මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් විශේෂ දහම් වැඩසටහනක් ඊයේ දින (2018-05-26) රාත්‍රී 8 සිට රැය පහන්වන තුරු පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වුනා.

දහස් සංඛ්‍යාත පිරිසකගේ සිත් සතන් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැදැහැ බැතිපෙම් උපදවමින් මෙම අසිරිමත් දහම් වැඩසටහන මෙහෙයවන ලද්දේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසිනුයි. සම්බුදු තෙමඟුල සිහිපත් කරවන ප්‍රතිමා වහන්සේලා තැන්පත් කොට ඉතා මනරම් ලෙස නිර්මාණය කොට තිබූ සද්ධර්ම මණ්ඩපය ඉදිරිපිට සිට වැසි සහිත කාලගුණය මධ්‍යයේ වුවද නිදි වරාගෙන සැදැහැ සිත් පුබුදුවාගෙන රැයක් පුරා බණ අසා බොහෝ පිරිසක් අපමණ පින්ඵල රැස්කරගත්තා.

තමන් ආදරයෙන් හදා වඩා පෝෂණය කළ දරුවන් බුදු සසුනට පූජා කළ පින්වත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම ද මෙහි විශේෂ අරමුණක් වූ නිසා මහමෙව්නාවේ පැවිදිව සිල් ගුණදම් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සියලු දෙමව්පියන් ද මෙම පින්කමට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙලොව උපන් ජාත චේතිය වන ලුම්බිණි සල් උයන, දස මර සෙන් පරදවා සම්බුදු බව ලැබූ බෝධි චේතිය වන බුද්ධගයා වජිරාසන පින්බිම, ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ ධම්ම චේතිය වන බරණැස ඉසිපතන මිගදාය, අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ නිබ්බාන චේතිය වන කුසිනාරාවේ උපවර්තන සල් උයන යන සතර ස්ථානයන් සිහිපත් කොට හිමිදිරි උදෑසන ක්ෂීර පායාස බුද්ධ පූජාවන් පවත්වා පුණ්‍යානුමෝදනා කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන නිමාවට පත්වුනා.

පැමිණ සිටි සියලු දෙනාගේ කුසගිනි වෙහෙස නිවාලමින් රැය පහන්වන තුරු ද හිමිදිරි උදෑසන ද නොයෙක් ආහාරපාන සහ ගිලන්පස දන්සැල් පැවැත්වුනා.

දුලබව ලද මිනිස් දිවිය තුල බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් සිදුකරන්නට යෙදුන මෙම අසිරිමත් පුණ්‍ය කර්මයෙන් ජනිත වූ සියලු පින් මේ සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා සහ ආශීර්වාදය ලබාදෙමින් බොහෝ පිරිසකට සුගති මාවත විවර කළ අපගේ ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා! නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව බොහෝ කලක් ලෝ සසුන් වැඩ වඩන්නට තෙරුවන් සරණ දෙව් රැකවරණ ලැබේවා! මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් සිව්සස් දහම් අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා!

එමෙන්ම ඝටීකාර බ්‍රහ්මරාජයා, සක් දෙවිඳුන්, සතර වරම් දෙවිවරුන්, විස්කම් දෙව්පුතුන්, සෙන්පති දෙවිවරුන්, ආලවක දිව්‍යරාජයා ප්‍රධාන පින් කැමති සියලු දෙවියෝ ද මේ පින් සතුටින් අනුමෝදන්ව මේ ගෞතම බුදු සසුන බොහෝ කලක් ආරක්ෂා කරත්වා! අපට සුවසේ දහමේ හැසිරෙන්ට උපකාර කරත්වා!

එමෙන්ම මෙම පින්කම සාර්ථක කරගැනීම සඳහා ඇපකැප වූ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් දන්සැල් පැවැත්වූ සියලු පින්වතුන්ටත් සැරසිලි කටයුතු සඳහා දායක වූ සියලු දෙනාටත් ආරක්ෂාව සැපයූ සියලු දෙනාටත් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සේඛබල ධර්මයන්ගෙන් වැඩී සුගති රැකවරණය ලබමින් මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා!

මෙම අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව නැවත නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න