“ගුණවතුන්ට වැඳීමෙන් සැප ලැබේ”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සැරියුත් තෙරුන්ට බොහෝ යාළුවන් හිටියා. සාරිපුත්ත රහතන් වහන්සේ වැනි කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් ඔවුන්ගේ ඇසුරට ලැබීම ඔවුන් ලද වාසනාවක්මයි.
දිනක් සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙක් උන්වහන්සේව බැහැදකින්නට ආවා. පිළිසඳර කතාබහේ යෙදුණා. ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ ඔහුට පිනේ වටිනාකම කියා දුන්නා. එතකොට ඔහු මෙහෙම පිළිතුරු දුන්නා.
“ස්වාමීනී, මං හරියට පරිත්‍යාග කරනවා. නොයෙකුත් මංගලෝත්සවයන් මුල්කොට දන්දීමටනේ අපේ වේදයේ ‘යිට්ඨං’ කියලා කියන්නේ. ඒ වගේම පින් සළකාගෙනත් අපි නොයෙක් දාන මානාදිය දෙනවා. ඇප උපස්ථාන කරනවා. ඒවටනේ වේදයේ ‘හුතං’ කියලා කියන්නේ. ඉතින් ස්වාමීනී, අපේ ආචාර්යවරු අපට කියා දීලා තියෙන්නේ බඹලොවට යන්න ඇති හොඳම මාර්ගය එය කියලයි.”
ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පා කොට බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දානයේ ඇති වෙනස්කම් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන දානයට වඩා සිල්වත් කෙනෙකුට දෙන දානයෙහි අනුසස් වැඩියි. ඊටත් වඩා අනුසස් වැඩියි මාර්ගඵලලාභී කෙනෙකුට දෙන දානය. රහතන් වහන්සේලාට දෙන දානයේ අනුසස් ඊටත් වැඩියි. ඒ වගේම පහන් සිතින් යුතුව රහතන් වහන්සේලාට යමෙක් වන්දනා කරනවා නම් ඒ උපන් කුසලයෙන් හතරෙන් කොටසක් තරම්වත් අර සාමාන්‍ය ජනතාවට දෙන මහා දානයේ අනුසස් නෑ.
මේ අයුරින් ධර්මය කියා දෙන විට ඔහුට ටිකෙන් ටික තේරුණා. ඒ වගේම චතුරාර්ය සත්‍යයත් අහන්න ලැබුණා. ඔහු සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ ඔහු වෙනුවෙනුයි මේ ලස්සන ගාථාව වදාළේ.
යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ
සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ
සබ්බම්පි තං න චතුභාගමේති
අභිවාදනා උජ්ජුගතේසු සෙය්යෝඋතුම් දවස් සිහි කරගෙන – දන් දෙනවා කෙනෙක් ලොවේ
පිනක් පතාගෙන එලෙසින් – දන්සැල් දෙනවා මෙලොවේ
අවුරුදු සැමරුම් සිහිකොට – නොයෙකුත් දේ පුදයි මෙලොවේ
එනමුදු යම් කෙනෙක් ලොවේ – රහතුන් ගැන පහන් සිතින්
කළහොත් වැඳුමක් සතුටින් – එයින් ලැබෙන පින සතරට
බෙදා එකක් වෙන් කළ විට – එතරම්වත් වටින්නෙ නෑ
කලින් දීපු සියලු දාන
පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේ නමකට වන්දනා කළත් මොනතරම් පින්ද? මේ කාලෙ අපට රහතන් වහන්සේලා දකින්න නෑ. ඒ නිසා රහතන් වහන්සේලා දැකබලා වන්දනා කිරීමේ වාසනාවක් අපට නෑ. නමුත් අපට අතීතයේ වැඩසිටි ඒ රහතන් වහන්සේලා ගැන සිත පහදාගෙන වන්දනා කරන්න පුළුවන්. එබඳු පිනක්වත් ලබාගන්න අපට වාසනාවක් තිබීම ගැන අප සතුටුවෙන්න ඕන.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ