පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට අයත් බීජ සූත්‍රය ඇසුරෙන් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

දැන් මේ පින්වතුන් සූදානම් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ සුවිශේෂ දේශනයකට සවන් දෙන්නයි. මේ උතුම් බුද්ධ දේශනය බුදුරජාණන් වහන්සේ විසින් වදාළෙ පැළවෙන දේවල් සමූහයක් මුල් කරගෙනයි. ඒ නිසා මේ දේශනාවට කියනව “බීජ සූත්‍රය” කියල. මේ දේශනාව සඳහන් වෙන්නෙ සංයුත්ත නිකායේ තුන්වන කොටසේ.

බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සෑම දේශනාවකම ඉලක්කය ඉතා පැහැදිළියි. ඒ තමයි චතුරාර්ය සත්‍යය අවබෝධය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමෙන්මයි. තමන්වහන්සේ විසින් අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍යය ධර්මය අනිකුත් සත්වයන්ටත් අවබෝධ කිරීමේ අරමුණින් දඹදිව් තලය සිසාරා අවුරුදු හතලිස් පහක් පුරාවට උන්වහන්සේ වැඩම කළේ චතුරාර්ය සත්‍යය ධර්මය විවිධ විචිත‍්‍ර ලෙස කියා දෙමින්මයි. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළේ නැත්නම් අපි විතරක් නෙවෙයි මේ ලෝක සත්වයාම අමාරුවෙ වැටෙනවා. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොකළොත් මේ ජීවිතයේ නරක තැනකට නොගියත්, ඊළඟ ජීවිතයේ නරක තැනකට නොගියත්, ඊළඟ ජීවිතයේදී හරි නරක තැනකට යනවා. ආර්ය සත්‍යය අවබෝධ කිරීමෙන් ඇතිවෙන රැකවරණය වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යයම අවබෝධ කරන්න කියලා.

සමහර විට කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. “මම සිල් රකින කෙනෙක් පින් දහම් කරන කෙනෙක්. මම කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ඔය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න ඕන නෑ. මට ඔය ඇති” කියලා කෙනෙක් සෑහීමකට පත්වෙලා කියන්න පුළුවන්. අපි එයා ගැන මෙහෙම හිතමු. එයා දන් දෙනවා, සිල් රකිනවා, නමුත් ආර්ය සත්‍යය අවබෝධයට සිත යොමුකරන්නෙ නැහැ. ඉතින් එයා මරණයට පත්වෙලා කරපු පින්වල විපාකය හැටියට ඔන්න එයා ආයෙත් මිනිස් ලෝකෙට එනවා. දැන් එයා ඇමරිකාවේ හරි, එංගලන්තෙ හරි ඉපදිල ඉන්නවා. දැන් මෙයා හොඳට ඉංග්‍රීසි කතා කරනවා. සන්තෝෂයෙන් කාලා බීලා සැප සේ ඉන්නවා. පින් දහම් කරපු කෙනෙක් නිසා ගොඩාක් ලස්සනයි කියලත් අපි හිතමු. නමුත් ඒ ජීවත්වන රටේ කර්ම කර්මඵල ගැන විශ්වාසයක් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධය ගැන කතා කරන්නෙ නැහැ. පංචානන්තරිය පාප කර්ම කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ.

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »