14.1. බුද්ධානුස්සති භාවනාව

අසිරිමත් ය ඒ සම්බුදු සමිඳුන්…

මේ මිනිස් ජීවිතය අර්ථවත් කර දීම පිණිස මේ ලෝකයට පහළ වෙච්ච මුනිඳාණන් තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඔබ සුළු මොහොතක් කල්පනා කරනව නම්, ඒ මොහොත ඔබේ හිතේ පැන නගින බුද්ධානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන හැම මොහොතකම සිත පිරිසිදු වෙනවා. හිත තැන්පත් වෙනවා. ඒ බුද්ධ ගතාසතිය තමන්ගේ සිතේ තැන්පත් වෙන කොට, තමන් නොදැනීම අලූත් ජීවිතයක් කරා පිය නගනවා.

බුදුරජාණන් වහන්සේට තිබුණ නිකෙලෙස් හදවතක්. උන්වහන්සේගේ මනස සදා පිවිතුරු භාවයට පත්වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් කෝප වුණේ නෑ. මොනම හේතුවක් නිසාවත් දරුණු වුණේ නෑ. මේ බාහිර ලෝකයේ මායාවට බුදුරජාණන් වහන්සේ වසඟ වුණේ නෑ. මේ නිසා උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියල. අරහං කියල. ඒ බුදුගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේව සිහිකරන්න පුළුවන් නම්, ඔබේ සන්තානය පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. සියලූ කෙලෙසුන්ගෙන් නිදහස් වුන සේක. සියලූ දුක් දොම්නස් වලින් නිදහස් වුන සේක. ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක. සමස්ත ලෝක ධාතුව ගැනත්, සමස්ත සත්ව වර්ගයා ගැනත්, මේ ජීවිත ගැනත් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ සේක. සියලූ දෙවියන්ටද මිනිසුන්ටද යහපත් මාර්ගය පෙන්වා දීමෙන්, පරිපූර්ණ වූත්, දක්ෂ වූත් ආචාර්යවරයා වන සේක. මේ විදිහට ඔබට බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරන්න පුළුවන් නම්, ඒ සෑම මොහොතකම ඔබ සිහි කරන්නෙ මේ ලෝකයේ පහළ වෙච්ච, මේ මානව ඉතිහාසයේ පහළ වෙච්ච ස්වර්ණමය යුගය සනිටුහන් කළ උතුම් මුනි රජාණන් වහන්සේ ගැනයි.

ධර්මය තුළින් බුදු සමිඳු දැකගන්න…

ඉතින් එබඳු බුදුරජාණන් වහන්සේ ගැන ඔබ මේ වෙලාවේ සිතන්න පටන් ගන්නවා නම්, මේ මොහොතේ සිට ඔබේ සිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට මුණගැහෙන්නේ කළාතුරකින්. බුදුරජාණන් වහන්සේ නමක් අඳුනගන්න පුළුවන් වෙන්නෙ බුද්ධිය දියුණු කරන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඉතින් ඔබ යම් හෙයකින් බුදුරජාණන් වහන්සේව මුණගැහෙනවා නම්, ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය කරල, බුද්ධිය දියුණු කරල, ඒ ශ‍්‍රවණය කරපු ධර්මය තුළින්මයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේව ඔබේ ජීවිතය තුළින් දැකගන්නට පුළුවන් වෙනවා.

ඒ බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ගුණය, පරිපූර්ණ ප‍්‍රඥාව, මහා කරුණාව, පිවිතුරු සමාධිය, ධෛර්ය සම්පන්න වීර චරිතාපදානය, මේ සෑම දෙයක්ම ඔබේ ලෝකය ආලෝකමත් කරන්න උපකාර වෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සිතීමේදී ඔබට බොහොමත්ම ලේසියි අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධ, භගවා කියන සියලු බුදු ගුණ ඔබ සිහි කරන්න. ඔබේ ජීවිතය තුළ නිතර මනසිකාරයේ යෙදෙන්න. මේක සුලූ පටු දෙයක් නෙවෙයි.

මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොලපාරක් වගේ. සිඳීගෙන යන දොල පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්.

– බුද්ධානුස්සති භාවනාව –

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා, ප‍්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.

බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලූන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. කණින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආසාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලූන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, අරහං වන සේක, අරහං වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ, දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ සේක. ප‍්‍රහාණය කළ යුතු වූ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම ප‍්‍රහාණය කොට වදාළ සේක. සාක්‍ෂාත් කළ යුතු වූ, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම සාක්‍ෂාත් කොට වදාළ සේක. ප‍්‍රගුණ කළ යුතු වූ, දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම ප‍්‍රගුණ කොට වදාළ සේක.

මේ චතුරාර්ය සත්‍යය ධර්මයන්, සත්‍ය ඤාණ වශයෙන්ද, කෘත්‍ය ඤාණ වශයෙන්ද, කෘත ඤාණ වශයෙන්ද, පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීමද පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවීමද ජලයේ සක්මන් කිරීමද සියල්ල විනිවිද නොපෙනී ගමන් කිරීම ආදී අනන්ත ප‍්‍රාතිහාර්යයන්ගෙන් යුතු ඉර්ධිවිධ ඤාණය ලබා ගත් සේක. දුර තිබෙන රූපයන්ද ළඟ තිබෙන රූපයන්ද දැකීමේ හැකියාව වූ දිබ්බචක්ඛු ඤාණය ලබාගත් සේක. දුර තිබෙන ශබ්දයන්ද ළඟ තිබෙන ශබ්දයන්ද ඇසීමේ හැකියාව වූ දිබ්බසෝත ඤාණය ලබා ගත් සේක. සියලූ ලෝක සත්වයින්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් සේක. සියලූ ලෝක සත්වයන් උපදින ආකාරයද කර්මානුරූපව චුතවන ආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඤාණය ලබාගත් සේක. සියලූ ආශ‍්‍රවයන් මුලූමනින්ම නැති කොට ඤාණාලෝකය උපදවාගෙන ආසවක්ඛ්‍යය ඤාණය ලබා ගත් සේක.

මෙසේ අනන්ත ඤාණයෙන්ද අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන් ද අනන්ත ගුණයෙන් ද සමන්විත නිසා බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග සොයාගෙන සුන්දර නිවනට වැඩම කළ නිසා සුගත වන සේක, සුගත වන සේක, සුගත වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලූ බ‍්‍රහ්ම ලෝකද සියලූ දිව්‍ය ලෝකද මේ මිනිස් ලෝකයද සියලූ පේ‍්‍රතලෝකයද සතර අපාය ආදී මේ සියලූ ලෝකයන් අවබෝධ කොට ගෙන සියලූ ලෝක වලින් නිදහස් වූ නිසා ලෝකවිදූ වන සේක, ලෝකවිදූ වන සේක, ලෝක විදූ වන සේක.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප‍්‍රාතිහාර්යයෙන්ද, අනුන්ගේ සිත් දකිමින් දහම් දෙසීම නම් වූ ආදේශනා ප‍්‍රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප‍්‍රාතිහාර්යයෙන්ද අකීකරු දෙව් මිනිසුන්ව දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක…

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ට ද, නුවණැති මිනිසුන්ට ද සසර කතරින් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළ නිසා සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන් අන්‍යයන්ටද අවබෝධ කරගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක, බුද්ධ වන සේක. බුද්ධ වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, මේ සියලූ සම්බුදු ගුණ දරාගැනීමට තරම් භාග්‍ය ඇති සේක. හිරු සඳු එළිය පරදවන අනන්ත ආලෝකය ඇති ප‍්‍රඥාලෝකය දරාගැනීමට තරම් භාග්‍ය ඇති සේක. මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඬලක් දරා වැඩසිටීමට තරම් භාග්‍ය ඇති සේක. භාග්‍ය ඇති සේක. භාග්‍ය ඇති සේක. බුදුරජාණන් වහන්සේ භගවා වන සේක, භගවා වන සේක, භගවා වන සේක.

බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි……

අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

14.2. ධම්මානුස්සති භාවනාව

ධර්මයේ හාස්කම…

මේ ලෝකය වියළි කතරක් නම්, ඒ වියළි කතර තෙමා ඇද හැළෙන දිය දහරාව තමයි සම්මා සම්බුදු මුවින් පිටවුණ ඒ ශ‍්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල මේ ශෝක වැලපීම් තිබුණ සන්තානයන් පිරිසිදු කරගෙන සුවපත් වුණා. අංගුලිමාල වගේ නපුරු චිත්ත සන්තාන තිබුණු නපුරු ගති තිබුන මිනිසුන් මල් පෙත්තක් වගේ සිනිදු ගතිගුණ ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. සිහි විකල් වෙලා පාරක් පාරක් ගානෙ දිව ගිය පටාචාරා වැනි අහිංසක කාන්තාවන් වීරෝධාර, බලසම්පන්න, ගුණසම්පන්න භික්ෂුණීන් බවට පත්වුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්.

ජීවිතයට ධර්මය….

ඔබේ ජීවිතය සුවපත් කරන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවනි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි චතුරාර්ය සත්‍යය ධර්මය. ඔබ උදෑසන අවදිවෙන කොට ඒ චතුරාර්ය සත්‍යය ධර්මය ගැන ශ‍්‍රවණය කරන්නට ලැබෙනවා නම්, චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙනවා නම්, ඔබට සිහි කරන්නට ලැබෙනවා නම්, ඔබ දුර්ලභ දෙයක් හිතන කෙනෙක්.

ඒ බුද්ධිමය පරිවර්තනය ලඟා කරගන්න…

බුදුරජාණන් වහන්සේලා පහළ වීමේ ඉලක්ක දෙකක් නෑ. එකම ඉලක්කයයි තියෙන්නෙ. ඒ තමයි චතුරාර්ය සත්‍යය ධර්මය කියා දීම. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමෙන් දුකට පත් සත්වයා සැප කරා යනවා. සංසාර ගමන තුළ ඉපදෙමින් මැරෙමින් භව ගමනක යන සත්වයා ඒ සතර අපා දුකින් නිදහස් වෙලා භව ගමනින් නිදහස් වෙලා සදාකාලික සැප ඇති අමා නිවන කරා යනවා. මේ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කියල කියන්නෙ මනුෂ්‍ය සන්තානයක ඇතිවුණ බුද්ධිමය හාස්කමක්. බුද්ධිමය පරිවර්තනයක්. බුද්ධිමය පෙරළියක්. ඒ නිසා ඒ බුද්ධිමය හාස්කම, ඒ බුද්ධිමය පරිවර්තනය සිද්ධ වන්නට නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දැනසිටිය යුතුයි.

අසිරිමත් සදහම් ගුණ …

ඒ චතුරාර්ය සත්‍යය ධර්මය මනාකොට දේශනා කරපු නිසා ඒ ධර්මය ස්වාක්ඛාත වන සේක. ඒ ධර්මය මේ ජීවිතයේදී දැක්ක හැකි නිසා ඒ ධර්මය සන්දිට්ඨික වන සේක. ඒ ධර්මය ඕනෑම කාලයක අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. ඒ වගේම ඒ ධර්මය ඇවිත් බලන්න කියල ඕනෑම කෙනෙකුට පෙන්වා දිය හැකි නිසා ඒහිපස්සික වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවාගෙන, තමා තුළ දියුණු කරගත යුතු නිසා ඕපනයික වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තමාගේ බුද්ධිය මෙහෙයවා සාක්ෂාත් කරන්නට පුළුවන් නිසා, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන සේක.

වෙන කිසිවකින් ලැබෙන්නෙ නෑ…

මෙන්න මේ ආකාරයට ඔබ නිති පතා වඳින පුදන, ඒ ශ‍්‍රී සද්ධර්මයේ ගුණාංග සිහිකිරීම ධම්මානුස්සති භාවනාවයි. ධම්මානුස්සති භාවනාව යම්කිසි කෙනෙකුට කරගන්නට පුළුවන් වෙන්නෙ ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන සිටියොත් පමණයි. ඒ නිසා ඔබට ලැබෙන මේ සුන්දර පණිවිඩය ඔබේ ජීවිතයේ ඔබ කොතරම් රූපවාහිනිය නැරඹුවත්, කොතෙකුත් පොත් පත් බැලූවත්, කොතෙකුත් පුවත් පත් බැලූවත්, නවකතා – කෙටිකතා කියෙව්වත්, නොයෙකුත් වැඩසටහන්වලට සවන් දුන්නත් ඒ කිසිම දෙයකින් ඔබට ලැබුණේ නැහැ. ඔබේ හදවතේ දුක් දොම්නස් පහ කරන්නට සමත් වුණේ නෑ.

නමුත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්නා නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබේ හද මඬලේ තැන්පත් කරගත්තා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඔබේ ජීවිතය තුළින් සිතන්න පටන් ගත්තා නම්, ඔබ ඒ ධර්මය තුළින් ලෝකය දකින්න පටන් ගත්තා නම්, ඔබේ ජීවිතය ටිකෙන් ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ධර්මය තුළට යන සැනසිලි ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත්වෙනවා. අන්න ඒ නිසා ධම්මානුස්සති භාවනාවේ මේ මොහොතේ ඉඳලා යෙදෙන්න. ධම්මානුස්සති භාවනාවේ ස්වල්ප වෙලාවක් හෝ යෙදෙමින් ඔබේ ජීවිතය තුළට ඒ ධර්මය ලබාගන්න.

– ධම්මානුස්සති භාවනාව –

ස්වාක්ඛාත ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාම යහපත් ලෙස ශ‍්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ‍්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතාම යහපත්ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතාම යහපත්ය. එහි අවසාන කොටස නම් වූ ප‍්‍රඥාවත් ඉතාම යහපත් කොට දක්වන ලද්දේය. අර්ථ සහිතව පෙන්වා දෙන ලද්දේය. පැහැදිලි වචන වලින් පෙන්වා දෙන ලද්දේය. අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජිවිතය පෙන්වා දෙන ලද්දේය.

එම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළ හෙයින් ස්වාක්ඛාත වන සේක. මෙසේ ස්වාක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වාක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

සන්දිට්ඨික ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතය තුළ දී ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් දියුණු කළ හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය සෝවාන් මාර්ග – ඵල, සකදාගාමී මාර්ග – ඵල, අනාගාමි මාර්ග – ඵල, අරහත් මාර්ග – ඵල වශයෙන් අවබෝධ කර ගත හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

අකාලික ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ධර්මයේ සඳහන් වන සීල, සමාධි, ප‍්‍රඥා හෝ මාර්ග ඵල හෝ චතුරාර්ය සත්‍යයාදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඒහිපස්සික ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඇවිත් බලන්නැ’යි දක්වාලන, දෙව් මිනිසුන් අතරට විවෘත භාවයට පත් වූ සේක.

රහස් බණ, රහස් උපදෙස්, සැඟවී කතා බස් කිරීම් නොමැති මේ ශ‍්‍රී සද්ධර්මය හිරු මඬල දක්වන්නා සේ සඳමඬල දක්වන්නා සේ හඬ නගා පෙන්වා දිය හැකි සේක. මෙසේ නුවණින් විමසා බලන්නැ’යි දෙව් මිනිස් ලෝකයා හමුවේ විවෘතව තබන ලද නිසා, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඒහිපස්සික වන සේක.

මෙසේ ඒහිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඒහිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඕපනයික ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය මනාකොට ශ‍්‍රවණය කිරීමෙන්ද, මනාකොට ධාරණය කිරීමෙන්ද, වචනයෙන් පුරුදු කිරීමෙන්ද, නුවණින් මෙනෙහි කිරීමෙන්ද, ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියේ යෙදීමෙන්ද, තම තමන් ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හෙයින් ඕපනයික වන සේක.

මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහී ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය වනාහී ඕනෑම ජාතියක, ඕනෑම ගෝත‍්‍රයක, ඕනෑම කුලයක, කපටි නැති, මායා නැති, අවංක ගති ඇති ප‍්‍රඥාවන්තයින් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන සේක.

මෙසේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහී වන ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

14.3. සංඝානුස්සති භාවනාව

ලොව ශ්‍රේෂ්ඨතම පිරිස හඳුනාගන්න….

මේ ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ධර්මය දේශනා කරන කොට මේ බුද්ධිමත් මනුෂ්‍යයින් මේ ධර්මය ශ‍්‍රවණය කරනවා. බුද්ධිමත් මනුෂ්‍යයෝ මේ ධර්මය පුරුදු කරල තම තමන්ගේ ජීවිතවලට ඇතුළු කරගන්නවා. ඒ ධර්මය ඔස්සේ තම තමන්ගේ ජීවිතවලට මේ ධර්මය දියුණු කරගන්න කල්පනා කරනවා. ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස සිල්වත් වෙනවා. සමාධිය දියුණු කරනව. ප‍්‍රඥාව දියුණු කරනවා. මේ සියල්ල සිදුකරගන්න පුළුවන් වෙන්නේ අවබෝධය නිවැරදි කරගත්ත කෙනාට. ඒ කෙනාට කියනවා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියල.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා…

සම්මා දිට්ඨියෙන් යුක්ත වුණේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ පමණයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වීම නිසා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්කම ලැබුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් සෝවාන් වුණා. චතුරාර්ය සත්‍යය ධර්මයේ සත්‍ය ඤාණය කරා පැමිණුනා. සෝතාපන්න වෙච්ච කෙනෙක් ආත්ම හතක් ඇතුළත නිවන් දකිනවා. ඊළඟට ඒ ශ‍්‍රාවකයින්ට සකදාගාමී වෙන්ට පුළුවන් වුණා. සකදාගාමී වෙච්ච කෙනෙක් තව එක ජීවිතයක් ඇතුළත නිවන් දකිනවා. අනාගාමී වෙච්ච අය බඹ ලොව ඉපදිලා නිවන් දකිනවා. රහතන් වහන්සේලා මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.
සැබෑ ශ‍්‍රාවකයෝ බුදු සසුනේදී පමණයි…

මෙන්න මේ සියලු පිරිස් ඔබට දැකිය හැක්කේ බුද්ධ ශාසනයක දී පමණයි. මෙන්න මේ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ”පින්වත් මහණෙනි, ඔබ සිංහනාද කරන්න. පළවෙනි ශ‍්‍රමණයා වන සෝතාපන්න ශ‍්‍රාවකයා, දෙවෙනි ශ‍්‍රමණයා වන සකදාගාමී ශ‍්‍රාවකයා, තුන්වෙනි ශ‍්‍රමණයා වන අනාගාමී ශ‍්‍රාවකයා, හතරවෙනි ශ‍්‍රමණයා වන රහතන් වහන්සේ යන ශ‍්‍රාවකයින් දැකිය හැක්කේ බුද්ධ ශාසනයකදී පමණයි කියල”

මෙන්න ඒ අසිරිමත් සඟ ගුණ…

මේ නිසා ඔබට ධර්මයේ හැසිරෙන පිරිසක් ගැන සිහිකිරීමේදී බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ශ‍්‍රාවක සඟ පිරිසක් හා සමාන පිරිසක් මුණ ගැහෙන්නෙ නෑ. ඒ නිසා ඒ සංඝරත්නය නිවන් මාර්ගයේ ගමන් කරන නිසා, සුපටිපන්න වන සේක. ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්න වන සේක. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන ප‍්‍රතිපදාවක ගමන් කරන නිසා ඤායපටිපන්න වන සේක. අවබෝධ කරන්නා වූ චතුරාර්ය සත්‍යය ධර්මය දෙව් මිනිස් ලෝකයාට ප‍්‍රකට කරවන නිසා සාමීචිපටිපන්න වන සේක. අන්න ඒ ශ‍්‍රාවකයන් මාර්ගයේ ගමන් කරන – ඵලයට පත්කරන ශ‍්‍රාවක යුගල හැටියට හතරකුත්, පුද්ගලයන් හැටියට අටකුත් වෙනවා. මෙන්න මේ ශ‍්‍රාවක පිරිස තමයි ලෝකයේ පුද පූජාවන්වලට සුදුසු වන්නේ. ඒ වගේ ම මේ ලෝකයේ දුර ඉඳල ගෙනත් දෙන දන් පැන් පිළිගන්න සුදුසු වෙනවා. ආගන්තුක සත්කාරවලට සුදුසු වෙනවා. වැඳුම් පිදුම් ලබන්න සුදුසු වෙනවා. මේ සුදුසුකම් ලබල ලෝකයේ අනුත්තර වූ පින් කෙත බවට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වන කෙනා.

නිරතුරුවම සඟ ගුණ සිහි කරන්න…

ඒ නිසා ඔබේ ශ‍්‍රද්ධාව රඳවා ගන්න, ශ‍්‍රද්ධාව පිහිටුවාගන්න. සංඝානුස්සති භාවනාවේ යෙදෙන්නට ඕනෙ වෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා සිහිකිරීම. ඒ ශ‍්‍රාවකයන් වහන්සේලා සදාකාලික පිවිතුරු ජීවිතයක් පතාගෙන නිමල ගමනක යෙදෙන පිවිතුරු පිරිසක්. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන ගැන නිරන්තරයෙන්ම සිහිකරන්න. තමන්ගේ සිත තුළ ඒ සංඝරත්නයේ ගුණාංග ඇති කරගනිමින් ශ‍්‍රද්ධාව ඇති කරගන්න. ඒ සෑම අවස්ථාවකම ඔබ දියුණු කරන්නේ සංඝානුස්සති භාවනාවයි. සංඝානුස්සති භාවනාව දියුණු කරන ගමන් ඔබත් බුදුරජාණන් වහන්සේගේ හැබෑම ශ‍්‍රාවකයෙක් බවට පත්වෙලා මේ ගෞතම බුදු සසුනේ දීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ උතුම් අදහසට පත්වෙන්න.

– සංඝානුස්සති භාවනාව –

සුපටිපන්න ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කරගැනීම පිණිස සීල, සමාධි, ප‍්‍රඥා සංඛ්‍යාත ති‍්‍රවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙලකට පිළිපන් හෙයින් සුපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

උජුපටිපන්න ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ උජුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ උජුපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

ඤායපටිපන්න ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඤායපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඤායපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

සාමීචිපටිපන්න ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ඒ ශ‍්‍රී සද්ධර්මයම ලෝකයෙහි පතුරුවා හරින හෙයින් සාමීචිපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සාමීචිපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සාමීචිපටිපන්න වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය…

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග-ඵල ලාභී, සකදාගාමී මාර්ග-ඵල ලාභී, අනාගාමී මාර්ග-ඵල ලාභී, අරහත් මාර්ග-ඵල ලාභී වශයෙන් ගත් කළ උතුම් ශ‍්‍රාවක යුගල සතරක් වන්නාහුය.

වෙන් වෙන් වශයෙන් ගත් කළ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. සෝවාන් වූ ශ‍්‍රාවකයා ය. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. සකදාගාමී වූ ශ‍්‍රාවකයා ය. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. අනාගාමී වූ ශ‍්‍රාවකයා ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ‍්‍රාවකයා ය. අරහත් වූ ශ‍්‍රාවකයා ය යනුවෙන් උතුම් ශ‍්‍රාවක පුද්ගලයින් අට දෙනෙක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ‍්‍රාවක සංඝරත්නය යුගළ වශයෙන් සතරක් ද, පුද්ගල වශයෙන් අටක් ද වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අටක් වූ උතුම් ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අටක් වූ උතුම් ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
ආහුණෙය්ය ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය පුද පූජා ලැබීමට සුදුසු වන සේක. දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙල කොට පූජා කිරීමට සුදුසු හෙයින් ආහුණෙය්ය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආහුණෙය්ය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආහුණෙය්ය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

පාහුණෙය්‍ය ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය ආගන්තුකයින් වශයෙන් වැඩම කළ කල්හි පවා සිව් පසයෙන් උපස්ථාන කිරීමට සුදුසු හෙයින් පාහුණෙය්ය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පාහුණෙය්ය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පාහුණෙය්ය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

දක්ඛිණෙය්‍ය ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකා ගෙන මහත්ඵල මහානිසංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසු හෙයින් දක්ඛිණෙය්ය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ඛිණෙය්ය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ඛිණෙය්ය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

අංජලිකරණීය ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයාගේ වන්දනා මානනයට ගෞරවාභිවාදනයට සුදුසු වන හෙයින් අංජලිකරණීය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අංජලිකරණීය වූ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අංජලිකරණීය වූ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

අනුත්තර වූ පින් කෙත

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයා හට පින් රැුස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර වූ පින්කෙත වන සේක.

මෙසේ දේව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ දේව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

14.4. සීලානුස්සති භාවනාව

පිවිතුරු සීලය සිහිකරන්න…

දැන් ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙකු තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු උදාර ගුණාංගයක් පිළිබඳවයි. ඒ තමයි සීලානුස්සතිය. සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත් කයත් සංවර කරගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි. තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේදී තමන්ගේ වචනයෙන් සිදුවුන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. තමන්ගේ කයින් සිදුවුන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. ඉන්පසු තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉඳල, එයා උදෑසන ම අවදිවෙලා අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ. මම මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ.

මේ විදිහට තමන්ගේ කයයි, වචනයයි සංවර කරගෙන තමන්ගේ සීලමය ගුණය දියුණු කරන්නට ඕනෙ. සවස් කාලය වෙද්දි එයාට සතුටු වෙන්න පුළුවන් මගේ ජීවිතය අද බොහොම යහපත් විදිහට ගත කෙරුණා. මම අද මගේ කය මුල්කරගෙ කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. මම සොරකමක් කළේ නෑ. මම වැරදි ජීවිතයක් ගෙව්වේ නෑ. මම යහපත් ජීවිතයක් ගෙව්වා. මම අද මත්පැන් පානයට යොමු වුනේ නෑ. මම අද ගත කරපු ජීවිතය තුළ කිසි කෙනෙක්ව බොරුවෙන් රැුවැට්ටුවේ නෑ. කේළමක් කිව්වෙ නෑ. ඵරුෂ වචනයක් කිව්වෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ.

මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත‍්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත‍්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට පේන නිසා තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කරගන්නවා.

සීලානුස්සතිය වඩන්නේ මෙහෙමයි…

තමන්ගේ ජීවිතයේ දියුණු කරගන්න තියෙන්නේ සිල්වත්කම. මම වචනයෙන් වැරදි නො කරන කෙනෙක්. මම කයින් වැරදි නො කරන කෙනෙක් කියල තමන්ගේ කයත් වචනයත් පිළිබඳව ශාන්ත බවත් සංවර බවත් ඇති කරගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන කොට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත්වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනව සියලූ දෙනා කෙරෙහි තමන් ගැන විශ්වාසනීයත්වයක් ගොඩ නගන්න. මේ ලෝකෙ බොරු කියන, වංචා කරන පිරිස් වලට සමාජයේ වගකීමක් දෙන්න කවුරුවත් කැමති නෑ. කය නොමගට යවන පිරිසකට සමාජයේ වගකීමක් දෙන්න කවුරුවත් කැමති නෑ. කයයි වචනයයි සුමගට යවන යහපත් කෙනෙක් බවට පත්වෙන්නට නම්, තමන්ගේ ජීවිතය තුළ සීලය ගැන ආවර්ජනා කිරීමේ හැකියාව තියෙන්නට ඕනෙ. අන්න ඒකට කියන්නේ සීලානුස්සති කියල.

මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් නිරතුරුවම සිදුකරන භාවනාවක්. සීලානුස්සති භාවනාව සිහි කරන්න සිහිකරන්න මෙයාගේ සිත ශාන්ත වෙනවා. මෙයාගේ හිතේ තියෙන පසුතැවිල්ල නැතිවෙලා යනවා. විපිළිසරභාවය නැතිවෙලා යනවා. කළබලකාරී බව නැතිවෙලා යනවා. මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා. එහෙම නම් ඔබට සීලානුස්සති භාවනාව තුළ බොහොම පහසුවෙන් සමාධියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යළි යළි සිහිකරන්න පුළුවන්කම කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුළ ඇති උතුම් ගුණාංග නිරන්තරයෙන්ම මනසිකාරයේ යෙදෙමින් භාවනාමය වශයෙන් දියුණුවක් කරා යන්න පුළුවන් වෙනවා.

– සීලානුස්සති භාවනාව –

මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්වත් වන සේක. බුදුරජාණන් වහන්සේ කය සංවර කළ සේක. වචනය සංවර කළ සේක. පිරිසිදු ජීවිතයක් ගත කළ සේක. කයින් සිදුවන සියළු ම අකුසල් අවබෝධයෙන් යුතුවම ප‍්‍රහාණය කළ සේක. වචනයෙන් සිදුවන සියලූම අකුසල් අවබෝධයෙන් යුතුවම ප‍්‍රහාණය කළ සේක. මිත්‍යා ආජීවය බැහැර කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළ සේක. සීලය පරිපූර්ණ කළ සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සීලයෙන් යුතුව සියලූ දෙව් මිනිසුන් හට මහා කරුණාවෙන් සීලය පිළිබඳව දේශනා කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීලය නිරතුරුවම මම ආරක්ෂා කරමි. සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිස ම අවබෝධයෙන් යුතුවම සිල් පද ආරක්ෂා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිස ම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සියලූ සතුන් කෙරෙහි මෙත් සිත පතුරවමි. ලොකු කුඩා කිසිම සතෙකුට දැන දැන කිසිම හිංසා පීඩාවක් නොකරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා මා තුළ භය තැතිගැනීමක් නැත. අන් සියලූ සත්වයෝ ද බියෙන් හා තැතිගැනීමෙන් වළකින්නේ ය. සුව සේ ජීවත් වන්නේ ය. මම සතුන් මැරීමෙන් වැළකී අන් සියලූ දෙනා ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවමි. එහි ගුණ කියමි. මම සතුන් මැරීමෙන් වැළකීම නිසා ද අන් අය සමාදන් කරවීමෙන් ද ගුණ ප‍්‍රකාශ කිරීමෙන් ද අප‍්‍රමාණ සතුටක් ලබමි. ඒ සතුට මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාර වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසිම තැනකදී, කිසිම අයුරකින් අනුන් සතු දෙයක් සොර සිතින් නොගනිමි. ඉතා කුඩා වූ දෙයක් පවා සොර සිතින් ගැනීමෙන් වළකිමි. මා මෙන් ම අන් සියලූ දෙනා ද තම තමන්ගේ ධනයට හා වස්තුවට ආශා කරති. මේ කිසිවෙකුගේ කිසිම දෙයක් සොර සිතින් හෝ වංචාවෙන් රවටා පැහැර නොගනිමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා….

මම සංසාර දුකින් මිදීම පිණිසම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මෙම සිල් පද ආරක්ෂා කරමි. මම කිසිම අයුරකින් මාගේ බිරිඳ ඉක්මවා (ස්වාමියා ඉක්මවා) වැරදි කාම සේවනයේ නො යෙදෙමි. මම මාගේ බිරිඳ කෙරෙහි (ස්වාමියා කෙරෙහි) ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. මාගේ දරුවන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. පිරිසිදු චරිතයක් ඇත්තෙක් වෙමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා….

මම සංසාර දුකින් මිදීම පිණිසම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසි තැනකදී, කිසිම අයුරකින් බොරුවෙන් අන් අය රැුවටීම නොකරමි. බොරු කීමෙන් පීඩාවට පත් නොකරමි. සත්‍ය වූ වචනම කතා කරමි. සත්‍යයෙහි පිහිටා කතා කරමි. සියලු දෙනාට ඇසීමට ප‍්‍රිය වූ, මිහිරි වචනම කතා කරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා….

මම සංසාර දුකින් මිදීම පිණිසම මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සිහි නුවණ නැති කර දමන්නා වූ, ප‍්‍රමාදයට හේතු වන්නා වූ කිසිම ආකාරයක මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් වළකිමි. දුක පිණිස හෝ සතුට පිණිස හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකිමි. ධනය නැති කරන්නා වූ, ආරක්ෂාව නැති කරන්නා වූ, රෝග පීඩා ඇති කරන්නා වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුළුමනින් ම වළකිමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා….
බලවත් වීරියෙන් හා සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් මා ආරක්ෂා කරන මේ (පංච) ශීලය මාගේ සතුට පිණිසම හේතු වන්නේ ය. මාගේ මෙලොව පරලොව දියුණුව පිණිසම හේතු වන්නේ ය. සිහි නුවණ දියුණු වීම පිණිසම උපකාර වන්නේ ය. වීරිය පිණිසම උපකාර වන්නේ ය. සමාධිය දියුණු වීම පිණිසම උපකාර වන්නේ ය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම උපකාර වන්නේ ය. මාගේ මේ සීලය නිරතුරුවම ආරක්ෂා කර ගනිමි. මේ සීලානුස්සති භාවනාව සතුට පිණිසම, ප‍්‍රමෝදය පිණිසම, සමාධිය පිණිසම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාර වේවා !

(අටසිල්, දසසිල් සඳහා ද සුදුසු අයුරින් සකස් කරගන්න.)

14.5. චාගානුස්සති භාවනාව

පරිත්‍යාගය දියුණු කරන්න…

දැන් ඔබ ඉගෙන ගන්නේ චාගානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්ස්ගේ ශ‍්‍රාවකයෙක් බුද්ධානුස්සති භාවනාව ඉක්මවා ගිහින්, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවල යෙදෙනවා වගේම, තමන්ගේ සීලාදී ගුණධර්ම රකිනව වගේම, තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්නට පුළුවන් දෙයක් තමයි පරිත්‍යාගය. මේ පරිත්‍යාගය දියුණු කරන්නට පුළුවන් ආකාරය තමයි චාගානුස්සතිය කියන්නේ.
ලෝභකම කියන්නේ සිතට කිලූටක්. ලෝභකම මුල්කරගෙන, ලෝභ හැඟීම් මුල්කරගෙන, ලෝභ සිතුවිලි මුල්කරගෙන, කෙනෙක් වචනයෙන් පව් කරනවා. කයින් පව් කරනවා. සිතින් පව් කරනවා. පරිත්‍යාගය කියන්නේ කුසලයක්. පිනක්. පරිත්‍යාගය මුල් කරගෙන කෙනෙක් වචනයෙන් පව් කරන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන කයින් පව් කරන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන මනසින් පව් කරන්නෙ නෑ.

මසුරුකම ජීවිතයට කිලුටක්…

පරිත්‍යාග කරන්නට නම් තමන් මසුරු නැති කෙනෙක් වෙන්නට ඕනෙ. මසුරු නැතිකම කියන්නේ තමන්ගේ ජීවිතයට ලොකු සැනසිල්ලක්. ලොකු ලාභයක්. ලොකු යහපතක්. මසුරුකම කියල කියන්නේ තමන් සතු සම්පත් තවත් කෙනෙක් භුක්ති විඳිනවාට තියෙන අකමැත්ත. මෙන්න මේ මසුරුකම මුල්කරගෙන නපුරු ජීවිතයක්, නපුරු චරිතයක් නිර්මාණය වෙනවා. නමුත් පරිත්‍යාගය මුල් කරගෙන කවදාවත් දරුණු චරිතයක් නිර්මාණය වෙන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන උදාර පිරිසක් බිහි වෙනවා.

එදිනෙදා ජීවිතයට පරිත්‍යාගය …

මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නෙ මසුරු මළ අත්හැරල, පරිත්‍යාගය පිණිස දෑත් සෝදාගෙන ඉන්න කෙනෙක් බවට පත්වෙන්න කියල. අන්න ඒ විදිහට ඕනෑම කෙනෙකුට යම් දෙයක් පරිත්‍යාග කරන්නට පුළුවන් නම්, ඔබ තුළ තියෙනව අඹ ගෙඩි දෙකක් ඒ අඹ ගෙඩි දෙකෙන් එකක් හොඳ අඹ ගෙඩියක් නම්, අනිත් එක තැලූණු අඹ ගෙඩියක් නම්, ඔබ තැලුණු අඹ ගෙඩිය අරගෙන අනිත් එක දානය පිණිස අනුන්ට පරිත්‍යාග කරනව නම්, ඔබ තුළ පරිත්‍යාගය දියුණු වෙච්ච කෙනෙක්.

ඔබ ළඟට කවුරු හරි කෙනෙක් පැමිණුන වෙලාවක ඇඳුමක් ඉල්ලාගෙන, පාවිච්චි කරපු, ඉවත දාපු, කිලූටු ඇඳුමක් දෙන්න එපා. අලූත් ඇඳුමක් දෙන්න. සතුටු වෙන ඇඳුමක් දෙන්න. තවත් කෙනෙක් දැක බලා ප‍්‍රීතියට පත්වෙන ඇඳුමක් දෙන්න. අන්න එතනදි දියුණු වෙන්නෙ ඔබගේ පරිත්‍යාගයයි. හොඳම දේ, යහපත්ම දේ, රසවත්ම දේ දෙන කෙනා යහපත් දේම ලබනවා. මේ නිසා තවත් කෙනෙකුට උපකාරයක් කිරීමේදී තමන්ට එපා දෙයක් අනුන්ට දෙන්න එපා. තමන් කැමති දෙයක් අනුන්ට දෙන්න. ඒක තමයි පරිත්‍යාගය කියන්නෙ.

පරිත්‍යාගය නිසා සිත සමාධිමත් වෙනවා…

මේ පරිත්‍යාගමය ගුණය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ බොහෝ දියුණු කරල තියෙනවා. ඒ නිසා යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ තරාතිරම සොයන්නට යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ බාහිර දුර්වලකම් සොයන්නට යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පිරිසිදු සිතින් පරිත්‍යාග කරන්න. එබඳු ආකාරයේ දෙයක් තමන්ගේ සන්තානයේ ගොඩනැගෙන කොට ඒ පරිත්‍යාගය මුල් කරගෙන තමන්ට සැහැල්ලූ සිතක් ලැබෙනවා. ඒ පරිත්‍යාග ගුණය සිහි කරන කොට තමන්ගේ සිතයි කයයි සැහැල්ලූ වෙනවා. සිතයි කයයි සැහැල්ලූ වෙන කොට ප‍්‍රීතියට පත්වෙනවා. ඒ ප‍්‍රීතිය නිසා සිත සමාධිමත් වෙනවා.

මේ නිසා චාගානුස්සති භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් ඉතාමත්ම මැනවින් දියුණු කරපු භාවනාවක්. ඒ පරිත්‍යාගය ඇති වන්නා වූ චාගානුස්සති භාවනාව ඔබේ දෛනික ජීවිතයට පුරුදු කරගන්න. ලෝභ කෙනෙක් වීම ජීවිතයට නරකක්, නපුරක්, කිලූටක්, අවාසනාවක්. පරිත්‍යාගයක් සහිත කෙනෙක් වීම, යමක් දෙන්න පුළුවන් කෙනෙක් වීම, ජීවිතයට ලාබයක්. ජීවිතයට ආශිර්වාදයක්, ජීවිතයට සැනසිල්ලක්.

ගුණධර්ම දියුණු කරන්න…

මේ නිසා මේ අපේ මනුෂ්‍ය ජීවිතය මේ සුලූ කාලය තුළ දියුණු කරගැනීමේදී මේ කියන ගුණාත්මක චින්තනය තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගැනීමට මහන්සි ගත යුතුයි. ඒ නිසා ලෝබ නැති, කිලූටු නැති, ශාන්ත සිතක් ඔබට දියුණු කරගන්න පුළුවන් වෙනවා පරිත්‍යාගය දියුණු කිරීමෙන්. ඔබ තුළ යම් පරිත්‍යාග ගුණයක් දියුණු වෙනවාද, ඒ මොහොතේ පටන් ආධ්‍යාත්මිකව ගුණධර්ම දියුණු වෙනවා. ඒ බව ඔබ තුළින්ම දැකගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ උතුම් පරිත්‍යාගමය ගුණය දියුණු කරගෙන එය ධර්මාවබෝධය කරා යොමු කරගන්න.

– චාගානුස්සති භාවනාව –

මම අවබෝධයෙන් යුතුවම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි. උතුම් ශ‍්‍රී සද්ධර්මය සරණ ගියෙමි. ආර්ය මහා සංඝරත්නය සරණ ගියෙමි. අවබෝධයෙන් යුතුවම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අත්හැරීම (ත්‍යාගය) පුරුදු කරමි. මම දුක් මහන්සියෙන්, උත්සාහයෙන්, වීරියෙන්, ධාර්මිකව උපයාගත් ධනයෙන් සිල්වතුන්ට ගුණවතුන්ට නිතර දන් පැන් පුදමි.

දුක් මහන්සියෙන් මා උපයා ගත් ධනය අන් අය ප‍්‍රයෝජනයට ගැනීම දැක සතුටු වීම ඉතා අපහසු දෙයකි. මම ඉතා සතුටින් මගේ ධනය වියදම් කර සිල්වත් ගුණවත් උතුමන්ට දන් පැන් පුදමි. ඒ දැක මම ඉතා සතුටට පත් වෙමි.

සංසාර දුකින් මිදීමට වෙර දරනා සිල්වත් ගුණවත් උතුමෝ මගේ දන් පැන් වළඳා කාය ශක්තිය ඇති කරගෙන, චිත්ත ශක්තිය ඇති කරගෙන සුව සේ සිත දියුණු කරනු දැක මම සතුටු වෙමි.

ඒ උතුමන් වහන්සේලා යම් තාක් දිනයක උතුම් මාර්ග-ඵලයන්ට පත්වේද ඒ පිණිස මමත් උපකාර කළ අයෙක් කියා සිතමින් මම සතුටු වෙමි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් පින්කෙත වශයෙන් හඳුන්වා ඇති සිල්වත් ගුණවත් උතුමන්ට මම නිතර දන් පැන් පුදා පින් රැුස් කරමි. සතුටට පත් වෙමි.

මම මසුරු මළ දුරුකොට දන් පැන් පූජා කරන කෙනෙක් වෙමි. තුන් සිත පහදවා ගෙන දන් පැන් පූජා කර මම සතුටක් ලබමි.
මා සතු ඉතා වටිනා අගනාම දේ පූජා කර මම ඉතා සතුටට පත් වෙමි.

මම නිතර දන් දීම පිණිසම සූදානම් වූ කෙනෙක් වෙමි. මම නිතර දන් පැන් පූජා කිරීමෙහි ඇලූන කෙනෙක් වශයෙන් කටයුතු කරමි.
මම පිරිසිදුවට පිළිවෙලට සකස් කර දන් පැන් පූජා කරමින් සතුටු වෙමි.

මම දන් පැන් ලබාගන්නා උතුමන්ට ගැලපෙන ආකාරයට හොඳින් විමසා බලා දන් පැන් පූජා කර සතුටු වෙමි.

මම දන් පැන් පූජා කිරීමෙන් මෙලොව සැප සම්පත් බලාපොරොත්තු නො වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් ශරීර වර්ණය ඇති කර ගැනීම බලාපොරොත්තු නොවෙමි. ආයුෂ වැඩිකර ගැනීමට බලාපොරොත්තු නොවෙමි. අන් අයගේ කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තු නොවෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් සමාජයේ උසස් තනතුරු බලාපොරොත්තු නොවෙමි. පරලොව දිව්‍ය සම්පත් ද බලාපොරොත්තු නොවෙමි. මම චිත්තාලංකාරය පිණිසම දන් පැන් පූජා කරමි. මම සංසාර දුකින් නිදහස් වීම පිණිසම ප‍්‍රඥාව දියුණු කර ගැනීම පිණිස ම දන් පැන් පූජා කරමි.
ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වෙන කෙනා (සේඛ) අත්හැරීම බලයක් වශයෙන් දියුණු කළ යුතු බව මම දනිමි. මම ද සංසාර දුකින් නිදහස් වන උතුම් ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වන කෙනෙකි. මම අත්හැරීම බලයක් වශයෙන් දියුණු කරමි. එය මට ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස ම උපකාර වේවා!

මම රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් අතහැරීම දියුණු කර ගනිමි. ත්‍යාගය නම් වූ සේඛ බලය දියුණු කොට අසේඛ නම් වූ උතුම් තත්වයට පත් වෙමි.

එය මට සතුටකි. ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

ආර්ය ශ‍්‍රාවකයාට ත්‍යාගය ධනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මම මේ පුරුදු පුහුණු කරන අත්හැරීම (ත්‍යාගය) මට ආර්ය ධනයකි. මම ආර්ය ධනයකට හිමිකම් කියන ආර්ය ශ‍්‍රාවකයෙකු බව සිතමින් සතුටු වෙමි.

ආර්ය ධනයට හිමිකම් කියන කෙනා දිළින්දෙක් නො වන බව මම දනිමි. එබැවින් මා සතු කොපමණ ධනය හෝ වියදම් කර මම ත්‍යාගය පුරුදු පුහුණු කරමි. ඒ නිසා මම දිළින්දෙක් නොවෙමි. මම ආර්ය ධනයෙන් යුතු ආර්ය ශ‍්‍රාවකයෙක් වෙමි.

මම ශ්‍රේෂ්ඨ ආර්ය භාවය වන උතුම් අරහත්වය දක්වාම ත්‍යාගය පුරුදු කරමි. මම ආර්ය ධනය දියුණු කරමි.

එය මට සතුටකි. ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

අත්හැරීම (ත්‍යාගය) සම්පත්තියක් වශයෙන් මම දනිමි. ත්‍යාග සම්පත්තිය මම නිරතුරුවම පුරුදු කරමි. ත්‍යාග සම්පත්තිය මාගේ ජීවිතයට රැකවරණය සලසා දෙයි. ත්‍යාග සම්පත්තිය ජීවිතයට ආරක්ෂාව ලබා දෙයි. ත්‍යාගය විපත්තියක් නොව සම්පත්තියක්ම ලෙස සලකා මම දියුණු කරමි.

ආරක්ෂාව, රැුකවරණය ලබා දෙන ත්‍යාගය මට මහා සම්පත්තියකි. මම විවිධ අයුරින් අත්හැරීම දියුණු කර ත්‍යාග සම්පත්තිය දියුණු කරමි. මාගේ අත්හැරීම සම්පත්තියක් වශයෙන් සිහිකරන මා හට සතුටක් ඇති වේ.

ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

14.6. දේවතානුස්සති භාවනාව

දැන් ඔබ ඉගෙන ගන්නේ අලුත් දෙයක්. අලූත්ම භාවනාවක්. මීට පෙර ඔබ පුරුදු කරල නැතිව ඇති. මේ භාවනාවට කියන්නේ දේවතානුස්සති භාවනාව කියල. දෙවියන්ට ධර්මය කියා දීලා දෙවියන්වත් ධර්මය කරා පමුණුවන්නෙ බුදුරජාණන් වහන්සේ නමක් විසින්. බුදුරජාණන් වහන්සේලා ශ‍්‍රී සද්ධර්මය පවසන්නෙ මිනිසුන්ට පමණක් නෙවෙයි. දෙවියනුත් ඒ ධර්මය ශ‍්‍රවණය කරනවා. මේ ලෝකයේ සත්ව වර්ගයා අතර දිව්‍ය ලෝක විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ දිව්‍ය ලෝකවල නම් පවා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ දිව්‍ය ලෝක තමයි චාතුම්මහාරාජික, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසත්තී දිව්‍ය ලෝක. ඒ වගේම බ‍්‍රහ්ම ලෝක වල සිටින බ‍්‍රහ්මයින් ආදී පිරිස. මේ දෙවි බඹුන්ට එහි ගුණ පුරුදු කරගන්නට පුළුවන් වුණේ, මිනිස් ලෝකෙදි කරුණු පහක් දියුණු කරල. ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, පඤ්ඤා.

සේඛ බල ඇති කරගන්න…

ශ‍්‍රද්ධාව කියන්නෙ තෙරුවන් සරණ ගිහින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව පිහිටුවා ගැනීම. සීලය කියන්නේ කායික වාචසික සංවරකම. ශ‍්‍රැත කියන්නේ ධර්ම ඤාණය. චාගය කියන්නේ පරිත්‍යාගමය ගුණය. පඤ්ඤා කියල කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව තමන්ගේ තියෙන අවබෝධය. මේවට කියන්නේ සේඛ බල.

මෙන්න මේ සේඛ බල දියුණු කරපු බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස මිනිස් ලෝකය අත්හැරල, මරණයට පත්වුනාට පස්සේ දිව්‍ය ලෝකවල ඉපදුණා. ඒ දිව්‍ය ලෝක තමයි කලින් කිව්ව තාවතිංස, යාම ආදී දිව්‍ය ලෝක.

දේවතානුස්සතිය වඩන්නේ මෙහෙමයි….

ශ‍්‍රාවකයෝ හිතන්නේ මෙන්න මේ විදිහටයි. අපගේ ශාස්තෘන් වහන්සේ දිව්‍ය ලෝක ගැන දේශනා කොට වදාළා. ඒ දිව්‍ය ලෝක තමයි චාතුම්මහාරාජික, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසත්තී දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝකවල සිටින දෙවිවරුන් තුළ ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, පඤ්ඤා කියන මේ ගුණ ධර්ම තියෙනවා. දෙවියන්ට ඒ ගුණ ධර්ම ලැබුණේ මිනිස් ලෝකයේ දී මිනිසුන් වශයෙන් ජීවත් වෙච්ච කාලෙ ඒ ගුණ ධර්ම දියුණු කරපු නිසා. ඒ නිසා දෙවියන් තුළ ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, පඤ්ඤා කියන ගුණධර්ම තියෙනවා නම්, ඒ දෙවියන් තුළ තියෙන ගුණධර්ම මා තුළත් තියෙනවා. මා තුළත් ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, පඤ්ඤා තියෙනවා. මා තුළ යම් ආකාරයකට ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, පඤ්ඤා කියන ගුණධර්ම තියෙනවා ද, මේ ගුණ ධර්ම දෙවියන් තුළත් තියෙනවා.

මෙන්න මේ විදිහට පින්වතුනි, දෙවියන් තුළ ඇති ගුණධර්ම යමක් ඇද්ද, ඒ ගුණ ධර්ම තමා තුළත් තියෙනවා කියල සිහි කරන්න තමාට පුළුවන්. තමා තුළ යම් ගුණධර්ම ඇත්ද, ඒවා දෙවියන් තුළත් තියෙනවා කියල සිහිකරන්නට පුළුවන්. අන්න ඒ ආකාරයට දිව්‍යත්වය තමා තුළත්, තමා තුළ ඇති දිව්‍යත්වය දෙවියන් තුළත් දැකීමේ හැකියාව තමයි දේවතානුස්සති භාවනාව කියල කියන්නේ.

දෙව්ලොව ධර්මය දියුණු කරන්න බැරිද?

මේක බුදුරජාණන් වහන්සේගේ කාලෙ ශ‍්‍රාවකයෝ දියුණු කළා, පුරුදු කළා. බොහෝ දෙනෙකුගෙ අදහසක් තියෙනවා දිව්‍ය ලෝකවල ධර්මය දියුණු කරන්නට බෑ. දිව්‍ය ලෝකවල පින් කරන්නට බෑ කියල. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය කථාවක්. බුදුරජාණන් වහන්සේගේ බොහෝ ශ‍්‍රාවක පිරිස් දිව්‍ය ලෝකවල උපන්නා. මේ නිසා දිව්‍ය ලෝකවල තියෙන දිව්‍යත්වය ඔබේ ජීවිතය තුළ ඇතිකරගන්න පුළුවන්. හොඳම ක‍්‍රමය තමයි මේකට මේ දේවතානුස්සති භාවනාව දියුණු කරන එක.

දේවතානුස්සති භාවනාව පුරුදු කිරීමේදී මිනිස් ලොව තියෙන මානුෂික සැප ගැන උපේක්ෂාවට පත්වෙනවා. උපේක්ෂාවට පත්වෙලා දිව්‍ය ලෝකයේ හිත පිහිටනවා. මේ නිසා ඒ කෙනාට පුළුවන් මිනිස් ජීවිතය අත්හරින කොට, නිදා සිට අවදිවුණාක් මෙන් දිව්‍ය ලෝකයේ ඉපදිලා, මේ ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, පඤ්ඤා කියන ගුණධර්ම දියුණු කරල, සීල, සමාධි, ප‍්‍රඥා කියන ගුණ ධර්ම දියුණු කරල, ආර්ය මාර්ගය තුළ නිවන කරා යන්න. ඒකට උපකාර වන දෙයක් තමයි දේවතානුස්සති භාවනාව.

– දේවතානුස්සති භාවනාව –

සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන සේඛ බලයන් ගෙන් සමන්විතව මනුලොවදී ධර්මයේ හැසිරී චාතුම්මහාරාජික ආදී දෙව් ලොව ඉපිද සිටින පින්වත් දෙවිවරුන් ඇති බවත්, ඒ සේඛ බල තමා තුළ ද ඇති බවත්, නුවණින් සිහි කිරීම දේවතානුස්සතියයි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේදී, බුදුරජාණන් වහන්සේ පිළිබඳවද, ශ‍්‍රී සද්ධර්මය පිළිබඳවද, ආර්ය මහා සංඝරත්නය පිළිබඳවද, අවබෝධයෙන් යුතුවම, පැහැදීමෙන් යුතු වූවේය. ඒ සද්ධාව නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දේ ය. ඒ ආකාර වූ, අවබෝධයෙන් යුතු පැහැදීමක් මා තුළ ද ඇත්තේ ය. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැුකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේදී, සත්ව ඝාතනයෙන් වැළකුණෝ ය. සොරකමින් වැළකුණෝ ය, වැරදි කාම සේවනයෙන් වැළකුණෝ ය, බොරු කීමෙන් වැළකුණෝ ය, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝ ය. නිති පන්සිල් ද, පොහොය අටසිල් ද, ආරක්ෂා කළෝ ය. ඒ සීලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දේ ය. මම ද නිති පන්සිල් ද, පොහොය අටසිල් ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැුකවරණයකි. මහා ආලෝකයකි.
” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙලවර යහපත් වූ, උතුම් ශ‍්‍රී සද්ධර්මය, මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේඛ බලය, දියුණු කරගත්තේ ය. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දේ ය. මම ද, උතුම් ශ‍්‍රී සද්ධර්මය මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත බලය දියුණු කර ගනිමි. එය මට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මසුරුමළ දුරු කොට, කර්ම කර්ම ඵල අදහා, ඉතා සතුටින් යුතුව, තෙරුවන් උදෙසා, දන් පැන් පූජා කළෝ ය. ඒ චාග බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දේ ය. මම ද, මසුරු මළ දුරුකොට, පින් පව් අදහාගෙන, උතුම් තෙරුවන උදෙසා, නිති දන් පැන් දෙන්නෙමි. ඒ චාග බලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැුකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන, තිලකුණු පිළිබඳව ද, මේ ශරීරයේ හට ගැනීම පිළිබඳව ද, නැතිවීම පිළිබඳව ද, අවබෝධයෙන් සිටියෝ ය. ඒ ප‍්‍රඥා බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දේ ය. මම ද, ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්, මේ ශරීරයේ හටගැනීම පිළිබඳව ද, නැතිවීම පිළිබඳව ද, අවබෝධයෙන් යුතුව, කාලය ගෙවමි. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැුකවරණයකි. මහා ආලෝකයකි.

” තාවතිංස නම් වූ,….

” යාම නම් වූ,….

” තුසිත නම් වූ,….

” නිම්මාණරතී නම් වූ,….

” පරනිම්මිත වසවත්ති නම් වූ,….

” මේ සියලු දෙවියෝ, මේ මනුලොව දී, සේඛ බලයන් දියුණු කොට, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය, මම ද මේ සේඛ බලයන්ගෙන්, සමන්විත වෙමි. එය මට මහා ලාභයකි, මහා රැකවරණයකි, මහා පිළිසරණකි, මහා ආලෝකයකි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි