පින්වතුනේ, පින්වත් දරුවනේ,

උපතිස්ස කෝලිත කියන්නේ කවුද කියලා ඇසුවොත් සමහර විට දැනටමත් ඔබ ඒ ගැන දන්නවා ඇති. මේ ගෞතම බුදු සසුනේ මහානුභාව සම්පන්න උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩසිටියා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් යන රහතන් වහන්සේලා දෙනම. උපතිස්ස කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේගේ පැවිදි වෙන්න කලින් තිබුණු නමයි. මුගලන් මහ රහතන් වහන්සේගේ පැවිදි වීමට කලින් තිබූ නම තමයි කෝලිත කියලා කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. වරක් කෙනෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙන්පතියා කවුද කියා. එවිට බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදුසසුනේ සෙන්පතියා වශයෙන් හඳුන්වන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේවයි. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයෙන් දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත හරිම පුදුමයි. හරිම ආශ්චර්යයයි.

උපතිස්ස තරුණයා ඉතාමත් ලස්සනයි. රත්තරන් පාටින් ඔහුගේ ශරීරය දිළිසුනා. එතරම්ම ලස්සන කෙනෙක්. කෝලිත කියන තරුණායා කළු පැහැයෙන් සිටියත්, හරිම ලස්සන කෙනෙක්, ඕනම කෙනෙක් දුටු පමණින් වසඟ වෙනවා. මේ දෙදෙනාගේ යහළුකම වුනත් හරිම පුදුමයි. කවරදාකවත් එකිනෙකාට වෙනස්කමක් කරගෙන නැහැ. කුඩා අවධියේ ඉඳලාම දෙදෙනා එකටමයි හැදුණේ වැඩුනේ. දෙදෙනාම අඹ යහළුවෝ. ඒ කාලෙත් දඹදිව් තලයේ ඉතාම වැදගත් උසස්ම කුලවන්ත පවුල්වල තමයි ඒ දෙන්නාම උපන්නේ. උපතිස්ස තරුණයාගේ උපන් ගම වුනේ රජාගහ නුවර නාලක නම් වූ බමුණු ගමයි. කෝලිත තරුණයාත් රජගහ නුවරම උපන් කෙනෙක්.

දිනක් මේ යහළුවන් දෙදෙනා රජගහ නුවර කඳු මුදුනක තිබෙන උත්සවයක් බැලීමට ගියා. මේ උත්සවයට කිව්වේ ‘ගිරග්ගසමජ්ජ’ කියලයි. මේ උත්සවයේ තිබුනේ නැටුම් ගැයුම් වැයුම් ආදී නොයෙක් කෙලි සෙල්ලම් පමණයි. නොයෙක් රසමසවුළු වලින් පිරි ආහාර පානත්, නොයෙක් බීම වර්ගත් පිරී ඉතිරී තිබුනා. හැමෝම සතුටු වුනා. එකම විනෝද සාගරයක්. මේ අඹ යහළුවන් දෙදෙනාත් තම යහළු මිතුරන් සමඟ උත්සවය බලමින් සතුටු වුනා. කා බී විනෝද වුනා. එහෙත් වචනයෙන් කිව නොහැකි විශාල අඩුවක් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ උත්සවවල විනෝද වෙවී කල් ගෙවන එකේ තේරුම කුමක්ද කියලා ඔවුන් කතාබස් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ උත්සවවලට තිබෙන ඇල්ම ඔවුන් තුළ නැතුව ගියා. “ඇත්තෙන්ම මේ ජීවිතයේ මහා ලොකු දෙයක් හැටියට තියෙන්නෙ කන බොන එකයි, සිංදු අහන එකයි, නටන එකයි විතරද? ජීවිතයේ මීට වඩා විශේෂ දෙයක් නැද්ද? අන්තිමේදී හීනයක් දැක්කා වගේ මේ හැම දෙයක්ම අවසන් වෙලා යනවා. ඒ නිසා අපි මේ වගේ බොරු දේවල් පස්සේ දුවන ගමනේ තේරුමක් නැහැ. අපි මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙලක් සොයා ගෙන යමු. මොකක්ද මේ ජීවිතයේ ඇති හැබෑ තත්වය. අපිට හැබෑවටම සැනසීමක් ඇතිව ජීවත් වෙන්න පිළිවෙලක් නැද්ද? ජීවිතයේ සත්‍ය තත්වය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් අගේද? කියලා කතාබස් කළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දඹදිව හැටි දන්නවා නෙ. එක එක ආගම් පිරුණු කෞතුකාගාරයක් වගෙයි. විවිධාකාර මතිමතාන්තර විශ්වාස පිළිගත්තු මිනිසුන් තමයි හැම තැනම ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙ පවා ඒ ආගමික පරිසරයේ වෙනසක් තිබුනේ නැහැ. එක එක්කෙනා තම තමන්ට හිතුමනාපේ හිතුණු හිතුණු දේවල් කියා ආගමික නායකයන් වශයෙන් පෙනී සිටියා. ඒ දිනවලම රජගහ නුවර සංජය නම් වූ තාපසයෙක් හිටියා. ඔහු ඉතා ප්‍රසිද්ධයි. ඉතින් මේ උපතිස්ස කෝලිත නම් වූ සුන්දර තරුණයන් දෙදෙනාත්, ඒ සංජය පිරිවැජියාගේ ආශ‍්‍රමය කරා පසුවදාම පිටත් වුනා. තමන් ගේ උදාර යහළුවන් දෙදෙනා ජීවිතාවබෝධය සොයමින් පිටත් වීම ගැන දෙසිය පනහක් පමණ වූ යහළුවන් පිරිසත් මහත් සතුටට පත් වුනා. කෝලිත දෙදෙනා සමඟම සංජයගේ ආශ‍්‍රමයට පැමිණියා.

සංජය කියන්නෙ එතරම් දක්ෂ කෙනෙක් නොවෙයි. නමුත් බෙහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසා තමයි උපතිස්ස කෝලිත දෙදෙනාත් එතැන ඔහුගේ අතවැසි තවුසන් බවට පත්වුනේ. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජයගේ ධර්මය ඉක්මනින් ඉගෙන ගත්තා. ඉතා සුළු කලකින්ම ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැතිවග මේ නුවණැති යොවුන් තවුසන් හට අවබෝධ වුනා. දිනක් දෙදෙනාම කතිකා කරගත්තා. “පින්වත් කෝලිත, අපට මෙහෙ ඉඳලා පලක් නැහැ. මෙහෙ ජීවිතාබෝධය පිණිස කිසි දෙයක් නැහැ. හොඳම වැඬේ අපි නිදහසේ පිටත් වෙලා යන එකයි. අපි දෙන්නා දෙපැත්තකට යමු. කාටහරි ජීවිතාවබෝධය පිණිස වූ ධර්මය මුණ ගැසුනොත් නොවැරදීම අනිත් කෙනාටත් කිව යුතුයි. මේ විදිහට කතිකා කරගත් දෙදෙනා මාවත් දෙකකින් පිටත්වෙලා ගියා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනේ චතුරාර්ය සත්‍යය ධර්මය ලෝකයට හෙළි කරදීම පිණිසමයි. ඒ බව උන්වහන්සේ වදාළ පළමු දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් හොඳින්ම ඔප්පු වෙනවා. ඒ දේශනාව වදාළේ බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන මිගදාය මේ සුන්දර වනයකයි. ඒ දෙසුම අහගෙන හිටියේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන ස්වාමීන් වහන්සේලයි. ඊට පස්සෙ භික්ෂූන් වහන්සේලා පිරිස ඉතා ඉක්මනින් වැඩි වුනා. හොඳ බුද්ධිමත් තරුණ පිරිස හරිම ආශාවෙන් පැවිදි වුනා. සිල් රැක්කා. භාවනා කළා. ධර්මය අවබෝධ කළා. සුන්දර සිත් ඇති රහතන් වහන්සේලා බවට පත් වුනා. උන්වහන්සේලා හරිම නිදහස් සිතින් මංමාවත් පුරා වැඩම කළා. නුවණැති මිනිසුන්ට මේ ධර්මය කියලා දුන්නා. හරිම වාසනාවන්ත යුගයක් බිහි වුනා.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩසිටියෙත් රජගහ නුවරමයි. රජගහ නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමේ වාසනාව බිම්බිසාර රජතුමාටත් උදාවුනා. ඔහු සෝවාන් වූ ගිහි ශ‍්‍රාවකයෙක් බවට පත් වුනා. රජතුමාට හරි සතුටුයි. ධර්මාවබෝධයෙන් ලැබුණු පී‍්‍රතිය නිසා රජකම ලැබුණු දවසටත් වඩා සතුටු වුනා. බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගැනීමට අවසර දුන් බව දැනගෙන රජතුමා තවත් සතුටු වුනා. ඔහුට තිබුනා ලස්සන උද්‍යානයක්. හැමතැනම වවලා තිබුනේ සිහින් කොළ තිබෙන ලස්සන උණ පඳුරුයි. ලස්සනට මල් වවලා තිබුනා. හැම තැනම ලේනුන් පිරිලා සිටියා. ඒ උද්‍යානය නම් කරල තිබුනේ ලේනුන්ගේ අභයභූමිය කියලයි. රජතුමා එය වේළුවනාරාමය නමින් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ පූජාව තමයි පළමුවෙන්ම ලැබුණු ප්‍රධාන ආරාමය වුනේ. ‘වේළු’ කියන්නේ උණ ගසටයි. උණගස්වලින් පිරුණු නිසා ඒ ලස්සන උද්‍යානය වේළුවනාරාමය නමින් හැඳින්වුනා. ඒ වගේම ගිජ්ඣකූට පර්වත මුදුනේත් නිස්කලංක පරිසරයක කුටි තනවා පූජා කළා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩින ඉතා සුන්දර යුගයක් රජගහ නුවර බිහි වුනා.

එදා අස්සජි මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින මාවතේ තරුණ උපතිස්ස තවුසාද ගමන් කරමින් සිටියා. ඒ රහතන් වහන්සේගේ සුන්දර ඉරියව් දුටු සැණින් තරුණ උපතිස්සයන් ඇස පිය නොහෙළා බලා සිටියා. “ම්… අමුතුම කෙනෙක්. අමුතුම සංවරයක්. ශාන්ත ගමනක්. නිවී ගිය පෙනුමක්. හරි පුදුමයි! මං බොහෝම තවුසන් දැක තිබෙනවා. පිරිවැජියන් දැක තියෙනවා. විවිධාකාර විමුක්ති ගවේෂකයන් දැක තිබෙනවා. නමුත් මේ ශ‍්‍රමණයන් වහන්සේ තුළින් ඒ කිසිවෙක් තුළ නොතිබූ වෙනසක් මට පේනවා. නිසැකවම මේ ශ‍්‍රමණයන් වහන්සේ සංසිඳී ගිය සිත් ඇති කෙනෙක්මයි.” උපතිස්ස පිරිවැජියා අස්සජි මහරහතන් වහන්සේ පසුපසින් ගමන් කළා. උන්වහන්සේ ඉතා සංසුන් ලෙස පිඬුසිඟා වැඞීමෙන් ලබාගත් දානය රැගෙන වළඳන්නට තැනැක් සොයා ගෙන පිටත් වුනා.

උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පසුපසින්ම ගමන් කළා. උන්වහන්සේට පැන් පිළිගැන්වූවා. දන් වැළදීමෙන් පසුව අස්සජි මහරහතන් වහන්සේ සමඟ උපතිස්ස පිරිවැජියා කතාවට වැටුනා. අස්සජි මහරහතන් වහන්සේ දෙස ඇස පියා නොහෙළා බලා සිටියා. ඉතා දීප්තිමත් නෙත් යුග තුළින් අසාමාන්‍ය කාන්තියක් විහිදුනා. ඒ මඳ සිනහවෙන් අහිංසක පිවිතුරු බවක් දිස් වුනා. උන්වහන්සේ කතා කරන හැම වචනයකම අවංකකමත්, සත්‍යයත් දිළිසෙන්න වුනා. “පින්වත් උපතිස්ස, ඇත්තෙන්ම මේ පැවිදි ජීවිතයට මං අලුත් කෙනෙක්. මාගේ ශාස්තෘන් වහන්සේ තුළ ඇති ජීවිතාවබෝධය මහා සාගරය වගේ පළල් එකක්. අහස වගේ අනන්ත එකක්. හිරු එළිය වගේ දීප්තිමත් එකක්. එනිසා පින්වත් උපතිස්ස ඔබට විස්තර වශයෙන් කියන්න තරම් මා තුළ දැනුමක් නැහැ. ඒ නිසා මා සිතන්නේ වඩාත්ම හොඳ දෙය නම් ඒ මාගේ ශාස්තෘන් වහන්සේ මුණගැසෙන එකයි.”

“පින්වත් ස්වාමීනී, එකෙ ඇත්තක් තියෙනවා. නමුත් ඔබවහන්සේ ගැන මගේ සිතේ ඇති වුන පැහැදීම අනන්තයි. ඇත්තෙන්ම ස්වාමීනි, මගේ ජීවිතයේ ප්‍රථම වතාවටයි මෙතරම් සුන්දර චරිතයක් මුණ ගැසුනේ. ඔබ වහන්සේගේ හැම ඉරියව්වක්ම මාව වසඟයට පත් කළා. අනේ ස්වාමීනී, ඉතා ස්වල්පයක් වුනත් කමත් නැහැ. ඔබවහන්සේ දන්නා දෙය මට පවසා වදාළ මැනව. තේරුම් ගැනීම මා සතු දෙයක්. ඒ ගැන මට විශ්වාසයි.” අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා දෙස බලා ඉතා අහිංසක ලෙස ගාථාවකින් උන්වහන්සේ තේරුම් ගත් ධර්මය මෙසේ පැවසුවා.

යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ
තේසඤ්චයෝ නිරෝධෝ – ඒවං වාදී මහාසමණෝ

හේතුන්ගෙන් උපදින – යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
ඒ හේතුන් පිළිබඳ – වදහළ සේක තථාගතයාණෝ
යම් තැනක ඒ සියලූ හේතුන් – සදහටම නැති වේ නම්
එබඳු දහමකි අපගේ – මහාසමණිඳු වදාරන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක්මයි. මේ උපතිස්ස තරුණයාගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුමයි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීවද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහටම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුනේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුනා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුනා. උපතිස්ස තරුණයා බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත් වුනා. උපතිස්සට ඉතාමත්ම සතුටුයි. මුව නොසෑහෙන සේ අස්සජි මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා. උන්වහන්සේගේ පා යුග සිඹිමින් බිම දිගා වී වන්දනා කළා. මහා සතුටකට පත් වුනා. සෑහීමකට පත් වුනා. රටක් රාජ්‍යයක් ජයගත් කෙනෙක් පරිද්දෙන් විජයග්‍රාහී ලීලාවෙන් තම මිත‍්‍ර කෝලිතයන් සොයා පිටත් වුනා. දුරින්ම පැමිණෙන උපතිස්සයන්ගේ මුහුණෙහි දිස්වන සිනහවෙන් අලූත් යුගයක ආලෝකයක් දිස් වුනා. ඒ දෑස්වලින් උදාර සොයා ගැනීමක අනුභාවය පැතිරුනා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලා සිටි කෝලිතයන් ඉදිරියට ගියා. හරි සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජි මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහුගේ විශ්මිත බුද්ධියේ කැඩපත තුළ බුදුරජුන්ගේ ධර්මය සදහටම පිහිටියා. ඔහුත් සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත් වුනා.

දෙදෙනාම කෙලින්ම ගියේ සංජය නම් වූ තම පැරණි ගුරුවරයා සොයාගෙනයි. ගුරුවරයා ළඟට ගිය දෙදෙනාම ඉතාමත් ආදරයෙන් ගුරුවරයාට කථා කළා. “පින්වත් ආචාර්යතුමනි, ජීවිතාවබෝධය සොයා පැමිණි ගමනේදී අපි මෙතැනින් නැවතුනා. ඔබතුමා අපගේ ගුරවරයෙක් ලෙස ඒ අවධියේ කටයුතු කළා. දැන් පින්වත් ආචාර්යතුමනි, ගුරු පඬුරු පුදකිරීමට අපට වෙලාව පැමිනුනා. අප මෙතෙක් කල් සොයමින් සිටි ජීවිතාවබෝධය අපට ලැබුනා. අප ඔබට දෙන ගුරු පඬුර නම් ඒ ජීවිතාවබෝධයයි. පින්වත් ආචාර්යතුමනි, අතිදුර්ලභ වූ ප්‍රඥාවකින් යුතු කිසිවකින් වසාලිය නොහැකි බුද්ධි මහිමයකින් යුතු අසාමාන්‍ය වූ ඉර්ධි බලයකින් යුතු, අද්විතීය වූ දේශනා විලාසයකින් යුතු, සම්බුදුවරයාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වී සිටිනවා. පින්වත් ආචාර්යතුමනි, දැන් අපගේ ආචාර්යවරයාණෝ උන්වහන්සේය. අපි ඔබට ගුරු පඬුරු ලෙස පිළිගන්වන්නේ උන්වහන්සේගේ ශ‍්‍රාවකභාවයයි. පින්වත් ආචාර්යතුමනි, එයට කැමැති වුව මැනැව.”

ලාභසත්කාර වලින් වසඟ වූ සිත් ඇති අවසනාවන්ත සංජය පිරිවැජියා ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නෑ. ඔහු මෝඩ පිළිතුරක් දුන්නා. “ඔව්, ඥානවන්ත උදවිය ශ්‍රමණ ගෞතමයන් ළඟට ගියාපුවාවෙ. සියලු දෙනාටම නුවණ නැහැ නෙව. මෝඩයන්ටත් යන්න තැනක් ඕන. උන්දැල මගේ ළඟට ආපුවාවේ.” උපතිස්ස කෝලිත දෙදෙනාට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. ඒ දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුනා. දෙසිය පණහක් පමණ වූ පිරිස පිරිවරාගත් මේ අඹ යහළුවන් දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුනා. සියල්ල නැති වී ගිය කලෙක මෙන් කම්පනයට පත් සංජය පිරිවැජියා තැතිගත්තා. වෙව්ලන්න පටන්ගත්තා. තමා ළඟ සිටි පිරිස වෙන් වී නොපෙනී යනවාත් සමඟ කටින් උණු ලේ ගලන්න පටන් ගත්තා.

වේළුවනාරාමයෙහි දම්සභා මණ්ඩපයෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස කෝලිත දෙදෙනා දෙස බලා පිරිස අමතා මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, අර රන්වන් සිරුරු ඇති පියකරු තරුණයා මේ සසුනෙහි අග්‍ර වූ ශ‍්‍රාවකයා වන්නේය. පින්වත් මහණෙනි, අර ඊළඟට පැමිණෙන කාලවර්ණ වූ සුන්දර තරුණයා මේ සසුනෙහි ඊළඟ අග්‍ර වූ ශ‍්‍රාවකයා වන්නේය. මේ දෙදෙනා මගේ අග්‍ර ශ‍්‍රාවකවරුය.” ඒ මොහොතේ උපතිස්ස කෝලිත දෙදෙනා ප්‍රමුඛ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් වන්දනා කොට උතුම් පැවිද්ද ඉල්ලා සිටියා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කාන්තාරයෙහි පැන් සොයා යන පිපාසිතයන් සේ නිවන සොයා ගිය අපට ඔබවහන්සේ සිහිල් දිය උල්පත වන සේක. අඳුරු ලොවක අතරමං වී ආලෝකය සොයා පීඩිතව ගිය අපට ඔබවහන්සේ ආලෝකය වන සේක. රෝගපීඩා වලින් ගොදුරුව පිහිටක් සොයා ගිය රෝගීන් වැනි වූ අපට ඔබවහන්සේ දහම් ඔසු ලබා දෙන වෙදැදුරාණෝ වන සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහනස්, අපගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේය. අපි වනාහි ශ‍්‍රාවකයෝ වෙමු. අපගේ හිරු මඬල ඔබවහන්සේය. අපි වනාහී තරු කැළ වෙමු. ස්වාමීනී, භග්‍යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා උපදවා අපට පැවිදි උපසම්පදාව ලබාදෙන සේක්වා.”

උපතිස්ස කෝලිතයන් ප්‍රධාන සියල්ලෝම ඒහිභික්ෂු නම් වූ ඇති උත්තම වූ පැවිදිභාවයක් ලැබුහ. ඒහිභික්ෂු පැවිදිභාවය යනු ජීවමාන බුදු කෙනෙකුන් වෙතින් පමණක් ලබන පැවිදි බවයි. එය එක්තරා හාස්කමකින් සිදුවෙන දෙයකි. එනම්, බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක. “පින්වත් මහණෙනි, මෙහි එන්න. මා විසින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පවසා තිබෙනවා. මේ ධර්මයෙහි හැසිර හැම දුකින් නිදහස් වෙන්න.” මේ වදන් පවසනවාත් සමඟ ඒ සියලු දෙනාගේ කෙස් රැවුල් අතුරුදහන් වුනා. ගිහි වස්ත්‍ර අතුරුදහන් වුනා. කණකර අභරණ අතුරුදහන් වුනා. මනාකොට සිවුරු හැඳ පොරොවාගත් භික්ෂූන් පිරිසක් බවට පත්වුනා. මේක මහා පුදුමයක්! කොහොමද මෙය වෙන්නෙ කියලා අපට නම් සිතාගන්නටවත් බැහැ. එතරම්ම පුදුම සහගතයි!

නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමකගෙන් පමණක් ලබාගන්නා ඒ පැවිදිබව මෙවැනි යුගයක ජීවත් වන අපට තේරුම් ගන්න අමාරු වීම ස්වාභාවික දෙයක්. අනික ඔය වාසනාව පැවිදිවන සියලු දෙනාට ලැබෙන්නේ නැහැ. එයත් තමා සංසාරයේ කරන ලද පින්වලට අනුව ලැබෙන දෙයක්. ඉතින් සුළු කලකදී උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත්වුනා. කෝලිත තරුණයා මුගලන් මහරහතන් වහන්සේ බවට පත්වුනා. සංජය පිරිවැජියාගේ පිරිහීම ගැන හැමතැනම පැතිරුනා. නිසරු දෙයක් සරු දෙයක් වශයෙන් කරගෙන ගිය පුහු වර්ණනාවේ නිෂ්ඵලකම ගැනත් හැමතැනම පැතිරුනා. මෙය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළ සේක.

අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා

ලොවේ නිසරු දේවල් ගැන – සිතනා විට සරු දේ ලෙස
සාරවත් දහම් මාවත – දකිනා විට නිසරු විලස
වැරදි අදහසට ගොදුරුව – ඇත්ත නොදකිනා ඔවුනට
සරු වූ ඒ අමා නිවන – නැත කිසිදා හමුවන්නේ

සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති සම්මාසංකප්පගෝචරා

සරු දෙය සරු ලෙස දැනගෙන – නිසරු දෙයද හඳුනාගෙන
සාරවත් දහම් මාවත – දකිනා විට සරු ලෙසටම
නිවැරදි දැකුමෙන් යුතු වී – ඇත්ත දකින විට ඔවුනට
සරු වූ ඒ අමා නිවන – හමු වෙනවාමයි නිසැකව


පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් අදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට ඒ උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබාගනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සදාගැනීම පිණිස, කෑම වේලක් පිරිමසා ගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුකයි. තාවකාලික ලාභ ප්‍රයෝජන පිණිස ආගම් අදහන අය කිසිසේත්ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික ප්‍රයෝජනය විතරයි සලකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන්ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත්ම ආගමක් ඇදහිය යුතු නෑ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන්ම අනුවණ මෝඩයෙක්මයි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමාව රවටා ගන්නා පුද්ගලයෙක්මයි. ඒ විදිහට තමන්ගේ තාවකාලික වාසිය විතරක් ලබන පුද්ගලයා එ් ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. නමුත් වැටුණු වළෙන් ගොඩ එන්න බැරිව අන්තිමේදී එ් නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා.

නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි උපදින්නේ කොහොමද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලටද? මොන වගේ කරදර කම්කටොළුවලටද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරිද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරිද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරිද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතවද? ඔය වගේ දේවල් අපට ප්‍රශ්න හැටියට තියෙන බව ඇත්තෙන්ම අපි දන්නේ නැහැ.

බොහෝ දෙනෙක් හිතන්නේ නොපෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න පුළුවන් කියලයි. නමුත් අපට පැහැදිලිවම පේනවා ඒ ක‍්‍රමයෙන් විසඳුම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. එහෙත් පැහැදිලිවම මේ සියලූම ප්‍රශ්න විසඳාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ, සියලුම ප්‍රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩහිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නොවී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සරවත් දේ කියලා කියන්නේ එයටයි. ඒ සාරවත් දේ නම් චතුරාර්ය සත්‍යය ධර්මයයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්, එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරාම යනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ