බුදුවරුන්ගේ උපත සැපයෙකි
පින්වතුනේ, පින්වත් දරුවනේ, බොහෝ දෙනෙක් එක්රැස් වූ විට නිතර කතා කරන්නේ අනුන් පිළිබඳ ඕපාදූපයි. එහෙමත් නැත්නම් අනුන්ගේ ඇදකුදයි. එහෙමත් නැත්නම් අනුන්ට අපහාස උපහාස කරනවා. තමන් කතා බස් කළ යුත්තේ කුමක්ද කියා නුවණින් තෝරාගෙන කතාබස් කරන්නේ ලෝකයේ ඉතාමත් ස්වල්ප දෙනයි.
ඇතැම් අවස්ථාවන්හීදී බුද්ධ කාලයේ වැඩසිටි භික්ෂූන් වහන්සේලා පවා ධර්ම කථාවෙන් බැහැරව වෙනත් කතාවල පැටලී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඉතාමත් කරුණාවෙන් ඒ භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කොට දී යහපත් කතාබහ කරන්නට උනන්දු කරවනවා. මෙයත් එබඳු දෙයක්.
එක දවසක් සැවැත් නුවර ජේතවනයෙහි උපස්ථාන ශාලාවෙහි පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේලා රැස්වෙලා හිටියා. එක භික්ෂුවක් මෙහෙම ඇහුවා.
“ඇවැත්නි, හා එහෙනම් කියමු බලන්න. මේ ලෝකයේ තියෙන සැප කුමක්ද?”
එතකොට එක භික්ෂුවක් මෙහෙම කිව්වා.
“මේ ලෝකයේ වෙන මොන සැපක් ද තියෙන්නේ රජ සැපය හැර… රජ සැපය තමයි නියම සැපය…”
එතකොට තව භික්ෂුවක් මෙහෙම කිව්වා.
“නෑ… එහෙම කියන්න බෑ! කෙනෙකුට ප්‍රියමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදිය ලැබෙනවා නම් ඒ පංචකාම සැපය තමයි සැප.”
තව භික්ෂුවක් මෙහෙම කිව්වා.
“එහෙමත්ම කියන්න බෑ….! ඇයි, ඇල්හාලේ බත් උයලා මස් වෑංජනයක් එක්ක තිබුණොත් ඒ සැපයට එහා සැපයක් තිබේද?”
මේ අවස්ථාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කළා.
“පින්වත් මහණෙනි, මේ වෙලාවේ මොකක් ගැනද කතා බස් කර කර ඉන්නේ?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි මෙන්න මෙවැනි අදහසක් ගැන කතා බස් කරමින් හිටියා. සැපය ගැන එක එක අදහස් කියවුණා…”
එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, ඕවාද කතා කර කර හිටියේ…? ඔය හැම කතාවක්ම සසර දුකට වැටෙන එකක්මයි. මේ තියෙන්නේ බුද්ධ කාලයයි. මෙවැනි කාලයක ධර්මය ශ්‍රවණය, සංඝයාගේ සමගිය, සංඝයා සතුටින් යුක්තව සමගි සම්පන්නව ධර්මයේ හැසිරීම ආදියට උදව් දෙන දේකුයි කතා කළ යුත්තේ.”
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.
සුඛෝ බුද්ධානං උප්පාදෝ – සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි – සමග්ගානං තපෝ සුඛෝබුදුවරුන්ගේ උපත සැපයෙකි – උතුම් බුදුබණ දෙසුම සැපයෙකි
සඟරුවනෙ සමගිය ද සැපයෙකි – සමගියෙන් ඇති තපස සැපයෙකි
පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් බලන්න. හැබෑම සැපය ඇතිවන්නේ කොහේද කියා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ලෝකයට සැප ලැබීමයි. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දේශනා කිරීම නිසා ලෝක සත්වයා පවින් වැළකී කුසල් වඩනවා. එතකොට සැප ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වාද විවාද කරමින් වෙන් නොවී සමගිව වාසය කළොත් සුවසේ බණභාවනා කරන්න පුළුවන්. එතකොට සංඝයා තුළ ආධ්‍යාත්ම ගුණ වැඩෙනවා. ඒක සැපයක්. ඒ වගේම සමගි සම්පන්න වූ භික්ෂූන් වහන්සේලා බණ භාවනාවේ යෙදෙනවා නම් එතන තියෙන්නේත් සැපයක්මයි.
සාමාන්‍ය වශයෙන් ගත්තොත් නිවසක වුණත් සමගිව වාසය කරනවා නම් එතන සැපයක් තියෙනවා. ඇත්තෙන්ම සැපය පිළිබඳව මුලා වූ ලෝකයට බුදුරජාණන් වහන්සේ ඉතා ලස්සනට ඒ සැපය අර්ථ දක්වනවා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු!සාදු!!සාදු!!!
සැබැවින්ම මෙකල දී අපද සමහර අවස්ථාවලදී ධර්මයෙන් බැහැර වී නොයෙක් දුර්ජනයන්ගේ ඕපාදූප වලට කන් යොමු කරන අවස්ථා ඇත.නමුදු බුදු බණ පදයක් ඇසුනු සැනින් එය අවැඩක් බව සිහිවී සිහිය උපදියි.දහමෙන් තොර සැපයක් ලොවේ නැත .සියල්ලෝම දහමේ සිත් අලවා වාසය කරත්වා! තෙරුවන් සරණයි!