පින්වතුනේ, පින්වත් දරුවනේ,
නැති බැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන්න ක්‍රම හොයනවා. එහෙම හොයද්දී සමහරු කරන්නේ සත්තු මරන එක. සමහරු කරන්නේ හොරකම් කරන එක. සමහරු කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන එක. සමහරු කරන්නේ අනුන්ට උගුල් අටවලා, බොරු කියලා අපහාස කරලා උදව් ගන්න එක. සමහරු කරන්නේ මත්පැන් පෙරන එක. මේ සෑම දෙයක්ම පව්.
ඔබ දන්නවා ඇති සෙනඟ රැස්වෙන ස්ථානවල ගැටකපන්නන් ඉන්නවා. බස්වල යනකොට වුණත්, දුම්රියේ යනකොට වුණත්, සෙනඟ තෙරපෙන තැන්වලදී වුණත් මුදල් පසුම්බිය අතුරුදහන් වෙන තැන සොයන්න බැහැ. මේ භයානක සොරකමට පුරුදු වුණොත් එ් පුද්ගලයා හිතක් පපුවක් නැති දුෂ්ටයෙක් වෙන එක වළක්වන්නේ කොහොමද?
බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගැටකපන්නන් හිටියා. මේ කථාවේ සඳහන් වන්නේත් ගැටකපන්නන් දෙන්නෙක් ගැනයි. මේ දෙන්නාගේ රස්සාව එ්කයි. මේ දෙන්නා බණ තියෙන තැන් බලනවා. බණ අහන්න දහස් ගණනින් සෙනඟ රැස්වෙන කොට මේ දෙන්නත් සුදු ඇඳ ගන්නවා. මල් නෙලා ගන්නවා. බොහෝ සැදැහැ ඇති උදවිය වගේ සෙනඟ මැද්දට රිංගනවා. රිංගලා වාඩිවෙලා ඉන්නවා. එ් අතරේ මිනිස්සුන්ගේ ඉණ අතගාගෙන යනවා. මේ සොරු දෙදෙනාගේ බිරින්දෑවරු පවා මේ පව්කාර රස්සාවට බොහොම කැමති වුණා. එ් අය මේ දෙන්නට මුදල් වැඩිය ගෙනාපු දවසට හරියට ප්‍රශංසා කරනවා.
දවසක් මේ දෙදෙනා බණ කියන තැනකට ගියා. ගියේ බණ අහන්න නෙවෙයි. අදහස වෙනස්. හැබැයි කාටවත් හොයගන්නට බැහැ. එදා බුදුරජාණන් වහන්සේ මිහිරි වූ ධර්මය දේශනා කරද්දී එක හොරෙකුගේ සිත බණට ඇදිලා ගියා. ඔහු ඉතාම උවමනාවෙන් ධර්මයට ඇහුම්කන් දුන්නා. පැමිණි කාරණාව අමතක වුණා. ධර්මයටම හිත ඇදී ගියා. කර්ම කර්මඵල ගැන ලොකු අවබෝධයක් ඇතිවුණා. හේතු ඵල ධර්මතාව ගැන ලොකු අවබෝධයක් ඇතිවුණා. චතුරාර්ය සත්‍යය ගැන ලොකු අවබෝධයක් ඇතිවුණා. මේ තැනැත්තා සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වුණා.
එදා මෙයාට හරිම සතුටුයි. ශ්‍රද්ධාව උතුරලා ගියා. මෙයා අධිෂ්ඨාන කරගත්තා බඩගින්නේ මළත් නූල්පටක තරමේ වත් නුදුන් දෙයක් ගන්නෙ නැහැ කියලා. ඉතින් හරි සතුටින් මෙයා බණ පොලෙන් නැගිට්ටේ. අනෙත් තැනැත්තා පුරුදු රස්සාව කළා. බණ අහන්න ආපු කෙනෙකුගේ ඉණ අතගාගෙන ගාණක් හොයාගත්තා.
පහුවදා අර සොරාගේ ගෙදර බත් වෑංජන උයල තිබුණා. සෝවාන් වූ ශ්‍රාවකයාගේ ගෙදර කෑමට මොකවත් තිබුණේ නෑ. දැන් ඔහු කල්පනා කරන්නේ අතපය මහන්සියෙන් දහඩිය මුගුරු වගුරුවා ජීවත් වෙන්නට මාර්ගයක් හදාගන්නයි.
එදා අර සෝවාන් පුද්ගලයාගේ බිරිඳ ගෙදර රණ්ඩු අල්ලන්න පටන්ගත්තා.
“අපෙ අප්පෝ….! මෙන්න අපේ මිනිහගේ දියුණුව…! මොකක්ද දියුණුව? වළං පිඟන් හිස්…..! වතුර තමයි කෑමට තියෙන්නේ…. මහලොකු නුවණැත්තා. ජීවිතේට ලොකු අවබෝධයක් ලැබුණාලූ! එ්කට අල්ලපු ගෙදර. අන්න අවබෝධය තියෙන අය…. ඔය නහයට දැනෙන්නේ නැද්ද වෑංජන සුවඳ…. නුවණ තියෙනවා කියන්නෙ එ්කටයි.”
මේ තැනැත්තා කිසිවක් කිව්වේ නෑ. නිශ්ශබ්දව අහගෙන හිටියා. එදා සවස බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ජේතවනයට ගිහින් සම්පූර්ණ සත්‍ය සිද්ධිය හෙළිදරව් කළා.
“ස්වාමීනී, මං අසත්පුරුෂ බාලයෙක් වගෙයි ජීවත් වුණේ. පින් පව් ගැන කිසි අවබෝධයක් තිබුනේ නෑ. නමුත් ඊයෙ බණ අසද්දී මට තේරුණා මං අසත්පුරුෂයෙක් බව. බාලයෙක් බව. ඊට පස්සේ ස්වාමීනී, අසත්පුරුෂයෙක් බවට මාව පත්කළේ මගේ ක්‍රියාව බව තේරුම් ගෙන මම එයින් නිදහස් වුණා. නමුත් ගෙදරින් මං බැනුම් අහනවා. මෝඩ වැඩක් කළාය කියලා. අර හොරකම් කරපු යාළුවා හිතාගෙන ඉන්නේ එයා ඤාණවන්ත වැඩක් කළාය කියලයි.”
එවේලෙහි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව මෙම ගාථාරත්නය වදාළා.
යෝ බාලෝ මඤ්ඤති බාල්යං – පණ්ඩිතෝ වා’පි තේන සෝ
බාලෝ ච පණ්ඩිතමානී – ස වේ බාලෝ’ති වුච්චතිඅසත්පුරුෂ පවිටු කෙනා – එ් බව දැනගන්නව නම්
එ් තුළින්ම එ් කෙනා – නුවණැත්තෙක් වන්නේ මයි
අසත්පුරුෂ පවිටු කෙනා – තමා හරිය සිතනවා නම්
සැබෑ ලෙසම පවිටෙක්මයි – ඔහු නෑ නිවැරදි වන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් බලන්න හිතලා අර හොරාට ජයගන්න පුළුවන් වුනේ සත්පුරුෂ ධර්මය ශ්‍රවණය කළ නිසයි. එතකොට තමන්ට තමන්ව පේන්න ගත්තා. තමන් අසත්පුරුෂයෙක් බවත්, බාලයෙක් බවත්, පවිටෙක් බවත් තේරෙන්න ගත්තා. එ් අවබෝධය නිසා එයාට මොකද වුණේ? එයා නිවැරදි වුණා. වැරදි මාර්ගයෙන් බැහැර වුණා. යහපත් මාර්ගයට බැසගත්තා.
මෙයින් එක දෙයක් පැහැදිලියි. නොමග ගියපු කෙනෙකුට වුණත් යම් දවසක අවබෝධ වුණා නම් තමන්ට වැරදුණු බව. එයාට කරන්න තියෙන්නේ එ් සැණින්ම හරි මගට පැමිණීමයි. වැරදි මග අත්හැරීමයි.
නමුත් නොමග ගිය කෙනා, වැරදි කරන කෙනා, අසත්පුරුෂයා, බාලයා, තමන්ගේ එ් අසත්පුරුෂ කි්රයාවන් කිරීම මහා ලොකු දෙයක් කියා හිතාගෙන මහා ඤාණවන්ත වැඩක් කියා හුවාදක්වගන්නවා නම් එයා සැබැවින්ම බාලයෙක්මයි. අසත්පුරුෂයෙක්මයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ
sadu sadu sadu……………………