“රැස් කරනා පින එයි පසු පස්සේ….”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ගේ ඉරණම සිද්ධවෙන්නේ සිතපු විදිහට නොවෙයි. සැණෙකින් ගන්නා තීරණයකින් මුළු ජීවිතයම වෙනස් වෙනවා. තමන් අමුතුම මාර්ගයකට වැටෙනවා. ලස්සන සිටුදුවක් එවැනි දේකට බඳුන් වුණා.

රජගහනුවර එක් සිටුපවුලක් හිටියා. මේ සිටු ගෙදර ඉතාම ලස්සන සිටුදුවක් හිටියා. දෙමව්පියන් තම දියණිය පරිස්සම් කරන අදහසින් සත්වෙනි මහලෙහි තබා පෝෂණය කළා. සේවිකාවක් විසින් ඇයට ඇපඋපස්ථාන කළා. ජීවිතයේ කිසි බරක් නැතුව කෙළිසෙල්ලමෙන් දැන් ඈ කල්ගෙවනවා.

රජගහනුවර එක දඩයක්කාරයෙක් හිටියා. ඔහු හරි කඩවසම්. ජීවත්වෙන්නේ දඩයමින්. දිනක් මුවන් පන්සීයක් මරාගෙන ගැල්වල පටවාගෙන සත්තු මරණ අවි ආයුධ ඇතුව ඒ ගැලේම හිඳගෙන මස් විකිණීම පිණිස නගරයට යමින් සිටියා. උඩුමහලේ කවුළුවෙන් බලා සිටි සිටුදුවගේ සිත මේ තරුණ වැද්දා කෙරෙහි බැඳී ගියා.

‘අනේ අන්න… හරී ලස්සන තරුණයෙක්… මෙයා තමයි මගේ ස්වාමියා විය යුත්තේ… මේ සිටුගෙදර සිටියොත් නම් මට වගක් වෙන්නේ නැහැ. මං කොහොමහරි මොහු සොයාගෙන යනවා….’

“කෙල්ලේ… අනේ මෙහෙ වරෙන්…. අර තරුණයාව නුඹ හඳුනනවාද?”

“හපොයි සිටුදුව! ඔය අර කුක්කුටමිත්ත නෙව. ඕකා වැද්දෙක්….! වැද්දො හරී භයානකයි. සිටුදූ වැද්දන්නේ හැටි දන්නෙ නෑ….”

“නෑ කෙල්ලේ…. එයා එහෙම වෙන එකක් නෑ… මට විශ්වාසයි. බැහැ…. මට නම් එයා නැතුව බැහැ… අනේ මට උදව්වක් කරපන්… උඹ හොඳ කෙල්ලනෙ…. මං උඹට මේ මැණික් අල්ලපු මාලෙ දෙනවා….”

මාලය දෙස ඇස් දල්වා බැලූ සේවිකාව මෙහෙම ඇහුවා,

“ඉතින් මං මොකක්ද කරන්න ඕන…?”

“මට එයා නැතුව බැහැ…! මං ලියුමක් ලියා දෙන්නම්. ඒක ගිහින් එයාට දීපන්…. ආපහු යන්න පිටත් වෙන්නෙ කොයි වෙලාවෙද කියලා අහපන්….”

“අනේ මන්දා… මට භයේ බෑ… සිටුදේවි දැනගත්තොත් මට විසුමක් වෙන්නේ නෑ. ඕක අත්හරින්න සිටුදුව…”

“කෙල්ලේ…. නුඹ කළ යුත්තේ මා කියනා දෙයයි. කල් ගන්නවා එහෙම නෙවෙයි….!”

සේවිකාව ලියුමත් රැගෙන ගියා. ඔහුට දුන්නා. විස්තර අහගත්තා. අද මස් විකුණලා හෙට පාන්දරින් ආපහු පිටත් වෙන්නේ. මෙය දැනගත් සිටුදුව තමන්ගේ වස්ත්‍රාභරණ පොට්ටනියකට බැඳගත්තා. කළයක් ඇතුළට දාගත්තා. පාන්දරින්ම පරණ වස්ත්‍රයක් ඇඳගෙන දාසියකගේ වේශයෙන් එළියට බැහැලා ගියා.

කුක්කුටමිත්ත වැද්දා එනකං හැංගිලා බලාසිටියා. වැද්දා පිටිපස්සෙන් ඈ පිටත්වුණා. තමාගේ ගැල පිටුපසින් ස්ත්‍රියක් එනු දැක ඔහු මෙහෙම ඇහුවා.

“නංගියේ…. නුඹ කොහේද යන්නේ…? නුඹ කාගේ දුවක්ද? මගේ පස්සෙ නම් එන්න එපා…!”

“නෑ… මං මේ එන්නේ ඔයාගෙ ඉල්ලීමකට නොවෙයි. මගේ කැමැත්තටයි.”

කුක්කුටමිත්ත වැද්දා නිශ්ශබ්දව ගමන් ගත්තා. පස්ස හැරිලා බැලුවා. තවමත් කෙල්ල පස්සෙන් එනවා. ආයෙමත් හැරිලා යන්න කියලා කිව්වා.

“ඔයාගේ පාඩුවේ ඔයා ඔය ගැලේ යන්නකෝ…. මං නෙ පස්සෙන් එන්නේ….”

ආයෙමත් කියද්දිත් කෙල්ලගෙ හිත වෙනස් වෙන්නේ නැහැ. එතකොට වැද්දා කල්පනා කළා. ‘ශ්‍රියා කාන්තාව තමන්ගේ ළඟටම පන්නාගෙන එද්දි වළක්වන එක වටින්නෙ නැහැ’ කියලා මෙහෙම කිව්වා.

“එහෙනම් මයෙ මොකෝ. ගැලට ගොඩවුණොත් හොඳයි….”

දැන් අර සිටුදියණිය වැදිගම්මානයේ නතර වුණා. කුක්කුටමිත්ත වැද්දාගේ බිරිඳ වුණා. සිටුමාළිගයේ පිරිසට සිටුදුවට වුණ දෙයක් සොයාගන්න බැරිවුණා. ඔවුන් දානෙ දීලා පිනුත් දුන්නා.

කුක්කුටමිත්ත වැද්දා නිසා මේ සිටුදියණියට පුතුන් සත් දෙනෙකු ලැබුණා. නිසි කලවයස පැමිණි විට ඔවුන්ට සුදුසු වැදි පවුල්වලින් ආවාහ කරල දෙන්නටත් ඈ සමත් වුණා.

දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මහාකරුණා සමාපත්ති ඤාණයෙන් හිමිදිරි උදෑසන ලොව බලා වදාළා. එතකොට කුක්කුටමිත්ත වැද්දාත්, දරුවන්, ලේලිවරුන් සියලු දෙනාත් මාර්ගඵල ලබන්නට පින් ඇති උදවිය බව දැක්කා. එදා උන්වහන්සේ වනාන්තරයට වැඩම කළා.

කුක්කුටමිත්ත වැද්දා විසින් ඒ ඒ තැන අටවා ඇති උගුල් අසළ ශ්‍රීපාද සළකුණු තැබූ බුදුරජාණන් වහන්සේ එක්තරා රුක් සෙවණක වැඩසිටියා. සතුන් මරන්නට දුනු ඊතල රැගෙන ආ වැද්දාට අමුත්තක් පෙනුණා. හැම මළපුඩුවක් ළඟම පා සටහනක් තියෙනවා. එක සතෙක්වත් අහුවෙලා නෑ. එහෙනම් කවුදෝ කෙනෙක් මේ සත්තු සියලු දෙනා නිදහස් කොට හැර තිබෙනවා. ‘මේ වැයික්කියේ සෙල්ලම් දාන්න කාටවත් ඉඩදෙන්නෙ නෑ’ කියලා දුනු ඊතල සූදානම් කරගෙන සීරුවෙන් ගමන් කළා. බුදුරජාණන් වහන්සේ රුක් සෙවණේ වැඩසිටිනවා දැක්කා.

‘හරි… එහෙනම් ඒක මුන්දැගෙ වැඩක්! ආයෙමත් නොකරන්න මං උගන්වන්නම් පාඩමක්’ කියලා දුනු ඊතල එළියට ඇද්දා. එච්චරයි. ඔහුට අතපය සොළවන්න බැරිව ගියා. ඇඟ ගල් ගැහිලා ගියා. කිසි දෙයක් කරගන්න බැහැ. දාඩිය ගලනවා. කටින් කෙළ බේරෙනවා. නමුත් සෙළවෙන්න බැහැ.

වැදි බිරිඳ මග බලාගෙන හිටියා. නමුත් ස්වාමියා එන පාටක් නැහැ. ඈ තම දරුවන්ගේ නිවසට ගියා.

“කෝ… මේ ළමයි…? අනේ පුතේ… තාත්තා ගියා ගියාමයි තාම ආවෙ නැහැ නෙව. හනික ගිහින් බලාපන්… කරදරයක් වෙලාවත්ද….?”

“හරි! හරි!” කියලා පුත්තු හත්දෙනාම දුනු ඊතල අරන් පිටත් වුණා. කැලේ පීරාගෙන යද්දී බුද්ධානුභාවයෙන් පියා සිටිය තැනටම ඔවුන් වැටුණා. වනාන්තරය මැද්දේ භාවනානුයෝගී මුනිවරයෙක් ඉදිරියේ ගල් ගැසී සිටින පියාණන් දැක මේ දරුවන් සත්දෙනා කලබල වුණා. මෙය නම් මොහුගේ වැඩක් ය කියා ඊතලයෙන් විදින්නට හිතාගෙන හත්දෙනාම දුනුඊතල දිගඇර ගත්තා. තාත්තට වෙච්චි දේම වුණා. ගල්වෙලා ගියා. කාටවත් සෙළවෙන්නවත් බැහැ.

වැදි බිරිඳ මග බලාගෙන හිටියා. ගියා ගියාමයි ළමයි ආවෙත් නෑ. ලේලිවරුන්ට කතා කළා.

“අනේ කෙල්ලනේ…. වරෙල්ලා යන්න. ළමයිගේ තාත්තා ගියා ගියාමයි වෙච්චි දෙයක් නෑ. කොල්ලො ටික පිටත් කළා. එවුන් ආවෙත් නෑ…. ඉක්මනින් යං…”

ලේලිවරුන් හත්දෙනාත් සමඟ මැය වනයට පිටත් වුණා. බුද්ධානුභාවයෙන් මොවුන් ඉක්මනින් එතනට ආවා. ඈතදීම දැක්කා බුදුරජාණන් වහන්සේ භාවනානුයෝගීව වැඩ ඉන්නවා. තාත්තයි, පුතාලා හත්දෙනයි දුනු ඊතල මානාගෙන ඉන්නවා. ඈ හිස අත්බැඳ වැළපෙන්න පටන් ගත්තා.

“මයෙ අප්පෝ….! මාගේ පියාණන් වහන්සේට අනතුරක් වෙන්ට එපා! මාගේ පියාණන් වහන්සේව මරන්න නම් එපා…!” කියලා වැඳ වැටුණා. ගල්ගැසී සිටි අයට හොඳට ඇහුණා. ඔවුන්ගේ අතපය බුරුල් වෙලා ගියා.

“අනේ…. එහෙනම් මේ ඉන්නේ මාගේ බිරිඳගේ අප්පච්චිද? අපේ මාමණ්ඩිද?” කියලා වැද්දාට හිතුණා. වැදි ළමයින්ට හිතුණේ ‘අනේ… මේ ඉන්නේ අපේ සීයා නේද’ කියලයි. සියලු දෙනාටම මහා ආදරයක් ඇතිවුණා. වැදි බිරිඳ කෑ ගහගෙන මෙහෙම කිව්වා.

“හනික ඔය දුනු ඊතල වීසි කරපල්ලා…. මාගේ පියාණන් වහන්සේව සමා කරගනිල්ලා…. මේ සිටින්නේ මට යහපත උදාකළ මාගේ ශාස්තෘන් වහන්සේය.”

වැද්දාත් ළමයිනුත් ලේලිලාත් වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේ මිහිරි හඬින් කතා කළා. ඔවුන් වශී වී ගියා. ඒ දහම් කථාවේ කෙළවර වැද්දාත්, පුතුන් හත් දෙනාත්, ලේලියන් හත් දෙනාත් යන පහළොස් දෙනාම සෝවාන් ඵලයට පත්වුණා.

එදා සවස්වරුවෙහි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙය ඇසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කොහි වැඩි සේක්ද?”

“පින්වත් ආනන්දය, කුක්කුටමිත්ත වැද්දා මුණ ගැසීමටයි මා අද ගියේ…”

“ස්වාමීනී, ඔහු ප්‍රාණඝාතයෙන් නිදහස් වුණාද?”

“පින්වත් ආනන්ද, ඔහු පමණක් නොවෙයි පහළොස් දෙනෙක්ම ප්‍රාණඝාතයෙනුත් නිදහස් වුණා. සතර අපායෙනුත් නිදහස් වුණා. ඒ කියන්නේ ඒ වැද්දයි, පුතුන් හත් දෙනයි, ලේලියන් හත් දෙනයි යන පහළොස් දෙනා තමයි නිදහස් වුණේ.”

එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම ඇහුවා.

“එතකොට ස්වාමීනි, වැදි බිරිඳ?”

“පින්වත් මහණෙනි, ඈ කුඩා දැරිවියක්ව සිටිද්දි නෙව සෝවාන් ඵලයට පත්වුණේ.”

භික්ෂූන් වහන්සේලා අතර මෙවැනි කසුකුසුවක් එදා හවස්වරුවේ ඇතිවුණා.

“එතකොට කුක්කුටමිත්ත වැද්දාගේ බිරිඳ වෙලා සිටියේ සිටු කුමාරියක්. ඈ කුඩා කලම සෝවාන් ඵලයට පත්වී සිටියා. ඉතින් තමන්ගේ වැදි ස්වාමියා ‘දුන්න ඇන්න වර… ඊතල ඇන්න වර…. අඩියටිය ඇන්න වර…. අර දැල ඇන්න වර…’ කියද්දි නිශ්ශබ්දව ඈ ඒවා ගෙනැත් දීලා තියෙනවා. ඒවා අරගෙන වනයට ගිහින් තමයි ඔහු දඩයම් කළේ. එතකොට සෝවාන් ඵලයට පත් වූ කෙනෙක් ප්‍රාණඝාතයට අනුබල දෙනවද?”

බුදුරජාණන් වහන්සේට මෙකරුණ සැළවුණා. උන්වහන්සේ පිළිතුරු දී වදාළා.

“පින්වත් මහණෙනි, සෝතාපන්න වූ ශ්‍රාවකයන් කිසිදාක ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඈ ඔහුගේ බිරිඳ. ඈ කොට තිබෙන්නේ තම ස්වාමියාගේ වචනය ඉටු කිරීම පමණයි. ‘මෙන්න මේ ආයුධ අරගෙන ගිහින් සතුන් මරාගෙන එන්න’ යන සිතුවිල්ල ඈ තුළ ඇතිවෙන්නෙ නැහැ. තුවාලයක් නැති අතින් වසක් විසක් ඇල්ලුවාට එය ශරීරයට ඇතුළුවන්නෙ නැහැ නෙව. අන්න ඒ වගේ තමයි. ඈ තුළ ප්‍රාණඝාත චේතනා හටගත්තෙ නැහැ. චේතනාවෙන් නෙව කර්මය හටගන්නේ….”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ලෙස මෙම ගාථාව පැවසුවා.

පාණිම්හි චේ වණෝ නාස්ස – හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්වේති – නත්ථි පාපං අකුබ්බතෝ

ඉදින් වණයක් අතෙහි නැතිනම් – විසක් අරගෙන ගියොත් එඅතින්
වණ නොමැති අත් තිබෙන කෙනෙකුගේ – ඇඟට වස විස නොයන්නේමය
එලෙසින්ම චේතනා නැතිනම් – ඔහු අතින් පව් නොවන්නේමය


පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සිදුවීම හැමෝටම හරි අද්භූත දෙයක් වුණා. ඇයි, ඉතින් එයාලා වනාන්තරයේ ජීවත් වුණේ. රස්සාවට කළේ දඩයම. අම්මා වෙලා හිටියේ සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. අන්තිමේදී පවුලේ පහළොස් දෙනාම සෝවාන් ඵලයට පත්වුණා. මොනතරම් වාසනාවක්ද!

මගඵල ලබන්න වාසනාව ලැබුණේ කොහොමද කියලයි භික්ෂූන් වහන්සේලා ඊළඟට කතා වුණේ. බුදුරජාණන් වහන්සේ එයට මේ පිළිතුරු දුන්නා.

“පින්වත් මහණෙනි, කාශ්‍යප තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් බඳින්ට සැදැහැවතුන් සූදානම් වුණා. ඔවුන් කතා වුණා මහා සෑය සඳහා ගඩොල් තනන්නේ කොහොමද කියා. හැමෝම එකඟවුණා මෙහෙම. හිරියල් මනෝසීල වලින් මැටි සකසන්න ඕන. තලතෙලෙන් අනන්න ඕන. ඒ ගඩොල් පුළුස්සා රන් ආලේප කරන්න ඕන. ගඩොලේ පිටපැත්ත තනි රනින් කළා. එක් ගඩොලක් කහවණු ලක්ෂයක් වටිනවා. මෙහි ප්‍රධානත්වය ගත්තා සිටුවරයෙක්. ධාතු නිධානයේදී කහවණු කෝටියක රන් ගෙනාවා. වෙන සිටුවරයෙක් තව කහවණු කෝටියක් ගෙනාවා. ඔවුන් අතර තරඟයක් ඇතිවුණා. පළවෙනි සිටුවරයා අටකෝටියක් දුන්නා. ඔහුට තිබෙනවා කහවණු හතළිස් කෝටියක වත්කමක්. අනිත් සිටුවරයාට එහෙම තිබුණෙ නෑ. ඔහුට තිබුණෙ කෝටි නවයයි. ඔහු මෙහෙම හිතුවා. මං මේ සියලු ධනය දුන්නොත් හිඟන්නෙක් වෙනවා. ඒ නිසා මමත්, බිරිඳත්, පුතාලා හත්දෙනාත්. ලෙහෙලියන් හත්දෙනාත් මහාසෑයේ දාසයන් වෙනවා කියලා. ඉතින් ඔවුන් දාසයන් බවට පත්වුණා. රට්ටු මෙහෙම කතා වුණා.

‘මේක නම් පුදුම දෙයක්. ධනය නම් සොයාගන්න පුළුවන්. නමුත් මේ අයුරින් දාසයො වෙන්න කවුරුත් කැමති නැහැ. මේ සිටුවරයා තමයි චෛත්‍යයට මූලික වෙන්න සුදුසු.’

රටවැසියෝ මුදල් එකතු කළා. ඒවා චෛත්‍යයට ගෙවලා මොවුන්ව දාසභාවයෙන් නිදහස් කළා. එහෙත් ඔවුන් චෛත්‍ය ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා එහිම වතාවත් කරගෙන හිටියා. මරණින් මත්තේ දෙව්ලොව ගියා. ගෞතම තථාගතයන් වහන්සේ පහළ වන තෙක් ඔවුන් සිටියේ දෙව්ලොව. මහා සෑයට දිවි පුදා කළ පින්කමේ මහිමයෙන් ඔවුන් සියල්ලන්ටම මාර්ගඵල අවබෝධ කිරීමේ භාග්‍යය උදාවුණා.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අවංකව පින්දහම් කරන කෙනාට වරදින්නේ නැහැ. ඒක තමයි මේ කථාවෙන් ගන්න තියෙන පාඩම.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ