පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපේ සිද්ධාර්ථ කුමාරයාගේ පවුලේ තොරතුරු ඔබ සෑහෙන්න දන්නවා. මහමායා බිසවුන් වහන්සේ කළුරිය කළේ සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතේදී. එයට හේතුව සිදුහත් කුමාරයා ඉපදීම නොවෙයි. තුසිත දෙව්ලොව මහා බෝසතාණන් වහන්සේ වැඩසිටිද්දී පස් බැලුම් බැලූ වග ඔබ දන්නවානේ. එතැනදි මව් කවුද කියාත් බැලුවා. බෝසතුන් පිළිසිඳ ගන්නා මවට ඒ පිළිසිඳ ගත් දිනයේ සිට මාස දහයකුත් දවස් හතක් ආයුෂ තිබිය යුතුයි. එබඳු මව් කෙනෙක් තමයි ඕනම බුදුවරයෙකුට බුද්ධ මාතාව වන්නේ. ඒක ධර්මතාවයක්. එහෙම නැතිව සිදුහත් කුමරුන් උපන්න නිසා අසනීප වෙලා මියගියා නොවෙයි. ආයුෂ ඉවර වීමෙන්මයි මහාමායා බිසව මියගියේ. එතුමිය ඉපදුනේ තුසිත දෙව්ලොව දිව්‍ය කුමාරයෙක් වෙලා. ඊට පස්සෙ බිසව බවට පත් වුනේ ප්‍රජාපතී ගෞතමී දේවියයි. එතුමිය ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. තමන්ගේම දරුවෙකුට වගේ සිදුහත් කුමාරයාටත් කිරි පොවා සැළකුවා. ඒ ප්‍රජාපතී ගෞතමී දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුනා. පුතා තමයි නන්ද කුමාරයා. දුවට කිව්වේ නන්දා කුමරිය කියලයි. සම්බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කළ බව අපි කලින් කතා කළා නෙ. සුද්ධෝදන රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටිය සිදුහත් කුමාරයා පැවිදි වුනාට පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට පත්වුනේ නන්ද කුමාරයායි. නන්ද කුමාරයාගේ ඔටුනු පළඳින අභිෂේක මංගල්‍යයත්, අලුතෙන් රජමැදුරට පිවිසීමේ මංගල්‍යයත්, කුමාරියක් සරණපාවා ගැනීමේ මංගල්‍යයත් එක දවසේම කිරීමටයි ඔවුන් කටයුතු සංවිධානය කරමින් සිටියේ. ඔය අතරේ තමයි බුදුරජාණන් වහන්සේ මාළිගාවට වැඩම කරලා ධර්ම දේශනා කළේ. ඒ ධර්මය ඇසූ සුද්ධෝදන රජතුමාත් ප්‍රජාපතී බිසවත් මඟඵල ලැබූ බව ඔබ දන්නවා.

ඉතින් එදා බුදුරජාණන් වහන්සේ රජමාළිගාවේ දහම් දෙසලා ආපසු නිග්‍රෝධාරාමයට වඩින්න සූදානම් වුනා. නන්ද කුමාරයා උන්වහන්සේ ළඟින් හිටගෙන සිටියා. “පින්වත් නන්ද, මේ පාත්‍රය ගන්න” කියලා නන්ද කුමාරයාගේ අතට බුදුරජාණන් වහන්සේ තම පාත්‍රය දුන්නා. නන්ද කුමාරයාට හරි සතුටුයි. තමන්ගේ සහෝදරයා බුදුරජාණන් වහන්සේ නමක් නිසා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් සමඟ හෙමින් හෙමින් නිග්‍රෝධාරාමයට වඩිනවා. නන්ද කුමාරයා හිතුවේ මාලිගාවේ පඩිපෙළ ළඟදී හෝ දොරටුව ළඟදී හෝ පාත්‍රය ආපසු ගනීවි කියලයි. නමුත් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ආපසු ගත්තේ නැහැ. ඒ නිසාම උන්වහන්සේත් සමඟම පසුපසින් යන්නට නන්ද කුමාරයාට සිදුවුනා.

ඔය අතරේ නන්ද කුමාරයා සමඟ සරණ බන්ධනයට පැමිණුන ජනපද කල්‍යාණී නම් අතිශයින්ම ලස්සන කුමාරිය මාළිගාවේ උඩුමහලේ සඳළුතලයේ සිටි බලාසිටියා. ඇය නන්ද කුමාරයාට අතිනුත් ඇස්වලිනුත් හඟවලා කිව්වා ආපසු ඉක්මනින්ම එන්න කියලා. ඇය ආදරයෙන් සිනහ වෙවී බලාගෙන සිටියා. නන්ද කුමාරයා ඇයගේ රූපයට වසඟ වෙලයි හිටියේ. ඔහුත් ඇය දිහා බලලා ඉක්මනින්ම එනවා කියන අදහසින් සිනහ වුනා. අන්තිමේදී නන්ද කුමාරයා පාත්‍රයත් අරගෙන නිග්‍රෝධාරාමය දක්වාම ගමන් කළා. නිග්‍රෝධාරාමයේදී පාත්‍රය බුදුරජාණන් වහන්සේගේ අතට දුන්නා.

බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් මෙහෙම අසා වදාළා. “පින්වත් නන්ද, ඔයත් මේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි වුනොත් හොඳයි නේද?” නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ජනපද කල්‍යාණීව මතක් වෙන්න ගත්තා. ආපසු මාළගාවට දුවගෙන යනකල් සිහි නැතුව හිටියේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේම පැවිදි වෙන්න කියනවා. තමන්ගේ ආදරණීය සහෝදරයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැවිදි වෙන්න කියා කියද්දී මඟ හරින්නේ කොහොමද? ඒක කොහොමත්ම කරන්න බැහැ. නන්ද කුමාරයා “හොඳයි ස්වාමීනී” කියලා කැමති වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බැලූ බැල්මට පෙනෙන්නේ නන්ද කුමාරයාට මහා අසාධාරණයක් වුනා වගේ. ඔටුනු පළඳින්න සිටිය, ලස්සනම කුමාරිකාවක් සමඟ විවාහ වෙන්න හිටිය කුමාරයෙකුට ඒ අවස්ථාව නැති වුනා නේද කියලා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් අප මෙතැනදී සිතිය යුත්තේ අපි බලන පිළිවෙළට නොවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ජීවිතය දිහා බලන පිළිවෙළටයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සංසාරය කියල කියන්නේ සතර අපායෙහි වැටි වැටී යන ගමනක්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට අවබෝධ කරගෙන තියෙනවා. යම් කෙනෙක් සක්විති රජවෙලා උපන්නොත් ඒක මේ සාමාන්‍ය රජකමකට වඩා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකට හේතුව නම් ඒ සක්විති රජතුමා ධර්මයෙන් මිසක්, අධර්මයෙන් රජ කරන්නේ නැතිකමයි. ඔහු අවි ආයුධවලින් තොරව රටවැසියා සීලයෙහි පිහිටුවලා, ධර්ම රාජ්‍යයක් බිහි කරනවා. එක විශාල පිනක්. ඒ පින නිසාම ඒ සක්විති රජුත් මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. නමුත් ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ අවසන් වුනාට පස්සේ නිරයේ උපදින්න වුනත් පුළුවනි. තිරිසන් අපායේ උපදින්න වුනත් පුළුවනි. පේ‍්‍රත ලෝකයෙහි උපදින්න වුනත් පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනා ඕනම අපායක උපදින්න පුළුවන් බවයි. ඔහුට තිබෙන්නේ එවැනි අනතුරක් නම්, එ් සක්විති රජකම ඉතාම තාවකාලික එකක් නොවේද?

නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතා දිළිඳු කෙනෙක් වුනත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සෝවාන් වුනොත් එයා මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. ඉතින් ඒ කෙනා එ් දිව්‍ය ආයුෂ අවසන් වුනාට පස්සේ එක්කෝ මිනිස් ලෝකෙට ඒවි. එහෙමත් නැත්නම් ආයෙමත් දෙවියන් අතර උපදීවි. ඒ කෙනා කිසිසේත්ම සතර අපායේ වැටෙන්නේ නැහැ. එහෙම නම් වඩාත්ම රැකවරණයක් තියෙන්නේ කාටද? සක්විති රජතුමාටද? සෝවාන් වුණු දුප්පත් කෙනාටද? මේ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමමයි වඩාත් ශ්‍රේෂ්ඨ ලෙස දැක්කේ. උන්වහන්සේ මෙහෙම වදාළා. “මේ මහා පොළොවේ අධිපතිකම ලබනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සියලු ලොවට අධිපති වනවාටත් වඩා, සෝවාන් වීම උතුම්” කියලා. එ් නිසා නන්ද කුමාරයාගේ පැවිදි වීම ගැන අපි සිතන්න ඕන ඔය විදිහටමයි. එහෙම නැත්නම්, අපට මේ වෙනස තේරුම් ගන්න බැරිව යනවා. නන්ද කුමාරයාත් ජනපද කළ්‍යාණිත් හැමෝම මහණ වෙලා රහත් වෙන්න පින් තිබුණ අය. ඒක දන්නෙ බුදුරජාණන් වහන්සේ විතරයි.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, නන්ද කුමාරයා පැවිදි වුනා. දැන් නන්ද ස්වාමීන් වහන්සේ ලස්සන සිවුරු පොරොවනවා. වටිනා පාත්‍රයක් පරිහරණය කරනවා. ඇතැම් විට ඇස්වල අඳුන් පවා ගානවා. මෙයා පැවිදි වුනාට ලස්සනට ඉන්නමයි කල්පනාව. වනයට ගියත්, ගස් සෙවනට ගියත්, තනි වුන හැම වෙලාවෙම ජනපද කල්‍යාණියගේ රූපය ගැන හිත හිතා ඉන්නවා මිසක්, ධර්මය සිහි කරන්නේ නැහැ. එතකොට නන්ද ස්වාමීන් වහන්සේගේ සිහි නුවණ පිරිහෙනවා. රාග සිත් ඇති වෙනවා. අන්තිමේදී ජනපද කල්‍යාණිය ගැන හිතල හිතල හොඳටම විසිරුනා. සිහිනෙන් පෙනෙන්නෙත් ජනපද කල්‍යාණි ඔහුට අඬගසන ආකාරයයි.

අන්තිමේදී සිත හදාගැනීම හොඳටම බැරි වුනා. සිවුරු හැර යන්න තීරණය කළා. ස්වාමීන් වහන්සේලාට කිව්වා. “අනේ… මට හරි අමාරුයි. ඇඟ බරයි. සිතට සැහැල්ලුවක් නෑ. කරන්න ඕන කුමක්ද කියලා මට තේරෙන්නෙ නෑ. මං මේ සිල් රකින්නේ සතුටින් නොවේ. මං අාපසු මාළිගාවට යනවා.” මෙය ඇසූ ස්වාමීන් වහන්සේලාට මහත් අනුකම්පාවක් හටගත්තා. ශරීරයක් තුළ තිබෙන්නේ අපවිත්‍ර දේවල් ගොඩක්මයි. ඇස්වලින් කදුළු ගලනවා. කබ ගලනවා. කනින් කලාඳුරු ගලනවා. නාසයෙන් සොටු ගලනවා. කටින් කෙළ ගලනවා.ඇඟෙන් දහඩිය ගලනවා. මල මුත්‍ර ගලනවා. මේවා හැර මේ සිරුරින් කවදාවත් සුවඳක් හමන්නේ නැහැ. අපවිත‍්‍ර දේවල් පිරී ගිය පිට පෙනුම විතරක් අලංකාර භාජනයක් වගේ. ඒ පිට ඔපයට තමයි සියලු දෙනාම රැවටෙන්නේ.

රහතන් වහන්සේලාට, නන්ද ස්වාමීන් වහන්සේ ගැන මහත් අනුකම්පාවක් හටගත්තා. ස්ත්‍රියගේ රුවට වසඟ වී සිතෙහි හටගත් රාගයට මුලා වී අමාරුවේ වැටෙන්නයි යන්නේ. අයෙ අයෙමත් මැරෙන උපදින සංසාරෙටමයි වැටෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේට නන්ද ස්වාමීන් වහන්සේගේ මේ කලකිරීම ගැන සැළ කළා.

එදා බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට අඬ ගසා වදාළා, “පින්වත් නන්ද, මෙහෙ එන්න… අපි ගමනක් යමු” කියලා නන්ද ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලා ගත්තා. එතකොටම බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ සමඟ දෙව්ලොව පහළ වුනා. නන්ද ස්වාමීන් වහන්සේට හරිම පුදුමයි. “ෂා…! එහෙනම් මේක තමයි දිව්‍ය ලෝකෙ කියන්නේ. හා… හරිම පුදුමයි. අන්න… අන්න… දිව්‍ය අප්සරාවන් එනවා. අන්න… දිව්‍ය අප්සරාවන් එන්නේ මේ පැත්තටයි. ෂා…! හරිම ලස්සනයි. හිස කෙස් රන්වන් පාටයි. දෑස් නිල්වන් පාටයි. පාවල යටිපතුල් රෝස පාටයි. හැබෑම ලස්සනයි.” නන්ද ස්වාමීන් වහන්සේගේ අසංවර හිතට වැටහුනේ මේ දිව්‍ය අප්සරාවන්ගේ රූප ශෝභාව විතර මයි. නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ දිව්‍ය අප්සරාවන් හැමෝම ඈත සිටන්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් නැමි නැමී ආවා. ඉතාමත් ආදර ගෞරවයෙන් වන්දනා කළා. කතාබස් කළා.

නන්ද ස්වාමීන් වහන්සේගේ සිත ඒ දිව්‍ය අප්සරාවන් කෙරෙහි මුලුමනින්ම වසඟ වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුනා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදුරජාණන් වහන්සේ දිහා ඇස් පිය නොහෙළා බලා සිටියා.

“පින්වත් නන්ද, දැන් ඔබට මෙකක්ද හිතෙන්නේ? වඩාත්ම ලස්සන කවුද? ජනපද කල්‍යාණිද? දිව්‍ය අප්සරාවන්ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට තවමත් පුදුමයි. තවමත් සිතාගන්න බැහැ. තවමත් සිහිනයක් වගේ. එතරම්ම ලස්සන අප්සරාවන් මේ ලෝකේ ඉන්නවාද කියලා මං දෙව්ලොව යනකල්ම දැනගෙන හිටියේ නැහැ. ස්වාමීනී, මේ දිව්‍ය අප්සරාවන් ගැන සිතද්දී ජනපද කල්‍යාණී ගැන මට හිතෙන්නේ හේනක පිළිස්සුණු වැදිරියක් වගේ කියලයි. අප හිතන තරම් ලස්සනක් මිනිස් ශරීරවල නැහැ. ඒක තේරෙන්නේ දිව්‍ය ශරීර දැක්ක විටයි.”

බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම වදාළා. “එහෙම නම් පින්වත් නන්ද, මා ඔබට පොරොන්දු වෙන්නම්. මා කියන ආකාරයට මා දෙන උපදෙස් පරිදි ඔබ සිල් රැක්කොත්, ධර්මයෙහි හැසිරුනොත් ඔබ දෙව්ලොව උපදීවි. එතකොට ඔය අප්සරාවන් පන්සියයක පිරිවරක් ඔබට ලැබේවි.”

නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත් වුනා. සතුටින් හිනා ගියා. වචන පැටලූනා. “ස්… ස්වාමීනී, …. ඇ….. ඇත්තක්මද? දිව්‍ය අප්සරාවන් පන්සියයක්ම ලැබෙනවාද?”

“ඔව් පින්වත් නන්ද, දිව්‍ය අප්සරාවන් පන්සියයක්ම ලැබෙනවා.”

නන්ද ස්වාමීන් වහන්සේ තුන් වතාවක්ම අහලා තහවුරු කරගත්තා. ආයෙනම් සිවුරු අරින්නේ නැහැ කියලා සිත දැඩි කරගත්තා. සිල් පද ටික පිරිසිදුවට රැක ගන්නවා කියල අදිටන් කර ගත්තා. ලස්සන සිවුරු අත්හැරියා. පාංශුකූල සිවුරක් පොරොවා ගත්තා. මැටි පාත්‍රයක් අතට ගත්තා. ඇස්වල තවරාගෙන සිටි අඳුන් සෝදලා දැම්මා. සාමාන්‍ය පැවිද්දෙක් බවට පත් වුනා. හැමෝටම පුදුමයි. කොහොමද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මනින් වෙනස් වුනේ? ටිකෙන් ටික ආරංචි වුනා.

ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්‍රශ්න කළා. “හා… ආයුෂ්මත් නන්දයන් ගනුදෙනුවක් කරගත්තලූ නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්‍ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවාලු නේද?” රහතන් වහන්සේලාගේ මේ කතාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලජ්ජාවට පත් වුනා. දිව්‍ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුනා. දිව්‍ය අප්සරාවන්ව එපා වුනා. ජනපද කළ්‍යාණිවත් එපා වුනා. අන්තිමේදී උන්වහන්සේ හුදෙකලා වුනා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරුකරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියලු කෙලෙසුන් දුරුකරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුනා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ද නන්ද ස්වාමීන් වහන්සේ අන්තිමේදි ජයගත්තා. ආශාව පරාජයට පත් වුනා. මෙය නිමිති කොට බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් මේ අයුරින් වදාළා.

යථාගාරං දුච්ඡන්නං – වුට්ඨී සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති

නිසි අයුරින් පිළිවෙළකට – වහළ සෙවිලි කොට නැතිවිට
වැසි වසිනා කාලෙට එ් – වහළින් ගෙට ගලයි වතුර
භාවනාව තුළින් හොඳට – සිත රැකගෙන නොමැති කලට
සංවරකම නැති එසිතට – ගලයි රාග කෙලෙස් කසට

යථාගාරං සුච්ඡන්නං – වුට්ඨී න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං – රාගෝ න සමතිවිජ්ඣති

නිසි අයුරින් පිළිවෙළකට – වහළ සෙවිලි කොට ඇතිවිට
වැසි වසිනා කාලෙට ඒ – වහළින් ගෙට නොඑයි වතුර
භාවනාව තුළින් හොඳට – සිත රැකගෙන සිටිනා විට
සංවර වී තිබෙන සිතට – නොඑයි රාග කෙලෙස් කසට


පින්වතුනේ, පින්වත් දැරුවනේ, නොවටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආසයි. ඒ නිසාම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තිබෙන මාර්ගය නැති කරගන්නවා. අන්තිමේදී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කලෙ පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවා ගැනම කතාබස් කර කර ඉන්නවා. ඒ තුළින්ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේදී ඒ නිසාම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා.

සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවලදී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේදී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්‍රයන් පිරිවරා ගන්නවා. ශරීර සෞඛ්‍ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආසයි. මේ නිසාම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා.

මේ හැමදෙයින්ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තිබෙන නිසාමයි මෙවැනි දෙය සිතට අතුළු වන්නේ. වහලේ හොඳට හෙවිලි කරලා නැති නම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වා ගන්නේ කොහොමද? පිරිහුණු සිතක් ඇති කෙනාගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොමද? ඒක ඉතාම අමාරු දෙයක්. මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුවයි. ඒ නිසා තමන්ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමාව විනාශ කර දමන්නේ තමා නොදැන සිටිද්දීමයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීයයි. බාහිර කෙනෙකුට මොනම ක්‍රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වන්නේ රාගය, ද්වේෂය, මුලාව, ආඩම්බරකම, ඊර්ෂ්‍යාව, පිළිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නොදැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නොඇලීම, මෛති‍්‍රය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුනත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්‍රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේමයි. යහපතක්ම සැලසෙනවා. අයහපතින් වළකිනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ