සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කිරීම

යෝ ධම්මසේනාපතී සුපූජිතෝ – පඤ්ඤාය පාරමිං ගතෝ
ගම්භීරපඤ්ඤෝ මේධාවී – මග්ගාමග්ගස්ස කෝවිදෝ
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං

මහා අගසව් රහත් උතුමෙක් – සුපූජිත වූ දහම් සෙනෙවිව
මුදුන්පත් වී මහා ප්‍රඥාවෙන් – ගැඹුරු නුවණින් මහා නුවණින්
මග නොමග නිසි ලෙස දකින්නට – මහා දස්කම් පෑවෙද
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
උතුම් සැරියුත් රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේට වන්දනා කිරීම

යෝ මහානුභාවෝ ඡළභිඤ්ඤෝ – ඉද්ධියා පාරමිං ගතෝ
සෝ විකුබ්බනාසු කුසලෝ – වසීභූතෝ මහිද්ධියා
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුත මොග්ගල්ලානං

මහා අගසව් රහත් උතුමෙක් – සයක් වූ මහ අභිඥා ලැබ
මුදුන්පත් වී ඉර්ධි බලයෙන් – මහා අනුහස් පෑවෙද
දක්ෂ වී මහා පෙළහරෙහි – ඉර්ධි බල තම වසඟයට ගත්
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
මහා මුගලන් රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

මහා කස්සප මහරහතන් වහන්සේට වන්දනා කිරීම

යෝ දායාදෝ බුද්ධසෙට්ඨස්ස – විසිට්ඨෝ ධුතගුණේ මුනී
උපසන්තෝ උපරතෝ – පන්තසේනාසනෝ විදූ
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුත මහා කස්සපං

බුදුරජුන්ගේ උතුම් දායාදය වූ – යම් මහරහත් උතුමෙක්
අග්‍ර වී සීල ධුත ගුණෙන් – සංසිඳී නිකෙලෙස් වී
දුර ඈත වන අරණෙ වැඩහිඳ – දෙව් මිනිස්නට සැපත සැදුවෙද
ඒ විතරාගී සමාහිත ඉඳුරන් ඇති – පිරිනිවන් වැඩි අපගේ
මහාකස්සප රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

ආනන්ද මහරහතන් වහන්සේට වන්දනා කිරීම

යෝ චිත්තකථී ධම්මධරෝ – සතිමතෝ ගතිධිතීමතෝ
සුගතස්ස කෝසාරක්ඛකෝ – පූජනීයෝ බහුස්සුතෝ
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුතානන්දත්ථේරං

අප සුගත් සම්බුදු රජුන්ගේ – මහා දම්කඳ රැකගෙන
සොඳුරු බණපද පවසන – විස්මිත මතක බල ඇති
මනා සිහි ඇති මහා නුවණැති – සුපූජිත බහුශ්‍රැත වූ
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
උතුම් අරහත් අනඳ මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

අංගුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කිරීම

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – අංගුලිමාලෝති විස්සුතෝ
අප්පමාදං සමාදාය – වීතතණ්හෝ සුසංවුතෝ
තං කාරුණිකං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුතංගුලිමාලං

පෙර යමෙක් පමා වීමෙන් – අඟුල්මල් සේ ප්‍රකට වූයෙද
නොපමාව බුදු සසුනෙහි – නිකෙලෙස් ව රහත් වූයෙද
සියලු තණ්හාවෙන් මිදී ගොස් – හොඳින් සංවර වූයෙද
ඒ කාරුණික සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
අඟුල්මල් රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කිරීම

යෝ සත්ථුකප්පෝ කල්‍යාණමිත්තෝ – මහාඤාණී ජිනත්‍රජෝ
සෝ ලංකාදීපමාගම්ම – ජෝතයී බුද්ධසාසනං
තං වීතරාගං ලංකාදීපප්පසාදකං – වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං

උතුම් සම්බුදු පුත් රුවන වූ – අපට අනුබුදු රුවන බඳු වූ
මහා නුවණැති කලණ මිත් වූ – යම් මහරහත් උතුමෙක්
දඹදිවින් මෙහි වැඩම කොට – බුදු සසුන බැබළවූවෙද
මුළු ලක්දිව ම පැහැදුණු – වීතරාගිව පිරිනිවන් වැඩි
අපගේ මිහිඳු මුනිඳුට – වඳිමි මම සාදරයෙන්