොළ පාරක් වගේ දෙයක්! කොයි වෙලාවේ අවසන් වෙයිද දන්නෙ නෑ… මං මේ හුදෙකලා ජීවිතයට ඇවිල්ලා සෑහෙන කලක් වුණා. දැන් ඉතින් පමාවෙන්න හොඳ නෑ. අරහත්වයට පත්වෙන මාර්ගය පෙන්වා දෙන්න පුළුවන් සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී සිටිද්දී මං මෙතනට වෙලා ඉන්නෙ කොහොමද? මට මක් වේවිද? ජීවිතයට අනතුරක් වෙන්න කලින් ඉක්මනින් යා ගන්න ඕන.”
බාහිය දාරුචීරිය කල් ගත්තෙ නෑ. ඒ රෑම පිටත් වුණා. පා ගමනින් පිටත් වෙද්දී එක තැනක නැවතුණේ එක රැයයි. ගමනට යොදුන් එකසිය විස්සක් තියෙනවා. එච්චර දුරක් කොහොම නම් පයින් යන්නද! මොහුට දෙවිවරු උදව් කළා. දේවානුභාවයෙන් මොහු කිහිප දිනකින් සැවැත් නුවරට පැමිණියා. දැන් මොහුට ඉවසිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේ දකිනකම් ඉස්පාසුවක් නැහැ.
මොහු ජේතවනාරාමයට දුවගෙන ගියා. භික්ෂූන් වහන්සේලා සක්මන් කරනවා.
“අනේ… මට කියන්න… ඒ ශාස්තෘන් වහන්සේ කොහේද වැඩඉන්නේ….?”
“පින්වත, අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ නගරයට පිණ්ඩපාතයේ වැඩලයි ඉන්නේ… ඔබ කොහේ ඉඳලා ආපු කෙනෙක්ද?”
“අනේ… මං ගොඩාක් දුර ඉඳලයි ආවේ. බටහිර මුහුදු තීරයේ සුප්පාරක පටුනේ ඉඳලයි මං ආවේ…”
“හප්පේ…! සෑහෙන දුරක් නෙව. එහෙම නෙවෙයි, දැන්ම කලබල වෙන්න ඕන නෑ… පොඞ්ඩක් ඇඟපත සෝදාගෙන, පාදවල වෙහෙස යනකම් තෙල්ගාලා සංසිඳවාගෙන විවේකයෙන් ඉන්න… භාග්‍යවතුන් වහන්සේ ආපහු වඩිනවා. එතකොට බැහැදකින්න පුළුවන් නෙව.”
“අනේ… මං මේ සිහිසන් නැතුව වගෙයි දුවගෙන ආවේ. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. කොයි වෙලාවේ අහිමි වේවිද දන්නෙ නෑ. මේ යොදුන් එකසිය විස්සම මං ආවෙ හරි භයකින්. මං හිත හිතාම හිටියේ ‘ශාස්තෘන් වහන්සේ දකිනකම් මගේ ජීවිතයට අනතුරක් වෙන්න එපා’ කියලයි. අනේ… මට ඉක්මනට ශාස්තෘන් වහන්සේව දකින්න ඕන. අනේ… මට විවේක ගන්න ඕන නෑ. කකුල් නම් රිදෙනවා තමයි. ජීවිතයේ අනතුර දිහා බලද්දී ඕක මොකක්ද? අනේ ස්වාමීනී, මං එහෙනම් යන්නම්.”
මොහු සැවැත් නුවරට පිවිසුණා. සෑම තැනම භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වඩිනවා. ඇහැළ මල් කළඹක් විසිර ගියා වගේ හැම තැනම ලස්සනයි. සැදැහැවතුන් දන් පැන් පුදනවා. ශාන්ත ගමනින් වඩින රහතුන් හැම තැනම දිස්වෙනවා. බාහිය දාරුචීරියට ඉස්පාසුවක් නෑ. මව්දෙන නැතිවූ වසු පැටියෙක් කලබල වී මව්දෙන සොයනවා වගේ මොහු මහා කලබලයකින් වටපිට බලමින් වීදියක් ගානේ යනවා.
“අන්න…. අර…. අර…. අර…. අර වඩින්නේ… ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ තමයි. ඒකාන්තයෙන්ම මට අරහත්වයට මග කියාදෙන්න පුළුවන් ශාස්තෘන් වහන්සේ තමයි…..”
මොහු දුවගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. දණ ගසාගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට ධර්මය දෙසන සේක්වා! සුගතයන් වහන්ස, මට ධර්මය දෙසන සේක්වා! එය මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි!”
“පින්වත් බාහිය, මේ දහම් දෙසන කාලය නෙවෙයි නෙව. පිඬු පිණිස නගරයට වැඩි වෙලාවයි.”
“අනේ ස්වාමීනී…. මට තේරෙන්නේ නෑ. මට කිසි බඩගින්නක් දැනෙන්නේ නෑ. මට ජීවිතය ගැන මහා භයක් තියෙනවා…. මේ සුළු වෙලාවෙදි ඔබවහන්සේට අනතුරක් වුණොත් මට බණ පදයක් ඇහෙන්නෙ කොහොමද? මට අනතුරක් වුණොත් බණ පදයක් අහන්නෙ කොහොමද? අනේ ස්වාමීනී, ජීවිතය ගැන මට මහා භයක් දැනෙනවා… මා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන සේක්වා!”
භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වතාවෙත් වදාළේ, දැන් බණ අසන්නට කාලය නොවෙයි කියලයි. පිඬු සිඟා වඩිනවා කියලයි. ඔහු ඒ වතාවෙත් එයම කියා සිටියා.
තුන්වෙනි වතාවෙත් බාහිය එයම කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ බාහිය දිහා බැලුවා. බාහියගේ ජීවිතය ඇතුළේ නිවන් අවබෝධ කිරීමේ කුසලතාවය හොඳින් මෝරලා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරී රැස් කළ පින් පිරිලා තියෙනවා. සැණෙකින් ධර්මය අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව සුළු වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සිටිවනම ධර්මය දේශනා කළා.
“බාහිය, දැක්කොත් දැකීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, ඇසුවොත් ඇසීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, නාසයට යමක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, දිවට රසයක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, කයට පහසක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, සිතට යමක් සිතුණොත් සිතීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම් ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ එතනින් පිටතත් නෑ. ඔබ ඒ අතරත් නෑ. ඔබ ඒ අතරත් නැත්නම්, ඔබ මෙලොවත් නෑ. වෙන ලොවකත් නෑ. ඔබ මේ සියලු දෙයින් නිදහස් වෙනවා.”
පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍යය නම් අතිශයින්ම ආශ්චර්යයි! උන්වහන්සේ දේශනා කළ ඒ හැම වචනයක්ම බාහියට අවබෝධ වුණා. පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණා. ඒ මොහොතේම ඔහු අරහත්වයට පත්වුණා. බාහිය වැඳ වැටුණා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි බව ලබාදෙන සේක්වා!”
“පින්වත් බාහිය, පැවිදි වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු තියෙනවා?”
“ස්වාමීනී, මං එහෙනම් පාත්‍රා සිවුරු සොයාගෙන එන්නම්” කියලා බාහිය දාරුචීරිය රහතන් වහන්සේ පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩියා.
බාහිය දාරුචීරිය රහතන් වහන්සේට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ. යක්ෂාවේශ වූ එක්තරා ගවදෙනක් උන්වහන්සේ පිටුපසින් වේගයෙන් දුවගෙන ඇවිත් ඇනගෙන ගියා. උන්වහන්සේ එතනම වැටුණා. සසරේ සියලු දුක් නිමා කොට පිරිනිවන් පෑවා.
බුදුරජාණන් වහන්සේට මේ බාහිය දාරුචීරියගේ හදිසි අනතුර ගැන සැළවුණා. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලත් සමඟ ඒ ස්ථානයට වැඩම කළා. බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ මෘත ශරීරය කසළ ගොඩක් අසළ මුනින් අතට පෙරළී වැටී තිබුණා.
“පින්වත් මහණෙනි, මේ සිරුර ඇඳකට නංවා ගන්න. නගරයෙන් බැහැරට ගෙන ගොස් ආදාහනය කරන්න. ඒ අළු තැන්පත් කොට ස්ථූපයක් හදන්න.”
එතකොට භික්ෂූන් වහන්සේලා ඒ මෘත ශරීරය රැගෙන ගොස් ආදාහනය කළා. කුඩා ස්ථූපයක් තැනුවා. මල් පූජා කළා. බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්. අද තමයි එයා මෙහෙ ආවේ. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ සුළු වෙලාවක් මොහු කතා කළ බව. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?”
“පින්වත් මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුටයි අයිති වුණේ. පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ. සැණෙකින් ධර්මය අවබෝධ කළා. පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය තමයි වහා ධර්මාවබෝධ කළ මාගේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වූ ශ්රාවකයා වන්නේ.”
භික්ෂූන් වහන්සේලා පුදුමයට පත්වුණා. “අද උදේ තමයි මොහු ඉතා දුර බැහැර සිට සැවැත් නුවරට ආවේ… හරි පුදුමයි. කොයි වෙලාවෙද මොහු බණ ඇහුවේ….? අපි දැක්කෙ නෑ…. හැබැයි සමහර භික්ෂූන් දැක තියෙනවා මොහු පාරේ වඩින භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටී සුළු මොහොතක් කතා කරන අයුරු. එතකොට ඒ සුළු වෙලාවෙදි අරහත්වයට පත්වීමට තරම් ධර්මයක් කොහොමද මොහු ඇහුවේ?”
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.
සහස්සම්පි චේ ගාථා – අනත්ථපදසංහිතා
ඒකං ගාථාපදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මතිදහසක් ගාථා කිව්වත් හැඩකොට – පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් ගාථාවක් මැනැවින් ඇසුවිට – අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා විට එලෙසින් – උතුම්ය එක් ගාථාවක් එම විට
පින්වතුනේ, පින්වත් දරුවනේ, ධම්මපදයේ තිබෙන සෑම ගාථාවකම ඒ උතුම් බව තියෙනවා. කොතරම් ලස්සනට ගාථා හැදුවත්, කොතරම් මිහිරි හඬින් ඒවා ගායනා කළත්, අර්ථයක් නැත්නම් ඒ ගාථා වලින් පලක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවල ජීවිතය අවබෝධ කරවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරා ගාථාවල ඇති වටිනාකම පෙන්වා දුන්නා. එය ඇසූ බොහෝ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පත්වුණා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ