බුදුවරුන්ගේ ඔවදන්…

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ අතීතයෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේලා සත් නමක් ගැන නොයෙක් විස්තර කියා දීලා තියෙනවා. දිනක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මහා පින් ඇති ආනන්ද තෙරුන් වහන්සේ භාවනා කරමින් සිටිද්දී මෙවැනි අදහසක් ඇතිවුණා.

‘විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම ආදී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන අපට කියලා දුන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ මව්පියන් ගැන, උන්වහන්සේලාගේ ආයුෂ ගැන, උන්වහන්සේලා සෙවණ ලැබූ බෝධීන් වහන්සේලා ගැන, ශ්‍රාවක සන්නිපාතයන් ගැන, අග්‍රශ්‍රාවකයින් ගැන, උපස්ථායක ශ්‍රාවකයින් ගැන අපට විස්තර අහන්නට ලැබුණා. නමුත් උන්වහන්සේලාගේ උපෝසථය ගැන වදාළේ නැහැ නෙව. ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ උපෝසථයත් මේ උපෝසථය වගේමද? වෙනත් ක්‍රමයක්වත්ද?’ කියලා හිතුණා.

ඉතින් අපගේ ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ගියා. ගිහින් මේ ප්‍රශ්නය ඇහුවා.

“යම් යම් කරුණුවලින් ඒ අතීත බුදුවරයන් වහන්සේලාගේ කාලයෙහි වෙනසක් නම් තිබුණා තමයි. නමුත් කථාවේ වෙනසක් නැහැ.

විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සය වසරකට වරක් තමයි උපෝසථය කළේ. එක් දවසකදී වදාරණ ලද අවවාදය හය වසරකට සෑහෙනවා. සිඛී, වෙස්සභූ යන බුදුරජාණන් වහන්සේලාගේ යුගයේත් හය වසරකට වරක් තමයි උපෝසථය කළේ. කකුසඳ, කෝණාගමන යන බුදුවරයන් වහන්සේලාගේ යුගයේ උපෝසථය කළේ අවුරුද්දකට එක වතාවයි. කාශ්‍යප දසබලයන් වහන්සේගේ කාලයේදී හය මාසයකට වතාවක් උපෝසථය කෙරුණා. එක් දවසකදී වදාරණ ලද අවවාදය හය මාසයකට සෑහෙනවා. මේ නිසා උන්වහන්සේලාගේ උපෝසථ පිළිබඳ කාලයේ නම් වෙනස්කම් තිබුණා. නමුත් අවවාද කථාවේ නම් වෙනසක් නෑ. ඒ සියලු බුදුවරයන් වහන්සේලා උපෝසථය කිරීම පිණිස වදාරන්නේ මේ ගාථාවන්ය”

සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං

සියලු පව් නොකිරීම ද – කුසල් නිති රැස් කෙරුම ද
සිත පිරිසිදු කිරීම ද – මෙයයි ඔවදන බුදුවරුන්ගේ

ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

පරම තපස ලෙස කිව යුතු වන්නේ – සමණුන්ගේ ඇති ඉවසීමයි
පරම වදන බුදුවරු පවසන්නේ – උතුම් අමා මහ නිවන ලෙසයි
පැවිදි කෙනා සිහි නුවණින් හැමවිට – සතුන් මැරීමෙන් වැළකී සිටී
අන් අය වෙහෙසට පත්කරවන්නා – කිසිවිටෙකත් ශ්‍රමණයෙකු නොවෙයි

අනූපවාදෝ අනූපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං

ගැරහුම් නොකොට අනුනට – හිංසා නොකොට අනුනට
සුරකින උතුම් සිල්පද – ඉඳුරන් ද සංවර කොට
නුවණින් යුතුව වළඳන – හුදෙකලාවෙහි නිවසන
නිතර වීරිය වඩමින – පවත්වයි සමාහිත සිත
මෙයයි බුදුවරයන්ගෙ ඔවදන

පින්වතුනේ, පින්වත් දරුවනේ, සෑම බුදුවරයන් වහන්සේ නමකගේම ජීවමාන යුගය ඉතා අසිරිමත්. ලෝකයෙහි මිනිසුන් වේවා, දෙවියන් වේවා, අකුසලයෙන් වැළකුණා නම්, කුසල් වැඩුවා නම්, රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් බැහැර කොට චිත්ත සන්තානය පවිත්‍ර කරගත්තා නම් ඒ වෙනස ඇතිවුණේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ යුගයකදී පමණයි. බුදුරජාණන් වහන්සේලාගේ අවවාද ඒකාන්තයෙන්ම ලොවට සැප සළසනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ