“රහතුන්ට වනය හරි ලස්සනයි..!”

පින්වතුනේ, පින්වත් දරුවනේ, නිවන් අවබෝධ කරන ධර්මයේ හැසිරීම ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ සඳහා බාධා ඇතිවෙන විදිහ කෙනෙකුට තේරුම් ගැනීම පවා ලෙහෙසි නෑ. බොහෝ විට ධර්මයේ හැසිරෙන්නට පරිසරයෙන් උදව්වක් නෑ. උදව් ලැබෙතොත් ලැබෙන්නේ හැසිරෙන ධර්මයෙන් ගිලිහෙන්නයි. බුද්ධ කාලයේ පවා බලාපොරොත්තු රහිත අවස්ථාවන්හිදී එවැනි අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට භික්ෂූන් වහන්සේලාට සිදුවී තිබෙනවා. නමුත් තමන් විසින් රැස් කරන ලද පින්වල මහිමයෙන් උන්වහන්සේලා ඒ අනතුරු වලින් ගැලවී නිවන කරා යන්නේ තොණ්ඩුවට හසු නොවුණු මුවන් වැද්දාගෙන් ගැලවී පැන දුවන ආකාරයටයි.

එක්තරා තරුණයෙක් බණ අසන්නට සැවැත් නුවරට ආවා. ධර්මය ඇසීමෙන් බලවත් චිත්තප්‍රසාදයක් ඇතිවුණා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මොහු පුදුම වුණා. විස්මයට පත්වුණා. ආර්ය සත්‍යාවබෝධ කරගැනීම ඉලක්ක කොට ගෙන පැවිදි වීමට ලැබුණේ ඒ ශ්‍රද්ධාව නිසයි.

නිවනට සරිලන භික්ෂු ජීවිතයක් කෙමෙන් කෙමෙන් ගොඩනගා ගත්තා. මේ භික්ෂුව ගොඩක් සතුටු වුණේ පිණ්ඩපාතයෙනුයි. වනවාසයටත් කැමතියි. බුදුරජාණන් වහන්සේගේ සෙවණේ සිටිමින් ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා. සිල්පද ආරක්ෂා කිරීම පුරුදු කළා. සමථ විදර්ශනා භාවනාත් පුරුදු කළා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ඈත ප්‍රදේශයකට වැඩම කළා.

මේ භික්ෂුවට එක්තරා පාලු උද්‍යානයක් මුණ ගැහුනා. එහි කොණක ගරා වැටුණු කුටියක් තිබුණා. එය පිළිසකර කොට පදිංචි වුණා. උදේට පිඬු සිඟා වඩිනවා. ලැබෙන දේකින් සතුටු වෙනවා. අර පාලු උද්‍යානයට වඩිනවා. රුක් සෙවණේ ඉතා සතුටින් භාවනා කරනවා.

ඔය අතරේ එක්තරා පුරුෂයෙක් වෙසඟනකට පණිවිඩයක් යැව්වා.

“සොඳුරිය… මට නුඹ නැතුව බෑ… මට නුඹව දකින්න ඕන. එක දවසකට හරි නුඹ සමඟ ජීවත් වෙන්න ඕන. ඒ නිසා මං කොහොම හරි අසවල් දවසට අර පාලු උද්‍යානයට එනවා. ඔයා කොහොම හරි එතනට එන්න. මං එනවා… එනවාමයි…”

අර වෙසඟන එදා ලස්සනට හැඳපැළැඳ පාලු උද්‍යානයට ආවා. ගහක් යට වාඩි වුණා. බලාගෙන හිටියා. ඔහු ආවෙ නෑ. එහාට මෙහාට සක්මන් කළා. බලාගෙන හිටියා. ඔහු ආවෙ නෑ. ඇය රාගයෙන් උමතු වුණා. ඇය වටපිට බැලුවා. පෙනෙන තෙක් මානයක කවුරුවත් නෑ. තවත් වටපිට බැලුවා. එතකොට ටිකක් ඈතින් එක්තරා භික්ෂුවක් රුක් සෙවණේ භාවනා කරනවා දැක්කා.

“ෂා…! ලස්සන තරුණයෙක්… රුක් සෙවණක වාඩි වී දෑස පියාගෙන ලෝකයෙන් ඉවත් වෙන්න හදනවා… මෙයාට පිස්සුද…? මෙච්චර ලස්සන ලෝකෙක විනෝද වෙන්නෙ නැතුව මොකද මේ…? මේ තරුණ කාලෙ මොන බ්‍රහ්මචරියාවක්ද? අනේ හැබෑට…! එක එක්කෙනාගෙ සමයං. ලස්සනට සතුටු වෙන්න තියෙන ජීවිතේ නිකං සමයං නිසා රාස්සයන්ගෙ විලක් බවට පත්කරගෙන. හොඳයි! ඔබේ බඹසරද දිනන්නේ, මගේ හැඩරුවද කියලා මං ඔබට පෙන්නන්නම්….”

ඇය එතනට කිට්ටු වුණා. උගුර පෑදුවා. ‘ලා… ලා… ලලා….’ කියලා මිහිරි හඬින් ගීතයක් ගයන්න පටන් ගත්තා. ඒ මොහොතේ අර ස්වාමීන් වහන්සේ වැඩසිටියේ විදර්ශනා භාවනාවක් කරමින්. උන්වහන්සේ ඇස් ඇරියා. ඇස් ඉදිරියේ රූපයක් තියෙනවා. ඇහේ විඤ්ඤාණයක් හටගන්නවා. ඇහැයි, රූපයයි විඤ්ඤාණයයි එකතු වෙනවා. ස්පර්ශයක් ඇතිවෙනවා. අනිත්‍ය වූ සිද්ධි දාමයක් සිදුවෙන හැටි බලාගෙන සිටියා.

වෙසඟන මෙහෙම කල්පනා කළා. ‘හරි! එයා ඇස් ඇරියා… ඇත්තෙන්ම ඔයා ලස්සනයි. වීසි කරන්න ඔය කසාවත…’ වෙසඟන හිතුවා. ඇය හැඩ කරමින් එයාට මෙහාට සක්මන් කෙරුවා. කෙස් වරළ මුදා හැරියා. ආයෙමත් බැඳගත්තා. සළුපොට ලිහුවා. ආයෙමත් හැන්දා. අත් දෙක උඩට කොට වළලු සද්ද කළා. අත්පුඩි ගැහුවා. යටිපතුල් පොළොවට ගසමින් පය බැඳි නූපුර සද්ද කළා. ඇයගේ හැඳිවත ලෙහුණා. කිසි වගක් නැතුව හිමිහිට ඔසවාගෙන යටැසින් බලමින් හිමින් හිමින් එය අඳිනවා.

අර භික්ෂූන් වහන්සේ තදින් සිහිය පිහිටුවා වීරිය ඇති කරගත්තා. විදර්ශනාවේම සිහිය පිහිටුවා ගත්තා. කෙලෙස් තවන වීරිය ඇතිවුණා. නමුත් උන්වහන්සේගේ මුළු සිරුරම කිලිපොලා ගියා. උන්වහන්සේට මෙහෙම හිතුණා

‘හරිම පුදුමයි! මුළු සිරුරම කිලිපොලා ගියා. හැබැයි මට රාගයක් ඇතිවුණේ නෑ. මේ සිත විදර්ශනාවට නැඹුරු වෙලයි තියෙන්නේ. කාමය කියන්නේ මඩ ගොඩක්! මේ මඩ වළේ වැටුණු කෙනෙක් කවරදාක නම් ගොඩ ඒවිද?’

බුදුරජාණන් වහන්සේ මෙය දිවැසින් දැක්කා. මුළු සිරුරම කිලිපොලා ගිහින් සිටින මේ අහිංසක භික්ෂුව නිකෙලෙස් වෙන්න වෙර වඩන ආකාරය දැක්කා. උන්වහන්සේ ආලෝකයක් පතුරුවා මෙම ගාථාව වදාළා.

රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ

අඳුරු සෙවණැලි ඇති – වනය සොඳුරුය අප හට
කාම සැපයට ඇලුණු ජනයා – කැමති නැහැමයි වනයට
වීතරාගී ශ්‍රමණයෝ – ඇලෙමින් සිටිති වනයට
කම් සුවය නොසොයන ඔවුන් – කැමැතිමයි ඒ වනයට


පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ විට අර භික්ෂූන් වහන්සේගේ ඇඟ කිලිපොලා යාම දුරුවුණා. ඉන්පසු උන්වහන්සේට පෙනුණේ නිසරු ඇටසැකිල්ලක් වැනි දෙයක් තමා ඉදිරියේ එහාට මෙහාට වැනි වැනී සිටින ආකාරයයි. උන්වහන්සේගේ සිත හොඳින් ධර්මයේ පිහිටියා. ඒ ධර්මය විසින් උන්වහන්සේව සියලු කෙලෙස් වලින් නිදහස් කරනු ලැබුවා. උන්වහන්සේ ඉර්ධිබල සම්පන්න රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

වෙසඟන පුදුම වුණා. ඈ නිකටේ අත තබාගෙන ඇස් ලොකු කරගෙන ගැහෙන හදින් යුතුව මේ මහා වීර වූ පුරුෂයා දිහා බලාගෙන හිටියා.

“හරිම පුදුමයි! මට නම් අදහාගන්න බෑ… පිරිමියෙක් මේ විදිහට ඉන්නෙ කොහොමද? මං මේ කරපු මායාවලින් කෙනෙක් පිස්සු වැටෙනවා නම්, මෙලහට පිස්සු හැදිලා ඉවරයි. එහෙත් මේ භික්ෂුව මා දිහා බලා සිටින්නේ ගහක් ගලක් දිහා බලාසිටිනවා වගේ. හරිම පුදුමයි! මේ ලෝකයට ඇලෙන්නෙ නැත්තෙ මොකද? මෙහෙම වෙන්න පුළුවන්ද? ඒකාන්තයෙන්ම මේ විස්මිත මනුෂ්‍යයෙක්!”

ඒ වෙසඟන බලාසිටිද්දිම අර භික්ෂුව දෑස පියාගත්තා. සමාධිගත වුණා. භාවනා ඉරියව්වෙන්ම ටිකෙන් ටික අහසට ඉස්සුණා. ටික වෙලාවකින් නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වූ ඒ රහතන් වහන්සේ, උන්වහන්සේට වන්දනා කළා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ