“කලණ මිතුරු ඇසුර සැපයකි”
පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් අපි ඉගෙන ගන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කථාවක්. ඒ අංගුලිමාල තෙරුන් වහන්සේ ගැනයි. අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා පැමිණි මහා පින්වතෙක් වුණත් ජීවිතය ගෙවන්න සිදුවූ ආකාරය හරි පුදුමයි. ඒක වුණේ මෙහෙමයි.
කොසොල් රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණයන් ගෙන් කෙනෙකුට දාව මන්තාණි කියන බැමිණියගේ කුසෙහි දරුවෙක් පිළිසිඳ ගත්තා. දරුවා ඉපදෙන රාත්‍රියේ මුළු නගරයේම අවිආයුධ අද්භූත විදිහට දිළිසුණා. කොටින්ම රජතුමාගේ මඟුල් කොන්තයත්, කඩුවත් පවා දිළිසුණා. රජතුමා හොඳටම භය වුණා. හරියට නින්ද ගියෙත් නෑ.
පුරෝහිත බමුණා මේ දරුවා ඉපදුණු අයුරු ගැන නිමිති බැලුවා. ඒ නිමිති අනුව මොහු දරුණු සොරෙක් වෙනවා. රජයට අභියෝගයක් වෙනවා. පුරෝහිත බමුණා පාන්දරින් රාජසේවයට ගියා.
“භවත් මහාරාජ, ස්වස්ති සිද්ධම්! සුවසේ සැතපුණු සේක්ද?”
“ආචාර්යපාදයෙනි, මොන සුව නින්දක්ද? මගේ මඟුල් කඩුව පවා බිහිසුණු අයුරින් දිළිසුණා. මෙය කිසියම් අනතුරක සේයාවක්දැයි මට සැකයි.”
“භවත් මහාරාජයෙනි, බිය නොවනු මැනැව. මාගේ ගෙයි ඊයේ රාත්‍රියේ දරු උපතක් සිදුවුණා. ඔහු මහා බලසම්පන්නයි. ඔහු උපන් මොහොතේ ඇති වූ නිමිති අනුව මා තේරුම් ගත්තේ මොහු දරුණු සොරෙක් වන බවයි. මොහුගෙන් රජයට අනතුරු ඇති බවයි. එනිසා දේවයන් වහන්ස, ඔහුව වැනසීමට මට අවසර දෙන්න.”
“ආචාර්යපාදයෙනි, එසේ කලබල නොවනු මැනැව. යහපත් ඇසුර යෙදුවහොත් ඔය දරුවා යහපත් කෙනෙක් වීමට ද බැරි නැත.”
“එසේය දේවයිනි. මේ ගැන සලකාම මමත් ඔහුට අපූරු නමක් තැබුවා. ඒ ‘අහිංසක’ යන නාමයයි.”
රජතුමාත් මේ ගැන සතුටු වුණා. නිසි කල වයසේදී මේ අහිංසක කුමරු තක්ෂිලාවට පිටත් කළා. මේ කුමරු ඉතා දක්ෂයි. කඩිසරයි. වේගවත්. සැණෙකින් ඉගෙන ගන්නවා. දිසාපාමොක් ආචාර්යයන්ගේ සිත් ඇදබැඳ ගන්නට මොහු සමත් වුණා. දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන අයුරු දුටු මොහුගේ යහළුවන් තුළ බලවත් ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. දිසාපාමොක් ආචාර්යයවරයාගේ ළදරු බිරිඳ සමඟ මොහුගේ සම්බන්ධතාවයක් ඇතැයිද, ඇය සමඟ එක්ව ආචාර්යවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයිද නිතර නිතර ගිහින් පවසන්නට පටන් ගත්තා. මුලදී ප්‍රතික්ෂේප කළත් පසුව අහිංසක කුමරු කෙරෙහි බිරිඳගේ බැඳීමක් ඇතැයි ආචාර්යවරයා සැක කළා.
‘ම්… මගේ අතට නම් මොකුත් අහුවුණේ නෑ. නමුත් මේ කියන කරුණු එකපාරට බැහැර කරන්නත් බැහැ නෙව. මේකා අහිංසක වුණාට වැඩ අහිංසක නෑ වගෙයි. කෙලින්ම මරවන්නත් බෑ. එහෙම වුණොත් මේ සිප්හලට දරුවන් එවන එකක් නෑ. හොඳයි! මේකට මං උපක්‍රමයක් යොදන්නම්.’
දිසාපාමොක් ආචාර්යවරයා යටතේ සිප්සතර හදාළ දක්ෂම සිසුවා වුණේ මේ අහිංසක කුමරුයි. එනිසා දිසාපාමොක් ආචාර්යවරයා ඔහුව කැඳෙව්වා.
“හොඳයි අහිංසක, ඔන්න මගේ යුතුකම ඉෂ්ට කළා. ඔබ දැන් දක්ෂ ශිල්පියෙක්. ඕනෑ තැනක ගිහින් ගෞරවනීය ලෙස ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ ශිල්පය ඔබට පිහිටන්නේ නිසි පරිදි ගුරු පඬුරු දුන්නොත් පමණයි.”
“භවත් ආචාර්යපාදයෙනි, එසේය. ඔබ කියනා අයුරින් මම ගුරු පඬුරු පුදමි.”
“එසේ නම් දරුව මා පතන ගුරු පඬුරු නම් මෙයයි. මිනිසුන් දහසක් මරා ඇඟිලි දහසක් මා වෙත රැගෙන ආ යුතුයි. මට වෙන ගුරු පඬුරු ඇවැසි නැත! මේ ගුරු පඬුරු පිදූ කල්හි ඔබ තුළ මැනැවින් ශිල්පය පිහිටනු ඇත.”
අහිංසක ඉතා අසරණ වුණා. හැඬූ කඳුලින් යුතුව ආචාර්යවරයාගේ පා සිඹිමින් වන්දනා කළා.
“භවත් ආචාර්යපාදයෙනි, මා දැනුවත්ව මෙතෙක් කිසිවෙකුට හානියක් කොට නැහැ. නමුත් ඔබ පතන ඒ ගුරු පඬුරු මම නොවැරදීම රැගෙන එමි.”
අහිංසක කුමරු වනයට පිවිසුණා. අද්භූත ශක්තියක් ඔහු තුළ ඇතිවුණා. බිහිසුණු කටහඬක් ඇතිවුණා. වේගයෙන් දුව යන අශ්වයාද, ඇතාද අල්ලා ගැනීම මොහුට සුළු දෙයක් වුණා. මුලින්ම මොහු කළේ මිනිසුන් මරා කපාගත් ඇඟිලි තැනින් තැන සැඟවීමයි. නමුත් ඒවා සතුන්ට ආහාර වුණා. අන්තිමේදී ඒ ඇඟිලි සිදුරු කොට මාලයක් දරාගන්නට මොහු තීරණය කළා.
කොසොල් ජනපදය පුරා මොහුගේ නම පැතිර ගියා. බිහිසුණු සොරෙක් හැටියට ප්‍රකට වුණා. ඒ වනය හරහා යන්නට සමතෙක් ඒ පළාතේ නැති වුණා. ගම් නියම්ගම් බියෙන් වෙව්ලා ගියා. දහස් ගණන් සෙනඟ සැවැත් නුවර කොසොල් රජුගේ මාළිගය වටකළා. අංගුලිමාලයාගෙන් තමන්ව රැකදෙන්නැයි රජුගෙන් ඉල්ලා හිටියා. රජතුමා මහා සේනාවක් පිටත් කළා.
පුරෝහිත බමුණා ඉතා අසරණ තත්වයට පත්වුණා. අහිංසක කුමරු අංගුලිමාල බවට පත්වී පළාතම දෙවනත් කරන අයුරු අසා බලවත් සේ කම්පා වුණා. තම පුතු සේනාව අතින් මරණයට පත්වෙන බව දැන පුරෝහිත බමුණා හිත හදාගත්තා. මන්තාණි බැමිණිය හඬා වැළපුණා.
“එහෙම වෙන්න දෙන්න බෑ. මං තමයි මේ දරුවාගේ අම්මා. මං යනවා. මං ගිහින් මගේ කොල්ලව මේ අපරාදෙන් ගොඩගන්නවා. මං කියන දේ අසාවි.”
ඇය හිතුවක්කාර ලෙස වනය බලා පිටත් වුණා. ඒ අංගුලිමාලයන්ගේ තීරණාත්මක දිනයේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළවුණා. බුදුසසුනක මහාශ්‍රාවකයෙකු වීම පිණිස පින් පිරූ කෙනෙක් දරුණු සාහසිකයෙකු ලෙස ජනපදය දෙවනත් කරයි.
එදා භාග්‍යවතුන් වහන්සේ මිනිසුන් වළක්වද්දී හුදෙකලා ගමනින් වනයට පිවිසුණා. දහසකට එක ඇඟිල්ලක් අඩුව තිබියදී එය සපුරා ගන්නට වනයේ කුරුමාණම් අල්ලන භයානක අංගුලිමාලයන්ගේ නෙතට භාග්‍යවතුන් වහන්සේව හසුවුණා. ඔහු වේගයෙන් භාග්‍යවතුන් වහන්සේ හඹා ගියා. හරි පුදුමයි! ඉදිරියෙන් වඩින ශ්‍රමණයන් වහන්සේ පියවි ගමනින් යනවා. තමන් පවනට බඳු වේගයෙන් යනවා. ඉතා ජවසම්පන්න අසුන්, ඇතුන් හඹා ගොස් අල්ලාගන්නා අංගුලිමාලයන්ට අද කිසිදෙයක් කරගන්න බැරිවුණා. හතළිහ පනහ කණ්ඩායම් බිම හෙලන අංගුලිමාලයන්ට අද මේ හුදෙකලාවේ වඩින ශ්‍රමණයන් වහන්සේ ළඟට ළං වෙන්න බැරිවුණා. දිලිසෙන කඩුව අතැතිව කොතරම් වේගයෙන් දිව්වත් ළං වෙන්න බැහැ. අංගුලිමාලට මෙය මහා පුදුමයක් වුණා. අදහාගත නොහැකි විස්මයක් වුණා. බැරිම තැන කෑ ගහන්න පටන් ගත්තා.
“ඒයි ශ්‍රමණය….! නැවතියන්… ඒයි ශ්‍රමණය…! නැවතියන්…”
ඔහුට මිහිරි පිළිතුරක් ඇසෙනවා.
“අංගුලිමාලයෙනි, මම නැවතී සිටිමි. ඔබත් නවතින්න.”
“මේක හරි පුදුමයක්නේ… මේ යන ගමන් නෙව ශ්‍රමණයන් වහන්සේ නැවතුණා කියන්නේ. අනේ ශ්‍රමණය, යන ගමන් කොහොමද ඔබ නවතින්නේ? මම කොහොමද නොනවතින්නේ?”
“අංගුලිමාල, මම හැමකල්හිම සකල සත්වග කෙරෙහි පතළ කරුණාවෙන් දඬු මුගුරු අත්හළ කෙනෙකි. ඔබ තවම සතුන් කෙරෙහි හිංසාව අත්හැරලා නෑ. ඒ නිසයි මම නැවතිලා සිටින්නේ. ඔබ නැවතිලා නැත්තේ.”
අංගුලිමාලයන්ගේ ඇඟ කිලිපොළා ගියා. සියල්ල අරුත්බරව මෙනෙහි වුණා. තමා කරන වරද පිළිබඳව සිහිනුවණ උපන්නා. අකුසලයෙන් මිදෙන්නට දැඩි වීරියක් ඇතිවුණා.
“මහා ඉසිවරයාණන් වහන්ස, ඔබවහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ මහා වනයට වැඩියේ. බොහෝ කල් මා පුරුදු කළ මේ පාපය නුඹවහන්සේගේ එක බණ පදයෙන් ගිලිහී ගියා.”
අංගුලිමාලයන් දරා සිටි ඇඟිලි මාල කඩා වීසි කළා. කඩු කිණිසි පොළොවේ සිදුරකට වීසි කළා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් ආදරයෙන් වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේගෙන් ඒහිභික්ෂු පැවිද්ද ලබාගත්තා. සුළු කලෙකින් අරහත්වයට පත්වුණා.
අංගුලිමාලයන් වහන්සේ අරහත්වයට පත්ව වැඩසිටියත් තමන් කළ පාප කර්මයේ විපාක වරින් වර ඵල දුන්නා. අංගුලිමාලයන් පිඬු සිඟා වඩිද්දී මිනිසුන් ගසකට ගල් ගසද්දී පවා උන්වහන්සේගේ හිස මත වැටෙනවා. ඉවතට වීසි කරන දඬු කඳ පවා උන්වහන්සේගේ ඇඟෙහි වැදෙනවා. ඇතැම් මිනිසුන්ගෙන් බලවත් නින්දා අපහාස ලැබෙනවා. ඇතැම් දිනවල උන්වහන්සේ පිඬුසිඟා ආපසු වඩිද්දී ඉරී ගිය සිවුරු ඇතිව, බිඳීගිය පාත්‍රය ඇතිව, මනා සංයමයෙන් යුතුව, ඉවසීමෙන් යුතුව වඩිනවා.
එක්තරා ගැබිණි මාතාවක් දරුවා ප්‍රසූත කරගත නොහැකිව සිටියදී අංගුලිමාල මහරහතන් වහන්සේගේ සෙත් පැතීම නිසා සුවසේ දරුවා ලැබුණා. අංගුලිමාලයන්ට හැමෝම ආදරය කරන්නට මේ කාරණය හේතුවුණා.
අංගුලිමාල රහතන් වහන්සේ ටික කලෙකින් පිරිනිවන් පා වදාළා. ඇතැම් භික්ෂූන් වහන්සේලා අංගුලිමාලයන් අරහත්වයට පත් වූ බව දැනසිටියේ නෑ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි මේ කතාබස් කරමින් සිටියේ අපගේ අංගුලිමාලයන් ගැනයි. උන්වහන්සේ උපන්නේ කොහේද කියලා අපට හරී ප්‍රහේලිකාවක් වුණා.”
“පින්වත් මහණෙනි, මාගේ ළය මඬලෙහි උපන් පුතණුවන් වූ අංගුලිමාලයන් පිරිනිවන් පෑවා.”
“ස්වාමීනී, ඉතා විස්මයජනකයි. මෙතරම් මිනිසුන් කන්දරාවක් මැරූ ඔහු පිරිනිවන් පෑවේ කෙසේද?”
“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. ඇත්තෙන්ම ඔහුට එකම කල්‍යාණමිත්‍රයෙක්වත් කලින් ලැබුණේ නෑ. එනිසාමයි ඔහු පව් කළේ. පසුකාලයේදී ඔහුට තථාගතයන් වහන්සේ නමැති කල්‍යාණමිත්‍රයන් වහන්සේව ඇසුරු කරන්න ලැබුණා. ඔහු අප්‍රමාදී වුණා. ඔහුගේ කුසල් බලයෙන් අර අකුසල් වැසී ගියා.”
මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි අයුරින් මෙම ගාථා රත්නය වදාළා.
යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමායමෙකු අතින් කළ පව්කම් – වැසෙනා විට කුසල් බලෙන්
වළාකුලින් මිදුණු සඳක් – අහසෙහි බබලන විලසින්
අවිදු අඳුරු ඇති මෙලොවේ – නුවණින් හේ බබලන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක් තමයි අංගුලිමාල යන්ට උදාවුණේ. මේ වෙද්දි පව් කරන අය කොපමණ ඉන්නවාද? ඔවුන්ට පව් වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙත් නෑ. පව් වැසී යන ආකාරයට තබා යන්තම් සුගතියට යාගන්නවත් කුසල් කරගන්න ලැබෙන්නේ නෑ. මේ නිසා අපි මෙයින් ඉගෙන ගත යුත්තේ කලණ මිතුරන්ගේ වටිනාකම ගැනයි. පවට අනුබල දෙන්න ඕනතරම් ඉන්නවා. නොමග යවන්න ඕනතරම් ඉන්නවා. දෙමව්පියන්ට ගුරුවරුන්ට වුණත් ගහන්න බනින්න කියලා, නින්දා අපහාස කරන්න කියලා උඩගෙඩි දෙන අය ඕනතරම් ඉන්නවා. සිහිනුවණ උපද්දවන අය හරී අඩුයි. එනිසා සිහිනුවණ උපදවා දෙන, හොඳ නරක කර්මයන්ගේ විපාක පෙන්වා දෙන, සසරෙහි ඇති බිහිසුණු බව පවසන, ධර්මයෙහි ඇති රැකවරණය ඉස්මතු කරන කලණ මිතුරන්ගේ ඇසුරමයි වටින්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
apage sammasambudurajananwahansege rahathan wahanse namakawu mahatheda bala athi angulimaha rahathan wahanseta apage namaskaraya wewa sadu sadu sadu