“අවවාදය පිළිගැනීම මොනතරම් උතුම්ද”
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඕනම වැඩක් කළ යුත්තේ එක්තරා ප්රමාණයකටයි. සමහර දරුවන් කොම්පියුටර් ක්‍රීඩාවන්ට පෙළඹෙනවා. තමන්ගේ පාසැල් කටයුතු පවා අතපසු කරනවා. තව සමහර අය අතුගාන්න පෙළඹෙනවා. දවසම අතුගගා ඉන්නවා. තව සමහරු දවසම ගෙවල් දොරවල් පිරිසිදු කරනවා. ඒ විතරක් නෙවෙයි. ඒවා නොකරන අයටත් බනිනවා. කේන්තියෙන් තමයි වැඩ කරන්නේ.අප්‍රමාදය ගැන හිතන්නෙ නැ.ඒ වගේ වැඩ වැඩි කරගෙන කේන්තියෙන් හිටපු භික්ෂුවක් ගැනයි මේ කථාවේ තියෙන්නේ.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච එක්තරා භික්ෂුවක් මිදුල අමදින්න පුරුදු වුණා. උන්වහන්සේට වෙන වැඩකට වෙලාවක් නෑ. පාන්දරින් නැගිටලත් මිදුල අමදිනවා. සවසටත් මිදුල අමදිනවා. පැය ගණන් මිදුල අමදිනවා. අනිත් ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා දුටු විටත් උන්වහන්සේට රුස්සන්නේ නැහැ. වත්පිළිවෙත් කරන්නේ නැතුව කුසීතව මගහරිනවා කියලයි හිතන්නේ. මිදුල් කිලුටු වීම ගැන උන්වහන්සේ හරි වේදනාවෙන් හිටියේ.
දිනක් මේ භික්ෂුව ඉදලත් අරගෙන සංඝයා දිවාවිහරණය කරන තැනට ගියා. එතන ආයුෂ්මත් රේවත මහරහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩසිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව මේ භික්ෂුව දන්නෙ නෑ. තමන් අමදින්න පටන් ගත්තා. රේවතයන් වහන්සේ එය ගණන් නොගෙන භාවනාවෙන් කල් ගෙව්වා. එතකොට අර භික්ෂුව රේවත තෙරුන් වහන්සේ ළඟට පැමිණුනා.
“හහ්! … මහා කම්මැලියෙක් නෙව. සැදැහැවතුන් මහත් ශ්‍රද්ධාවෙන් පූජා කොරපු දන් වළඳලා වාඩි වී ඉන්න හැටි යසයි. ඉදලක් අරගෙන ඔය තැනක් ඇමදපුවාම මක් වෙනවද?”
රේවත තෙරුන් වහන්සේට මේ භික්ෂුව ගැන හරි අනුකම්පාවක් ඇතිවුණා. ඉතා කරුණාවෙන් ඇමතුවා.
“ප්‍රිය ආයුෂ්මත, මෙහෙ වඩින්න.”
“ඇයි ස්වාමීනී”
“දැන් පොකුණට ගිහින් ඔය දූවිලි යන්නත් එක්ක පැන්පහසු වෙලා වඩින්නකො.”
එතකොට ඒ භික්ෂුව ඉදල ගෙනිහින් පසෙකින් තිබ්බා. පොකුණට ගිහින් පැන් පහසු වුණා. නැවත තෙරුන් වහන්සේ ළඟට පැමිණුනා.
“හරි. ප්‍රිය ආයුෂ්මත. දැන් ඔහොම වාඩිවෙන්න. මේ කියන දේ හොඳට අහගන්න.
භික්ෂුවක් වුණාම හැම වෙලාවෙම මිදුල අතුගාමින් සිටින්න වටින්නෙ නෑ. උදේම නැගිටලා මිදුල අමදින්න ඕන. ඊට පස්සේ පිණ්ඩපාතයේ වඩින්න ඕන. ඊට පස්සේ දවල් කාලෙ හෝ රාත්‍රී කාලයේ හෝ ගත කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙන් කරපු තැනකට යන්න ඕන. ගිහින් වාඩිවෙන්න ඕන. ඊටපස්සේ දෙතිස් කුණප භාවනාව සජ්ඣායනා කරන්න ඕන. ඊටපස්සේ ස්කන්ධ, ධාතු, ආයතනවල අනිත්‍ය මෙනෙහි කරන්න ඕන. හවස් වුණාම නැගිටලා මිදුල ටිකක් ඇමදුවාට කමක් නෑ. මුළු ජීවිත කාලෙම ඇමදීම නොකොට තමන් උදෙසා ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ගන්නේ නැද්ද?”
අර භික්ෂුව මේ අවවාදය හිස් මුදුනින් පිළිගත්තා. තමන්ට සිහි නුවණ උපදවා දීම ගැන රේවතයන් වහන්සේට බොහෝ පින් දුන්නා. ඒ උපදේශය අනුවම කටයුතු කළා. ඉතා සුළු කලෙකින් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
වෙනදා වගේ අතුපතුගාලා නැති නිසා තැන් තැන්වල කුණුරොඩු වැටිලා තිබුණා. එතකොට භික්ෂූන් වහන්සේලා අර භික්ෂුව ඇමතුවා.
“කෝ අපේ මිදුල් අමදින ස්ථවිරයන් වහන්සේ? මොකෝ මේ තැනින් තැන කුණු රොඩු තියෙන්නේ? ඇයි ඉස්සර වගේ අමදින්නේ නැද්ද?”
“අනේ ස්වාමීනී, ඉස්සර මං ප්‍රමාද වුණා නෙව. අතුගගා හිටියේ ඒකයි. දැන් නම් එහෙම නෑ. දැන් අප්රමාදීවයි වාසය කරන්නේ.”
එතකොට අර භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් මෙකරුණ සැළකළා.
“ඒක ඇත්ත පින්වත් මහණෙනි, මගේ පුතණුවන් ප්‍රමාදයෙන් කාලය ගෙවූ අවදියේ තමයි මිදුල් අතුගගා හිටියේ. දැන් එහෙම කල් ගෙවන්නේ මොකටද? අමා නිවන් සුව විඳිමින් ඉන්න පුළුවන් නෙව.”
මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අති මිහිරි සරින් මෙම ගාථා රත්නය වදාළා.
යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමායමෙක් පමා වී සිටිමින් – වැඩ බහුලව සිටිය නමුත්
නොපමාවේ අනුසස් දැන – පසුව නිවන් මග යයි නම්
වළාකුලින් මිදුණු සඳක් – අහසෙහි බබලන විලසින්
අවිදු අඳුරු ඇති මෙලොවේ – නුවණින් හේ බබලන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙතන ඇති වැදගත්ම කරුණ මේකයි. අර භික්ෂූන් වහන්සේ කලින් ඇමදීම ගැන ආඩම්බරයෙන් හිටියා. තමා වැඩ කරනවා වගේම අන් අයත් වැඩ කළ යුතුයි කියලා හිතුවා. අනිත් අය කෙරෙහි ගැටෙමින් හිටියා. නමුත් වැඩිහිටි උතුමන් වහන්සේලා අවවාද කරද්දී තමන්ගේ මාන්නය වීසි කළා. පුරුදු කළ වැඩකටයුතු නැවැත්තුවා. ඉතා ගෞරවයෙන් අවවාදය පිළිගත්තා. ඒ අවවාදයේ හික්මුණා.අප්‍රමාදය තුල පිහිටා පහසුවෙන්ම නිකෙලෙස් වුණා. නිවන් සුව විඳිමින් සිටින උතුම් රහතන් වහන්සේ නමක් වුණා. ඒ සියලු වාසනාව උදාවුණේ ඒ භික්ෂුව තුළ තිබූ උදාර ගුණ සම්පත් නිසයි. අපිත් එවැනි ගුණවන්තයින් වීමට මහන්සි ගනිමු. අප්‍රමාදය ඇති කර ගනීමට මහන්සි ගනිමු.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ