6.1. ධාතු මනසිකාර භාවනාව වඩන හැටි
ආනාපානසතිය පුරුදු කරන්න අපහසු නම්… ආනාපානසති භාවනාව වගේ එකක් ප්‍රගුණ වෙන්නෙ නැති කෙනෙකුට ධාතු මනසිකාරය හොඳ භාවනාවක්. ඒ වගේම අසුභ භාවනාවත් හොඳයි. මෛත්‍රී භාවනාව වගේ ඒවා ඔබ කොහොමත් පුරුදු කරල තිබිය යුතුයි. දවසක් පුංචි රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ”රාහුලය, ආනාපානසති භාවනාව වඩන්න” කියල. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දන්නෙ නෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආනාපානසතිය වඩන්නෙ කොහොමද?” කියල. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය කියන්නෙ මේකටයි… ධාතුමනසිකාරය කියල කියන්නේ ජීවිතය බොහොම වේගයෙන් අවබෝධයක් කරා ගෙනියන භාවනාවක්. ‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට. ධාතු මනසිකාරය කියල කියන්නේ, ‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් පිළිබඳව නුවණින් විමසීම. පඨවි ධාතුව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ පොළොව වගේ වඩන්න කියල. පොළොව හා සමකොට පඨවි ධාතුව දකින්න කිව්වා. එතකොට අපි තේරුම් ගන්න ඕනෙ මේ බාහිර ලෝකයේ තියෙන ධාතු කොටස් බැලීම නෙවෙයි මේ කියන්නේ, ශරීරය ගැන බලන්න කියල. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, ආපෝ ධාතුව ජලය හා සමාන කරල දකින්න කියලා. තේජෝ ධාතුව දකින්න කිව්ව ගින්දර හා සමාන කරලා. වායෝ ධාතුව දකින්න කිව්ව සුළඟ හා සමාන කරල. මේ සෑම දේකින්ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ජීවිතාවබෝධයක් ලබාදීම මිසක් ඔබව රැවටීම හෝ ඔබව තාවකාලික සුන්දරත්වයක් තුළ මංමුලා කිරීම හෝ නොවෙයි. ජීවිතය අවබෝධය කරා රැගෙන යාම ම යි. හරකද? මස්ද? මේ නිසා ධාතුමනසිකාරයේදී බුදුරජාණන් වහන්සේ වදාළා උපමාවකුත්. ඔන්න හරක් මරණ මනුස්සයෙක් ඉන්නවා. මේ හරක් මරණ මනුස්සයා හරකෙක් මරල, මේ හරකාගේ මස් ටික වෙන් කරල, හතරමං හන්දියක විකුණන්න තියාගෙන ඉන්නවා. එතකොට ඒ හරක් මස් විකුණන පුද්ගලයා තුළ හරකා විකුණනවා කියන අදහසක් නෑ. එතකොට මස් ගන්න මිනිස්සු යනවා. ඒ මිනිස්සු තුළ නෑ, හරකා ගන්නවා කියන අදහසක්. එතකොට හරකා කියන සම්මුතිය ඉක්මවා ගිහිල්ල, වෙන ව්‍යවහාරයකට ඇවිල්ල මස් කියල. මෙන්න මේ වගේ කියනවා ධාතු මනසිකාරය වඩන්නට ඕන. ඒකට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර ගැන තේරෙන විදිහකට තේරුම් ගන්න ඕන. පොළොවට පස් වෙලා යන දේ… පස් වෙලා යන කොටස් මේවා. දිය වෙලා යන කොටස් මේවා. උණුසුම් කොටස් මේවා. ඒ වගේම හුළෙඟ් හමාගෙන යන කොටස් මේවා කියල වෙන් වෙන් වශයෙන් බලන්න කිව්වා. එතකොට ඔබ මෙන්න මේ විදිහටයි මේක බලන්නෙ. බුදුරජාණන් වහන්සේ වදාළා ඔන්න තැන්පත් වෙලා, හුදෙකලා වෙලා, ඔන්න පස්වෙලා යන කොටස් ටික වෙන් කරගන්නවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව. මොනවද මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව? මොනවද පස්වෙලා යන දේ? ලස්සනට තිබුණු කොණ්ඩෙට මොකද වුණේ… බුදුරජාණන් වහන්සේ වදාළා කෙස් පස් වෙලා යන දෙයක්. දැන් ඔබට පුළුවන් කෙස් දිහා හොඳට සිහිය පිහිටුවාගෙන බලන්න. මේ කෙස්වල අවසාන දේ පස්වෙලා යනවා. දැන් ඔබ මොහොතක් හිතන්න, දැන් ඔබට කොණ්ඩෙ තියෙනවා. දැන් ඔබ කොණ්ඩෙ කපනවා. මේ කපපු කොණ්ඩෙ දැන් කෝ? මේ වෙන කොට පස්වෙලා ගිහිල්ල. ඔබ ජීවත් වෙලා ඉන්දැද්දිම ඔබේ ජීවිතයේ කොටසක් පස් වෙලා යනවා. අන්න කෙස් බලන්න කිව්ව පස් වෙලා යන දෙයක් හැටියට. ඊළඟට නියපොතු පස් වෙලා යන දෙයක් විදිහට බලන්න කිව්ව. දැන් ඔබ නියපොතු කපල තියෙනවා. කැපුව නියපොතු කෝ? දැන් ඒව මහපොළොවට එකතු වෙලා ඉවරයි. අන්න නියපොතු බලන්න කිව්ව පස් වෙලා යන දෙයක් විදිහට. මුතු ඇට වන් දත් දෙපළක්…. ඊළඟට දත්. සමහර විට මේක කියවන ඔබේ කටේ එක දතක් වත් නැතිවෙන්න ඇති. ඒ දත් ඔක්කොම සමහර විට මේ වෙන කොටත් පස් වෙලා ගිහිල්ල ඇති. අන්න දත් පස්වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්ව. කෙස්, ලොම්, නියපොතු, දත් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. සම පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. මස්, මස් පිඬු පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. නහර වැල් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. ඇට පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් හැටියට බලන්න කිව්වා. මේ ඇට ඇතුලෙ තියෙනවා ඇට මිදුළු කියල දෙයක්. මස් ජාතියක්. අන්න ඒක පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. ඒ වගේම වකුගඩු පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. හෘද මාංසය පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පෙණහලූ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම කුඩා බඩවැල පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අක්මාව පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. මහ බඩවැල පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අසූචි පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අන්න ඒවාට කියනවා පඨවි ධාතුව. ධාතු මනසිකාරය වඩන්නේ ජීවිතාවබෝධයටමයි… එතකොට බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාරය වඩන්න කියල වදාළේ, මේ මහපොළොවේ, වෙනත් ලෝකවල තොරතුරු හොයන්න නෙවෙයි. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා කායිකවත්, මානසිකවත්. මේ කායිකව, මානසිකව දුක් විඳින්නෙ අපි සැප පත පතා. සැප හොය හොයා. සැපම පරීක්ෂා කර කර. නමුත් දුකමයි විඳින්නෙ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සදාකාලික සැපක් ඕන නම්, දුකෙන් නිදහස් වෙන්නට ඕන නම් දුක හැදිච්ච තැන බලන්න කියල. අන්න ඒක තමයි මේ ධාතු මනසිකාරයෙන් කරන්නෙ. ගුණධර්ම දියුණු වෙනවා… මෙන්න මේ විදිහට පස් වෙලා යන දේවල් දිහා බලන කොට ඔබේ ජීවිතය ගැන ඔබට මනුෂ්‍ය ධර්ම දියුණු වෙනවා. දැන් ඔබ දන්නව මීට කලින් රජවරු හිටියා. සිටුවරු හිටියා. රජකම ගන්න මිනිස්සු මැරුවා. පාලනය කරන්න මිනිස්සු මැරුවා. නොයෙක් හානි කරන්න මිනිස්සු මැරුවා. නමුත් සියලූ දෙනා පස් වෙලා ගියා. අන්න එතකොට අපට පේනවා මේ ලෝකය බදාගෙන ඉන්න දෙයක් නෙවෙයි. අපට තියෙන්නෙ පස් වෙලා යන දේවල්. මේ අවබෝධයට එන කෙනා නිදහස් සිතකින්, ලෝභ නැති සිතකින්, කරුණාවන්ත සිතකින්, මෛත්‍රී සහගත සිතකින් ජීවත් වෙනවා. අන්න එයා ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. පළිගන්න යන්නෙ නෑ. එකට එක කරන්න යන්නෙ නෑ. මොකද එයා දන්නවා මේ ජීවිතය තුළ තියෙන්නෙ පස් වෙලා යන දේවල් කියල. දැන් බලන්න මේ ධාතු මනසිකාරය අපේ ජීවිතවලට කොයිතරම් වටිනවද අපි මේක පුරුදු කරගත්තොත්. මෙන්න දිය වෙලා යන දේ… ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා දිය වෙලා යන දේවල්, වැගිරිලා යන දේවල් ගැන. මේ ශරීරයේ තියෙනව ඒව. ඒ තමයි පිත. පිත කියන්නේ වැගිරිලා යන, දියවෙලා යන ජාතියක්. ඒක වතුරෙ දිය වෙලා යන ජාතියක්. ඒක ආපෝ ධාතුව. පිත ආපෝ ධාතුව. මේ ශරීරයේ හැදෙනවා සෙම. පෙණ සහිත දියරයක් ඒක. ඒක ආපෝ ධාතුව. වැගිරිලා යනවා. මේ ශරීරයේ හැදෙනවා සැරව. ඒ කියන්නේ ලේ නරක් වුණාම හැදෙනවා සැරව. ඒක ආපෝ ධාතුව. වතුරෙන් හෝදල දාන්න පුළුවන්. දිය වෙලා යන දෙයක්. මේ ශරීරයේ හැදෙනවා ලේ. ලේ ආපෝ ධාතුව. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා දහඩිය. දහඩිය වැක්කෙරෙනවා. ඒක වතුරෙත් දියවෙලා යන දෙයක්. ඒ වගේම ඔබට දැනිල ඇති මේ දහඩියත් එක්කම ඇලෙන ගතියක් මේ ශරීරයේ තියෙනවා. ඇලෙන ගතිය හැදෙන්නෙ තෙල්මන්ද වලින්. තෙල්මන්ද රත්වීමෙන් තමයි ඇලෙන ගතිය එන්නෙ. ඒක වතුරෙ දියවෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා කඳුලූ කියල ජාතියක්. ඒක වතුරෙ දියවෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා සොටු කියල ජාතියක්. ඒවා දියවෙලා යනව වතුරෙ. කෙළ හැදෙනවා. දිය වෙලා යනවා. ඒ වගේම මේ අත පය නැවෙන තැන්වල හැදෙනවා ඉස්ම ජාතියක්. ඒවට කියන්නේ සඳමිදුලු කියල. ඒව දියවෙලා යනවා. මේ ශරීරයේ හැදෙනව මුත්‍රා කියල ජාතියක්. ඒවත් ජලයේ දියවෙලා යනවා. ඒ ඔක්කොම ආපෝ ධාතු. උණුසුමට අයිති දේ…. ඒ වගේම පින්වතුනි, මේ ශරීරයේ තියෙනවා උණුසුම් ජාති. ඒ තමයි මේ ශරීරයේ තියෙනවා ස්වාභාවික උණුසුමක්. මේ ස්වාභාවික උණුසුම හැදිල තියෙන්නෙ තේජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා මේ ස්වාභාවික උණුසුම කිපෙන ගතියක්. ඒ වගේම මේ ශරීරයේ උණුසුමක්, දැවිල්ලක්, දාහයක්, උණ ගතියක් හටගන්නවා. ඒක හැදෙන්නෙ තේජෝ ධාතුවෙන්. ඊළඟට ඔබ කන බොන දේවල්, රස විඳින දේවල්, ඔබ අනුභව කරන දේවල්, මේ ශරීරයට ලැබුණට පස්සේ ශරීරය ඇතුලෙ ජීර්ණත්වයට පත්වෙනවා. අන්න ඒක වෙන්නෙත් තේජෝ ධාතුවෙන්. ඊළඟට ඔබ දිර දිරා යන්නෙත් තේජෝ ධාතුවෙන්. මේ දිහා බලන්න කියල බුදුරජාණන් වහන්සේ වදාළා. හමාගෙන යන දේ…. ඊළඟට මේ ශරීරයේ තියෙනවා හුළඟට අයිති දේවල්. ඒකට කියන්නෙ වායෝ ධාතු කියල. දැන් මේ ශරීරය ඇතුලෙ හැදෙනවා වාතය. උගුරෙන් උඩට එනවා. ඒකට කියනවා උඩට එන වාතය කියල. මේ බඩවැල් ඇතුලෙ හැදෙනවා වාතය. ඒක පසුපසින් පිටවෙනවා. ඒකට කියනව අධෝගමනීය වාතය කියල. ඊළඟට මේ කුස ඇතුලෙ වාතය පිරෙනවා. ඒකට කියනව කුස ඇතුලෙ තියෙන වාතය කියල. මේ ශරීරය පුරා සැරිසරන වාතයක් තියෙනවා. ඒකට කියනවා අංගමංගානුසාරී වාතය කියල. ඒ වගේම මේ හමා යන වාතය තමයි අපි ආශ්වාස කරන්නෙ, ප්‍රශ්වාස කරන්නෙ. ඒක වායෝ ධාතුව. එතකොට හමා ගෙන යන ස්වභාවය තියෙනවා. එතකොට මෙන්න මේ කොටස ඔබ පුරුදු කළොත්, ඔබ වයසින් මුහුකුරා යන විට කොයිතරම් ජීවිතය අවබෝධ කරගත්ත කෙනෙක් වේවිද? ඉතින් මේ දෙය ඔබට ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා මේ ධාතු මනසිකාරය හොඳට පුරුදු කරන්න. කිසිම බයක් වෙන්න එපා. ජීවිතය අවබෝධයක් කරාමයි යන්නෙ. – ධාතු මනසිකාර භාවනාව – හොඳට අවධානය යොමු කරන්න තමන්ගේ ශරීරය ගැන. මේ ශරීරයේ ඔලුවේ තියෙන්නේ කෙස්. මේ කෙස් ඔක්කොම ගස්වල කොළ වගේ. ඉඳුණාම ගැලවෙනවා. ඉදිලා තිබිල වැටිලා යනවා. ඉතින් මේ කෙස් ටික ඔක්කොම ගැලවුණොත් පොලොවට වැටෙනවා. අපි කියමු මේ කෙස් ඔක්කොම ගැලවිලා තමන්ගේ අතට ආවා කියල. අපි ළඟ තියාගන්නෙ නෑ. වීසි කරනවා. විසි කළාට පස්සේ ඒ කෙස් පොළොවට වැටිලා පොළොවේම පරණ වෙලා ගිහිල්ලා දිරලා…. දිරල…. ගිහිල්ල පස්වෙනවා. එහෙනම් කෙස් කිව්වෙ පස්වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පඨවි ධාතුව. ලොම්, මේ ශරීරයේ තියෙන ලොම් කෙස් වගේම තමයි. ඉදිලා ගැලවිලා යනවා. ඒ ලොම් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා පොලොවට වැටුණට පස්සේ ඒ වැටිච්ච ලොම් අර ගස්වල කොළ වැටිලා පොලොවට එහෙම්මම එකතු වෙලා දිරල යනවා වගේ පොලොවත් එක්ක එකතු වෙලා දිරල…. දිරල…. පස්වෙලා යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන නියපොතු දිගට වැවෙද්දී… වැවෙද්දී…. කැපුවා. වීසි කළා. පොළොවට වැටිච්ච වැටිච්ච තැන්වල පස් වෙලා ගියා දන්නෙම නැතුව. ඒ වගේ මේ ඇඟිලිවල තියෙන නියපොතු ඔක්කොම පොළොවට පස් වෙලා නැත්තටම නැතිවෙලා යනව. මේ සම. සමත් එහෙමයි. මේ සම සීරෙනවා, තුවාල හැදෙනවා, හොරි හැදෙනවා, දද හැදෙනවා, මේ වයසට යන්න යන්න මේ හම ඇකිලෙනවා. පතුරු යනවා. මේ හම කවදාහරි පොළොවට වැටුණට පස්සේ පස් එක්ක එකතු වෙලා පස් බවට පත්වෙලා අවසන් වෙලා යනවා. ඊළඟට නහර වැල්. නහර වැලුත් එහෙමයි. දැන් මේ නහර වැල් තිබ්බට මේවා ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා පොළොවට පස් වෙලා නැත්තටම නැතිවෙලා යන ජාතියක්. ඊළඟට මේ ශරීරයේ තියෙන ඇට. අපි හැම එක්කෙනෙක් ළඟම මේ ඇටසැකිල්ලක් තියෙනවා. මේ වගේ ඇටසැකිලි කී කෝටියක් අපට තියෙන්න ඇද්ද? ඉපදිච්ච ඉපදිච්ච ජීවිතේදී මේ ජාතියෙ ඇටසැකිලි අපි මගේ කියල හිතාගෙන හිටියනෙ. මේ ජීවිතේ දිත් ඔන්න අපට හම්බවෙලා ආයෙමත් ඇටසැකිල්ලක්. මේ ඔළුවෙ අස්සෙ හිස් කබල. බෙල්ල අස්සෙ බෙල්ලෙ ඇට. උරහිස් ඇට. අත් අස්සෙ අත් ඇට. වැල මිට. මැණික් කටු තියෙනවා. අල්ලෙ ඇට, ඇඟිලිවල ඇට. පපුව අස්සෙ ඉල ඇට. පිට කොන්දෙ කොඳු ඇට. උකුල් ඇට. කළවා ඇට, දණිස් ඇට, කෙණ්ඩා ඇට. කොච්චර නම් ඇට තොගයක්ද මේ ශරීරයේ තියෙන්නේ. මේ ඇට ඔක්කොම යම් දවසක දිරලා ගිහිල්ලා, පොළොවට වැටිලා, පොළොවේ දිරල දිරල ගිහිල්ල සම්පූර්ණයෙන්ම පස්වෙලා නොපෙනී යන දවසක් එනවනෙ. ඊළඟට මේ ශරීරයේ ඇට අස්සේ තියෙනවා මස්. ඒවාට කියන්නේ ඇට ලොඳ. ඇට මිදුලූ කියල. ඇටත් එක්කල ඒවා ඔක්කොම දිරලා දිරලා ගිහිල්ලා පස්වෙලා යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන වකුගඩු. නරක් වෙලා පොළොවට වැටුණට පස්සේ කුණු වෙලා ගිහින් පස්වෙලා යනවා. හෘද මාංසය. හදවත. ඒකත් ඒ විදිහටම කුණුවෙලා ගිහිල්ලා පස් වෙලා යනවා. අක්මාව. පීකුදුව කියන්නේ. අන්න ඒකත් පොලොවට වැටිලා පස්වෙලා යනවා. පෙණහළු දෙක. හුස්ම ගන්න කොට ඒ පෙණහළු පිම්බෙනව. හුස්ම හෙළන කොට ඒවා ඇකිලෙනවා. අන්න ඒවා ඔක්කොම මහ පොළොවට වැටිලා කුණු වෙලා අවසන් වෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා. කුඩා බඩවැලක්. ලොකු කඹයක් ගුලි කරලා ඔතලා තියෙනවා වගේ. දිග බඩවැලක් තියෙනවා. එව්වා ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා පොළොවේ පස් එක්ක එකතු වෙලා ගිහිල්ල පස් බවට පත්වෙනවා. කාපු බීපු දේවල් දිරවලා මේ ශරීරයේ අන්තිමට ඉතුරු වෙනවා අසූචි හැටියට. ඒවාත් ඔක්කොම පොළොවට පස්වෙලා යනවා. එහෙම නම් හැම එකකම තිබුණේ පස් වෙලා යන ස්වභාවය. පඨවි ධාතුව. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා දිය වෙලා යන ජාති. එව්වා දියවෙලා යනවා. මේ ශරීරයේ තියෙනවා පිත කියල ජාතියක්. අන්න ඒවා වතුරේ දියවෙලා, නැතිවෙලා යන ජාතියක්. ආපෝ ධාතුව. මේ ශරීරයේ තියෙනවා සෙම කියල ජාතියක්. පෙණ සහිත දියරයක්. ඒවත් වතුරේ දියවෙලා යනවා. දියවෙලා ගිහිල්ල නොපෙනී යනවා. ආපෝ ධාතුව. මේ ශරීරයේ හැදෙනවා සැරව කියල ජාතියක්. ලේ නරක් වුණාට පස්සේ කහපාට වතුරක්. ඒ සැරවත් වතුරේ දියවෙලා නොපෙනී යනවා. ඒ සැරවත් ආපෝ ධාතුව. මේ ශරීරයේ තියෙනවා ලේ කියලා ජාතියක්. ඒවත් වතුරේ දියවෙලා ගිහින් නොපෙනී යන ජාතියක්. ලේ. ආපෝ ධාතුව. මේ ශරීරයේ හිස් මුදුනේ ඉඳලා යටි පතුලට යනකම්ම ගලන ජාතියක් තියෙනවා. ඒවාට කියන්නේ දහඩිය. අන්න ඒවත් දියවෙලා යනවා. වතුරේ දියවෙලා යන ජාතියක්. ආපෝ ධාතුව. මේ දහඩියත් එක්කම තියෙනවා ඇලෙන ගතියක්. ඒ තෙල්මන්ද නිසා. දියවෙලා යන තෙල් ගතියක්. වතුරේ දියවෙලා යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා කඳුළු. ඇස් වලින් ගලන්නේ ඒවා. ඒවාත් ඔක්කොම වතුරේ දියවෙලා යනවා. කඳුළු කියන ජාතිය. මේ ශරීරයේ ඒ වගේම ගලනවා සොටු. දැන් හිටපු ගමන් සොටු ගලනවා, බිංදු බිංදු වැක්කෙරෙනවා. ඒ ගලන්නා වූ සොටු දියවෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා මුත්‍රා. ඒවාත් වතුරේ දියවෙලා නොපෙනී යනවා. ආපෝ ධාතු. ආපෝ ධාතු – ශරීරයේ තියෙන දියවෙලා යන දේ අපි ඔය කිව්වෙ. එව්වා ඔක්කොම මේ ශරීරයේ තියෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා උණුසුම් දේවල්. ඒ රස්නෙ ගතියත් එක්ක තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ රස්නෙ වැඩිවුණාම දාහය ඇතිවෙනවා. උණ ගන්නවා. ඒ වගේම මේ අනුභව කරන දේවල්, ඒ කියන්නේ කන බොන දේවල් ශරීරය ඇතුළට ගියාට පස්සේ ඇඟේ රස්නෙන් ඒවා තැම්බි තැම්බි ඕජාව උරා ගන්නවා. අන්න ඒක වෙන්නෙ තේජෝ ධාතුවෙන්. ඊළඟට මේ ශරීරය ජීර්ණ වෙනවා. මේ ශරීරය වර්ධනය වෙලා නැසිලා යන්නත් හේතු වෙන්නේ තේජෝ ධාතුවෙන් තමයි. ශරීරය දිරවලා දිරවලා යන්නේ. ඒවා ඔක්කොම අනිත්‍ය දේවල්. ඊළඟට මේ ශරීරයේ තියෙනවා හුළගේ ගහගෙන යන දේවල්. උගුරට එනවා වාතය. ඒක හුළෙඟ ගහගෙන යනවා. පසුපසින් පිටවෙනවා වාතය. ඒකත් හුළෙඟ ගහගෙන යනවා. ඊළඟට හුළෙඟ ගහගෙන යන දෙයක් තමයි ආශ්වාස කරන්නේ. ඒකත් වාතය. ඊට පස්සේ පිට කරනවා. ප්‍රශ්වාස කරනවා නාසයෙන්. ඒත් වාතය හුළෙඟ ගහගෙන යනව. මේ ශරීරයේ ඇතුළෙ තියෙනවා එහා මෙහාට යන වාතය. මෙන්න මේවා වායෝ ධාතු. ඉතින් මේ ශරීරයේ තියෙන්නේ ඔව්වනෙ. පස්වෙලා යන දේවල් පඨවි ධාතුව. දියවෙලා යන ජාති ආපෝ ධාතුව. රස්නෙ ජාති තේජෝ ධාතුව. හමාගෙන යන ජාති වායෝ ධාතු. ඕවා තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයේ දෙයක් මේ ශරීරයේ තියෙනවා කියල විමසලා බලන්න කිව්වා හොඳට. මස් විකුණන ළමයෙක් හරකෙක් මරලා හිට හන්දියක තියාගෙන කෑලි කෑලි විකුණනවා වගේ හොඳට බලන්න කිව්වා. අන්න එහෙම බලන කොට තමයි මේකෙ ඇත්ත පේන්නෙ. එතකොට මේ හිතේ තියෙන මේ බැඳීම මධ්‍යස්ථ වෙනවා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
පොළොවට පස්වෙලා යන ස්වභාවයට අයිති දේ පඨවි ධාතුවයි. වැගිරී යන ස්වභාවයට අයිති දේ ආපෝ ධාතුවයි. උණුසුම් ස්වභාවයට අයිති දේ තේජෝ ධාතුවයි. හමා යන සුළඟට අයිති දේ වායෝ ධාතුවයි. මෙන්න මේ පස්වෙලා යන ස්වභාවයට අයිති දේ ඔබ තුළ තියෙනවා. වැගිරිලා යන ස්වභාවයට අයිති දේත් ඔබ තුළ තියෙනවා. උණුසුම් ස්වභාවයට අයිති දේත් ඔබ තුළ තියෙනවා. හමා යන සුළඟට අයිති දේත් ඔබතුළ තියෙනව. මෙන්න මේවා අර හරක් මරණ මනුස්සයා හරකා මරල, මස් ටික වෙන්කරල තැබුවා වගේ ඔබ මේවා වෙන් වෙන් වශයෙන් බලන්න කියල බුදුරජාණන් වහන්සේ වදාළා.
ඊළඟට දත්, දත් කියන්නේ පොළොවට පස් වෙලා යන දෙයක්. මේ කට ඇතුළේ තියෙද්දිම මේ දත් දිරනවා නෙව. මේ දත් කුණු වෙනව. දත් දිරලා ගිහින් ගිහින් කුඩුවෙලා යනවා. දත් ගැලවුණාට පස්සේ ඒවා පොළොවට වැටුණට පස්සේ ඔක්කොම පස්වෙලා යනවා. කී කෝටියකගේ දත් මේ පොළොවේ පස් බවට පත්වුණාද? දත් කියලා කියන්නේ පස්වෙලා යන ස්වභාවයට අයිති එකක්.
ඒ වගේම මේ ශරීරයේ ගලනවා කෙළ. දැන් අපි කට වහගෙන ඉන්න නිසා ගලන්නා වූ කෙළ ගිලින නිසා තමයි මේ කටින් වැක්කෙරෙන්නෙ නැත්තේ. ගලන කෙළ ගිල්ලෙ නැත්නම් මේ කටින් වැක්කෙරෙනවා. එක්කො පිහදාන්න ඕනෙ. එක්කො හෝදන්න ඕනෙ. ගලනවා කෙළ.
ඉතාම වටිනා භාවනා උපදෙස් අඩංගු ලිපියකි.
Godak pin oba wahanseta