“පවින් රැස්වෙන්නේ දුකමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා බොහෝ දෙනෙකුට වරදින් මිදෙන්න ලැබුණා. සුමගට එන්න ලැබුණා. වැටි වැටී නැගිටින ජීවිතය තුළ යළි කිසිදාක නොවැටෙන විදිහට නැගිටගන්න ලැබුණා. පැවිදි වුණත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට ඒ දහම් වැඩපිළිවෙලහි රැඳී සිටින්න පින මදි වූ අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා අකුසලයෙන් මුදවා ගැනීම පිණිස ධෛර්යවත් කරනවා.

සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි ලාළුදායී නමින් තෙර නමක් වැඩහිටියා. ඒ තෙරුන් වහන්සේ සංඝයාට අනුශාසනා කිරීම පිණිස කිසිසේත්ම සුදුසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ තෙරුන්ගෙන් අවවාද ගන්නට ගිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමාරුවේ වැටුණා. අදට වුණත් නුසුදුසු කෙනෙකුගෙන් අවවාද ගන්නට ගියොත් අමාරුවේ වැටෙනවා. නරක වැඩක් වුණත් රහසේ කරන්න කියා උපදෙස් ලැබේවි. මෙතනත් වුණේ එවැනි දෙයක්.

ඒ ලාළුදායී තෙරුන් සෙවණේ සිටි එක්තරා භික්ෂුවක් හීන වීරියෙන් යුක්ත වුණා. ධර්මය මෙනෙහි කරගන්න බැරිවුණා. රාගය විසින් සිත යටපත් කළා. අධික පීඩාවකට පත්වුණා. එවිට ඒ භික්ෂුව කළේ අර ලාළුදායී තෙරුන් වෙත ගොස් උපදෙස් පැතීමයි. ලාළුදායී තෙරුන් වැරදි උපදෙස් දුන්නා. ඒ හේතුවෙන් අර භික්ෂුවට සංඝාදිසේස ආපත්තිය සිදුවුණා. රාගය ඇතිවෙන හැම අවස්ථාවෙදිම තමන් විහින්ම සිල් කිළුටු කරගත්තා.

දිනක් මේ භික්ෂුව තම හිතවත් ස්වාමීන් වහන්සේලාට මේ කරුණ සැළකළා. මෙය ඇසූ උන්වහන්සේලා බොහෝ කම්පා වුණා. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා. භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුව කැඳෙව්වා.

“ඔබ ධර්මයේ හැසිරෙන ඇල්ම නැතිවී ගොස් සිතට අරතිය ඇති වූ විට සිල් කිළුටු කරගන්නවා යනු සැබෑද?”

“එසේය, ස්වාමීනී”

“ඔබ කුමක් නිසාද මෙවැනි බරපතල වැරැද්දක් කරගත්තේ? හිස් පුරුෂය, ඔබ මේ කරගත්තේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ නමකට ගැලපෙන දෙයක් නෙවෙයි.”

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට තම ක්‍රියාවෙහි වරද ඉස්මතු කොට පෙන්වා දුන්නා. මේ හේතුවෙන් තමන්ට සිදුවන අලාභය පෙන්වා දුන්නා. වීරිය ගැනීමේ අනුසස් කියා දුන්නා. පවෙහි ඇති භයානකකම කියා දුන්නා. සසරෙහි දුක කරා සත්වයා රැගෙන යන්නේ පව විසින් බවත්, එනිසාම කිසිදා පවට ආසා නොකළ යුතු බවත් පහදා දී මේ ගාථාව වදාළා.

පාපං චේ පුරිසෝ කයිරා – න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ

ඉදින් කෙනෙක් කළොත් පවක් – එය යළි යළි නොකළ යුතුය
කිසිවිට ඒ පව් කෙරුමට – ආසාවක් නොකළ යුතුය
සසරේ දුක වෙත ගෙන යන – පව් කිසිවෙක් නොකළ යුතුය
පව් යනු මේ දුක් රැස් වෙන – මුල් දේ බව සිතිය යුතුය


පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබ පින් ගැනත්, පව් ගැනත්, සෑහෙන්න දන්නවා. පව් කරන්න මුල් වෙන්නේ භය නැතිකම නිසයි. සමහර අය අපායෙ උපදින්න කිසි භයක් නෑ. විශ්වාස කරන්නෙත් නෑ. අපි මැරී ගොස් යළි උපදින බව පිළිගන්නෙත් නෑ. මේ සිතේ ඇති ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල් බව දන්නෙත් නෑ. පිළිගන්නෙත් නෑ. ඔවුන් නොයෙක් අයුරින් නොමග යනවා. කෙළෙහිගුණ නැතිකරගන්නවා. ඊර්ෂ්‍යා කරනවා. අනුන්ට හිරිහැර කරනවා.

අනුන්ගේ දියුණුවට වලකපනවා. කේළාම් කියලා කොටවනවා. අවුල් හදනවා. පළිගැනීමෙන් සතුටු වෙනවා. කවරදාකවත් මෙවැනි පව්වලට අපි හවුල් වෙන්න ඕන නෑ. පවින් රැස්වෙන්නේ දුකමයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ