පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා 250 නමකට සුවසේ දන් වැළඳිය හැකි පරිදි ඉදිකරන ලද අභිනව සුවිසල් දාන ශාලාව 2015-08-14 දින, එනම් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසර 16 සපිරෙන අද දිනයේ විවෘත කරන්නට යෙදුනා. ඊයේ දිනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකින් ආරම්භ වූ මෙම පින්කම අද දින දහවල් 250 නමකට අධික වූ මහා සංඝ රත්නය උදෙසා පිරිනැමුණු මහා සංඝගත දක්ෂිණාවකින් නිමා වුනා. මෙම පින්කමෙහි තවත් සුවිශේෂී අරමුණක් වූයේ දඹදිව බුදු නුවණ අසපුවෙහි ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතව සිටියදී අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමයි.

පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ කලින් පන්සලක පැවිදි වී සිටි ස්වාමීන් වහන්සේ නමක් වන නිසා මෙම මහා සංඝගත දක්ෂිණාව සඳහා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු නායක ස්වාමීන් වහන්සේලා, පොල්ගහවෙල සහ ඒ අවට විහාරස්ථාන වල වැඩ වසන ස්වාමීන් වහන්සේලා ද මෙම පින්කම සඳහා වැඩම කරවන්නට යෙදුනා. මෙම උතුම් පින්කම සඳහා විහාරස්ථාන වලින් වැඩම කළ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මහමෙව්නාව භාවනා අසපු ශාඛා වලටත් තායිලන්තයෙන් ගෙන්වන ලද සුවිශේෂී ධාතු කරඬු 100 ක්ද පූජා කෙරුනා.

මෙම උතුම් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙනුත් මහා සංඝගත දක්ෂිණාවෙනුත් රැස්වූ සියලු පින් සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන් ඇතුලු පින් කැමති සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදු සසුන බොහෝ කලක් ආරක්ෂා කරත්වා!

ඒ වගේම මේ සියලු පින් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි අපවත් වී වදාළ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා! වහ වහා සසර දුකින් අත්මිදෙත්වා!

එමෙන්ම මෙම සුවිසල් දාන ශාලාව ඉදිකිරීම සඳහා නන් අයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත්, මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ පින් හේතුවාසනා වේවා!

දන්පැන් පිළියෙළ කිරීම සඳහා බොහෝ වෙහෙස මහන්සි වූ පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ යොවුන් බෝධිඤාණ සභාවේ දූපුතුන්ටත් මේ සියලු පින් නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත්, මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් හේතුවාසනා වේවා!

එමෙන්ම මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් මහමෙව්නාව උපස්ථාන කමිටුවේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිස, මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ පින් හේතුවාසනා වේවා!

සියල්ලෝම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!