හගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් සංවිධාන කළ ”අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා” යන්න තේමා පෙරදැරිව ‘යොවුන් දහම් සක්මන 2019 ‘ සදහම් වැඩසටහන පෙබරවාරි මස 10 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව නිමාවට පත් විය. අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්වින්විත වූ මෙම වැඩසටහනේදී මහමෙව්නාව ත්‍රිපිටක වෙබ් අඩවිය, ශ්‍රද්ධා සමාජ සත්කාර වෙබ් අඩවිය, PURE WATER සහ NKPF යන වෙබ් අඩවි විවෘත වීමත්, ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථනය ඔස්සේ ශ්‍රද්ධා රූපවාහිනිය නැරඹීමටත්, ලක්විරු ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමටත් අවස්ථාව සලසා දෙමින් ශ්‍රද්ධා මොබයිල් ඇප් එළිදැක්විමත් සිදුවිය.

තාක්ෂණයේ අවභාවිතය පිළිබඳවත්, සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳවත් දේශන දෙකක් පැමිණ සිටි තරුණ පිරිස දැනුවත් කරමින් පැවැත්වුණු අතර මහජන බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් පැමිණ සිටි පිරිස වෙනුවෙන් වකුගඩු අරමුදලට ආධාර පිණිස කැට බෙදා දීමක් ද සිදුකරන ලදී.

මෙම උතුම් ධර්මදානයෙන් සහ සමාජ සත්කාරයන්ගෙන් රැස්වන්නා වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත්, මේ සියලු කාර්යයන් සඳහා නිබඳව අනුශාසකත්වයෙන් සහ මාර්ගෝපදේශකත්වයෙන් මග පෙන්වා දුන් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත්, මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, ධර්මදාන සාමාජික සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!

මෙම වැඩසටහනෙහි පටිගත කළ වීඩියෝ දර්ශන නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.