“අවසාන මොහොතෙදී හෝ භාග්‍යවතුන් වහන්සේ මුණගැසීම වාසනාවක්මයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය තමන්ගේ ශ්‍රද්ධාව නිසා පින්කම් කරන්න ගිහින් පටලවා ගන්නවා. ඒකට හේතුව වැඩිදුර කල්පනා නොකිරීමයි. ඒ අයුරින් පින් කරන්න ගිහින් එක්තරා භික්ෂුණියක් කලන්තෙ හැදිලා වැටුණා.

සැවැත් නුවර එක්තරා භික්ෂුණියක් හිටියා. ඇගේ නම උත්තරා. ඈ දිනක් පිණ්ඩපාතේ වැඩියා. ඈට දානෙ ලැබුණා. ඒ දානය රැගෙන එද්දී තමන් ඉදිරියට තව භික්ෂූන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිමින් සිටියා.

“අනේ ස්වාමීනී, මට නම් දානෙ ලැබුණා. මං මේ පිණ්ඩපාත දානය ඔබවහන්සේට පූජා කරන්නද?”

මේ භික්ෂුණියගේ සැදැහැ සිත නිසා ඒ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්තා. භික්ෂුණියත් සම්පූර්ණ දානයම පූජා කළා. එදා නිරාහාරව සිටියා. දෙවෙනි දවසේත් පිණ්ඩපාතේ වැඩියා. එදත් අර භික්ෂූන් වහන්සේ මුණ ගැසුණා.

භික්ෂුණිය කලින් දවසෙ වගේම සම්පූර්ණ දානය පූජා කළා. නිරාහාරව හිටියා. තුන්වෙනි දවසෙත් ඒ වීදියේ වඩිද්දි අර භික්ෂූන් වහන්සේ මුණගැසුණා. එදත් මුළු දානයම පූජා කළා. කුසගින්නේ සිටියා.

සතර වෙනි දිනයේදී ඇය හිමින් හිමින් පිණ්ඩපාතේ වඩිනවා. දැන් ඇයගේ ඇඟට පණ නෑ. එදා තමන්ට මුණ ගැසෙන්නේ අර භික්ෂුව නෙවෙයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඈ භාග්‍යවතුන් වහන්සේට පාරේ ඉඩ සළසන්නට අයින් වුණා. තමන් ගේම සිවුරුපොට තමන්ට පෑගුණා. ඇඟට පණ නැති නිසා එහෙම්මම ඇද වැටුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය අසලට වැඩියා.

“පින්වත් භික්ෂුණිය, ඔබට ජීවත්වෙන්න තියෙන්නේ තව සුළු කාලයයි. එනිසා මේ ජීවිතයම තේරුම් ගන්න” කියලා මෙම ගාථාරත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා.

පරිජිණ්ණමිදං රූපං – රෝගනිඞ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ – මරණන්තං හි ජීවිතං

දැන් ඉතින් මේ සිරුර – දිරා ඇත බලවත් ලෙස
රෝ දුක් උපදවා දෙන – පවතී කූඩුවක් ලෙස
මොහොතකින් වැනසෙන – දොරටු නවයෙන් අසුචි වැගිරෙන
මේ ජීවිතය මරණයෙන් – බිඳී නැතිවී යන්නේ


පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දුර්වල අවස්ථාවේ භික්ෂුණියට සුළු මොහොතයි තිබුණේ. ආහාරපාන දීලා සාත්තු සප්පායම් කරන්න වෙලාවක් නැහැ. මේ කාරණය දැනගෙනමයි භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩියේ. උන්වහන්සේ වැඩමවීම සාර්ථක වුණා. ඇය සෝවාන් ඵලයට පත්වුණා. අවසන් මොහොතෙදි හෝ කෙනෙකුට සෝවාන් වෙන්න ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ