කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු‘ වැඩසටහන මගින් රෝහල් 32 ක් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල (Covid-19 Medical Communication Kit) පරිත්‍යාග කිරීම 2020-04-12 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මෙම පුණ්‍ය උත්සවය රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ද, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සහ කොළඹ ජාතික රෝහලේ ලේකම් වෛද්‍ය සමන් නිශාන්ත සුගතපාල මහතා ඇතුලු වෛද්‍ය හෙද සහ රෝහල් කාර්යමණ්ඩල වල සමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මූල්‍යමය දායකත්වයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, ආරක්ෂිත ඇඳුම් මැසීමෙන් උපකාර කළ අසිස් ගාමන්ට් හි පින්වත් ස්වර්ණා සමන්ති මහත්මිය ඇතුලු පිරිස, මහනුවර ඩී-ෆැෂන්ස් ආයතනයේ අධිපතිතුමන් වන පින්වත් දිලුක්ෂ ජයතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත්, ආණමඩුව ජයමිණි ගාමන්ට්ස් ඇන්ඩ් ප්‍රින්ටර්ස් හි අධිපති පින්වත් සුපුන් ජයමිණි නිශ්ශංක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත්, Herbal Care Industries ආයතනයේ පින්වත් සුරාජ් පෙරේරා මහතා සහ ලේඛා වනසේකර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් විවිධ අයුරින් උපකාර කළ සියලු මහත්ම මහත්මීන්ටත් කෘතවේදී පූර්වකව මෙසේ පුණ්‍යානුමෝදනා කර සිටිමු. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් ඔබ සෑම සියලු දෙනාටත්, ඔබගේ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .!

සියල්ලෝ මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ! උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුනු වසංගත තත්වයෙන් ඉතා ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !