මොණරාගේ නැටුම ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාර පුරුදු ඉස්මතු වෙන්නේ කොයි අවස්ථාවේද කියලා අපට කියන්ට බෑ. කව්රුවත් බලාපොරොත්තු නැති වෙලාවක කෙනෙකු ගේ සසර පුරුදු ඉස්මතු වෙන්ට පුළුවනි. නච්ච ජාතකය එබඳු කථාවක්.

සැවැත්නුවර ජේතවනයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දවස්වල බොහෝ සිවුරු පිරිකර රැස්කළ භික්ෂුවක් සිටියා. තමන්ගේ අවශ්‍යතාවයට වඩා සිවුරු රාශියක් එකතු කරගෙන සිටීම හොඳ නැති නිසා භික්ෂූන් වහන්සේලා කරුණු කිව්වා. නමුත් මේ බහුභාණ්ඩික භික්ෂුව ඒ කාගෙවත් කීම ඇහුවේ නෑ. එතකොට භික්ෂූන් වහන්සේලා මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව කැඳෙව්වා.

“හැබෑද භික්ෂුව, බොහෝ සිවුරු පිරිකර රැස් කරගෙන බහුභාණ්ඩිකව ඉන්නවා කියන්නේ?”

“එහෙමයි ස්වාමීනී”

“තමන්ගේ අවශ්‍යතාවයට වඩා බොහෝ සිවුරු පිරිකර රැස්කරන්ට හේතුව මොකක්ද?”

එච්චරයි අහන්ට ලැබුනේ. ඒ මහලු භික්ෂුවට හොඳටම කේන්ති ගියා.

“හහ්… එහෙනම්…. මට මෙහෙමද ඉන්ට කියන්නේ?” කියලා සිවුරත් අඳනෙත් භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහම කඩලා දැම්මා. නිරුවත්ව සිටගත්තා. එතන වාඩි වී සිටි සැදැහැවත් ජනතාව චී චී කියලා අත්වලින් මුහුණ වසාගත්තා. ඔහු නිරුවතින් ම වේගයෙන් පිටත් වෙලා ගියා. ගිහි බවට පත්වුනා. උතුම් බුදු සසුනක පැවිදි බව ලැබුවත් තමන්ගේ මාන්නය නිසා කරගත් විපත ගැන දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් කතාබස් කරමින් සිටියා.

“හප්පේ ඇවැත්නි… හරි පුදුමයි නොවැ. කිසිම ලැජ්ජාවක් භයක් නැති හැටි. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ම තමන්ගේ අඳන සිවුරු උනා දැම්මා නොවැ. එතැන සිව්වණක් පිරිස සිටියා කියලා කිසිම වගක් නෑ….. හප්පේ…. අපේ ඇඟ හිරිවැටිලා ගියා. මිනිස්සුන්ට මෙහෙමත් කරන්ට පුළුවන් නොවැ”

එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කොට “පින්වත් මහණෙනි, ඔබ කුමක් ගැනද කතා කරමින් සිටියේ?” කියලා අසා වදාළා.

“අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අර සිවුරු කඩා දාලා නිරුවතින් ම මෙහෙන් ගිහින් ආයෙමත් ගිහි ජීවිතයට බැසගත්තු කෙනා ගැනයි අපි කතා කරමින් සිටියේ”

“මහණෙනි, ඒ භික්ෂුවට තිබුනේ සසර පුරුද්දක්. මේ ආත්මේ විතරක් වැරදුන දෙයක් නොවේ. ඔය විදිහට ම කරන්ට ගිහින් පෙර ආත්මෙත් බොහෝ ගැරහුම් ලැබුවා”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අතීත විස්තරය කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ නච්ච ජාතකය ජාතකය වදාළා. නච්ච කියන්නෙ නැටීම කියන එකයි.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඈත අතීතේ මුල්ම කල්පයේ සිව්පාවෝ සිංහයාව තමන් ගේ රජා බවට පත් කරගත්තා. මත්ස්‍යයෝ ආනන්ද මත්ස්‍යයාව තමන්ගේ රජා බවට පත් කරගත්තා. කුරුල්ලෝ ස්වර්ණ හංසයාව තමන්ගේ රජා බවට පත් කරගත්තා.

ඒ ස්වර්ණහංසරාජයාට ඉතාම ලස්සන රූපශෝභා ඇති දියණියක වන හංස පැටවියක් සිටියා. හංසරාජයා සිය දියණියට වරයක් දුන්නා. ඒ නිසා ඇයට තමා කැමති ස්වාමියෙකු තෝරාගන්ට අවස්ථාව ලැබුනා. තමන්ගේ දියණියගේ ස්වයංවර මංගල්‍යයට සියලු පක්ෂීන්ට ආරාධනා ලැබුනා. හංසයෝ, මොණරු ආදී නානාප්‍රකාර පක්ෂීන් ඇවිත් එක්තරා මහා ගල්තලාවකට රැස්වුනා.

“දියණියේ…. ඕන්න සියලු පක්ෂීන් ඇවිත් ඉන්නවා. දැන් ඔයා කැමති ඕනෑම කෙනෙකුව තම සැමියා ලෙස තෝරාගන්ට අවස්ථාව තියෙනවා.

ඉතින් ඈ ගල්තලාවේ එහාට මෙහාට ලස්සනට ඇවිද ඇවිද පැමිණ සිටින කුරුල්ලන්ගේ හැඩවැඩ බැලුවා. එතකොට නිල් මැණික් වගේ දිලිසෙන බෙල්ලක් ඇති ඉතාම දිගු සුන්දර පිල්කළඹක් ඇති මොණරෙකු දකින්ට ලැබුනා. ඇය ගිහින් හංසරාජයාට මෙහෙම කිව්වා.

“පියාණෙනි…. අර… අර… ලස්සන මොණරාට මං කැමතියි” කියලා. හංසරාජයා එයට සතුටු වුනා. එතකොට පක්ෂිසමූහයා මොණරාව වටකරගත්තා.

“සගය…. හරිම අපූරුයි…. හංසරාජදියණිය මෙපමණ පක්ෂීන් සමූහයක් අතරින් තමන් ආසාම කරන ස්වාමියා හැටියට ඔබව තෝරා ගත්තා නොවැ. මෙන්න අපෙන් සුභ පැතුම්…!”

එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා.

“චී…. මේකාට තමන්ගේ සඟවා ගත යුතු තැන් පෙන්නන්ට කිසිම ලැජ්ජාවක් නෑ. බාහිර ජනයා මොකක් හිතාවිද කියලා කිසිම භයකුත් නෑ. මේකට කව්ද හිරතල දෙන්නේ…. මේකාට දෙන්ට මෙහේ කෙල්ලෝ නෑ….” කියලා පක්ෂි සමූහයා මැද්දේ මේ ගාථාව කිව්වා.

නාද කිරීමෙන් මියුරු තමයි
පිට පෙනුමත් පැහැයෙන් යුක්තයි
විදුරු මිණක් බඳු දිලෙන ගෙලයි
බඹයක් පමණැති පිල් කළඹයි
කිසි ලැජ්ජාවක් නැතිව නටයි
තොපට දෙන්ට මෙහි දුවක නැතේ….”

එතකොට සියලු පක්ෂීන් මොණරාට අපහාස කරන්ට පටන් ගත්තා. උසුළු විසුළු කරන්ට පටන් ගත්තා. මොණරා ඉක්මණින් ම පිල් කළඹ හකුලා ගත්තා. ඈතට ඉගිල ගියා. හංසරාජයා ඒ පිරිස මැද සිටි තමන්ගේ නැගණියගේ පුත්‍රයෙකු වන හංසයෙකුට සිය දියණිය දුන්නා.

මහණෙනි…. දැන් පමණක් නොවෙයි. පෙර ආත්මෙත් තමන්ට ලැබෙන්න තිබුන දේ අහිමි වුනා. මේ ආත්මේ උතුම් බුදු සසුන ම අහිමි වුනා. එදා මොණරා වෙලා සිටියේ බහුභාණ්ඩිකව සිටි භික්ෂුවයි. හංසරාජයා වෙලා සිටියේ මම යි” කියා මේ නච්ච ජාතකය ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

 තවත් මෙවැනි ලස්සන ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>