රෝහිණී දාසියගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ රෝහිණී ජාතකය කථාවෙන් කියවෙන්නේ අධික මෝඩකම ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු අතින් මෝඩකම් කෙරෙනවා. ඒ මෝඩකම් නිසා පස්සේ පසුතැවෙන්නත් සිද්ධවෙනවා. මේ මෝඩකම් සාමාන්‍ය මෝඩකම්වලට වඩා භයානකයි.
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ඒ දවස්වල අනේපිඬු සිටුතුමාගේ නිවසේ රෝහිණී නමින් දාසියක් සිටියා. දවසක් ඈ වී කොටන තැනට ඇවිත් ඇගේ මහළු මෑණියන් පැදුරක් එළාගෙන වැතිරුනා. එතකොට ඒ මැහැලියව මැස්සෝ වටකරගත්තා. ඉඳිකටුවලින් විදිනවා වගේ විදින්ට පටන්ගත්තා. ඈ තම දියණියට මෙහෙම කිව්වා.
“අනේ දුවේ… මේං… මැස්සෝ මාව වටකරගෙන විදිනවා…. මේ මැස්සන්ව එළවාපං….”
“හරි අම්මේ…. මං මැස්සෝ එළවන්නං…” කියලා වී කොටමින් සිටින මෝල්ගහෙන්ම මැස්සෝ වහන වහන තැන්වලට වැරෙන් පහර දුන්නා. මෝල්ගස් පහර කාපු ඒ මහළු අම්මා එතනම මැරුනා. අම්මාගේ කතාවක් නැති නිසා ඈ මළ බව තේරුනා. එතකොට ඈ අම්මාව බදාගෙන වැළපෙන්ට පටන් ගත්තා.
අනේපිඬු සිටුතුමාට මේ සිදුවීම දැනගන්ට ලැබුනා. සිටුතුමා ඇවිත් ඇගේ අවසන් කටයුතු කෙරෙව්වා. ජේතවනයට ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ සියලුම විස්තර පවසා සිටියා.
“ගෘහපතිය…. ඔය දාසිය ඔය වැඬේ කළේ මේ ආත්මේ විතරක් නොවෙයි. කලින් ආත්මෙකත් මැස්සන් එළවන්ට ගොහින් තමන්ගේ අම්මාට මෝල්ගහෙන් පහර දීම නිසා ඈ මැරුනා….”
එතකොට සිටුතුමා ඒ යටගිය කථාව කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
“ගෘහපතිය…. ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. මහා බෝධිසත්වයෝ බරණැස් සිටු පවුලේ ඉපදිලා සිටුවරයාගේ අභාවයෙන් පසු සිටු තනතුරට පත්වුනා. ඒ සිටුතුමාටත් රෝහිණී නමින් දාසියක් සිටියා. දවසක් දාසිය වී කොටන තැනට ඇගේ මහළු අම්මා ඇවිත් හාන්සි වුනා. මැස්සන් ඒ මැහැලිය වටකරගෙන විදින්ට පටන් ගත්තා.
“අනේ දුවේ… මේ මැස්සන් එළවාපං…” කියලා වී කොටමින් ඉන්න සිය දුවට කිව්වා. එතකොට ඒ දුව අම්මාගේ ඇගේ මැස්සන් වහන කොට ඒ මැස්සන්ට මෝල් ගහෙන් ගැහැව්වා. ඒ හේතුවෙන් අම්මා මරණයට පත්වුනා. බෝසත් සිටුතුමාට එය අසන්නට ලැබුනා. එතකොට ඔහු මේ ගාථාව කිව්වා.
“නුවණ තියෙන සතුරා උතුම්
දයාවන්ත මෝඩයාට වඩා
බලන්ට මේ මෝඩ රෝහිණී
මැස්සන් එළවන්ට ගොහින්
මව් නසා ශෝකෙන් ඉන්නේ”
ගෘහපතිය, මැස්සන් මරන්ට ගොහින් මව් මැරුවේ දැන් විතරක් නොවෙයි. එදාත් කළේ මේකමයි. එදා මව් වෙලා උන්නේ මේ මව්මයි. දුව වෙලා උන්නේ ඔය දුවමයි. බරණැස් මහසිටුවරයා වෙලා උන්නේ මමයි.”කියලා මේ රෝහිණී ජාතකය නම් කථාව වදාලා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ