“මරණෙන් සැඟවෙන තැනක් ලොවේ කිසිදා හමු නොවේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් හරිම සංවේගජනකයි. අපි හිතාගෙන ඉන්නේ පවුලේ සියලු දෙනාම ධර්මයට ගන්නයි. හැමෝම හොඳින් ඉන්නවා දකින්නයි. නමුත් එහෙම වෙන්නෙ නැහැ. එකම පවුලේ වුණත් වෙනස් වෙනස් ඉරණමකට වෙන් වෙලා යනවා. දැන් මේ කියැවෙන්නෙත් යසෝදරාවගේ පවුල ගැනයි.

ඇගේ වැඩිමහලු සහෝදරයා වන දේවදත්ත බුදුරජුන්ගේ වෛරක්කාරයා වුණා. ඇගේ පියත් බුදුරජුන්ට වෛර බැන්දා. ‘අපේ පවුල නැති කළා’ කියමින් සුප්‍රබුද්ධ රජතුමා හරියට අපහාස කළා. ‘මගේ දියණිය කණවැන්දුම් කළා. මගේ පුතාව පැවිදි කළා. වෛරක්කාරයෙකුගේ තැනයි ලැබුණේ. මේ කළ විනාශයට මං නිකං ඉන්නෙ නෑ’ කියමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා.

දිනක් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ හිඳ දානය පිණිස සුප්‍රබුද්ධ රජුගේ මාළිගය ඉදිරියෙන් වඩින්නට අවස්ථාව සැළසුණා. මෙය ඔහුට සැළවුණා. ඔහු වහසිබස් දොඩන්නට පටන් ගත්තා.

“ඒවා මෙහෙ බෑ…! මේ මාළිගය ඉස්සරහින් වත් මං ඔය පුද්ගලයාට යන්න දෙන්නෙ නෑ. වෙන පාරකින් එක්කන් පල… මේ පාරෙන් උන්දැට බෑ” කියා මත්පැන් බිබී පාරෙ හරහට ඇවිදිමින් හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ මාවතේ වඩිනවා. මොහු පාර හරහට නිදාගත්තා. ‘මේ පැත්තෙන් එන්න එපා’ කියලා කෑ ගහලා කිව්වා. එවිට බුදුරජාණන් වහන්සේ නැවතුණා. ‘ඔහු මොනවාද කතා කරන්නේ කියලා අහගෙන වරෙන්’ කියලා සුප්‍රබුද්ධ තෙමේ චරපුරුෂයෙකු පිටත් කළා.

බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා.

“ආනන්ද, මාවත අවුරාගත් සුප්‍රබුද්ධයන් ඔබට පෙනෙනවාද?”

“එසේය ස්වාමීනී”

“ආනන්ද, තථාගතයන් වහන්සේ නමකගේ ගමන් මාර්ගය ද්වේෂ සහගතව අවුරා සිටීම ඉතාම බරපතල අකුසලයක්. තව දින හතකින් මොහුට මෙය විපාක දෙනවා. මොහු තම මාළිගයෙහි පඩිපෙල අභියසදී පොළොවෙහි ගිලී මැරෙනවා. එය සිදුවන්නේ කර්ම විපාකයක් ලෙස මිසක් වෙන කිසිවක් නිසා නොවෙයි.”

චරපුරුෂයන්ගෙන් මෙය අසන්නට ලැබුණා.

“හරි! මං ගෞතමයන්ට පාඩම උගන්වන්නේ මේ වතාවේ. හත් දවසෙන් මේ කාරණය සිදුනොවුණොත් ඔහුගේ බොරු අනාවැකිවල හැබෑ ස්වභාවය ලෝකයටම මං හෙළිකරනවා.”

ඉතින් මේ අඥාන සුප්‍රබුද්ධ තෙමේ උඩුමහල් තලයට නැග්ගා. නැගලා මහල් හතේම දොරටුවල මුරකාරයෝ තිබ්බෙව්වා. ‘මං බැරිවෙලාවත් පහළට බහින්න ආවොත් මට පහළට බහින්න දෙන්න එපා!’ කියලා නීතියක් දැම්මා.
සත්වෙනි දිනයෙහි සුප්‍රබුද්ධ රජුගේ මංගල අශ්වයා කිපුණා. කැළඹුණා. පිරිසට හිංසා කරන්නට පටන් ගත්තා. බිත්තිවලට ගහන්නට පටන් ගත්තා. මහා හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. මිනිසුන් ද කලබල වුණා. පහළ මහා ඝෝෂාවක් ඇසුණා. උඩුමහලේ සිටි සුප්‍රබුද්ධට මෙය ඇසුණා. ඔහුට පමණයි මේ අශ්වයා අවනත වන්නේ. ඔහුට සියල්ල අමතක වුණා. ඔහු වේගයෙන් පහළට බැස්සා. ඒ බසිද්දි මුරකාරයන් කළේ නැවැත්වීම වෙනුවට පහළට ඇද දැමීමයි. පහළ මාළයේ පඩිපෙල පාමුලට පැමිණ පොළොවට පා තබද්දීම පොළොව පුපුරා ඔහු යටට ගිලුණා. නිරයේ උපන්නා.

මෙකරුණ අරභයා භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ – න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ – යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු

අහසේ සිටියත් බැහැ බේරෙන්නට – මහ සයුරේ මැද බැහැ බේරෙන්නට
කඳු මැද සිටියත් බැහැ බේරෙන්නට – සැඟවී ගොස් යම් තැනක මෙසේ
මරණින් මිදුමට බැලුවත් කිසි සේ – එබඳු තැනක් ලොව නැත්තේමයි


පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවෙන් කියවෙන්නේ තමන්ගේ ඉරණම තමන් හදාගන්නා ආකාරයයි. විශේෂයෙන්ම බුද්ධිමත් නොවීම මෙම බොහෝ අවාසනාවන්ත සිදුවීම්වලට මුලයි. දුර දිග නොබලා තීරණ ගැනීම, අනුන්ට ගැරහීම, අපහාස කිරීම, තමාගේ පැත්තෙන් පමණක් කල්පනා කිරීම සහ පටු සිතක් ඇති කරගැනීම මේ සියලු අනතුරුවලට මුලයි. මේ නිසා අප බුද්ධිමත්ව කටයුතු කරන්නට ඉගෙන ගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ